බුද්ධ ශාසනයේ වෘද්ධිය දුෂ්කරය. යමෙක් මේ බුද්ධ ශාසනයෙහි වෘද්ධියක් ලබන්නේද ඒ සඳහා බලවත්ම උපනිශ්‍රය ලබනුයේ කළ්‍යාණ මිත්‍රයන්ගෙනි. බුදුරජාණන්වහන්සේ වදාලේ මේ බුද්ධශාසනයම පවතිනුයේ එකී සම්පත්තිය පදනම් කරගෙනය යනුවෙනි. මූලික වශය‍ෙන් යමෙක් අකුසලයෙන් මුදවා කුසලයෙහි සමාදන් කරවනුයේ කළ්‍යාණ මිත්‍රයා විසින්ය. ඉන් අනතුරුව අනුපිළිවෙලින් අර්හත්වය දක්වාම හික්මවනුයේ උන්වහන්සේලා විසින්මය.

ධර්මය සොයා තමන් වෙත පැමි‍‍‍‍ණෙන පුද්ගලයන්  හට කළ්‍යාණ මිත්‍රයෙකු ධර්මයෙන් අනුග්‍රහ කිරීම වැනි උපකාර ලෝකයා හට  ප්‍රකටය. නමුත් එතැනින් නොනැවතී අන් අයගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා කළ්‍යාණ මිත්‍රත්වයෙන් කරන උපකාර ලෝකයාට වටහා ගැනීමට දුෂ්කරය. මෙම අටුවා කථා ප්‍රවෘත්තියෙන් දක්වනුයේ එකී වටහාගැනීමට අපහසු උපකාරයකි.

පෙර රෝහණජනපදයේ ගාමෙණ්ඩවාල මහාවිහාර භික්ෂාචාරයෙහි වැද්දෙක් වීය. ඔහු අඹුදරුවන් පෝෂණය කළේ සතුන් මරමින්ය. උගුල්  සියගණනක් යොදා සතුන් බොහෝ දෙනෙක් මරමින් මහත් සේ අකුසල කර්ම රැස්කරනුයේ එක් දිනක් ගිනිද, ලුණුද ගෙන කැළයට ගියේය. ඉන්පසු මලපුඩුවල සිටි සතුන් මරා පුළුස්සා අනුභව කොට පිපාසිතව ගාමෙණ්ඩවාල මහාවිහාරයට පිවිසියේය. එහි පැන් මාලකයේ පැන්කල දසයක් තිබූ අතර ඔහුගේ පිපාසය සන්සිඳුවා ගැනීමට පැන් නොදැක “කිමෙක්ද? මෙපමණක් භික්ෂුන් සිටින තැනක පිපාසයෙන් එන මිනිසුන්ගේ පිපාසය දුරුකරගැනීමට තරම් වතුර පොදක්වත් නැතිද?” යැයි මහහඬින් භික්ෂුන්ගේ නුගුණ කීමට ඇරඹුවේය. චූළපිණ්‌ඩපාතිකතිස්‌ස තෙරුන්වහන්සේ ඔහුගේ කෑගැසීම අසා ඔහු සමීපයට පැමිණෙනුයේ පැන් මාලකයේ පැන්කල දසයම පිරෙන්නටම පැන් තිබෙනු දැක “මොහු ජීවත්වන ප්‍රේතසත්තවයෙක්ම වන්නේය” යැයි සිතා “උපාසකය, ඉදින් පිපාසාවක් ඇත්තේ නම් පැන් බොනු” යැයි කීහ. ඔහුගේ කර්මය හේතුවෙන් පානය කරන සියලු පැන් රත් වූ කබලකට දැමුවක් මෙන් නැසෙයි. මුළු පැන් කලයම පානය කළේ  නමුදු පිපාසාව සන්සිඳුනේ නැත. “උපාසකය, නුඹේ ප්‍රාණඝාත කර්මය කොතරම් දරුණු වේද යත්, මෙලොවදීම ප්‍රේතයෙක් බවට පත්වීය. මතු විපාක කොතරම් දරුණු වේවිද?”

තෙරුන් වහන්සේගේ කතාව ඇසූ වැද්දා සංවේගයට පැමිණ තෙරුන්වහන්සේ වැඳ සතුන් මරණ ආම්පන්න ආදිය ඉවත දමා ඉක්මනින් තම නිවසට ගොස් අඔුදරුවන් බලා සැත් බිඳ, මෘගයන් පක්ෂීන් වනයට මුදාහැර තෙරුන්වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්වීය.

ඇවැත්නි, පැවිද්ද දුෂ්කරය. කවරක් නිසා නුඹ පැවිදිවන්නෙහිද?” යැයි තෙරුන්වහන්සේ ඇසුවේය. “ස්වාමිනි, මෙබඳු ප්‍රත්‍යක්ෂ කාරණයක් දැක කවරක් නිසා පැවිදි නොවන්නෙම්ද” යැයි ඔහු ප්‍රකාශ කළේය. තෙරුන්වහන්සේ තචපඤ්චක කර්මස්ථානය උගන්වා ඔහු පැවිදි කළේය.

වත් කිරීමට ඇළුම් කළ උන්වහන්සේ වත් කරන අතරතුර ධර්මය ඉගෙන ගත්තේය. එක දිනයක් දේව දූත සූත්‍රයෙහි

තමෙනං, භික්‌ඛවෙ, නිරයපාලා පුන මහානිරයෙ පක්‌ඛිපන්‌තිමහණෙනි, නිරයපාලයෝ ඔහු මහනිරයෙහි බහත් ” යන මෙම ස්ථානය අසා. “ස්වාමීනී මෙපමණක් දුක් රාශියක් විදිනා ලද සත්තවයෙක් නැවත මහා නිරියට දමන්නේය. මහා නිරය අතිශයෙන්  බැරෑරුම්ය”  යනුවෙන් නිරයේ දුක් පිළිබඳව ප්‍රකාශ කළේය.

ඇවැත්නි, එසේය. මහා නිරය බැරෑරුම් ය

ස්වාමීනි, මහා නිරය දැකීමට හැකිද ?

නොහැකිය, නමුත් මහා නිරය දුටුවා හා සමාන දෙයක් පෙන්වීමට හැකිය  සාමණේරයන් ලවා ගල්තලාවක් මත අමු දරගොඩක් ගසව” යැයි වදාළේය. 

උන්වහන්සේ දර ගොඩක් කරවීය. තෙරුන් වහන්සේ එම ස්ථානයෙහිම හිඳ ඍධි බලයෙන් මහා නිරයෙන් කණාමැදිරියෙක් තරම් ගිනි අඟුරක් ගෙනවුත් උන්වහන්සේ බලා සිටියදීම අමු දරගොඩ මත දැමූ සේක. ඒ ගිනි අඟුරු දැමූ සැණින්ම ඒ දරගොඩ ඇවිලී අඟුරු බවට පත්වීය.

උන්වහන්සේ එය දැක “ ස්වාමීනී මෙම බුද්ධ ශාසනයෙහි ධූර කොපමණක් ද? ” යැයි ප්‍රශ්න කළේය. ඇවැත්නි “ ග්‍රන්ථධූර, විදර්ශනාධූර’’ යැයි දෙකකි.

ස්වාමීනි, ග්‍රන්ථධූරය ප්‍රතිබල භික්ෂූන් වහන්සේලාගේ කටයුත්තකි. මගේ ශ්‍රද්ධාව දුක් නිසා ඉපදුනකි. මම විදර්ශනාධුරය පුරන්නෙමි. මට කර්මස්ථානයක් දෙනු මැන” යැයි තෙරුන් වහන්සේ එතැන හිඳ ගත්තේය. මේ භික්ෂුව “වත් පිළිවෙත් වලින් සපිරුණු වූවෙකි” යැයි වත්ත ශීර්ෂයෙන් කර්මස්ථානයක් කියා දුන් සේක. උන්වහන්සේ කර්මස්ථානය ඉගෙන  විදර්ශනාව පිණිසද භාවනා කරයි. ඒ වත් පිළිවෙත් ද සම්පුර්ණ කරයි. එක් දිනයක සිතුල් පව්ව මහාවිහාරයේ ද, එක් දිනයක ගාමේමණ්ඩවාල  මහාවිහාරයේ ද,එක් දිනයක  ගොචරාගාම මහාවිහාරයේ ද වත් පුරයි. ථීන මිද්ධයට, සිත බැසගත් මානයෙහිට නින්දට වැටීම නිසා වත් පිළිවෙත් හැරේවිය යන භයින් පිදුරු මිටියක්  හිසෙහි  තබා දෙපා දියෙහි බස්වා වැඩ හිදියි.

උන්වහන්සේ එක් දවසක් සිතුල් පව්ව විහාරයේ රාත්‍රී යාම දෙකක් වත් පිළිවෙත් සිදුකොට ඉතා අලුයම් කාලයේ නින්දට වැටීමට ආසන්නව තෙත පිදුරු මිටිය හිස මත්තෙහි තබා ගෙන වැඩ සිටිනුයේ. සිතුල් පව්ව පර්වතයේ එක් බෑවුමක සිටිනා සාමණේර නමක් අරුණාවතිය සූත්‍රය සඣායනා කරනු ඇසූ සේක.

ආරම්‌භථ නික්‌කමථ, යුඤ්‌ජථ බුද්‌ධසාසනෙ – ධුනාථ මච්‌චුනො සෙනං, නළාගාරංව කුඤ්‌ජරො

යො ඉමස්‌මිං ධම්‌මවිනයෙ, අප්‌පමත්‌තො විහස්‌සති – පහාය ජාතිසංසාරං, දුක්‌ඛස්‌සන්‌තං කරිස්‌සතී’’ති. 

ආරම්භවීර්යය කරවු, නිෂ්ක්‍රමණවිර්යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු. යමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.

මෙම ගාථාව අසා “මා වැනි අරඹනා ලද වීර්‍යය ඇති භික්ෂුවකටම සම්මා සම්බුදුරජාජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලද වන්නේ ය” යැයි සිතෙහි ප්‍රීතිය උපදවාගෙන ධ්‍යානයක් ලබා එයම පාදක කොට අනාගාමි ඵලයෙහි පිහිටි සේක. පසුව වීර්‍ය වඩා චතු ප්‍රතිසම්භිදා සහිතව අර්හත්වයට පත් වීය. පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ දී එම කාරණයට දක්වමින් මෙම ගාථාව වදාළහ.

අල්ලං පලාල පුන්ඤකාහං – සීසෙනාදාය චඞ්කමිං

පත්තෝස්මි තතියං ඨානං – එත්ථ මේ  නත්ථි සාසයෝ

තෙත පිදුරු මිටියක් හිසෙහි තබාගෙන සක්මන් කළෙමි, අනාගාමී ඵලයට පත්වුණෙමි. එහිලා මට සාශයක් නැත

මිලක්ඛතිස්ස තෙරුන්වහන්සේ වත් පිළිවෙත් කිරීම නිසා සිතෙහි කෙළෙස් ඉපදීමට අවකාශයක් නොවීය. වත්පිළිවෙත් කිරීම වශයෙන්ම කෙළෙස් විශ්කම්භණය (යටපත් වීය). ඉන් අනතුරුව සිත නිවන දෙසට යොමු කොට විදර්ශනා භාවනා කොට අරිහත්වයම   සාක්ෂාත් කළ සේක. මෙ අනුව කෙළෙස් ප්‍රහාණය සඳහා වත් පිළිවෙත් උපකාර වන ආකාරය අපට වටහා ගත හැක. එමෙන්ම සසර දුක් කෙළවර කරගැනීම සඳහා උපකාර කරන මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාගේ වටිනාකමද වටහා ගත හැක.

තථාගත බුදුපියාණන්වහන්සේ හැරුණුකොට කළ්‍යාණමිත්‍රයන්  දෙවෙනි ස්ථානයේ සිටියේ අග්‍රශ්‍රාවක රහතන්වහන්සේලාය. බුදුරජාණන් වහන්සේ ඒ දෙනම වහන්සේල‍ා සමකරනුයේ සඟ පිරිසට මව්පියන් ලෙසය. මෙම උපකාරිත්වය නිසාම බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ඇසුරු කරනු, භජනය කරනු යැයි නිරන්තරයෙන්ම සඟ පිරිස සමාදන් කරවා වදාළහ. මේ බුද්ධ ශාසනයෙහි සාරිපුත්තයන්වහන්සේල‍ා එක්නමකි, මොග්ගල්ලානයන්වහන්සේලා ද එක්නමකි. ලෝකයම ගුණයෙන් බබුලුවා උන්වහන්සේලා පිරිනිවීගිය පසු ඊට සමත්වයෙන් අන් අයට උපකාර කළහැකි පුද්ගලයන් මේ ශාසනයෙහි පහළවූයේ නැත. එනමුත් බුදුසසුනෙහි හික්මෙනු රිසි ගිහි පැවිදි ජනයා හට උපකාර කරන, අග්‍රශ්‍රාවකයන් වහ්සේලාගේ ගුණකදම්බයන්ගෙන් ‍‍‍‍අව‍ෙශ්ෂ වී යැයි එකලාව කිව හැකි සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් තථාගතයන් වහන්සේ පිරිනිවී වසර දෙදහස් හයසියයක් ගෙවුනු අද දවස දක්වා නොඅඩුවම පහළවීය. මෙම බුද්ධශාසනය අවසන් වනතුරුම පහළවනු ඇත.

අංගුත්තර නිකාය අට්ඨ කථාව ඇසුරිණි

සම්පාදක පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි