භාවනා කරන යෝගියා හට විශේෂ ආරක්‍ෂාවක් සපයන භාවනා කමටහන් සතරක් ඇති බව ඉහත ලිපියෙන් සිහිපත් කරන ලදී. විශේෂයෙන් ම භාවනා කරන පුද්ගලයා තමාගේ සිතේ බිඳවැටීමක් ඇති නොවීමට ප්‍රවේසම් විය යුතුය. නිරන්තරයෙන් භාවනා මනසිකාරයකින් ගත නොකරන ගිහි පුද්ගලයන් විශේෂයෙන්ම සිය සිත බිඳවැටීමක් ඇති නොවීමට කටයුතු කළයුතු වේ. ඒ සඳහා මෙම සතර කමටහන් කෙටියෙන් පුරුදු කරගෙන සිටීම වැදගත් වේ. භාවනාව ආරම්භ කිරීම පිණිස පළමුවෙන් පූර්ව කෘත්‍යයක් සිදු කර අනතුරුව කෙටියෙන් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරණසතිය වැඩීම භාවනා කරන යෝගියාගේ සිතේ ක්‍රමක්‍රමයෙන් සමාධිය වැඩි දියුණු කරනවා මෙන්ම විශේෂ ආරක්‍ෂාවක් ද ලබා දේ.

ඕනෑම පුද්ගලයකුගේ සිතේ යම් කළකිරීමක්, බිඳවැටීමක් ඇති වුවහොත් ටික වේලාවක් දෑස් පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම මඟින් සංසිඳීමක් ලබාගත හැකි වේ. එසේම ද්වේශයක් සිත මැඩගෙන සිටින වේලාවක බුදුරජාණන් වහන්සේ සිහිපත් කර අනතුරුව මඳවේලාවක් මෙත් වැඩීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්දැකිය හැකි වේ. අශුභය විශේෂයෙන් රාගයට ප්‍රතිපක්‍ෂ වේ. එබැවින් නිතර රාගය සිත මැඩගන්නා පුද්ලයාට තමන්ගේ සාමාන්‍ය භාවනාවට පෙර අශුභ මනසිකාරයක් පුරුදු කිරීමෙන් ඉක්මනින් භාවනාවේ දියුණුවක් ලබාගත හැකි වේ. මරණසතිය වැඩීමෙන් සියලු දෙනාගේ වීර්යය වැඬේ. එබැවින් භාවනාව ආරම්භ කිරීමට පෙර කෙටියෙන් සතර කමටහන් වැඩීම පුරුදු කරගත යුතු වේ. ඒ සඳහා භාවිතා කළහැකි කෙටි බුදුගුණ සිහිපත් කිරීමක් ඉහත ලිපියෙන් ඉදිරිපත් කරන ලදී. මෙම ලිපියෙන් කෙටියෙන් මෙත් වැඩීම සිදු කරන ආකාරය සිහිපත් කරමු.

මෙත් වැඩීම

බුදුගුණ මනසිකාරයකින් සිත මෘදු බවට පත් කරගෙන අනතුරුව කෙටියෙන් මෙත් වැඩීමක් කිරීම සුදුසු වේ. එමඟින් සිතේ උසස් දියුණුවක් සැලසෙනවා මෙන්ම සෙසු භාවනාවන්ට ද උපකාරයක් සැලසේ. මෛත්‍රිය යන්නෙන් අදහස් වන්නේ මිතුරු බවයි. ඒ අනුව සියලු සතුන් කෙරෙහි මිත්‍රත්වය පැවැත්වීම මෙත් වැඩීමෙන් සිදු වේ. මෙහි දී සියලු සතුන් කෙරෙහි සුවපැතීම් ආකාරයක් පැවැත්වේ. එදිනෙදා වැඩ කටයුතු වලදී පවා පුද්ගලයන් ඇසුරු කිරීමේ දී මෙත් වැඩීමෙන් උසස් ප්‍රතිඵල අත්කර ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී මෙත් වැඩීමෙන් මෙළොව දී ම ලැබෙන ආනිසංස දහයක් සහ පරලොව දී එක් ආනිසංසයක් වශයෙන් ආනිසංස එකොළොසක් දේශනා කර වදාළ සේක. එනම්,

සුවසේ නිදාගැනීම, සුවසේ පිබිදීම, නපුරු සිහින නොපෙනීම, මිනිසුන්ට ප්‍රිය වීම, අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබීම, ගිනි, වසවිස, අවි ආදියෙන් විපත් නොවීම, ඉක්මනින් සිත සමාධිමත් වීම, මුහුණ ප්‍රියමනාප වීම, නොමුළාව කලුරිය කිරීම යන ආනිසංස මෙළොව දීම ලැබේ. පරලොව ආනිසංස වශයෙන් මරණින් මතු බඹලොව ඉපදීමට මෙත් වැඩීම උපකාරී වේ.

දීර්ඝ වශයෙන් මෛත්‍රිය වඩන ආකාරය ඉදිරියේ පැහැදිලි කිරීමට අපේක්‍ෂා කරන අතර මෙම ලිපියෙන් දැක්වීමට අදහස් කරන්නේ කෙටියෙන් මෛත්‍රිය මනසිකාරය පවත්වන ආකාරය යි.

මෛත්‍රි භාවනාව සඳහා අරමුණ වන්නේ සත්වයන් වේ. ඔවුන් පුද්ගලයන් වශයෙන් තමා, තම හිතවතා, මධ්‍යස්ථ පුද්ගලයා, අහිතවතා ලෙස හඳුනාගත හැකි වේ. එසේම මෙත් වැඩීම සඳහා භාවිතා කළහැකි පද කිහිපයක් සඳහන් වේ. එනම්,
1. වෛර නැති වේවා
2. තරහ නැති වේවා
3. දුක් පීඩා නැති වේවා
4. සුවසේ ජීවිතය පරිහරණය කෙරේවා යනුවෙනි.

දීර්ඝව මෛත්‍රිය වැඩීමේ දී මෙම එකිනෙකක් අර්ථ වශයෙන් මෙනෙහි කරගෙන මෙත් වැඩීම කළයුතු වේ. පළමුව සිතේ මෘදු බවක් ඇති කරගැනීම සඳහා කෙටියෙන් මෙත් වැඩීමක් කළහැකි අතර ඒ සඳහා ‘සුවපත් වේවා’ වැනි කෙටි යෙදුමක් භාවිතා කළහැකි වේ.

‘සුවපත් වේවා’ යන්නෙන් අදහස් වන්නේ අරමුණු කරන පුද්ගලයා වෛර නැති, තරහ නැති, දුක්පීඩාදියෙන් මිදුණු, සුවපත් පුද්ගලයකු බවට පත්වේවා යන්නයි. ඒ අනුව මෙයින් අදහස් වන්නේ අදාළ පුද්ගලයාට හැම අතින්ම යහපතක් අත්පත් වියයුතු බවයි.

බුදුගුණ මනසිකාරයෙන් අනතුරුව කෙටියෙන් මෙත් සිත පැවැත්වීම සඳහා නැවතත් ටික වේලාවක් තමන්ගේ කය මෙනෙහි කිරීමක් කරන්න. අනතුරුව තමන් සිහිපත් කළ බුදුගුණ සහිත වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලු සත්වයන්ට මිතුරු පුද්ගලයා බව සිහිපත් කරගන්න. තමන් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් බවත් ඒ නිසාම තමන් ද සියලු දෙනාට මිතුරු විය යුතු බවත් සිහිපත් කරගන්න.

ලොව අන් අයට මිතුරු වීමට පෙර තමා තමාටම මිතුරු විය යුතුය. එබැවින් පළමුව තමන් අරමුණු කරගෙන ‘සුවපත් වේවා’ යැයි කිහිප වරක් මෙනෙහි කරන්න. එවිට තමන්ට සියුම් සැනසීමක්, සැහැල්ලු බවක් ඇති වේවි. ඒ සැනසීම සිහිපත් කරගෙන ලොව සිටින සියලු දෙනාට ද මෙම සැනසීම, සැහැල්ලු බව අත්වේවා යැයි සිතා ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ යැයි පළමුව තමන් භාවනාවෙහි යෙදී සිටින කාමරයේ හෝ කුටියේ සිටින සියලුදෙනාට මෙත් වඩන්න. ටික වේලාවක් එසේ මෙත් වඩා, අනතුරුව නිවස සම්පූර්ණයෙන්ම සිතෙන් අරමුණු කරගෙන සියලු සත්වයන් සුවපත් වේවා යැයි මෙත්සිත පවත්වන්න. එසේ ද ටික වේලාවක් මෙත් සිත පවත්වා අනතුරුව ඒ සැනසීම, සැපය මේ ගමේ, රටේ, ලෝකයේ, සමස්ථ විශ්වයේ සිටින සියලු සත්වයන් හට අත්පත් වේවා යැයි පිළිවෙලින් මෙත් සිත පතුරුවන්න.

මෙසේ මෙත් සිත පැතිරවීමේ දී තමන්ට මෙත් වැඩීමෙන් දැණුනු සැනසීම, සන්සිඳීම අන් අයට ද අත්වේවා යන අදහස සිතේ පවත්වාගත යුතු වේ. එසේම පිළිවෙලින් තමන්ගේ පටන් විශ්වයේ සියලු සත්වයන් දක්වා මෙත් සිත පැවැත්වීම ද වැදගත් වේ. එවිට තමන්ගේ සිත ක්‍රමයෙන් සමාධිමත් වේ. සිතේ පැවති දරදඬු ගති අඩු වී මෘදු බවට පත්වේ. එවිට සෙසු භාවනා කමටහනක් ද වඩාත් ඉක්මනින් සමෘද්ධමත් වේ.

තවද මෙම මෙත් වැඩීම එදිනෙදා වැඩකටයුතු වලදී ද උපකාරී කරගත හැකි වේ. යම් පුද්ගලයකුගේ විශේෂ උපකාරයක් අවශ්‍ය අවස්ථාවක මේ ආකාරයට පිළිවෙලින් මෙත් සිත පවත්වා අනතුරුව අදාළ පුද්ගලයා විශේෂයෙන් අරමුණු කර මෙත් වැඩීමෙන් පහසුවෙන් ඔහුගේ උපකාරය ලබාගත හැකි වේ. ඒ සඳහා නිතර භාවිත සිතක් පැවතිය යුතු වේ. එනම් නිතර මෙත් වැඩීම පුරුදු කරගත යුතු වේ. එවිට එදිනෙදා වැඩකටයුතු වලදී ගැටීම් අවම කරගෙන පහසුවෙන් වැඩ කටයුතු කරගත හැකි වේ. එසේම දවස පුරාවටම පැවැත්විය හැකි කුසල මනසිකාරයක් ලෙස ද මෙත් වැඩීම පුරුදු කරගත හැකි වේ. දවසේ උදෑසන පටන් හමු වන සියලුම දෙනාට, අරමුණු වන සෑම පුද්ගලයන්ට මෙත් වැඩීමෙන් සිත මෘදු බවට පත්කරගත හැකි වේ. අකුසල සිතිවිලි වලින් ඉවත්ව ගතකළ හැකි වේ.

මේ අනුව දවස පුරාවටම මෙත සිත පවත්වමින් ලොව සියලු සත්වයන්ට ම හිතමිතුරු පුද්ගලයෙක් ලෙස මෙත් වැඩීම පුරුදු කරගෙන සිතේ සමාධියක් ඇති කරගෙන විදසුන් වඩා සියලු දුක් කෙළවර කරගැනීමට සියලු දෙනාටම හැකි වේවා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>6. සතර කමටහන් වැඩීම – බුද්ධානුස්සතිය