කිසියම් කුසල් අරමුණක සිත අඛණ්ඩව පවත්වාගැනීම භාවනාව ලෙස ඉහත දක්වන ලදී. ඒ අනුව භාවනාවක දී සිදුවන්නේ කිසියම් කමටහනක සිත පවත්වා ගැනීමයි. කමටහනක් ලෙස හැඳින්වෙන්නේ භාවනා අරමුණක් යන්නයි. මෙම වචන වලට බිය විය යුතු නොවේ. ඇතැම් කෙනෙක් ‘කමටහන්’ යැයි ඇසුණු සැනින්ම ‘ඕවා අපට කළ හැකි වැඩ නොවේ. ඕවා කරන්නට ආරණ්‍ය වලට යන්න ඕනෙ’ යැයි සිතා බියට පත් වේ. එහෙත් මෙම ලිපි පෙලින් අදහස් කරන්නේ ඉතා සරලව භාවනාව පැහැදිලි කර දීමයි. ඒ නිසා බියට පත්විය යුතු නොවේ. යමෙක් යම් භාවනා අරමුණක් සිහි කරන්නේ නම් එය කර්මස්ථානයක් ලෙස ධර්මයේ සඳහන් වේ.

භාවනාවට යොදා ගන්නා සමථ කමටහන් 40ක් පිළිබඳව ඉහත පැහැදිලි කර දෙන ලදී. විශුද්ධි මාර්ගයේ මෙම කමටහන් එකිනෙක චරිත වලට බෙදා දක්වා තිබේ. බුදුරජාණන් වහන්සේ මේඝිය සූත්‍රයේ දී ඒ බව දේශනා කොට ඇත. ඒ අනුව තමාට සුදුසු භාවනා කමටහන තෝරා ගැනීමට ගුරු උතුමකු ඇසුරු කළ යුතු වේ. එසේ නොමැති නම් එකිනෙක භාවනා අරමුණු ටික කලක් වඩා පරික්‍ෂා කරළ යුතු වේ. මෙකල නිසි පරිදි භාවනා කමටහනක් නිවැරදිව ලබාගැනීමට හැකි ගුරු උතුමන් සුලබ නොවේ. ඒ නිසා නිවැරදිව ධර්මයේ පරිද්දෙන් භාවනාව කියා දෙන පොතකින් පතකින් වුවද තොරතුරු ලබාගැනීම වැදගත් වේ.

චරිතානුකූලව භාවනා කමටහන් වඩාත් සුදුසු වන ආකාරය විශුද්ධිමාර්ගයේ දැක්වෙන්නේ මෙසේ ය. රාග චරිතයාට දස අසුභ භාවනා සහ කායගතාසති භාවනාව යන භාවනා කර්මස්ථාන එකොළොස (11) සුදුසු වේ. ද්වේෂ චරිතයාට සතර බ්‍රහ්මවිහාර භාවනා සහ වර්ණ කසිණ භාවනා සතර යන භාවනා කමටහන් අට (8) සුදුසු වේ. මෝහ චරිතයාටත් විතර්ක චරිතයාටත් ආනාපානසති භාවනාව සුදුසු වේ. ශ්‍රද්ධා චරිතයාට සුදුසු වන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති යන භාවනා කමටහන් සය (6) වේ. බුද්ධි චරිතයාට මරණානුස්සතිය, උපසමානුස්සතිය, චතුධාතු වවත්ථානය, ආහාරයේ පටික්කූල සංඥාව යන භාවනා සතර (4) වඩාත් සුදුසු වේ. සෙසු කසිණ සහ සතර අරූප ධ්‍යාන සියලු චරිතයන්ට සුදුසු වේ.

මෙම වර්ග කිරීම දක්වා ඇත්තේ එකිනෙක පුද්ගලයාට වඩාත් සුදුසු ආකාරය අනුව වේ. එහෙත් ඕනෑම කෙනෙකුට නුසුදුසු භාවනාවක් නම් නැත. අනෙක් අතට තමන් කෙබඳු චරිතයක් ද යන්න තමන්ට තනිවම තෝරා ගැනීම අපහසු වේ. පළපුරුදු ගුරු උතුමන් වහන්සේලා එය දැනගෙන සුදුසු කමටහනක් තෝරා දෙති. ඇතැම් කෙනෙකුට මෙම භාවනා කමටහන් කිහිපයක් වැඩීම උපකාරී වේ. එය කිසියම් පිළිවෙලකට කළයුතු වේ. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට කමටහන් සතක් උගන්වා වදාළ සේක. මේඝිය ස්වාමින් වහන්සේට දේශනා කළේ තවදුරටත් රාගය ප්‍රහාණය කිරීමට අසුභයත්, ව්‍යාපාදය හෙවත් තරහව ප්‍රහාණය කිරීමට මෛත්‍රියත්, විතර්ක සංසිඳවීම පිණිස ආනාපානසතියත්, තමා කෙරෙහි ඇති අස්මිමානය දුරු කිරීමට අනිත්‍ය සංඥාවත් වැඩිය යුතු බවයි. ඒ නිසා ඇතැම් කෙනෙකුට නිවන් දැකීම පිණිස භාවනා ක්‍රම කිහිපයක උපකාරය වැදගත් විය හැකිය.

මේ කවර ආකාරයේ හෝ භාවනාවක් ආරම්භ කරන තැනැත්තා පළමුව සතර කමටහන් වඩා ආරම්භ කිරීම වැදගත් වේ. භාවනාවේ යෙදෙන පුද්ගලයාට නොයෙක් කරදර බාධක ඇති විය හැකිය. ඒ කරදර අතරින් සිත දුර්වල වීම වැදගත් වේ. ඒ සියල්ලටම පිළිසරණක් වන, යෝගියාට විශේෂයෙන් ආරක්‍ෂාවක් ලබා දෙන භාවනා අරමුණු සතරක් (4) සතර කමටහන් ලෙස හැඳින්වේ. එනම් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය සහ මරණානුස්සතියයි. එබැවින් මෙම ලිපි මාලාවේ පළමුව බුද්ධානුස්සතිය වඩන ආකාරය විස්තර කෙරේ.

බුද්ධානුස්සති භාවනාව

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ අප ශාස්තෘන් වහන්සේය. උන්වහන්සේ බුද්ධත්වයට පත් නොවන්නට ලෝක සත්වයාට සසර දුකින් මිදීමට කිසිදු පිළිසරණක් නැත්තේය. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියතවිවරණ ශ්‍රී ලැබූ දා සතරපද ගාථාවක් අසා රහත්බව ලැබීමට තිබූ උන්වහන්සේ අප සියලුදෙනා කෙරෙහි මහා කරුණාවෙන් බොහෝ කලක් අනේක දුකට පත්ව බුද්ධත්වයට පත්වූ සේක. ඒ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය අප උන්වහන්සේ කියා දුන් මඟ ගමන් කරමින් නිවන් දැකීමට උත්සාහවත් වන ශ්‍රාවකයෝ ය. ඒ අපගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවෙන් සිදු වේ.
බුද්ධානුස්සති භාවනාව කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා පළමුව තමාගේ කය පිරිසිදු කරගැනීම ආදිය සිදුකොට භාවනාවට සුදුසු ස්ථානයක පහසු ඉරියව්වකින් වාඩි විය යුතුය. මෙහි දී භාවනාවට නිස්කලංක, විවේකී පරිසරයක් තෝරාගතයුතු බව ඉහත දක්වන ලදී. බුද්ධානුස්සති භාවනාව වැඩීමට බුද්ධ මන්දිරයක් ආදිය වඩාත් සුදුසු වේ. එවන් තැනක් නොමැති නම් පහසු විවේකී ස්ථානයක වාඩි විය හැකි වේ.

පහසු ඉරියව්වකින් වාඩි වූ පසු මොහොතක් සියලු බැඳීම් සිතින් ඉවත් කරමින්, ගෙදර දොර වගකීම්, ව්‍යාපාර වගකීම්, රැකියාවේ කටයුතු ආදිය අමතක කර දමා තමාගේ කය මෙනෙහි කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා සිතෙන් මෙනෙහි කරන විට පුදුමාකාර පහසුවක්, සැහැල්ලුවක් ඇති වේවි. ඉන්පසු ඒ සැහැල්ලුව, සැනසීම දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාවෙන් බව සලකන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, ලෝකසත්වයාට දහම් දේශනා නොකළේ නම්, තමාට අද භාවනා කිරීමට උපදෙස් ලබා දෙන්නට කෙනෙක් නැත. ඒ නිසා මේ භාවනාව පිළිබඳ නිවැරදි උපදෙස් ලබාගෙන වාඩි වී ලබන සැනසුම බුදුරජාණන් වහන්සේ නිසා පහළ වූ දෙයක් මිස අන් කිසිවක් නිසා නොවේ. ඒ බව සිහිපත් කරගෙන ඒ ශාස්තෘ බුදුරජාණන් වහන්සේට මල් ආසනයක් මත තැබූ මලක් පූජා කරන්නා සේ තමාගේ ජීවිතයෙන් පූජා කරන්න. ඉන්පසු තමා දැක පුරුදු වඩාත් සිත ඇලුම් කළ බුද්ධ රූපයක් සිතෙන් මතක් කරගෙන පළමුව කෙටියෙන් බුදුගුණ මෙනෙහි කළ යුතුය.

මෙහි දී බුද්ධරූපයක් සිතෙන් මවා ගැනීම තේරුමක් නැති වැඩක් යැයි ඇතමෙක් පවසනවා ඇත. අපි බුදුරජාණන් වහන්සේ දැකිය යුත්තේ ගුණ වශයෙන් බව සැබෑය. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනාගැනීම පිණිස පළමුව සිත පිහිටුවා ගැනීමට අරමුණක් අවශ්‍ය වේ. ඒ සඳහා බුදුරුවක් සිතෙන් මතක් කරගැනීම සුදුසු වේ. එසේ නොවන්නේ නම් බුදුරජාණන් වහන්සේ උද්දේසික චෛත්‍ය වශයෙන් බුද්ධප්‍රතිමා ආදී චෛත්‍ය වන්දනාමාන කළයුතු බව දේශනා නොකරනවා ඇත. එසේම වර්තමානයේ කිසිදු විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමා නොතිබිය යුතුය. එසේ ඇත්තේ අපගේ සිත පිහිටුවා ගැනීමට කිසියම් අරමුණක් අවශ්‍ය බැවිනි. ඒ නිසා තමන් දැක පුරුදු බුදුරුවක් මතකයට නඟා ගන්න. නැති නම් බුද්ධමන්දිර ආදියකට ගොස් විටෙන් විට බුද්ධ ප්‍රතිමාව දෙස බලමින් ඇස් දෙක පියාගනිමින් ඒ නිමිත්ත සිතට ගනිමින් බුදුගුණ කෙටියෙන් මෙනෙහි කරන්න. ඒ සඳහා කටපාඩම් කරගෙන මෙනෙහි කළහැකි බුදුගුණ පාඨ පළමුව මෙසේ කෙටියෙන් දැක්වේ.

(1) ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනා සහිතව සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලූ සේක. රහසින් වත් පව් නොකළ සේක. සියලු පූජාවන්ට සුදුසු වන සේක. එසේ හෙයින් අරහං නම් වන සේක.
ඒ අරහං ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(2) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සර්ව ධර්මයන් සර්වාකාරයෙන් පරෝපදෙශ රහිතව තමන්වහන්සේම නුවණින් මනාකොට දැන වදාළ සේක. එසේ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක.
ඒ සම්මාසම්බුද්ධ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(3) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වූ සේක. එසේ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම්වන සේක.
ඒ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(4) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සෝභන ගමන් ඇති සේක. සොඳුරු රූප සම්පත්ති ඇති සේක. සොඳුරු වචන ඇති සේක. සොඳුරු වූ නිර්වාණයට නිසි පිළිවෙත් වැඩුමෙන් වැඩිය සේක. එසේ හෙයින් සුගත නම්වන සේක.
ඒ සුගත ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(5) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය යන සියලු ලෝකයන් සර්වාකාරයෙන් දැන වදාළ සේක. එසේ හෙයින් ලෝකවිදූ නම්වන සේක.
ඒ ලොකවිදූ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(6) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ ශීලාදි ගුණයන්ගෙන් අග්‍රගන්‍ය වන සේක. සෙස්සන් විසින් දමනය කළ නොහැකි වූ පුද්ගලයන් දමනය කළ සේක. එසේ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.
ඒ අනුත්තර පුරිසදම්ම සාරථී ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(7) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන් හට ලොවී ලොව්තුරා අර්ථයෙන් අනුශාසනා කළ සේක. එසේ හෙයන් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
ඒ සත්ථා දේවමනුස්සානං ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(8) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් අවබෝධ කොට වදාළ සේක. අන් අයට ද අවබෝධ කරවූ සේක. එසේ හෙයන් බුද්ධ නම් වන සේක.
ඒ බුද්ධ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

(9) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත වූ සේක. සියලු කෙලෙස් සහ පාප ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ විඳ දැමූ සේක. දත යුතු සියලු ධර්මයන් දැන බෙදා සෝභන ධර්මයන් භජනය කළ සේක. එසේ හෙයන් භගවා නම් වන සේක.
ඒ භගවා ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !

මෙසේ කෙටියෙන් මුල සිට අගටත්, අග සිට මුලටත් බුදුගුණ සිහි කරමින් භාවනා කරන්න. එවිට වඩාත් සැහැල්ලු බවක් සිතට දැනේවි. බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් දැනේවි. තමන් මෙනෙහි කරගත් බුදුරුව බොහෝ වේලා මතකයේ තබාගෙන පහසුවෙන් මෙනෙහි කළහැකි වනු ඇත. ඉන්පසු ඒ අරමුණෙහි සිත තබාගෙන විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව වැඩිය යුතු වේ. ඒ පිළිබඳව ඉදිරි ලිපි වලින් පැහැදිලි කිරීමට අපේක්‍ෂා කරමි.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>5. භාවනා පූර්වකෘත්‍යය