භාවනාවට පෙර සූදානමක් ලෙස පූර්වකෘත්‍යයකින් ආරම්භ කරන යෝගියා හට අත නොහැර පවත්වාගත යුතු චතුරාරක්‍ෂා භාවනා අතර තෙවන භාවනාව වන්නේ අසුභ භාවනාවයි. ඕනෑම පුද්ගලයෙක් මෙම සතර කමටහන් දිනකට එක් වතාවක් හෝ වැඩීමක් සිදු කරන්නේ නම් ඔහුගේ භාවනාවට ආරක්‍ෂාවක් ගෙන දේ. භාවනා කරන අය තමතමන් කවරාකාරයේ චරිතයක් දැයි නොදන්නා බැවින් යම් චරිත දෝෂයක් පවතී නම් චතුරාරක්‍ෂා භාවනා වැඩීමෙන් එම දොස් වලින් භාවනාවට සිදු වන බාධක මඟහරවාගත හැකි වේ.

බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ද්වේෂයට ප්‍රතිපක්‍ෂව මෙත් වැඩීමත්, රාගයට ප්‍රතිපක්‍ෂව අසුභයත් දේශනා කර වදාළ බව ඉහත දැක්වීමු. ඒ අනුව භාවනා කරන පුද්ගලයා රාග චරිතයක් නම් භාවනාවට පෙර සූදානමක් ලෙස අසුභය වැඩීමෙන් ඔහුගේ චරිතයේ භාවනාවට බාධක ලෙස පැවතිය හැකි රාග ස්වභාවය මඟහැරී භාවනාව වැඩීමට සුදුසු පරිසරයක් ගොඩනැගෙනවා ඇත. මෙම අසුභ භාවනාව ද විස්තරාත්මක වශයෙන් වැඩීම සිදු කරන ආකාරය ඉදිරියේ දී පැහැදිලි කෙරෙන අතර මෙම ලිපියෙන් අදහස් කරන්නේ භාවනාවට පූර්වයේ වඩන සතර කමටහන් වශයෙන් අසුභය වැඩීමේ කෙටි ක්‍රමයකි.

අසුභය වැඩීම

‘අසුභ’ යන වචනයේ අර්ථය නම් සුභ නොවන බවයි. මේ කය සුභ යැයි ගැනීම පෘථග්ජන ස්වභාවයයි. සුභ යැයි සැලකීම යනු මෙම කය පිළිබඳ මගේය යන තෘෂ්ණාවෙන් යුතුව එය පිළිබඳ යහපත් සංකල්පනාවක් ඇතිකරගෙන, අපිළිකුල් බවින් අභිනන්දනය කරමින් කටයුතු කිරීමයි. මෙම කය යහපත් ලෙස දිගටම පැවතිය යුතුය යන අදහසින් එය පිරිසිදු කිරීමට, සැරසීමට, ආරක්‍ෂා සංවිධාන කිරීමට ආදියට යොමු වීමයි. එහෙත් මෙම කය පිළිබඳව යථාර්ථය නම් එය තවදුරටත් අභිනන්දනය කළ නොහැකි අසුභ දෙයක් බවයි. මෙම අසුභ තත්වය අවබෝධ කරගත තැනැත්තා එය ප්‍රකෘතියෙන් ම පිළිකුල් යන සංඥාවෙන් යුතුව අත්‍යවශ්‍ය පිරිසිදුකිරීම් ආදිය සහ ආරක්‍ෂා සංවිධානයන් සිදු කරයි. ඒ පිළිබඳ පමණ ඉක්මවා ගිය අභිනන්දනය කිරීමක් නැත්තේ වෙයි. එවිට තමාගේ කය පිළිබඳව මෙන්ම අන් අයගේ කය පිළිබඳව ද රාගය දුරු වී සැහැල්ලු බව ඇති වේ.
මෙම අසුභ භාවනාව ‘පිළිකුල් භාවනාව, කායගතාසතිය’ යනාදි නම් වලින් ද හැඳින්වේ. මෙය වැඩීම සඳහා මෙම කය කොටස් දෙතිසක් (32) යටතේ වර්ග කළයුතු බව බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍ර දේශනාවන්හි දේශනා කර ඇත. ඒ පිළිබඳ අර්ථකථාවන්හි එන විවරණය අනුව කොටස් දෙතිස වර්ග සයකට (6) බෙදාගත යුතු බව දැක්වේ. එම කොටස් දෙතිස (32) මෙසේ දැක්විය හැකි වේ. මෙය පාළි භාෂාවෙන් කටපාඩම් කරගෙන නිතර සජ්ඣායනා කිරීම ද භාවනාවක් වේ. එසේ සජ්ඣායනා කිරීමෙන් නිවන් අවබෝධ කරගත ස්වාමින් වහන්සේලා පිළිබඳව කථා අර්ථකථවන්හි දක්නට ලැබේ.

කේසා, ලෝමා, නඛා, දන්තා, තචො

මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං

හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්ඵාසං

අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්ථලුඩ්ගං

පිත්තං, සෙම්හං, පුබ්බො, ලොහිතං, සේදො, මේදො

අස්සු, වසා, ඛේලෝ, සිඩ්ඝාණිකා, ලසිකා, මුත්තං

යනුවෙන් වර්ග සයක් යටතේ දැක්වෙන කොටස් දෙතිස ඒ පිළිවෙලට මතකයේ තබා ගැනීම භාවනාවට උපකාරී වේ. ඒවායේ අර්ථ මෙසේය.

කෙස්, ලොම්, නිය, දත්, සම් – මස්, නහර (කණ්ඩරා), ඇට, ඇටමිදුලු, වකුගඩු – හදවත, අක්මාව, දළබුව, ඇළදිව, පපුමස (පෙනහැල්ල) – අතුණු, අතුණුබහන්, නොපැසුණු ආහාර, අසුචි, හිස්මොළය – පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේදය – කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර යනුවෙනි.

මෙයින් පළමු පස ‘තචො’ හෙවත් සමෙන් අවසන් වන බැවින් එය තචපඤ්චකය ලෙස හැඳින්වේ. එය පළමුව කටපාඩම් කරගෙන සිතෙන් එකිනෙක කොටස කෙරෙහි අවධානය යොමු කරමින් මෙනෙහි කරන්න. මෙසේ මෙනෙහි කිරීමේ දී ප්‍රධාන ආකාර පසකට (5) මෙනෙහි කළයුතු වේ. එනම් වර්ණ වශයෙන්, සටහන වශයෙන්, ගන්ධය වශයෙන්, සකස් වී ඇති දේ වශයෙන්, පිහිටි ස්ථානය වශයෙන් යන පස් ආකාරයට මෙනෙහි කළ යුතු වේ.

මෙත් වැඩීම සිදු කළ යෝගියා අනතුරුව පෙර සඳහන් කළ පරිදිම තමාගේ කය දෙසට සිත යොමු කළයුතු වේ. ඒ අනුව සිතෙන් මුළු කයම මෙනෙහි කළයුතු වේ. එසේ මෙනෙහි කිරීමේ දී සිත කය කෙරෙහි සමාධිමත් බවකට පත්වේ. සැහැල්ලු බවක් ඇති වේ. අනතුරුව මෙම කොටස් පස සිතෙන් ටික වේලාවක් මුල සිට අගටත්, අග සිට මුලටත් සජ්ඣායනය කරන්න. එවිට තවත් සිතේ සැහැල්ලු බවක් අත්දැකිය හැකි වේ. අනතුරුව කෙස් ආදි එකිනෙක කොටස ගෙන එහි ස්වභාවය වර්ණය, සටහන, ගන්ධය, සකස් වී ඇති දෙය, පිහිටි ස්ථානය වශයෙන් මෙනෙහි කරන්න. එහි ඇති පිළිකුල් බව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් කිසියම් එක් කොටසක් වඩාත් හොඳින් ප්‍රකට වේ නම් එම කොටස තනිව අරමුණු කරගෙන ටික වේලාවක් පිළිකුල වැඩීම කළහැකි වේ.

මෙසේ ටික වේලාවක් කොටස් පස පිළිබඳ පිළිකුල් මනසිකාරයේ යෙදී සිට අනතුරුව සමස්ථ කයේ ඇති පිළිකුල් බව, අසාර-නිස්සාර බව මෙනෙහි කළයුතුය. සමස්ථ කයම මේ ආකාරයෙන් පිළිකුල් බව සිතෙන් නැවත නැවතත් මෙනෙහි කළයුතුය. ඒ සඳහා භාවිතා කළහැකි ගාථා කිහිපයක් පෞරාණික ආචාර්ය වරයෙක් විසින් සකස් කර ඇති අතර බොහෝ පැවිද්දන් විසින් භාවිත කරනු ලැබේ. ඒවා මෙසේ අර්ථ සමඟ දක්වනු ලැබේ. හැකි නම් (අර්ථය පමණක් හෝ) කටපාඩම් කරගෙන නැවත නැවතත් මෙනෙහි කරන්න.

වණ්ණ සණ්ඨාන ගන්ධේහි – ආසයොකාසතො තථා
පටික්කූලානි කායේ මේ – කුණපානි ද්වී සෝළස

(මාගේ ශරීරයේ ඇති මේ කේසාදි කුණප කොටස් දෙතිස පැහැයෙන්, සටහනින්, ගන්ධයෙන්, සකස් වූ දෙයින්, පිහිටි අවකාශයෙන් පිළිකුල් ය)

පතිතම්හාපි කුණපා – ජේගුච්ඡං කාය නිස්සිතං
ආධාරො හි සුචි තස්ස – කායෙතු කුණපේ ඨිතෝ

(ශරීරයෙන් වෙන්ව වැටුණා වූ කුණපයට වඩා කයෙහි පවත්නා කුණපය පිළිකුල්ය. එයට හේතුව නම් වෙන්ව වැටුණා වූ කුණපය පවත්නා තැන පිරිසිදු ය. කයෙහි පිහිටි කුණපය පවත්නේ ද තවත් කුණප ගොඩකමය)

මීළ්හේ කිමිව කායෝ යං – අසුචිම්හි සමුට්ඨිතෝ
අන්තෝ අසුචි සම්පුණ්ණෝ – පුණ්ණවච්චකුටී විය

(මෙම කය අසුචිගොඩක උපදනා පණුවකු මෙන් අසුචියෙහි ම හටගත් දෙයකි. පිරුණු වැසිකිළියක් සෙයින් ඇතුළ ද අසුචියෙන් පිරී ඇත්තේය)

අසුචි සන්දතේ නිච්චං – යථා මේදකථාලිකා
නානා කිමිකුලාවාසෝ – පක්කචන්දනිකා විය

(සිදුරු ඇති අමුමස් සැළියක් මෙන් මේ ශරීරයෙන් නිරන්තරයෙන් මලමුත්‍රාදි අසුචි ගලන්නේය. මේ ශරීරය පල් වූ ගවරවළක් (කුණු, මඩ ආදිය පිරුණු වළක්) මෙන් නානා කෘමීන්ගේ වාසස්ථානයකි)

ගණ්ඩභූතෝ රොගභූතෝ – වණභූතෝ සමුස්සයෝ
අතේකිච්ඡෝතිජේගුච්ඡෝ – පභින්නකුණපූපමෝ

(මේ ශරීරය ගෙඩියක් වැනිය. රෝගයක් වැනිය. වණයක් වැනිය. පිළියම් කිරීමට දුෂ්කර වූවක. ඉතා පිළිකුලෙක. තැනින් තැනින් බිඳුණු කුණපයක් වැනිය)

මේ අර්ථයන් හොඳින් සිතට ගෙන නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් සිතේ අසුභ භාවනාවක් වැඬේ. එයින් භාවනාව ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් සිත තුළ නිර්මාණය වේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ මෙම පිළිකුල් භාවනාව හෙවත් කායගතාසතිය වැඩීමේ වටිනාකම මෙසේ වදාළ සේක.

“අමතං තෙ භික්ඛවෙ, න පරිභුඤ්ජන්ති යෙ කායගතාසතිං න පරිභුඤ්ජන්ති. අමතං තෙ භික්ඛවෙ, පරිභුඤ්ජන්ති යෙ කායගතාසතිං පරිභුඤ්ජන්ති”

මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග නොකරත්ද, ඔවුහු අමෘතය (මරණයෙන් තොර නිර්වාණය) නොවළඳත්. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කරත් ද ඔවුහු අමෘතය වළඳත්.

ඒ අනුව යමෙක් කායගතාසතිය හෙවත් මෙම අසුභ මනසිකාරය වඩන්නේ ද, භාවිත බහුලීකෘත කරන්නේ ද ඔහු එය වඩා අමෘතය හෙවත් මරණයෙන් තොර නිර්වාණය අධිගමනය කරන්නේය. මෙය නොවඩන්නා නිර්වාණය අධිගමනය නොකරන්නේ යැයි බුදුරජාණන් වහන්සේගේ වචනය වේ. මේ සසුනේ බොහෝ භික්ෂූන් නිවන් සාක්‍ෂාත් කරගත්තේ මෙම කායගතාසතිය වැඩීමෙනි. යම් කුලපුත්‍රයෙක් පැවිදි කිරීමට හිසකෙස් බෑමේ දී මෙම අසුභ කර්මස්ථානය දියයුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එබැවින් පැවිදි කිරීමට හිසකෙස් බානා අවස්ථාවේ නිවන් දුටු බව සඳහන් වන සියල්ලෝම කායගතාසතිය වැඩීමෙන් නිවන් දුටු අය වෙති. එසේ නිවනට මහත් සේ උපකාර වන කායගතාසතිය සියල්ලෝම වඩා අමෘතය සඩ්ඛ්‍යාත නිවන අධිගමනය කරත්වා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>7. සතර කමටහන් – මෙත් වැඩීම