හැඳින්වීම

සියලු ලෝ සත කෙරෙහි පතල මහාකරුණා ඇති මහාසත්ත්වයෝ අත්ලට පැමිණි රහත් පදවි අළුයම මුවින් හෙලා ලූ කෙළ පිඬක් සේ බැහැර කොට බුදු පදවි පිණිස පැරුම් දම් පුරා ගෙන විත් ලොව්තුරු බුද්ධ රාජ්‍යයට පත් වී වදාරන්නාහ. එසේ බුදු බැව් පැමිණ සියක් වසක් වියැළී ගිය බිමකට මහ වැසි වස්වා පොඟා දමන්නා‍ සේ එකොළොස් ගින්නකින් දැවෙන ලෝ සත සිත් විඩා දුරු කරවමින් දහම් වැසි වස්වා වදාරණ සේක.

සසර ගින්නෙන් දැවෙන සත්ත්වයෝ මෙය මොක් මඟය. මෙය මොක් මඟය යැයි පවසමින් හිස ගිය ගිය දෙස දිවයනුයේ විවිධ මිස දිටු ගන්නාහ. අනන්ත සක්වල අපරිමාණ සත්ත්වයන්ගේ සිත් සතන් තුළ පහළ වන මේ අනේක විධ මිසදුටු කැටිකොට තථාගතයෝ ගණනින් දෙසැටක් කොටම වදාරණ සේක. දීඝාගමයෙහි බ්‍රහ්මජාල සුතුර ලෙස පැමිණියාහු මෙසේ වදාළ දෙසැටක් මිසදිටුහුම වෙත්.

මෙලොව කේවල පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නා වූ මේ බුදු සස්නෙන් බැහැරව යම්ම සත්ත්ව කෙනෙක් මොක් මගක් දක්වනුයේ නම් ඒ සියලු මොක් මං මේ දෙසැටක් මිස දුටු තුළටම බැසගන්නාහ. ඉදින් යමෙක් පිරිසිඳු බුදු වදන මෙයැයි කියමින් සස්නෙන් බැහැර වූවක්ම ප්‍රකාශ කෙරෙයි නම් එබඳු මත ද මේ දෙසැටක් මිස දුටු තුළටම ඇතුළත්ව සිටින්නාහ.

එබැවින් පිරිසිඳු සස්න දැක ගැන්මට රිසි කුල පුතුන් විසින් මේ දෙසැටක් මිසදිටු පිළිබඳව තරමක හෝ අවබෝධයක් ලබා ගත යුත්තාහ. එවිට යම් යම්ම මතයක් නිවරදි මෝක්ෂ මාර්ගය ලෙස කිසිවෙක් ප්‍රකාශ කළ ද මතු කියැවෙන දෘෂ්ටීන් හා ඒ මත සසඳා ඒ දෘෂ්ටීන් තුළට යම් මතයක් බැස ගනීද ඒ මතය හැරලීමට පැණැතියන්ට හැකිවන්නේය.‍

මෙකී දෙසැටක් වූ මිසදුටූන්ගේ පූර්ණ අරුත් පැවසීම නම් අපට තබා දම් සෙනෙවි සැරියුත් තෙරුන්ටද නොහැකි වැඩකි. මක්නිසාද යත් මෙය බුද්ධ විෂයම වන බැවිනි. යම් සේ එක්ලක්ෂ සැටදහසක් යොදුන් අයමින් විතරින් වූ මහමෙර අසල රජස් රථ රේණුව මාත්‍රයක්ම වන්නේ ද එසේම දම් සෙනෙවියන් වහන්සේගේ ඥානය අභියස අපගේ ඥානය රජස් රථරේණුව තරම්වත් නොවන්නේය. එබැවින් පිටකාර්ථකථා ටීකාවන්හි පැමිණි ක්‍රමයෙන් අපගේ යථා ශක්තියෙන් එකී දෙසැටක් මිසදිටු පිළිබඳ විස්තර වර්ණනාවක් මෙසේ ලිපි පෙලක් මගින් දක්වන්නෙමු. මේ ලිපි පෙල කියවන්නන් හට දෙසැටක් මිසදිටු පිළිබඳ මූලික අවබෝධයක් ලැබෙනු ඇත. අතිරේක දැනුම කැමතියන් අර්ථකථා ටීකා හා පැරණි සංග්‍රහ ග්‍රන්ථ කියවා දත යුතුය. එසේ සියලු සත්ත්වයෝ මෙකී දෘෂ්ටි ජාලයන් පිළිබඳව අවබෝධය ලබා ගෙන ඒ දෘෂ්ටිජාල විධ්වංසනය කොට දෘෂ්ටි රාග රහිත හෙයින් විරාග වූ ද සියලු දෘෂ්ටි නිරුද්ධ වන හෙයින් නිරෝධ වූ ද ශාන්ත ප්‍රණීත නිවනට පැමිණෙත්වායි පතම්හ.

-මහාවිහාරය-

බ්‍රහ්මජාල සූත්‍රයෙහි පැමිණි දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් පිළිබඳ විස්තර කෙරෙන මෙම ලිපි පෙළෙහි මෙම ආරම්භක ලිපියෙන් සූත්‍ර නිදාන ආදියද සිව්මහා බුද්ධ ගර්ජනාවන් පිළිබඳව ද විස්තර කරන්නෙමු.

සිව්මහා බුද්ධ ගර්ජනා

බ්‍රහ්මජාල සූත්‍ර නිදානය‍

එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් බික් සඟන පිරිවරා රජගහනුවරින් නාලන්දාවට පිටත් වූ සේක. එසමයෙහි සුප්‍රිය පිරිවැජි තෙමේ ද තමන්ගේ බ්‍රහ්මදත්ත මානවක ප්‍රමුඛ අතවැසි පිරිස සමඟ එසේම නාලන්දාවට පිටත් වූයේය. එවිට සුප්‍රිය පිරිවැජි තෙමේ ඉදිරියෙන් යන්නා වූ බුදු පිරිස බලමින් බ්‍රහ්මදත්ත මානවක හට බුදුන්ගේත් දහමුන්ගේත් සඟුන්ගේත් අගුණ කියයි.

මෙසේ අනුක්‍රමයෙන් අම්බලට්ඨික ද්වාරයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ හිරු අස්තයට ගිය බැව් දැන එම නගර ද්වාරයට අභිමුඛ වූ ප්‍රාකාරයෙන් වටකළ රජ උයනෙහි වූ විවිධ චිත්‍රවලින් අලංකාරය කර තිබූ රජුට ක්‍රීඩා කිරීම පිණිස තැනූ ගෘහය හෙයින් “රාජාගාරක” නම් ශාලාවට පිවිසි සේක.

සුප්‍රිය පිරිවැජිතෙමේ ද තම පිරිසෙහි කුඩා මහල්ලන් සිටින බැවින් ද මාර්ගය සොර සතුරන්ගේ බිය ඇති හෙයින් ද බුදුන් වසන තැන දෙවිවරු රක්ෂා කරන හෙයින් ද ඒ උයනටම පිවිස එක් පසෙක තම පිරිවර සමඟ සිටියේය. හෙතෙමේ බුදුන්ගේ බුද්ධශ්‍රීය දැක උපන් ඊර්ෂ්‍යා ඇත්තේ නැවත බ්‍රහ්මදත්ත අතවැසි හට බුදුන්ගේත් දහමුන්ගේත් සඟුන්ගේත් අගුණ කියයි.

බ්‍රහ්මදත්ත අතවැසි තෙමේ “මගේ ආචාර්ය තෙමේ ගිණි අඟුරු ගිලින්නාක් මෙන් රතනත්‍රයේ අගුණ කියයි. රතනත්‍රයේ අගුණ කියන තැනැත්තේ කිසියම්ම ව්‍යසනයකට පැමිණෙන්නේය. ආචාර්යවරයා නරකයට පනින කල අන්තේවාසිකයාද පැනීම කළ යුතු නොවේ යැයි” සිතා පෙරළා රතනත්‍රයේ ගුණ කියයි. මොවුන් දෙදෙනාගේ මේ දෙබස් ඇසූ භික්ෂූන් වහන්සේලා පසුදින අළුයම මණ්ඩලමාල ශාලාවේ රැස්ව සිටියාහු “ඇවැත්නි, ආශ්චර්යය. අත්භූතය. සත්ත්වයන්ගේ ආසය අනුසය දන්නා වූ ද සියලු ඥෙය්‍ය ධර්ම දකින්නා වූ ද භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ගේ නා නා අධිමුක්තිය (නා නා අදහස්) මැනවින් අවබෝධ කළ බව මේ සුප්‍රිය පිරිවැජියාගේ හා බ්‍රහ්මදත්ත මානවකයාගේ සංවාදයෙන් මැනවින් පෙනේ යැයි බුදු ගුණ වර්ණනා කරමින් සිටියහ.

මහාකාරුණිකයන් වහන්සේ එදින අළුයම සර්වඥතාඥාන සංඛ්‍යාත බුද්ධ චක්ෂුවෙන් ලෝකය බලන සේක් භික්ෂූන්වහන්සේලාගේ මෙම අල්ලාප සල්ලාපය පිළිවිදි සේක. එසේ දැන මණ්ඩල ශාලාවට වැඩම කොට පනවන ලද වර බුද්ධාසනයෙහි වැඩ හිඳි සේක්, “මහණෙනි, මා මෙහි පැමිණීමට පෙර තොප කවර කථාවකින් යුතුව සිටියාහුද ? මාගේ පැමිණීමෙන් තොපගේ කවර නම් කථාවෙක් අඩාල වී දැයි පිළිවිසි සේක්, භික්ෂූහු “වහන්ස, මෙනම් කථාවෙනැ”යි සියලු පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කර සිටියහ.

තිසරණයෙහි අගුණ අසන කල‍

එවිට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මෙලොවෙහි යමෙක් බුදුහුගේත් දහමුන්ගේත් සඟුන්ගේත් අගුණ කියන්නේ නම් එවිට නොසතුටට පත් වන කුපිත වන නුඹලාටම එය කරණ කොට ගෙන අන්තරාය වන්නේය. එවිට නුඹලා ඒ පර බස සත්‍යයක දැයි අසත්‍යයක දැයි දැනගන්නාහු දැයි” අසා වදාළ සේක. “වහන්ස, නො දත හැකැයි” භික්ෂූහු පිළිවදන් දුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවිට නුඹලා ඒ අභූතය අභූතය ලෙස විසඳාලිය යුතුය. මේ අභූත වූ අසත්‍ය වූ ව අප කෙරෙහි විද්‍යමාන නොවේ යැයි විසඳාලිය යුතු යැයි වදාළ සේක.

තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් “මහණෙනි, මෙලොවෙහි යමෙක් බුදුහුගේත් දහමුන්ගේත් සඟුනගේ ගුණ කියන්නේ නම් එවිට සතුටු වන උස්ව නැඟුණු ප්‍රීති ඇති නුඹලාට එය කරණය කොට ගෙන අන්තරාය වන්නේය. මහණෙනි, එහිලා නුඹලා ඒ භූතය භූතයක් ලෙසට ප්‍රතිඥා කළ යුත්තාහ. මේ භූත වූව සත්‍ය වූව අප කෙරෙහි විද්‍යමාන වේ යැයි ප්‍රතිඥා කළ යුතු යැයි” වදාළ සේක.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මෙලොවෙහි පෘථග්ජන තෙමේ බුදුහුගේ ගුණ වයනුයේ අල්පමාත්‍ර වූම ශීල ගුණය දැක ගුණ වයයි. කවර ගුණයකදැයි විමසා සූත්‍රයෙහි පැමිණි ක්‍රමයෙන් චූළ ශීලය, මධ්‍යම ශීලය, මහා ශීලය වදාළ සේක.

උත්තරීතර සර්වඥතා ඥානය

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පෘථග්ජන වූ බ්‍රහ්මදත්ත මානවකයාගේ ගුණ වර්ණනාවට හේතු වූ ඔහු දත් බුදු ගුණ වදාරා අනතුරුව මණ්ඩලමාලයේ වැඩහුන් භික්ෂූන් වර්ණනා කළ අන්‍ය සත්ත්ව අසාධාරණ වූ පරම ගම්භීර වූ පරමුත්තරිය වූ සර්වඥතා ඥානයාගේ ගුණමහත්වය වදාරණ සේක්, “මහණෙනි, මෙලොව යම්හු තථාගතයන් වහන්සේගේ යථාභූත ගුණ මැනවින් කියන්නාහු නම්, ඔවුන් විසින් කිවයුතු වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විශේෂ නුවණින් දැන ප්‍රකාශ කරන්නා වූ මහසමුදුර සේ ගම්භීර වූ, ගම්භීර බැවින්ම දැකීමට දුෂ්කර වූ, එබැවින් ම අවබෝධයට පහසු නොවූ, සියලු ක්ලේශ පරිළාහයන් සන්සිඳුණා වූ, අමාරස පරයා ප්‍රණීත වූ, තර්කයට හසු නොවන්නා වූ, ඉතා සියුම් වූ, නුවණැත්තන් විසින් ම දත යුතු වූ තවත් ‘ධර්මයෝ’ ඇත්තාහ” යනුවෙන් වදාළ සේක. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ එකක් වූ සර්වඥතා ඥානය “ධර්මයෝ” යන බහුවචන පදයෙන් කුමක් හෙයින් වදාළේද යත්, දසබල ඤාණ, චතුවෛසාරද්‍ය ඥාන ආදී අනෙකුත් බුද්ධ ඥාන වනාහි එක් එක් අනුරූප වූ අදාළ වූ විෂයක් අරමුණු කරන සදුපදේශ ඥානයෝය. නමුදු මේ සර්වඥතාඥාන තෙම වනාහි සියලු ආරම්මණයන්හි පවත්නා හෙයින් නිශ්ප්‍රදේශ ඥානය වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානයාගේ සර්වාරම්මණතාවය සලකා මෙහි “ධර්මයෝ” යන පදය බහුවචනයෙන් වදාළ සේක.

සූත්‍රයෙහිදී සර්වඥතා ඥානයේ ප්‍රභේද දේශනා නොකළේ මන්ද?

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ සර්වඥතා ඥානයාගේ ගුණ වදාරණ සේක් එහි ප්‍රභේද වූ සත්‍ය ඥාන, පටිච්චසමුප්පාද ඥාන ආදී වශයෙන් ඥාන ප්‍රභේද නොවදාරා, “මහණෙනි, මෙලොව ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත” යනාදී වශයෙන් ඒ සර්වඥතා ඥානයෙන් දක්නා දේ වදාළ සේක.

එයට හේතු කිමෙද යත්, සතර ස්ථානයකට පැමිණ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ මහත් වූ ධර්ම ගර්ජනාවක් පවතින්නාහ. දේශනා කළ යුතු වූ ධර්මයාගේ අර්ථවල අනේකවිධ බැවින්ද, දුරානුබෝධ බැවින්ද නොයෙක් න්‍යායන්හි පවත්නා වූ ‍බොහෝ ප්‍රභේද සහිත වූ ඒ දේශනාව ධර්ම ගර්ජනාවක් වන්නේය. තවද ඒ සතරස්ථානවල විෂය ප්‍රභේදයන්හි ඥානය බැසගෙන පවතින්නේය. තවද ඒ සතර ස්ථානයන්හි දේශනා ඥානයාගේ ද ප්‍රතිවේධ ඥානයාගේ ද මහත් උදාර බව ප්‍රකට වන හෙයින් බුද්ධ ඥානයේ මහත්භාවය ද ප්‍රකට වන්නේය. එසේම ඒ සතර ස්ථානයන් පිළිබඳ දේශනාවද ගම්භීර ත්‍රිලක්ෂණ සහිත වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්තද වන්නාහ. ඒ කවර සතරෙක්ද යත්,

  1. විනය පැනවීමෙහි ලා බුද්ධ ගර්ජනාව‍

කෙසේ නම් විනය ශික්ෂාපද පැනවීම බුද්ධ ගර්ජනාවක් වන්නේද? මෙය ලහු ඇවතකි. මෙය ගරු ඇවතකි යයි ද, මෙය පිළියම් සහිත ඇවතකි. මෙය පිළියම් රහිත ඇවතකි යයිද, මෙය ඇවතට පත්වීමකි. මෙය ඇවතට පත් නොවීමක යයි ද, මෙය උපසපන් බවින් චුත කරවන ඇවතකි. මෙය පිළියම් කොට නැගී සිටිය යුතු ඇවතකි. මෙය තවෙකෙක් හමුවෙහි දෙසිය යුතු ඇවතකි යයිද මෙය ලෝකවද්‍ය වූ අකුශල සිතින්ම පත්වන ඇවතකි. මෙය බුද්ධ ආඥාවෙන් පත්වන ප්‍රඥප්තිවද්‍ය ඇවතකි යයි ද වශයෙන් ද, මෙනම් සිදුවීමෙහි මේ ඇවත පැනවිය යුතුය යනාදී වශයෙන්ද යයි මෙසේ හටගත් සිදුවීමෙහි සිකපද පැනවීම ලොව්තුරා බුදුවරයෙකුට හැර අනෙකෙකුට කළ නොහැක්කකි. අන්‍යයන්ට ඒ සඳහා ශක්තියක් නොමැත. එය අන්‍යයන්ට අවිෂය වූවකි. තථාගතයන් වහන්සේටම විෂය වේ. මෙසේ විනය පැනවීමෙහි ලා ලොව්තුරා බුදුවරුන්ගේ බුද්ධ ගර්ජනාව මහත් වේ. බුද්ධ ඥානය ඒ තුළට බැසගෙන පවතී. එයින් බුද්ධ ඥානයේ මහත්භාවය ද ප්‍රකට වේ. ඒ දේශනාවද ගැඹුරු වුවක් ත්‍රිලක්ෂණ සහිත වූවක් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවක් වෙයි.

  1. භූම්‍යන්තරයෙහි ලා බුද්ධ ගර්ජනාව

භූමි අන්තරය වනාහි ධර්මයන්ගේ අවස්ථා විශේෂය ද ස්ථාන හෙවත් භූමි විශේෂය ද යනුවෙන් දෙවැදෑරුම් වේ. එහි අවස්ථා විශේෂය නම් සති, විරිය ආදී ධර්මයන්ගේ ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග ආදී වශයෙන් ඇති ක්‍රියාත්මක වන ආකාරයාගේ වෙනසයි. ස්ථාන විශේෂය හෙවත් භූමි විශේෂය නම් කාමාවචර, රූපාවචර ආදී භූමි භේදයයි.

මෙසේ මේ ධර්මයෝ නම් සතර සතිපට්ඨානයෝය, සම්‍යක් ප්‍රධානයෝය, ඉන්ද්‍රියෝය, බලයෝය ආදී වශයෙන් බෝධිපාක්ෂික ධර්මයෝ ද, මේ ධර්මයෝ පංචස්කන්ධයෝය, දොළොස් ආයතනයෝය, අටළොස් ධාතුහුය, චතුරාර්ය සත්‍යයෝය, දෙවිසි ඉන්ද්‍රියෝය යනාදී වශයෙන් ද ඒ දහමුන් අතුරින් මේ ධර්මයෝ කාමාවචරයෝය, මේ ධර්මයෝ රූපාවචරයෝය යනාදී වශයෙන් ද මේ ධර්මයෝ ලෞකිකයෝය, මේ ධර්මයෝ ලෝකෝත්තරයෝය යනාදී වශයෙන් ද යයි මෙසේ සූවිසි පට්ඨාන නය සහිත වූ අනන්ත නය සමන්වාගත වූ අභිධර්ම පිටකය බෙද බෙදා දේශනා කිරීමට ලොව්තුරා බුදුවරයෙකුට හැර අන්‍යයෙකුට හැකියාවක් හෝ බලයක් හෝ නැත. එය අන්‍යයන්ට අවිෂය. එය තථාගතයන් වහන්සේටම විෂය වූවකි. මෙසේ භූමන්තරය දේශනා කිරීමෙහි ලා ලොව්තුරා බුදුවරුන්ගේ බුද්ධ ගර්ජනාව මහත් වේ. බුද්ධ ඥානය ඒ තුළට බැසගෙන පවතී. එයින් බුද්ධ ඥානයේ මහත්භාවය ද ප්‍රකට වේ. ඒ දේශනාවද ගැඹුරු වුවක් ත්‍රිලක්ෂණ සහිත වූවක් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවක් වෙයි.

  1. පටිච්චසමුප්පාදය දැක්වීමෙහි ලා බුද්ධ ගර්ජනාව

එසේම දොළොස් වැදෑරුම් පටිච්චසමුප්පාද ධර්මයන්ට පැමිණ “යම් මේ අවිද්‍යාවක් වේද එය සංස්කාරයන්ට ඉපදීම් වශයෙන් ප්‍රත්‍ය වේ. පැවතීම් වශයෙන් ප්‍රත්‍ය වේ. නිමිත්ත වශයෙන් ප්‍රත්‍ය වේ. ආයූහණ වශයෙන් ප්‍රත්‍ය වේ. සංයෝග වශයෙන් ප්‍රත්‍ය වේ. පළිබෝධ වශයෙන් ප්‍රත්‍ය වේ. සමුදය වශයෙන් ප්‍රත්‍ය වේ. හේතු වශයෙන් ප්‍රත්‍ය වේ. ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වේ.” යනාදී නව ආකාරයකින් දක්වා එසේම සංඛාර ආදිය විඤ්ඤාණ ආදීන්ට නව නව ආකාරවලින් ප්‍රත්‍ය වන සැටි ත්‍රි අංග ත්‍රි සන්ධි චතු සංඛේප වීසති ආකාර පටිච්චසමුප්පාදය බෙද බෙදා දේශනා කිරීමට ලොව්තුරා බුදුවරයෙකුට හැර අන් අයෙකුට හැකියාවක් හෝ බලයක් නැත. එය තථාගතයන් වහන්සේටම විෂය වූවකි. මෙසේ පටිච්චසමුප්පාද දේශනාවට පැමිණ ලොව්තුරා බුදුවරුන්ගේ බුද්ධ ගර්ජනාව මහත් වේ. බුද්ධ ඥානය ඒ තුළට බැසගෙන පවතී. එයින් බුද්ධ ඥානයේ මහත්භාවය ද ප්‍රකට වේ. ඒ දේශනාවද ගැඹුරු වුවක් ත්‍රිලක්ෂණ සහිත වූවක් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවක් වෙයි.

  1. සමයාන්තර දැක්වීමෙහි ලා බුද්ධ ගර්ජනාව

එසේම මෙලොවෙහි පුද්ගලයෝ සතර දෙනෙක් ශාස්වතවාදීහු වෙත්, පුද්ගලයෝ සතර දෙනෙක් ඒකච්ච ශාස්වතවාදීහු වෙත් ආදී වශයෙන් ද ඔවුහු මේ හේතුවෙන් මේ දෘෂ්ටියට පැමිණුනාහුය යනාදී වශයෙන් ද ලොව ඇති තාක් සත්ත්ව සන්තානයන්හි ද අතීතයෙහි සත්ත්ව සන්තානයන් තුළ උපන්නා වූ ද අනාගතයෙහි සත්ත්ව සන්තානවල උපදින්නා වූ ද සියලු දෘෂ්ටීන් දෙසැට වැදෑරුම් කොට නිරවුල් කොට දක්වා දේශනා කිරීමට ලොව්තුරා බුදුවරයෙකුට හැර අන්‍යයෙකුට හැකියාවක් හෝ බලයක් නැත. එය තථාගතයන් වහන්සේටම විෂය වූවකි. මෙසේ සමයාන්තර දේශනාවට පැමිණ ලොව්තුරා බුදුවරුන්ගේ බුද්ධ ගර්ජනාව මහත් වේ. බුද්ධ ඥානය ඒ තුළට බැසගෙන පවතී. එයින් බුද්ධ ඥානයේ මහත්භාවය ද ප්‍රකට වේ. ඒ දේශනාවද ගැඹුරු වුවක් ත්‍රිලක්ෂණ සහිත වූවක් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවක් වෙයි.‍

මෙසේ මේ සතර ස්ථානයන්ට පැමිණ ලොව්තුරා බුදුවරුන්ගේ බුද්ධ ගර්ජනාවෝ වන්නාහ. මේ බ්‍රහ්මජාල සූත්‍රයෙහිද සමයාන්තර දැක්වීමට පැමිණ මහත් වූ බුද්ධ ගර්ජනාවක් වන බැවින් භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානයෙහි ප්‍රභේද දේශනා නොකොට ඊට අරමුණු වන්නා වූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් දේශනා කිරීම් වශයෙන් “මහණෙනි, මෙලොව ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත” යනාදී වශයෙන් සමයාන්තර බුද්ධ ගර්ජනාව ආරම්භ කොට වදාළ සේක.

මීළඟ ලිපියෙන් අපි දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීහු කවරහුද ඒවා සඳහා අර්ථකථා ටීකාවන්හි පැමිණි ක්‍රමයෙන් වචනාර්ථ ද පවසන්නෙමු.

නෙළුම්ගල මහා විහාරවාසී,

හික්කඩුවේ ඤාණවිහාරීී හිමි