සිත කුසලාරම්මණයක පුරුදු පුහුණු කිරීම භාවනාවකින් සිදු වන ප්‍රධානම දෙයයි. ඒ සඳහා යෝගියාගේ සිතේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය ආදී ධර්මයන් නිරතුරුවම වැඩි වර්ධනය විය යුතු වේ. ඒ සඳහා පූර්වකෘත්‍යයකින් භාවනාව ආරම්භ කර බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරණසතිය යන සතර කමටහන් වැඩීම වඩාත් උපකාරී වේ. ආරම්භයක් ලෙස කෙටියෙන් මරණය සිහිපත් කරගන්නා ආකාරය පැහැදිලි කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.

මරණසතිය වැඩීමට පෙර යෝගාවචරයා මරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතු වේ. මරණය ගැන නොසැලකීම නිසා පුද්ගලයා කුසලය කෙරෙන් ඈත් වේ. පව් කිරීමට බිය නැති වේ. එයින් ප්‍රමාදී භාවය ඇති වේ. මරණය ගැන සිතීමෙන් සසර දුක පිළිබඳ සංවේගය ඇති වී ප්‍රමාදයෙහි බිය ඇති වී අප්‍රමාදීව භාවනා මාර්ගයේ ආපසු හැරීමක් නොමැතිව ඉදිරියට යෑමට වීර්යය ඇති වේ. එබැවින් මරණය පිළිබඳ අවබෝධය ඇති කරගත යුතු වේ.

මරණය යනු ජීවිතයේ පැවැත්ම සිදු කරන්නා වූ ජීව ශක්තිය හෙවත් ජීවිතෙන්‍ද්‍රිය සිඳී යාමයි. මෙය උපනුපන් භවයක් පාසා ඒකාන්තයෙන් සිදු වන ක්‍රියාදාමයකි. සෑම පුද්ගලයෙක් ම උපතත් සමඟ ස්වකීය මරණය ද උරුම කරගෙන පැමිණ ඇත. කිසිම කෙනෙකුට තමන් කොපමණ වසර ගණනක් ජීවත් වේ දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අංගුත්තර ඡක්ක නිපාතයේ දේශනා කරන්නේ යම් භික්‍ෂුවක් ඉහළට ගන්නා හුස්ම රැල්ල පහළට හෙළන අතරතුර නමුදු මරණයට පත් විය හැකි යැයි සිහි කරන්නේ නම් උන්වහන්සේ අප්‍රමාදීව වාසය කරන බවයි.

‘යො චායං, භික්‍ඛවෙ, භික්‍ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං තදනන්තරං ජීවෙය්‍යං, යදනන්තරං අස්සසිත්‍වා පස්සසාමි පස්සසිත්‍වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සා’ති. ඉමෙ වුච්චන්ති භික්‍ඛවෙ භික්‍ඛූ අප්පමත්තා විහරන්ති තික්‍ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.

මහණෙනි, යම් භික්‍ෂුවක් ‘මම යම් පමණ කාලයකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කරන්නෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරන්නෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම් සුදුසු ය. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් බොහෝ හිත පිණිස දැ කරන ලද්දේ වන්නේය’ යි මෙසේ මරණ සතිය වඩයි ද, මහණෙනි මේ භික්‍ෂූහු අප්‍රමාදීව වාසය කරත් යැයි ද, ආශ්‍රවක්‍ෂය පිණිස තියුණු කොට මරණසතිය වඩත් යැයි ද කියනු ලැබෙත්.

එබැවින් මරණසතිය වැඩීම කළයුතු වේ. එහෙත් මෙම මරණය සිහි කිරීම නුවණින් යුතුව කළයුතු වේ. නුවණින් තොරව සිහි කිරීමෙන් ප්‍රියයන්ගේ මරණයේ දී ශෝකයත්, අප්‍රියයන්ගේ මරණයේ දී ප්‍රීතියත් උපදින්නේය. මැදහත් පුද්ගලයාගේ මරණය සිහි කිරීමේ දී මිනී දවන කුලී කරුවන්ට මෙන් ශෝක ආදි කිසිවක් නූපදින්නේය. තමාගේ මරණය සිහි කිරීමේ දී බිය සන්ත්‍රාසය උපදින්නේය. මේ සියල්ල ඇති වන්නේ සිහි නුවණ නොමැතිකම නිසා වේ. එබැවින් එය මරණසතිය නොවේ. එසේ බිය සන්ත්‍රාසාදියක් ඇති නොවන පරිදි මරණය සිහි කිරීම සියලුදෙනාට කළහැකි වන්නේ ද නොවේ. එහෙත් බුද්ධානුස්සති ආදී සතරකමටහන් කෙටියෙන් නමුත් පුහුණු කළ කෙනාට අපහසුවක් ඇති නොවේ.

ඉහත ලිපියකින් පැහැදිලි කළ අන්දමට පූර්වකෘත්‍යය සිදු කර බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය යන කමටහන් කෙටියෙන් නමුත් සිහි කර අනතුරුව මහලුවීමෙන් හෝ රෝගාතුර වීමෙන් හො හදිසි අනතුරකින් හෝ සියදිවි නසාගැනීම් ආදියකින් හෝ කිසියම් ලෙසකින් මරණයට පත් වූ මනුෂ්‍ය හෝ තිරිසන්ගත සත්වයෙක් හෝ දැක ඇත්නම් ඒ පිළිබඳ කල්පනා කොට සතිය, සංවේගය සහ ඤාණය උපදවාගෙන ජීවිතෙන්ද්‍රිය සිඳී යාම මරණය යැයි සිහි කළ යුතු වේ. එසේ සිහි කරගෙන පහත ගාථාව මෙනෙහි කර අර්ථය ද මෙනෙහි කරන්න.

අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්‍වා නිරුජ්ඣන්ති – තෙසං වූපසමො සුඛො

(සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම නැතිවීම ස්වභාවකොට ඇත්තෝය. ඉපිද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය)

අනතුරුව පහත වාක්‍යයන් සිහි කරන්න. එසේ සිහි කිරීමේ දී මරණය පිළිබඳ යමක් වැටහේ නම් එය දිගටම මෙනෙහි කළ යුතු වේ.

අහෝ මරණය … අහෝ මරණය …
ජීවිතය අනියතයි, මරණය නියතයි.
ජීවිතය අනියතයි, මරණය නියතයි.
ජීවිතය අනියතයි, මරණය නියතයි.

මාගේ මරණය වන්නේය. ජීවිතය නොපවත්නේය.
මරණය වන්නේය. ජීවිතය නොපවත්නේය.

මෙසේ මෙනෙහි කිරීමේ දී සතිය හා ඤාණය ක්‍රමයෙන් දියුණු වේ. එවිට අතීතයේ සිටි සියලු දෙනාගේ ම ජීවිත මරණයෙන් කෙළවර විය. වර්තමානයේ සිටින සියලු දෙනාගේම ජීවිත ද මරණයෙන් කෙළවර වේ. සියලු දෙනා මොහොතක් පාසා මරණයමට ළං වෙති. මොහොතක් පාසා අප්‍රමාණ සත්වයෝ මරණයට පත් වෙති. අනාගතයේ ද එසේම වන්නේය. යනුවෙන් අවබෝධය ඇති වී මරණය පිළිබඳ සතිය වැඩි දියුණු වේ. නුවණ මුහුකුරා ගිය පුද්ගලයෙක් නම් නීවරණ විශ්කම්භනය වී උපචාර සමාධිය ද ඇති වන්නේය.

මරණ සතිය වඩනාකාරය පිළිබඳ දීර්ඝ විවරණයක් ඉදිරියේ දී දැක්වීමට අදහස් කරන අතර මෙහි දී සතරකමටහන් ලෙස කෙටියෙන් සිහි කරන ආකාරය පමණක් දක්වන ලදී. ඒ සඳහා උපකාර වශයෙන් පහත ගාථාවන් ද තේරුමත් සමඟ හැකි නම් කටපාඩම් කරගන්න. නිතර මෙනෙහි කිරීමෙන් නිරායාසයෙන්ම මරණසතිය සිහි කළා වේ.

මහා සම්පත්ති සම්පත්තා – යථා සත්තා මතා ඉධ
තථා අහං මරිස්සාමි – මරණං මම හෙස්සති

(මහා සම්පත්තියට පැමිණි සත්වයෝ මැරුණේ යම් සේ ද එපරිද්දෙන්ම මම ද මැරෙමි. මට මරණය වන්නේය)

උප්පත්තියා සහේ වේදං – මරණං ආගතං සදා
මරණත්ථාය ඕකාසං – වධකෝ විය ඒසති

(මේ මරණය උපතත් සමඟ ආ එකකි. මරණය සැමකල්හිම වධකයෙක් මෙන් මැරීමට අවකාශයක් සොයන්නේය)

විජ්ජුබුබ්බුල උස්සාව – ජලරාජි පරික්ඛයං
ඝාතකෝව රිපූ තස්ස – සබ්බත්ථාපි අවාරියෝ

(විදුලියක් මෙන්, දිය බුබුලක් මෙන්, පිණි බිඳක් මෙන්, දියෙහි ඇඳි ඉරක් මෙන් මේ ජීවිතය වහා ක්‍ෂය වන්නේය. මේ මරණය කිසි සේත් වැළැක්විය නොහැකි මරණය පිණිස එන සතුරෙකු වැනිය)

පච්චයානඤ්ච වේකල්‍යා – බාහිරජ්ඣත්තුපද්දවා
මරාමෝරා නිමේසාපි – මරමානෝ අනුක්ඛණං

(ක්‍ෂණයක් පාසා සිදු වන නාම රූප බිඳීම නිසා ජීවත් වීමට අවශ්‍ය ප්‍රත්‍යය නොලැබීමෙන් ද බාහිර අභ්‍යන්තර උපද්‍රවයකින් ද ඇසිපිය හෙළන තරම් කෙටි කලක දී මම මරණයට පත් වෙමි)

බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ “මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා” යනුවෙනි. එනම් භාවිත බහුලීකෘත කරන ලද මරණ සතිය මහත්ඵල මහානිසංස වන බවයි. අමෘතය හෙවත් නිවන පිහිටකොට ඇති බවයි. නිවන කෙළවර කොට ඇති බවයි.

එබැවින් සියලු දෙනාම මරණසතිය වැඩීමට උත්සහ ගතයුතු වේ. භාවනාවට පූර්වයේ සතරකමටහන් ලෙස මරණය සිහි කිරීමෙන් භාවනාවට ඇති කම්මැලි ගතිය, ඈලිමෑලි දුබල ගතිය දුරු වී වඩාත් වුවමනාවෙන් භාවනා කිරීමට සිතට වීර්යය උපදින්නේය. එසේ නිවනට මහත් උපකාර වන මරණසතිය වඩා සියල්ලෝම නිවන් පසක් කරගනිත්වා..

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>8. සතරකමටහන් – අසුභ භාවනාව