අසවල් ප්‍රදේශයේ ගසක ඉදුණු ඵල ඇතැයි දැන නොයෙක් දිශාවලින් කුරුල්ලෝ පැමිණ නිය, පිහාටු, මුඛය ආදීන්ගෙන් එහි ඵල හොටින් විද කති. “මෙය අද දිනය පිණිසය, මෙය හෙට දිනය පිණිසය” යැයි එම කුරුල්ලන්ට සිත් නොවේ. ඵල හිඟ වූ කල්හි එම ගසෙන් නොම යැපත්. තවද එම කුරුල්ලෝ නිය, පිහාටු, මුඛය ආදීන්ගෙන් එහි කිසිවක් නොතබා යති. එම ගස කෙරෙහි අපේක්ෂා අත හැර යම් දාශාවක් කැමති වේද ඒ ඒ දාශාවට පියාපත් බර සහිතව පමණක් ඉගිලී යයි. එලෙස භික්ෂුවද යම් දිශාවක් කැමති වේ ද ඒ දිශාවට පාත්‍ර සිවුරු රැගෙන නිදස්ව පියනගයි.

මෙලෙස භික්ෂුවකට ස්වකීය ජීවිතය රැක ගැනීමට අත්‍යවශ්‍යම අංග වන්නේ පාත්‍ර සහ තුන් සිවුරය. ඊට අමතරව අවශ්‍ය වන පරිෂ්කාර පිළිබඳ ගිහි පැවිදි දෙපාර්ශවයම දැනුවත් විය යුතුය. එනිසා බෞද්ධ දානමය පින්කමක ප්‍රධානතම අංගයකි පරිෂ්කාර පූජාව. එසේ හෙයින් අවම වශයෙන් අතගසා අනුමෝදන් වීමට හෝ වෙහෙසෙන පිරිස් බොහෝය. එයටම අවම වශයෙන් අතැති මුදලකින් හෝ දායක වන්නේ ද එහි ඇති වටිනාකමක් පිළිබඳ වූ නිසඟ ඉවක් හේතුවෙනි.

පරිෂ්කාර පූජාවක අංග සම්පූර්ණත්වය පිළිබඳ දායකයාගේ දැනුම ඉතා මඳ වීම හේතුවෙන් බොහෝ පරිෂ්කාර ඉවතලන අවස්ථා බොහෝය. එහෙයින් විනයානුකූල පරිෂ්කාර සැකැස්ම පිළිබඳ දැනුම ඉතා වැදගත්ය.

තිචීවරඤ්‌ච පත්‌තො ච – වාසි සූචි ච බන්‌ධනං

පරිස්‌සාවනෙන අට්‌ඨෙතෙ – යුත්‌තයොගස්‌ස භික්‌ඛුනො.        

(තුන් සිවුර, පාත්‍රය, දැහැටි දඬු සිඳින වෑය, හිඳිකටුව, කාය බන්ධනය, පෙරහන් කඩ මෙම අට පිරිකර භික්ෂුවට යෝග්‍යය.) (සු. පි. දී.නි. අට්ඨ කථා සීලක්ඛන්ධ වග්ගය)

 

එහිලා අට පිරිකර පටන් දොළොස් පිරිකර දක්වා පහත පරිදි වේ.

 

ඉහත සියලු පිරිකරවල විනය පිටකයෙහි දැක්වෙන ආකාරයට සුදුසු පිරිකර භික්ෂූන් වහන්සේලාට පූජා කර ගත යුතුය.

  1. තුන් සිවුර

භික්ෂූන් හඳින පොරවන සිවුරු තුනකි. නාභියත් දෙදන මඬලත් වැසෙන සේ ඉන වටා හඳිනුයේ අඳනයයි. උඩුකයත් සහිතව මුළු සිරුරම වැසෙන සේ පොරවනුයේ තනිපට සිවුරයි. සීත සමයේදී දෙපට සිවුර පොරවනු ලැබේ.

  • ප්‍රමාණය –

මෙම සිවුරුවල ප්‍රමාණය පොරවන භික්ෂුවගෙන් භික්ෂුවට වෙනස් වේ. ඒ ශරීර ප්‍රමාණය අනුවයි. නිවැරදි මිනුම සඳහා අදාළ භික්ෂුවගේ රියනේ දිග මැන ගත යුතුය. රියන යනු අතේ වැලමිටේ සිට මැදඟිලි කෙළවර දක්වා දිගයි. වර්තමාන ලාංකික භික්ෂුවගේ සිවුරු පෙරවීමට අනුව අවශ්‍ය ප්‍රමාණ මෙසේ දැක්විය හැක.

  • තනිපට සිවුර හා දෙපට සිවුර

දිග – රියන් 5⅟2

උස – රියන් 4⅟2

  • අඳනය

දිග – රියන් 5

උස – රියන් 2⅟2

(තත්ථ තිචීවරං අධිට්ඨහන්තෙන රජිත්වා කප්පබින්දුං දත්වා පමාණයුත්තමෙව අධිට්ඨාතබ්බං. තස්ස පමාණං උක්කට්ඨපරිච්ඡෙදෙන සුගතචීවරතො ඌනකං වට්ටති, ලාමකපරිච්ඡෙදෙන සඩ්ඝාටියා උත්තරාසඩ්ගස්ස ච දීඝතො මුට්ඨිපඤ්චකං තිරියං මුට්ඨිත්තිකං පමාණං වට්ටති. අන්තරවාසකො දීඝතො මුට්ඨිපඤ්චකො තිරියං ද්විහත්ථොපි වට්ටති. – සමන්තපාසාදිකා අට්ඨ කථා 464 පිට හේවාවිතාරණ මුද්‍රණය

එහිලා තුන්සිවුර අධිෂ්ඨානය කරන භික්ෂුව විසින් සිවුර පඬුගසා කප්බින්දුව තබා ප්‍රමාණ යුක්තවූ ම සිවුර අධිෂ්ඨානය කළ යුතුය. එහි ප්‍රමාණය උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් සුගත චීවරයට ඌනකව සුදුසුය, අවම පරිච්ඡේදයෙන් දෙපට සිවුර ද තනිපට සිවුර ද දිගින් මුට්ඨි පඤ්චකයක්ද (රියන් 4 හා මිට මොලවන ලද රියන් 1 – දළ වශයෙන් රියන් 5⅟2) සරසට මුට්ඨි ත්‍රිකයක (රියන් 2 හා මිට මොලවන ලද රියන් 1 – දළ වශයෙන් රියන් 2⅟2)  ප්‍රමාණය ද සුදුසුය. අන්තර වාසකය දිගින් මුට්ඨි පඤ්චකයක්ද සරසට රියන් 2 ද සුදුසුය.)

  • වර්ණය –

අකැප වර්ණයෙන් බැහැරව කැප සරුප් වර්ණයෙන් යුතු රෙදිවලින් සිවුරු මසා ගත යුතුය. එසේ නැති නම් සුදු පැහැ රෙදි වලින් මසා කැප පඬු වලින් වර්ණ ගැන්විය යුතුය. නිල් පැහැය, කහ පැහැය, රතු පැහැය, මදටිය පැහැය, කළු පැහැය, පත්තෑයන්ගේ පිටේ පැහැය සහ ඉදුණු කොළවල පැහැය සමුපූර්ණයෙන් තිබෙන සේ මැසූ සිවුරු අකැපය. ශාසන ඉතිහාසයට අනුව නුග දළු පැහැය, සන්ධ්‍යා අහසේ දිස් වන රන්වන් පැහැය භාවිතයට ගෙන ඇති බව දැකිය හැකිය.

(න, භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරඩ්ගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි. මහාවග්ග පාළි – 360 පිට හේවාවිතාරණ මුද්‍රණය. මහණෙනි, සියල්ලෙන් සියල්ල නිල් පැහැ සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල කහ පැහැ සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල රතු පැහැ සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල මදටිය පැහැ සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල කළු පැහැය සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල පත්තෑයන්ගේ පිටේ පැහැ සිවුරු නොදැරිය යුතුය, සියල්ලෙන් සියල්ල ඉදුණු කොළවල පැහැ සිවුරු නොදැරිය යුතුය.)

  • රෙදි වර්ග –

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින් කපු රෙදි වඩාත් සුදුසුය. නමුත් භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත පරිදි ඒ සඳහා වර්තමානයේ භාවිතා වන චැලෙන්ජර් හෝ වෙනත් ඕනෑම රෙදි වර්ගයක් යොදාගත හැක.

(මෙම රෙදිවලින් එකක් යොදා ගත හැක – ඛොමං, කප්පාසිකං, කොසෙය්‍යං, කම්බලං, සාණං, භඩ්ගං – සමන්තපාසාදාකා 461 පිට හේවාවිතාරණ මුද්‍රණය.  – ඛොමං – කෙඳිවලින් වියන ලද, කප්පාසිකං – කපු නූලෙන් කරන ලද, කොසෙය්‍යං – පට නූලෙන් කරන ලද, කම්බලං – ලොමින් වියන ලද, සාණං – සණ කෙඳිවලින් කරන ලද, භඩ්ගං – මිශ්‍ර නූලෙන් කරන ලද)

  • මසන ආකාරය –

රජගහ නුවර මගධ කෙතේ ආකෘතියට අනුව නිමවිය යුතු බැව් පෙන්වා දී ඇත. චීවර පිළිබඳ සිකපද සියල්ලමත් සළකා බැලූ කල එය මෙසේ විය යුතුය. සාමාන්‍යයෙන් තුන් සිවුරේ එක් එක් සිවුරක් කඩ 05ට වැඩි සංඛ්‍යාවක් එක් කොට මසා තිබිය යුතුය. ‘කඩ’ යනු සිවුරේ ඉහළ සිට පහළට දැකිය හැකි තීරුය. එම එක් කඩක් නැවත කුඩා කොටස් වලට කපා වෙන් කොට නැවත එක් කොට මසා ගනු ලැබේ. චිරන්තන සම්ප්‍රදායට අනුව කඩ සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි ඔත්තේ සංඛ්‍යාවකින් ගෙන එක් කඩක් එම සංඛ්‍යාවෙන් අඩකට අඩකට සරිලන සේ කොටස් ගණනකට බෙදා ගනු ලැබේ. සිවුරක් ඇද කුද නැති සිවුරුස් හැඩයෙන් යුක්ත විය යුතුය. සිවුර වටාම සාමාන්‍යයෙන් අඟල් 04 සිට 06 දක්වා වූ නුවාවක් තිබිය යුතුය. සිවුරේ ඉහළ සහ පහළ ඇතුල් පැත්තේ ගෙවී යාම වැළැක්වීම සඳහා අඟල් 01-02 ක් පමණ පටි දෙකක් තිබිය යුතුය. ගණ්ඨිය සහ පාසය පමණක් අඳනයට අදාළ නොවේ.

තනිපට සිවුර මසන ක්‍රමයටම එහි නුවා හැර මැද කඩ කැපූ කොටස දෙපටක් වන සේ මසා ගත් විට දෙපට සිවුරක් වේ.

ඒ ඒ භික්ෂුවට ගැළපෙන සම්මත ප්‍රමාණයන්ට අනුව කැප වර්ණයෙන් යුතු සුදුසු රෙදි වර්ග වලින් නිවැරදි ක්‍රමයෙන් මසාගත් සිවුර විනයානුකූල වූවකි.

(පස්‌සසි නො ත්‌වං ආනන්‌ද, මගධඛෙත්‌තං අච්‌ඡිබද්‌ධං පාළිබද්‌ධං මරියාදබද්‌ධං සිඞ්‌ඝාටකබද්‌ධ’න්‌ති එවං භන්‌තෙ’ති. උස්‌සහසි ත්‌වං ආනන්‌ද, භික්‌ඛූනං එවරූපානි චීවරානි සංවිදහිතු’න්‌ති. උස්‌සහාමි භගවා”ති මහාවග්ග පාළි – 339 පිට හේවාවිතාරණ මුද්‍රණය.

ආනන්දය, තෙපි සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් බැඳි මහමියර ඇත්තා වූ අතරතුර බැඳි කුඩා මියර ඇත්තා වූ බඳනා ලද හතර හන්දි ඇත්තා වූ මගධ ක්ෂෙත්‍රය දුටුහුදැයි විචාළ සේක. “ස්වාමීනී ඒසේය, ආනන්දය තෙපි භික්ෂූන්ට මෙබඳු වූ සිවුරු විධාන කරන්ට උත්සාහවත් වහු ද?)

  1. පාත්‍රය

භික්ෂූන්ට පිණ්ඩපාත දානය ලබා ගැනීම සඳහාත් වැළඳීම සඳහාත් භාජනය ලෙස පාත්‍රය භාවිතා වේ.

මෙකල පාත්‍රයේ මුව වැටියේ විෂ්කම්භය අනුව ප්‍රමාණය කියනු ලැබේ. සාමාන්‍යයෙන් අඟල් 07 ප්‍රමාණයේ සිට ඉහළට පාත්‍ර භාවිතය සඳහා සුදුසුය. ඒ ප්‍රමාණයද පාත්‍රය භාවිතා කරන භික්ෂූන්ගේ රුචිය හා පහසුව මත වෙනස් විය හැක.

(තයො පත්තස්ස වණ්ණා උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො අඞ්ඪාළ්හකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං බ්‍යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො නාළිකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං බ්‍යඤ්ජනං. ඔමකො නාම පත්තො පත්ථොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං බ්‍යඤ්ජනං. පාරාජිකා පාළි – 272 පිට හේවාවිතාරණ මුද්‍රණය.  

පාත්‍රයේ ප්‍රමාණ 3කි. උත්කෘෂ්ට පාත්‍රය මධ්‍යම පාත්‍රය අවමක පාත්‍රය යි ප්‍රමාණ අනුව පාත්‍ර 3කි. උත්කෘෂ්ට පාත්‍රය සහල් දෙනැළියක බත ද එයින් සතරෙන් කොටසක් ඛද්‍ය ද ඒ බතට සෑහෙන වෑංජන ද ගන්නේය. මධ්‍යම පාත්‍රය සෑහෙන වෑංජන ද ගන්නේය. අවමක පාත්‍රය සහල් නැළි භාගයක බත ද එයින් සතරෙන් කොටසක් ඛාද්‍ය ද ඒ බතට සෑහෙන ව්‍යංජන ද ගන්නේය.)

            රන්, රිදී, මැණික්, පළිඟු, ලෝකඩ, වීදුරු, සුදු ඊයම්, කළු ඊයම්, තඹ සහ දැව පාත්‍ර භික්ෂූන්ට අකැපය. යකඩ සහ මැටි පාත්‍ර කැපය. ගින්නෙන් පස් වරක් පුළුස්සන ලද මැටි පාත්‍රයත් භාවිතයට සුදුසු බව විනය ග්‍රන්ථයන්හි සඳහන් වේ. යකඩ පාත්‍රය එසේ පුළුස්සා මළ බැඳීම වැළැක්වීම සඳහා තල තෙල් අල්ලා ගැනීම බොහෝ කාලයක් තිස්සේ කරගෙන එනු ලබන චාරිත්‍රයකි.

(න, භික්ඛවෙ, සොවණ්ණමයො පත්තො ධාරෙතබ්බොග -පෙ- න රූපියමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න මණිමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න වෙළුරියමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න ඵලිකමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න කංසමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න කාචමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න තිපුමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න සීසමයො පත්තො ධාරෙතබ්බො -පෙ- න තම්බලොහමයො පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, ද්වෙ පත්තෙ – අයොපත්තං, මත්තිකාපත්ත’’න්ති. චුලවග්ග පාළි – 194 පිට හේවාවිතාරණ මුද්‍රණය.  

මහණෙනි, රන් පාත්‍රය නොදැරිය  යුතුය. රිදී පාත්‍රය නොදැරිය  යුතුය. මැණික් පාත්‍රය නොදැරිය  යුතුය. පළිඟු පාත්‍රය නොදැරිය  යුතුය. ලෝකඩ පාත්‍රය නොදැරිය  යුතුය. වීදුරු පාත්‍රය නොදැරිය  යුතුය. සුදු ඊයම් පාත්‍රය නොදැරිය  යුතුය. කළු ඊයම් පාත්‍රය නොදැරිය  යුතුය. තඹ පාත්‍රය නොදැරිය  යුතුය. යමෙක් දරයි නම් ඔහුට දුකුලා ඇවැත් වේ. මහණෙනි, යකඩ පාත්‍රය මැටි පාත්‍රය යි පාත්‍ර දෙක්ක අනුදනිමි.)

  • පාත්‍රයක් පූජා කිරීමේදී එය රැගෙන යාමට භාවිතා කරන පාත්‍ර පසුම්බිය හෙවත් ථවිකයක්ද පූජා කිරීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. වර්තමාන වෙළඳපොළේ විකිණීමට තිබෙන සුදු යකඩ පාත්‍රය සහ පසුම්බියත් එයටම බැඳුණු පාත්‍ර ආධාරකයත් යන කට්ටලය භික්ෂූන්ට භාවිතය සඳහා කැපය.
  1. දැහැටි සිඳින වෑය (පිහිය)

පුරාණයේ භික්ෂූන් විසින් දැහැටි දඬු කපා ගැනීම සඳහා භාවිතා කළ කුඩා පිහිය නූතනයේ භාවිතා නොවේ. ඒ වෙනුවට දැලි පිහියක් ආදේශ වී ඇත. සැබවින්ම කුමන හෝ කුඩා පිහියක් භික්ෂූන්ට අවශ්‍ය වේ. පැලවෙන යමක් කැප කරවා ගැනීමට, ගෙඩි වශයෙන් පූජා කළ යම් පළතුරු ආදියක් කපා ගැනීමට සහ අවශේෂ යම් යම් කටයුතු සමුදායක් සඳහා කුඩා පිහියක අවශ්‍යතාවයක් පවතී. ඒ අනුව ඊට ගැලපෙන කුඩා පිහියක් හෝ දැලි පිහියක් පූජා කළ හැක. වර්තමානයෙහි දැලි පිහියට වඩා පහසුවෙන් රේසරයක් භාවිතා කොට කෙස් රැවුල් බෑම සිදු කරනු ලැබේ. ඒ අනුව කැමති නම් රේසරයක් පූජා කළ හැක. නමුත් කුඩා පිහියෙන් කළ හැකි සියල්ල රේසරයෙන් කළ නොහැක.

  1. හිඳි කටුව

භික්ෂූන්ට සිවුරු මසා ගැනීම සහ සෙසු ලේන්සු ආදී යමක් මසා ගැනීම සඳහා වෙයි. විශේෂයෙන් හදිසියේ සිදුවන සිවුරු ඉරී යෑමකදී මසා ගැනීම සඳහා භික්ෂුවක් නිතර තමා ළඟ තබා ගත යුතු පරිෂ්කාරයකි. එයටම ගැලපෙන නූල් පන්දුවක්ද සමඟ පූජා කිරීම සිරිතය.

  1. ඉන පටිය

භික්ෂූන්ට අඳනය ලිහිල් නොවීම සඳහා ඉන වටා බැඳීමට ප්‍රයෝජනවත්ය. අවම වශයෙන් සරල සිවුරු රෙදි පටියේ පටන් වෙළඳපොළේ බහුලව දක්නට ලැබෙන තායි ඉන පටිය දක්වාම සුදුසුය. නමුත් ගාංචු සහිත ගිහි ඉන පටිය මෙන් මසන ලද්ද අකැපය. වර්ණය සිවුරේ වර්ණයටම ගැළපෙන පරිදි පූජා කිරීම උචිතය. (අනුජානාමි භික්ඛවෙ ද්වෙ කාය බන්ධනානි පට්ටිකං සූකරන්තකං – මහාවග්ග පාළි 728 පිට හේවාවිතාරණ මුද්‍රණය.  මහණෙනි, පට්ටිකය, සූකරන්තකය යි කායබන්ධන දෙකක් අනුදනිමි.)

  1. පෙරහන් කඩ

ඕනෑම තැනකදී ලැබෙන පැන් වැළඳීමට පෙර පෙරා ගැනීම සඳහා මෙය භාවිතා වේ. භික්ෂූවක් නිතර පෙරහන් කඩක් ළඟ තබා ගත යුතුය යැයි බුදු රජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත.

(න ච භික්ඛවෙ අපරිස්සාවකෙන අද්ධාන මග්ගො පටිපජ්ජිතබ්බො, යො පටිපජ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස – චුළවග්ග පාළි -200 පිට හේවාවිතාරණ මුද්‍රණය. මහණෙනි, පෙරහන් කඩයක් නොමැතිව දීර්ඝ මාර්ගයට නොපිළිපන් යුතුය, යම් භික්ෂුවක් පිළිපන්නේ ද දුකුළා ඇවතකට පත් වේ.)

  1. ඇතිරිල්ල

භික්ෂුවක් සැතපෙන විට අතුරා ගැනීම සඳහා සුදුසු ඇතිරිල්ලක් මෙයින් අදහස් වේ. මෙය සාමාන්‍යයෙන් ඇඳ රෙද්දක ප්‍රමාණයට කුමන රෙදි වර්ගයකින් හෝ කුමන වර්ණයකින් හෝ මසා පූජා කළ හැක.

(යො පන භික්‌ඛු සඞ්‌ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‌ථරිත්‌වා වා සන්‌ථරාපෙත්‌වා වා තං පක්‌කමන්‌තො නෙව උද්‌ධරෙය්‍ය න උද්‌ධරාපෙය්‍ය, අනාපුච්‌ඡං වා ගච්‌ඡෙය්‍ය,පාචිත්‌තිය’’න්‌ති  

සෙය්‍යං නාම භිසි, චිමිලිකා, උත්‌තරත්‌ථරණං, භූමත්‌ථරණං, තට්‌ටිකා, චම්‌මඛණ්‌ඩො, නිසීදනං, පච්‌චත්‌ථරණං, තිණසන්‌ථාරො, පණ්‌ණසන්‌ථාරො – පාචිත්තිය පාළි -51 පිට හේවාවිතාරණ මුද්‍රණය.

යම් භික්ෂුවක් වනාහි සඟසතු විහාරයක් තුළ දී සෙනසුන් අතුරා හෝ අනුන් ලවා අතුරවා පිටව යන විට නැවත තැන්පත් නොකරන්නේ නම් හෝ අනිකෙකුට ඒ බව නොදන්වා පිටව යන්නේ නම්, පචිති වේ. භිසි – ඇඳ පුටුවල අතුරන මෙට්ට, චිමිලිකා – බිම ආරක්ෂා කර ගැනීමට බිමට අතුරන රෙද්දකි, උත්‌තරත්‌ථරණං – ඇඳ පුටු මත අතුරන ඇතිරිලි, භූමත්‌ථරණං – බිම අතුරන ඇතිරිලි, තට්‌ටිකා – තල්, පොල් ආදියෙන් කළ පැදුරු, චම්‌මඛණ්‌ඩො – සිංහ, කොටි ආදී සතුන්ගේ සම්, නිසීදනං – හිඳගන්නනා ඇතිරිල්ල, පච්‌චත්‌ථරණං – ඇතිරිලි, තිණසන්‌ථාරො – තෘණ ඇතිරිලි, පණ්‌ණසන්‌ථාරො – තල්, පොල් ආදී කොළවලින් කළ ඇතිරිලි)

  1. පැන් කෙණ්ඩිය

පුරාණයෙහි භික්ෂූන් විසින් පැන් ගෙන යාම සඳහා මෙය භාවිතා කරන ලද අතර මේ වෙනුවට වතුර ගෙන යන බෝතලයක් ආදේශ කරගත හැක.

  1. පත්කඩය (නිසීදනය)

භික්ෂූන් වහන්සේලා බිම හිඳ ගැනීමේදී මෙය එලා ඒ මත හිඳ ගනිති. බුද්ධ වන්දනා සහ වැඩිහිටි වන්දනා කිරීමේදී ද භාවිතා කරති. එයට සුදුසු සේ සකස් කරන ලද සම් කඩක් හෝ ප්‍රමාණවත් පරිදි (දිග අඟල් 30 – පළල අඟල් 24 ක් පමණ වූ) මසන ලද රෙදි නිසීදනයක් හෝ පූජා කළ හැක.

(නිසීදනං පන භික්‌ඛුනා කාරයමානෙන පමාණිකං කාරෙතබ්‌බංග තත්‍රිදං පමාණං – දීඝසො ද්‌වෙ විදත්‌ථියො, සුගතවිදත්‌ථියා තිරියං දියඩ්‌ඪං තං අතික්‌කාමයතො ඡෙදනකං පාචිත්‌තිය’’න්‌ති – නිසීසනයක් කරවනු කැමති භික්ෂුවක් විසින් ප්‍රමාණවත් කොට කරවිය යුතුය. එහිලා මේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියත් දෙවියතකි. පළල සුගත් වියතින් වියත් එකහමාරකි. දහවලු වියතකි. එය ඉක්මවන්නාට ඡේදනක පචිතිය වේ. පාචිත්තිය පාළි -175 පිට හේවාවිතාරණ මුද්‍රණය. සුගත වියතක් 1 = සාමාන්‍ය පුරුෂයකුගේ වියතකින් වියත් 3ක්. )

  1. සැරටිය

ගමන් කිරීමේ පහසුව සඳහාත් මගදී හමුවන සර්පයන් ආදී සතුන් මගින් ඉවත් කර ගැනීමටත් භාවිතා වේ. එය දැවමය හෝ ලෝහමය විය හැක. කුමන වර්ණයකින් වුවද අඩි 03ක පමණ උසට සුදුසුය. හැකිතරම් සැහැල්ලු වීම වැදගත්ය.

  1. තෙල් ගුලාව

පුරාණයේ පාගමනින් දීර්ඝ ගමනේ යෙදෙන භික්ෂූන් විසින් හිසේ සහ පාදවල ගැල්වීමට තෙල් ගෙනයන කුඩා බඳුනකි. වර්තමානයේ එවැනි බඳුනක් භාවිතා නොවූවද ඊට ආදේශකයක් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ ප්‍රථමාධාර ද්‍රව්‍ය ගෙන යාමට සුදුසු ගෙන යාමට පහසු ඉතා කුඩා බඳුනක් හෝ පසුම්බියක් පූජා කළහොත් එය ඉතා වැදගත් වනු ඇත.

  1. ඡත්‍රය (කුඩය)

භික්ෂූන්ට ඒක වර්ණ ඡත්‍රය හෙවත් ගොටුඅත්ත සෑම තැනටම භාවිතයට කැපය. එය සාම්ප්‍රදායි ක්‍රමයෙන් තල අත්තෙන් නිමවා ගත හැක. කුඩ භාවිතයේ දී සලකා බැලිය යුතු කරුණු කීපයකි. අලංකාරය පිණිස නොයෙක් පාටනූල් වලින් මැහුම් යෙදූ කුඩ හා මිටෙහි කැටයම් ඇති කුඩ ද අකැපය. නමුත් මිට ලිස්සා යාම වැළැක්වීමට යම් ක්‍රමයකින් රළු කොට ඇත්නම් සුදුසුය. කුඩ රෙද්දේ කෙළවර නණ දෙකක් අතර අඩ සඳ හැඩයට ඇතුළට වන්නට ඇත්නම් නුසුදුසුය. නණ කෙළවර දෙක අතර සෘජු රේඛීය හැඩයක් ඇත්නම් සුදුසුය. වර්ණ වශයෙන් සුදු පැහැ කුඩ පූජා කිරීමට සුදුසුය.

( කෙචි තාලපණ්‌ණච්‌ඡත්‌තං අන්‌තො වා බහි වා පඤ්‌චවණ්‌ණෙන සුත්‌තෙන සිබ්‌බන්‌තා වණ්‌ණමට්‌ඨං කරොන්‌ති, තං න වට්‌ටති. එකවණ්‌ණෙන පන නීලෙන වා පීතකෙන වා යෙන කෙනචි සුත්‌තෙන අන්‌තො වා බහි වා සිබ්‌බිතුං ඡත්‌තදණ්‌ඩග්‌ගාහකං සලාකපඤ්‌ජරං වා විනන්‌ධිතුං වට්‌ටති. තඤ්‌ච ඛො ථිරකරණත්‌ථං, න වණ්‌ණමට්‌ඨත්‌ථාය. ඡත්‌තපණ්‌ණකෙසු මකරදන්‌තකං වා අඩ්‌ඪචන්‌දකං වා ඡින්‌දිතුං න වට්‌ටති. ඡත්‌තදණ්‌ඩෙ ගෙහථම්‌භෙසු විය ඝටකො වා වාළරූපකං වා න වට්‌ටති. සචෙපි සබ්‌බත්‌ථ ආරග්‌ගෙන ලෙඛා දින්‌නා හොති, සාපි න වට්‌ටති. ඝටකම්‌පි වාළරූපම්‌පි භින්‌දිත්‌වා ධාරෙතබ්‌බං. ලෙඛාපි ඝංසිත්‌වා වා අපනෙතබ්‌බා. සුත්‌තකෙන වා දණ්‌ඩො වෙඨෙතබ්‌බො. දණ්‌ඩබුන්‌දෙ පන අහිච්‌ඡත්‌තකසණ්‌ඨානං වට්‌ටති. වාතප්‌පහාරෙන අචලනත්‌ථං ඡත්‌තමණ්‌ඩලිකං රජ්‌ජුකෙහි ගාහෙත්‌වා දණ්‌ඩෙ බන්‌ධන්‌ති, තස්‌මිං බන්‌ධනට්‌ඨානෙ වලයමිව උක්‌කිරිත්‌වා ලෙඛං ඨපෙන්‌ති, සා වට්‌ටති.(පාරාජිකා පාළි අට්ඨ කථා 208 පිට හේවාවිතාරණ මුද්‍රණය.) – ඇතැමෙක් තල් කොළ ඡත්‍රය ඇතුලත හෝ පිටත හෝ පස් වර්ණ නූලෙන් මසා වර්ණ කරයි එය නොසුදුසුය. නිල් පැහැ හෝ කහ පැහැ හෝ යම් කිසි එක් වර්ණයකින් මසයි ද, ඡත්ත දණඩ සවිකරන ලහ මැදිරිය වෙලීම සුදුසුය. එය ද තද කිරීම සඳහා වේ, වර්ණ මතු කිරීම සඳහා නොවේ. ඡත්‍රයේ ‌කොළවල මකර දත් හැඩ හෝ අඩ සඳක් හෝ සිඳීම නොසුදුසුය. ඡත්‍ර දණ්ඩෙහි නිවාස කණු වල ඝටක මෙන් හෝ සත්ත්ව රූප හෝ සිඳීම නොසුදුසුය. ඉඳින් සියලු තැන්හි ඇලිස් කටුවෙන් රේඛාවක් දෙන ලද්දේ වේ ද එය ද නුසුදුසුය. ඝටක ද සත්ත්ව රූප ද ඉවත් කොට දැරිය යුතුය. නූලකින් හෝ දණ්ඩ වෙලිය යුතුය. කුඩ මිට කෙළවර බිම්මලක සටහන සුදුසුය. සුළං පහරින් නොසෙලවීම සඳහා කැඩයේ මැද රැහැන් වලින් බඳිත්. ඒ බඳින ස්ථානයෙහි වලල්ලක් සාරා රේඛාවක් තබයි එය සුදුසුය.)

  1. පාවහන්

නිල් පැහැය, කහ පැහැය, රතු පැහැය, මදටිය පැහැය, කළු පැහැය, පත්තෑයන්ගේ පිටේ පැහැය සහ ඉදුණු කොළවල පැහැය සම්පූර්ණ වන සේ නිම කළ පාවහන් අකැපය. පටි පමණක් පාට කළ පාවහන් අකැපය. විලුඹ වැසෙන, පාදය සම්පූර්ණයෙන් වැසෙන, පිටිපතුල වැසෙන පාවහන් අකැපය. පුළුන් පුරවා කළ පාවහන් ද බැටළු අං වැනිවූද ගෝනුස්සන්ගේ වල්ගය වැනිවූද පටි යෙදූ පාවහන්ද විසිතුරු පාවහන්ද අකැපය. ඒ අනුව ශ්‍රමණ සාරුප්‍ය වූ සරල පටි සහිත පාවහන් යුවලක් පූජා කිරීමට සුදුසුය.

(න, භික්‌ඛවෙ, නීලකවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා…පෙ… න පීතකවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න ලොහිතකවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න මඤ්‌ජිට්‌ඨිකවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න කණ්‌හවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න මහාරඞ්‌ගරත්‌තවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න මහානාමරත්‌තවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, යො ධාරෙය්‍ය ආපත්‌ති දුක්‌කටස්‌සාති. – මහාවග්ග පාළි 218 පිට හේවාවිතාරණ මුද්‍රණය.

මහණෙනි, නිල් වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, කහ වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, මදටිය පැහැ වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, කළු වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, පත්තෑයන්ගේ පිටේ පැහැ වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, ඉදුණු කොළවල පැහැ වර්ණයෙන් යුක්ත පාවහන් නොදැරිය යුතුය, යමු භික්ෂුවක් දරයි ද දුකුළා ඇවැත් වේ.)

(න, භික්‌ඛවෙ, ඛල්‌ලකබද්‌ධා උපාහනා ධාරෙතබ්‌බා..පෙ.. න පුටබද්‌ධා උපාහනා ධාරෙතබ්‌බා, න පාලිගුණ්‌ඨිමා උපාහනා ධාරෙතබ්‌බා, න තූලපුණ්‌ණිකා උපාහනා ධාරෙතබ්‌බා, න තිත්‌තිරපත්‌තිකා උපාහනා ධාරෙතබ්‌බා, න මෙණ්‌ඩවිසාණවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න අජවිසාණවද්‌ධිකා උපාහනා ධාරෙතබ්‌බා, න විච්‌ඡිකාළිකා උපාහනා ධාරෙතබ්‌බා, න මොරපිඤ්‌ඡපරිසිබ්‌බිතා උපාහනා ධාරෙතබ්‌බා, න චිත්‍රා උපාහනා ධාරෙතබ්‌බා, යො ධාරෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌සාති. මහාවග්ග පාළි 218 පිට හේවාවිතාරණ මුද්‍රණය.

මහණෙනි, විලුඹ වැසෙන පාවහන් නොදැරිය යුතුය, සියලු පය වැසෙන පාවහන් නොදැරිය යුතුය, පිටි පතුල වැසෙන පාවහන් නොදැරිය යුතුය, පුළුන් පුරවා කළ පාවහන් නොදැරිය යුතුය, වටු පියාපත් පැහැ පටි ඇති පාවහන් නොදැරිය යුතුය, බැටළු අං වැනි පටි ඇති පාවහන් නොදැරිය යුතුය, එළු අං වැනි පටි ඇති පාවහන් නොදැරිය යුතුය, ගෝනුස්සන්ගේ නටු වැනි පටි ඇති පාවහන් නොදැරිය යුතුය, මොනර පිල් විලින් මැසුම් දැමූ පාවහන් නොදැරිය යුතුය, විසිතුරු පාවහන් නොදැරිය යුතුය, යම් භික්ෂුක් දරන්නේ ද දුකුලා ඇවැත් වේ.)

(න, භික්‌ඛවෙ, සීහචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා..පෙ.. න බ්‍යග්‌ඝචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න දීපිචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න අජිනචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න උද්‌දචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න මජ්‌ජාරචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න කාළකචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, න ලුවකචම්‌මපරික්‌ඛටා උපාහනා ධාරෙතබ්‌බා, යො ධාරෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌සාති. මහාවග්ග පාළි 218 පිට හේවාවිතාරණ මුද්‍රණය.

සිංහය, ව්‍යාග්‍රය, දිවිය, අජින (මෘගය), ඔටුය, බළල්ය, ලේන්ය, බකමුහුණුය යන මොවුන්ගේ සම් වාටියට යොදා ඇති පාවහන් නොදැරිය යුතුය. යම් භික්ෂුක් දරන්නේ ද දුකුලා ඇවැත් වේ.)

සොළොස් පිරිකර 

විනය පිටකයෙහි හෝ අටුවා, ටීකා වල දක්නට ලැබෙන ඉහත විස්තර කරන ලද අට පිරිකර ආදී පිරිකර සමූහයටම විජිනි පතද එක් කොට කැමති අයකුට සොළොස් පිරිකරක් පූජා කළ හැක. එහි අංග මෙසේ විය යුතුය.

1          තනිපට සිවුර

2          දෙපට සිවුර

3          අඳනය

4          පාත්‍රය

5          වෑය (කුඩා පිහිය, දැලිපිහිය හෝ රේසරය)              

6          ඉඳිකටුව (සහ නූල්)

7          ඉන පටිය

8          පෙරහන් කඩ

9          ඇතිරිල්ල

10        පැන් කෙණ්ඩිය (බෝතලය)

11        පත්කඩය

12        සැරයටිය

13        තෙල් ගුලාව (කුඩා බෙහෙත් බඳුනක් හෝ පසුම්බියක්)

14        ඡත්‍රය (කුඩය හෝ ගොටු අත්ත)

15        පාවහන් යුවළ

16        විජිනිපත (ශ්‍රමණ සාරුප්‍ය ලෙස නිමවූ අලංකාරවත් වූවක් සුදුසුය)

ශ්‍රමණ ජීවිතයට මහඟු ලෙස උපකාරී වු මෙම පරිෂ්කාර කැප සරුප් ලෙස සකසා පූජා කිරීම මේවා භාවිතා කරන භික්ෂූන් වහන්සෙලාටද මහත් වූ පහසුවකි. උන් වහන්සේලාගේ විනය ගරුක භාවයට අනුග්‍රහයකි. එමෙන්ම පූජා කරන සැදැහැතියන්ටද දෙළොව සැප පිණිසත් “ සුඛා පටිපදා ඛිප්පාභිඥා ” ප්‍රතිපදාවෙන් ශාන්ත නිවන අවබෝධය පිණිසත් ඒකාන්තයෙන්ම පිරිපුණ් දාන පාරමිතාවක් වනු ඇත.

 

මහාවිහාරය