‘නිවන් අවබෝධයට භාවනා කළ යුතුම ද?’ යන්න වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති වී තිබෙන ගැටළුවකි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කළ ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කර ගත් පුද්ගලයින් සංඛ්‍යාව මෙපමණක් යැයි කිවනොහැකි තරම් වේ. භාවනා කර නිවන් දුටු පුද්ගලයන් පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ නිවන් දැකීම පිණිස භාවනාව අත්‍යවශ්‍ය කටයුත්තක්ද? යන්නයි.

නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස භාවනාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වේ. මේ පිළිබඳව පැහැදිලි කරගැනීමට අංගුත්තර පඤ්චකනිපාතයේ, පඤ්චඬ්ගික වර්ගයේ එන ‘විමුක්තායතන සූත්‍රය’ ඇසුරු කළ හැකි වේ. එහි මෙසේ සඳහන් වේ.
“පඤ්චිමානි භික්ඛවේ විමුත්තායතනානි, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස අතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීනා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.”
‘මහණෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන කරා ගිය සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවකගේ (යෝගාවචරයෙකුගේ) සංස්කාරයන් කෙරෙන් නොමිදුණු සිත මිදීමට පත්වන, ක්ෂය නොවූ ආශ්‍රව ක්ෂය වීමට පත්වන, නොපැමිණි අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණයට පමුණුවන විමුක්ත ආයතන පසකි.’

මෙසේ ශාසනයෙහි උතුම් නිවන් පිණිස ගුණධර්ම පුරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සැමටම නිවන් අවබෝධය පිණිස පවතින විමුක්ත ආයතන හෙවත් නිවන් දොරටු පසක් (5) බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එනම්, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය සහ භාවනාව යනුවෙනි.
මෙහිදී ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය යන සියල්ලම නිවනට හේතු වන, නිවන් දොරටු බව බුද්ධ දේශනයෙන්ම පැහැදිලි වේ. එහෙත් වරදවා ගත යුතු නොවේ. හුදු ධර්ම ශ්‍රවණය ආදියෙන් පමණක් නිවන් සාක්ෂාත් කරගැනීමට පූර්වයෙහි වැඩූ සිතක් තිබීම අනිවාර්යය වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව ලොව බලා ධර්ම ශ්‍රවණයට සුදුසු නුවණ මුහුකුරා ගිය සත්ත්වයන් පරීක්ෂා කළ සේක. ඒ අනුව ලොව සියලු සත්ත්වයන් පියුම් විලක ඇති පියුම් සේ දකිමින් සතර වැදෑරුම්ව හඳුනා ගත් සේක.

1. උද්ඝටිතඥ – සතරපද ගාථාවක් ඇසූ පමණින් නිවන් සාක්ෂාත් කර ගත හැකි පුද්ගලයන්. උදා – උපතිස්ස පරිබ්‍රාජකතුමා
2. විපඤ්චිතඥ – දීර්ඝ වශයෙන් ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයන්. උදා – පස්වග තාපසතුමන් ඇතුළු බොහෝ දෙනා
3. නෙය්‍ය – ධර්ම ශ්‍රවණය කර ඒ ධර්මය අනුව පිළිපදිමින් බොහෝ කලක් භාවනා ආදී ගුණාංග පූරණය කර නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයන්. උදා – චක්ඛුපාල මහරහතන් වහන්සේ වැනි බොහෝ දෙනා
4. පදපරම – ධර්ම ශ්‍රවණ ආදී කිසිදු ලෙසකින් මෙම භවයේ නිවන් සාක්ෂාත් කර නොගන්නා අය.

මේ සතර වැදෑරුම් පුද්ගලයන් අතුරින් පළමු පුද්ගල යුගලයම ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා අය වෙති. අන් අයට භාවනා කිරීම ආදී ගුණධර්ම පූරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී පළමු පුද්ගල යුගලය ධර්ම ශ්‍රවණාදියකින් ඉක්මනින් නිවන් සාක්ෂාත් කරගනුයේ ඔවුන්ගේ සන්තානය තුළ පූර්ව භවයන්හි භාවනා කිරීම් මඟින් නුවණ මුහුකුරා ගොස් ඇති බැවිනි. එහෙයින් සියලු දෙනාට නිවන් අවබෝධය පිණිස කවර කලෙක හෝ කරනු ලබන භාවනාව අත්‍යවශ්‍ය වේ.
යමෙක් මේ භවයේ භාවනා කරන්නේ නම්, ඔහුට මේ භවයේම නිවන් සාක්ෂාත් කර ගැනීමට එය හේතුවක් වේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ වදාළේ මෙසේය.

“යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය, සත්තවස්සානි තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඩ්ඛං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සති වා උපාදිසේසේ අනාගාමිතා.”
‘මහණෙනි, යමෙක් මේ කායානුපස්සනා ආදී සතර සතිපට්ඨානයන් සත් වසක් වඩන්නේ නම් (භාවනා කරන්නේ නම්), ඔහුට මේ අත්භවයේම අරිහත්වයට පත්වීමට හැකි වේ. යම් හෙයකින් උපාදිශේෂ සහිත වූයේ නම් අනාගාමී විය හැකි වේ.’ යනුවෙනි.

එසේම මේ සත් වසක කාලය, සය වස, පස් වස යනාදී ලෙස අඩු වී යමෙක් දින හතක් (7) නමුදු නිවැරදිව මේ සතර සතිපට්ඨානය වඩන්නේ නම් අරිහත්වයට හෝ අනාගාමීඵලයට පත්වන බව බුදු මුවින්ම වදාළ බැවින් තවත් කල්යල් බැලිය යුතු නොවේ.

බුදුසසුනේ උතුම් සෝවාන් මාර්ගඵල ලාභය පිණිස පවතින සෝතාපත්ති අඩ්ග සතරක් (4) ඇති බව සංගීති සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළහ. එනම්
1. සත්පුරුෂ සංසේවනය
2. සද්ධර්ම ශ්‍රවණය
3. යොනිසො මනසිකාරය
4. ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි.

ඒ අනුව නිවන් සාක්‍ෂාත් කරගැනීමට අපේක්‍ෂා කරන සත්පුරුෂයන් විසින් මෙම කරුණු සතර සම්පූර්ණ කරගතයුතු වේ. සත්පුරුෂයන් ඇසුරු කිරීමත්, ඒ සත්පුරුෂයන් වෙතින් ධර්මශ්‍රවණය කිරීමත් යන කරුණු දෙක පමණක් සම්පූර්ණ වීම ප්‍රමාණවත් නොවන අතර යොනිසො මනසිකාරයෙන් යුතුව ලොව ඇති සියලු දෙය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් මනසිකාරය පැවැත්විය යුතු වේ. එපමණක් ද ප්‍රමාණවත් නොවන අතර ලොකෝත්තර මාර්ග ප්‍රතිලාභයට උපකාරී වන්නා වූ පූර්වභාග ප්‍රතිපදාවෙහි හික්මිය යුතු වේ. එම ප්‍රතිපදාව නම් සමථ විදර්ශනා භාවනා කිරීමයි. ඒ බව අංගුත්තර නිකායේ දශක නිපාතයේ එන අවිජ්ජා සූත්‍රයෙන් ප්‍රකට වේ. එහි දැක්වෙන අන්දමට යෝනිසෝ මනසිකාරය පරිපූරණය වීමෙන් සති සම්පජඤ්ඤය පරිපූරණය වේ. සති සම්පජඤ්ඤය පරිපූරණය වීමෙන් ඇස, කන ආදී ඉන්ද්‍රිය සංවරය පරිපූරණය වේ. ඉන්ද්‍රිය සංවරය පරිපූරණය වීමෙන් කාය, වාක්, මනෝ යන ත්‍රිවිධ සුචරිතය පරිපූරණය වේ. ත්‍රිවිධ සුචරිතය පරිපූරණය කිරීමෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. එයින් සප්ත බොජ්ඣඩ්ග ධර්මයන් පරිපූරණය වන අතර විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණාවබෝධය සඵල වේ. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපදාවට ශීල, සමාධි, ප්‍රඥා යන තිවිධ ප්‍රතිපදාවම අයත් වේ.

මේ අනුව නිවන් දකිනු කැමතියන් විසින් සත්පුරුෂයන් ඇසුරු කරමින් සද්ධර්මශ්‍රවණය කර යෝනිසො මනසිකාරය පවත්වමින් සතර සංවර ශීලය ආරක්‍ෂා කරගනිමින්, සමථ විදර්ශනා භාවනා වැඩිය යුතු වේ. බුදුරජාණන වහන්සේ නිතර කරන අවවාදයක් මෙහි දී සිහිපත් කරගත යුතු වේ. එනම් “ඣායථ භික්‍ඛවෙ, මා පමාදත්‍ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම්හාකං අනුසාසනී”
‘මහණෙනි, භාවනා කරව්. ධ්‍යාන වඩව්. සිහියෙන් තොරව ප්‍රමාද නොවව්. සිහියෙන් තොරව ප්‍රමාද වී පසුව විපිළිසර නොවව්. මෙය තොපට අපගේ අනුශාසනයයි.’

එබැවින් නිවන් අවබෝධ කරගැනීමට උත්සුක වන සියල්ලෝම එළඹ සිටි සිහියෙන් යුතුව අප්‍රමාදීව සමථ විදර්ශනා භාවනා වඩා, නිවන් මග සාක්‍ෂාත් කරගනිත්වා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි