භාවනාව යනු සිත සකස් කිරීමක් බව ඉහත සඳහන් කළෙමු. නිවන් දැකීමට සුදුසු වන ආකාරයට කුසල ධර්මයන්ගෙන් සිස් නොවූ සිතක් සකස් කරගැනීම භාවනාවෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා සිතේ එකඟ බවක් මෙන්ම පරිසරය පිළිබඳ මනා අවබෝධයක් ද ඇති කරගත යුතු වේ. ඒ සඳහා පළමුව තමාගේ සිත පිළිබඳ අවබෝධය ඇති කරගත යුතු වේ. මේ සිතෙන් කළ නොහැකි දෙයක් නැති තරම් වේ. ලෝකයේ බොහෝ අරුම පුදුම දේ සිතෙන් නිර්මාණය කර ඇත. අතීතයේ සිත දියුණු කළ අය අහසින් ගමන් කිරීම පවා සිදු කර ඇත. අපගේ සිත ද මෙසේ බොහෝ දේ කළහැකි අන්දමට සකස් කරගත හැකි වේ. එසේම අප සියලුම දෙනා අතීත ආත්මභාවයන්හි දී සිත දියුණු කළ පුද්ගලයන් බව අමතක නොකළයුතු වේ. ඒ තරම් දීර්ඝ සංසාරයක සැරිසරන අපට ඒ අතීතය භවයෙන් වැසී ඇති බැවින් අද භාවනාව සාර්ථක වේ දැයි සැක සිතේ. එසේ සැක කළයුතු නොවේ. සියලු දෙනා අතීත ආත්මභාවයන්හි සිත දියුණු කර අහසින් වුව ද ගමන් කර ඇතුවාට සැක නැත. ඒ අතීත සිතේ ශක්තිය වර්තමානයේ තමන් අවදි කරගන්නේ යැයි අදිටන් කරගෙන භාවනාව ආරම්භ කළයුතු වේ.

භාවනාවක් ආරම්භ කිරීමට පෙර නිසි වටපිටාවක් සකස් කරගැනීම වඩාත් හිතකර වේ. ශාන්ත පරිසරයක ආරම්භ කරන භාවනාව වඩාත් සාර්ථක වේ. පළමුවෙන්ම භාවනාව ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන තැනැත්තා ඒ සඳහා තමාට සමීප විහාරස්ථානයකට වැනි තැනකට ගොස් ආරම්භ කරන්නේ නම් සුදුසු වේ. රුවන්වැලි සෑ මලුව වැනි වඩාත් පුණ්‍යවන්ත භූමියක භාවනාව ආරම්භ කරන සැදැහැවතුන් ද සිටී. එබඳු තැනකින් ආරම්භ නොකළේ ද තමාගේ නිවසේ බුදු කුටියක් ඇත්නම් එතැන, නැතිනම් නිසසල රුක් සෙවනක් වැනි තැනක් තෝරාගැනීම වඩාත් සුදුසු වේ. බුදුරජාණන් වහන්සේ ද නිතර භාවනාව ආරම්භ කරන ආකාරය දේශනා කරන්නේ ‘අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා’ යනුවෙනි. එහෙත් අපට ආරණ්‍ය වලට යාමට විවේක නැහැ යි ප්‍රමාද විය යුතු නොවේ. තමාගේ නිදන කාමරය වුවද භාවනාවට සුදුසු පරිසරයක් බවට පත් කරගත හැකි වේ.

ඒ සඳහා කලබලකාරී මහජනයා හැසිරෙන තැනකින් වෙන්වූ පරිසරයක් තෝරාගැනීම වැදගත් වේ. වඩාත්ම වැදගත් වන්නේ පිරිසිදු කමයි. තම නිවස තුළම වුවද පිරිසිදු තැනක් සුදුසු වේ. භාවනාව ඇරඹීමට පෙර අවට පරිසරය පිරිසිදු නැති නම් එය පිරිසිදු කරගෙන භාවනාවට වාඩි වීම සුදුසු වේ. ඒ පිළිබඳ කථාවක් ත්‍රිපිටකයේ සඳහන් වේ.

ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දිනක් ආරණ්‍යයක කිසියම් තැනක පළඟක් බැඳගෙන සමාපත්ති සුවයට සම වැදුණූ සේක. එහෙත් ඊට ප්‍රථමයෙන් අවට පිරිසිදු කිරීමේ වත් පිළිවෙත් කිසිවක් නොකළේය. බුදුරජාණන් වහන්සේ දිවැසින් බලා සැරියුත් හිමියන් පරිසරය පිරිසිදු කිරීමේ වත් පිළිවෙත් කිසිවක් නොකර සමවතට සමවැදුණු බව දැක, ඒ බව හැඟවීමට එතැනට වැඩම කර මාහිමියන් ඉදිරිපිට බිම සිරිපා සලකුණු තබා ආපසු වැඩම කළ සේක. සමවතින් නැගී සිටි සැරියුත් මාහිමියෝ බිම ඉතිරිව ඇති බුදුසිරිපා සලකුණු දැක මේ කුමන හේතුවක් නිසා දැයි සිහිපත් කළේය. තමන් වහන්සේ සමවතට සමවැදීමට පෙර වත්පිළිවෙත් කිසිවක් නොකළ නිස, ඒබව දැන්වීමට බුදුපියාණන් වහන්සේ මෙසේ කළබව දැනගෙන, බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බුදුපිරිස අතරට වැඩම කළ සේක. ඒ පිරිස වැඩ සිටියදීම වැඳගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන් සිදු කළ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි සේක. ඉන් පසු කිසිම දිනක උන්වහන්සේ එසේ නොකළ අතර සිවුරු පෙරවීමක් වැනි සුලු කටයුත්තක් නමුත් කිරීමට පෙර අඩු තරමේ පා වලින් බිම පිරිසිදු කිරීමක් හෝ කළ බව සඳහන් වේ.

එබැවින් භාවනා කිරීමට පෙර පරිසරය පිරිසිදු කරගැනීමට පුරුදු විය යුතුය. පරිසරය පිරිසිදු නම් නැවත කිරීමක් අවශ්‍ය නොවේ. එසේම නිවස තුළ වුවද වෙනත් කටයුත්තකට භාවිතා නොකර තැනක් භාවනාවට භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු වේ. එවිට භාවනා කටයුත්ත පිළිබඳ ගරුත්වය ආරක්‍ෂා වේ. නිදන කාමරයේ වුවද නිදන ඇඳ භාවනාවට භාවිතා නොකර වෙනත් ආසනයක් භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු වේ.

අවට පරිසරය මෙන්ම අභ්‍යන්තර ශරීර පිරිසිදුකම ද භාවනාවට අතිශය උපකාරී වේ. එහෙයින් තමාගේ ශරීරය දහදිය, කුණු සහිත නම් දිය නා පිරිසිදු වීමක් හැකි පරිදි කරගත යුතු වේ. තමා හඳින පෙරවන සිවුරු පිරිකර, ඇඳුම් ආදිය අපිරිසිදු නම් පිරිසිදු වස්ත්‍ර පරිහරණය කළයුතු වේ. මෙය ධර්මයෙහි ‘වස්තුවිසදකිරියතාවය’ ලෙස හැඳින්වේ. එනම් අභ්‍යන්තර-බාහිර පිරිසිදු කමයි. භික්‍ෂුන් වහන්සේ නමකගේ නම්, යම් විටෙක කෙස් රැවුලු දිගු නම්, සිරුරේ දහදිය මළ සහිත නම්, අභ්‍යන්තරය අපිරිසිදු වන අතර සිවුරු පිරිකර කිළිටි වී ඇත්නම්, සෙනසුන කිළිටි වී ඇත්නම් බාහිර පරිසරය අපිරිසිදු ය. එබැවින් භාවනාවට පළමුව පිරිසිදු පරිසරයක් තබාගත යුතු වේ.

අභ්‍යන්තර පිරිසිදු කමේ මීළඟ අවධානය ශීලයට යොමු විය යුතු වේ. ඒ පිළිබඳ ඉහත පැහැදිලි කරන ලදී. එබැවින් තමාත් වටපිටාවත් පිරිසිදු කරගෙන භාවනාව ආරම්භ කරන තැනැත්තා ශීලය අපිරිසිදු නම් නැවත පිරිසිදු ශීලය අදිටන් කරගෙන ආරම්භ කළයුතු වේ. එසේ පිරිසිදු පරිසරයක, පිරිසිදු ශීලයක් සහිතව භාවනාවට වාඩි වන තැනැත්තා වඩාත් වැදගත් කටයුත්තකට හිඳගන්නා බව සිහිපත් කරගත යුතු වේ. භාවනා කිරීම යනු ඕනෑවට එපාවට කළයුතු දෙයක් නොව මහත් ඕනෑකමින් කළයුතු දෙයකි. එබැවින් තමන් නිවන් දැකීම සඳහා හේතු වන, ජීවිතයේ තමන් කරන වැදගත්ම කටයුත්තට හිඳගන්නේ යැයි සිතාගෙන භාවනාව පිළිබඳ ගෞරවයෙන් යුතුව හිඳගත යුතු වේ. ඒ තුළින් භාවනාවේ සාර්ථකත්වය පිළිබඳ විශ්වාසයක් ගොඩ නැඟේ. විශ්වාසයකින් තොරව සිදු කරන භාවනාව සාර්ථක නොවේ.

භාවනාව සඳහා හිඳගන්නා ඉරියව්ව ද වැදගත් වේ. වඩාත්ම සුදුසු වන්නේ බිම හිඳගැනීමයි. පිරිසිදු පැදුරක්, පත්කඩයක් වැනි දෙයක් දමාගෙන, අවශ්‍ය නම් වඩා සුවපහසු නැති කුෂන් මෙට්ටයක් වැනි දෙයක් භාවිතා කර, බද්ධපර්යංකයෙන් වාඩි වීම වඩාත් සුදුසු වේ. සුවපහසු වැඩි කුෂන් මෙට්ට ආදිය භාවිතා කිරීමෙන් සිත නිදිබර ගතියකට හැරීමට ඉඩ තිබේ. බද්ධපර්යංකයෙන් වාඩි විය නොහැකි තැනැත්තා පහසු ආකාරයකට වාඩි විය යුතුය. එහෙත් පිට කොන්ද යමකට හේත්තු කිරීම එතරම් සුදුසු නොවේ. කොන්දේ දැඩි වේදනා ආදිය ඇති අයෙක් හැරපියා එසේ හේත්තු වීමෙන් භාවනාවේ දියුණුවට බාධා ඇති වේ. සිත නිදිබර ගතියකට හැරීමට ඉඩ තිබේ. බිම හිඳගැනීම අපහසු අය වඩා උස් නොවූ, හොඳින් දෙපය බිම තබාගෙන සිටිය හැකි පුටුවක වුවද හිඳගෙන භාවනා කිරීම සුදුසු වේ. බිම හිඳගැනීමට පුරුදු වන්නේ නම් එය බොහෝ හිතසුව පිණිස වේ. භික්‍ෂුවකට නම් පැය කිහිපයක් බිම හිඳගෙන සිටීමේ හැකියාව තිබිය යුතු වේ.
පහසු ආකාරයකට වාඩි වී ඉන්පසු තමා මොහොතකට අවට පරිසරයෙන් ඉවත්ව භාවනාවට යොමු විය යුතු වේ. නිවසේ ඇති කටයුතු, රැකියාවේ වගකීම්, ව්‍යාපාර කටයුතු ආදිය සිතෙන් තාවකාලිකව බැහැර කොට සිත සියලු බැඳීම් වලින් තාවකාලිකව වෙන් කරගත යුතු වේ. භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පූර්වකෘත්‍යයක් සිදු කර තමාගේ සිත භාවනාවට යොමු කරගැනීම වඩාත් ප්‍රතිපලදායක වේ. පූර්වකෘත්‍යය සිදු කරන අන්දම මීළඟට සලකා බලමු.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 3. භාවනාවට සූදානම් වීම – ශීලය පිරිසිදුකර ගැනීම