තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවන් මාර්ගයේ ගමන් කරන සැදැහැවත් පින්වතුන් තමතමන්ගේ සිතේ පිරිසිදු බව, එකඟ බව, සැහැල්ලු බව උදාපත් කරගෙන නිවන ළඟා කරගැනීම සඳහා ශීලයක පිහිටා සමථ විදර්ශනා භාවනා කළයුතු වේ. ඒ සඳහා පිවිසුමක් ලබා දීම පිණිස කෙටි උපදෙස් මාලාවක් වශයෙන් මෙම ලිපි පෙළ සම්පාදනය කෙරේ. ඒ අනුව තම තමන් කෙටියෙන් නමුදු සෑම දිනකම භාවනාවකට සිත පුරුදු කරගත යුතු වේ. බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මේ වටිනා අවස්ථාව අපට උදාපත් කරදීම පිණිස බව නිතර සිහි තබාගත යුතු වේ. එසේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවී, අපට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණේ නම් නිවන් මාර්ගයක් කියා දීමට කෙනෙකු ඇත්තේ නොවේ. කුශලාකුශල ධර්මයන්, හොඳ නරක දේ ලොවට පැහැදිලි කර දෙන ලද්දේ ඒ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අවවාදය වූයේ ‘ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ’ යන්නයි. එනම් ‘සිහියෙන් තොරව ප්‍රමාද භාවයට පත් නොවී භාවනා වැඩිය යුත’ු බවයි. ‘මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ’ යනුවෙන් ද වදාළේ ‘භාවනා නොකර, සිහියෙන් තොර වී, ප්‍රමාද බවට පත් වී පසුව විපිළිසර නොවන’ ලෙසයි. එබැවින් උදාපත් වූ දුර්ලභ බුදු සසුනේ උතුම් ඵලය ළඟා කරගැනීම පිණිස නොපමාව භාවනාව ඇරඹිය යුතු වේ. යම් පින්වතෙක් තවමත් භාවනාව ආරම්භ නොකළේ නම් පමා නොවී අද අදම අරඹන ලෙසයි අපගේ මෛත්‍රී සහගත ඇරයුම වන්නේ.

          ඒ අනුව භාවනාව ආරම්භ කිරීම පිණිස තමාගේ ශීලය පිරිසිදු කරගෙන තෙරුවන් වන්දනා කිරීම් ආදිය සිදු කොට පූර්ව කෘත්‍යයක් සිදු කළයුතු ආකාරය පැහැදිලි කරදෙන ලදී. අනතුරුව බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරණසතිය යන සතර කමටහන් කෙටියෙන් පුරුදු කර සිත භාවනාවට සුදුසු කර්මණ්‍ය බවට පත්කර ගත යුතු වේ. ඒ අනුව සිතේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය ආදී ධර්මතාවයන් වැඩි දියුණු වී නිවන් උදෙසා තමන්ව නොනවත්වා මෙහෙය විය හැකි සිතක් ඇති කරගත හැකි වේ. ඉන්පසු තමාට සුදුසු කර්මස්ථානයක් තෝරාගෙන දීර්ඝව භාවනාව පුහුණු කළයුතු වේ.

සුදුසු කර්මස්ථානය තෝරා ගැනීම

          සමථ කර්මස්ථාන සතලිසක් (40) ඇති බව ඉහත දක්වන ලද අතර ඒ ඒ චරිතවත් පුද්ගලයාට සුදුසු වන කර්මස්ථාන පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරය ද ඉහත පැහැදිලි කරන ලදී. එසේම මේඝිය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාගය ප්‍රහාණය කිරීමට අසුභයත්, ව්‍යාපාදය හෙවත් තරහව ප්‍රහාණය කිරීමට මෛත්‍රියත්, විතර්ක සංසිඳවීම පිණිස ආනාපානසතියත්, තමා කෙරෙහි ඇති අස්මිමානය දුරු කිරීමට අනිත්‍ය සංඥාවත් වැඩිය යුතු බව දේශනා කළ සේක. එසේම රාහුල ස්වාමින් වහන්සේට සතර බ්‍රහ්මවිහාර, අශුභ, කායගතාසති, ආනාපානසති යනුවෙන් භාවනා කර්මස්ථාන සතක් දේශනා කළ සේක. එබැවින් චරිතානුකූල කර්මස්ථානයක් ඇතත් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් සහිත ගුරු උතුමන් වහන්සේ කෙනෙකුගේ අවවාදය ලබාගත නොහැකි නම් ඕනෑම කර්මස්ථානයකින් භාවනාව ඇරඹීම සුදුසු වේ. ඕනෑම කෙනෙකුට ඕනෑම භාවනාවකින් කිසියම් සිතේ දියුණුවක් ලබාගත හැකි නොවේ.

සිතේ දියුණුව හා උදලු මිට

          සමහර කෙනෙක් ටික කලක් කිසියම් භාවනා කර්මස්ථානයක් වැඩීම සිදු කර තමාගේ සිතේ වැඩීමක් සිදු නොවන්නේ යැයි මැසිවිලි නඟන අවස්ථා අපට හමු වේ. ඔබත් එසේ කිසියම් කමටහනක් අත්හදා බලා සිතේ වැඩීමක් නැතැයි සිතන්නේ නම් එයට දිය හැකි හොඳම පිළිතුර වන්නේ සිතේ වැඩීම පහසුවෙන් දැකගැනීම අපහසු බවයි. එය උදැල්ලකට මිටක් සවි කිරීම වැනිය. උදැල්ලකින් වැඩ කරන කෙනෙක් එයට අලුතෙන් මිටක් සවි කළ පසු අතට රළු ස්වභාවයක් දැනේ. එක් දිනක් වැඩ කළ ද මිට සිනිඳු වූ බවක් නොදැනේ. දින දෙකක් වැඩ කළ ද නොදැනේ. සමහර විට මාසයක් පමණ වැඩ කල ද එය තේරුම් ගැනීම අපහසු වේ. එහෙත් අවුරුද්දක් පමණ වැඩ කළ කෙනෙකුට උදලු මිට හොඳින් සිනිඳු වී ඇති බව තේරුම් යනවා ඇති. භාවනාවෙන් ලැබෙන සිතේ වැඩීම ද මෙසේම දිනකින්, දෙකකින් හෝ සමහර විට මාසයකින් තේරුම් ගත නොහැකි වේ. එය කාලයක් කිරීමෙන් අත් දකින දෙයකි. ඒ නිසා තමන්ට සුදුසු යැයි අදහස් කරන කමටහනක් ගෙන දීර්ඝ කාලයක් වැඩීම සිදු කරන ලෙස මතක් කරසිටිමු.

ආනාපානසති භාවනාව

          පූර්ව කෘත්‍යයක් සිදු කර සතර කමටහන් පුහුණු කළ තැනැත්තා මීළඟට තමාට සුදුසු කමටහනක් ගෙන දීර්ඝව භාවනා කළයුතු වේ. එහි දී සෑම දෙනෙකුටම පොදුවේ ගැලපෙන, පහසුවෙන් තේරුම් ගත හැකි භාවනා කමටහනක් වශයෙන් ආනාපානසති භාවනාව දැක්විය හැකි වේ. ආනාපානසති භාවනාව සෑම චරිතයකටම සුදුසු කමටහනක් වේ. මත්තෙහි කරන භාවනාවන්ට ද උපකාරී වේ. සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වන්නේ ද මෙම ආනාපානසති භාවනාව මූලික කරගෙන භාවනාව ඇරඹීමෙන් ය. එහෙයින් මෙය ‘බෝධිසත්ව භාවනාව’ යනුවෙන් ද හැඳින්වේ. එසේම බොහෝ පසේබුදු, අගසව්, මහසව් ආදී උතුමන් වහන්සේලා ද මෙම ආනාපාන සති භාවනාවෙන් විශේෂ අධිගම ලබාගෙන සුවසේ වාසය කළහ. මෙම ආනාපාන සතිය වැඩීමේ ආනිසංසය මෙසේ සඳහන් වේ.

ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා (පටිසම්භිදාමග්ගපාලි)

යම් පුද්ගලයෙක් ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ පරිද්දෙන් පිරිපුන්ව, මනාව වඩන ලද්දේ නම්, පිළිවෙළින් ප්‍රගුණ කරන ලද්දේ නම්, ඒ තැනැත්තා වලාගැබින් මිදුණු පුන්සඳමඬලක් සේ මෙලොව දීප්තිමත් කරන්නේ යැයි මෙම ගාථාවෙන් පැවසේ.
මේ නිසා පළමුව ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් වඩනා ආකාරය දැනගත යුතු වේ. ඒ සඳහා භාවනාව නිවැරදිව කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගත යුතු වේ. මෙකල බොහෝ දෙනා භාවනාව වැරදි ක්‍රම වලට කියා දෙන බව අසන්නට ලැබේ. නිවැරදිව භාවනාව වඩන ආකාරය බුද්ධ දේශනයේ සඳහන් වේ. ඒ බුද්ධ දේශනයේ ඇතැම් පද සම්බන්ධයෙන් සමහර කෙනෙක් වැරදි අර්ථකථනයන් ලබා දේ. එයින් ම පැහැදිලි වන්නේ ඔවුන් භාවනාව වඩා නොමැති බවයි. එසේ වැරදි බව ඔප්පු වන්නේ ඒ අර්ථකථනයන් ත්‍රිපිටකයේ පෙළ, අර්ථකථා වලට නොගැලපෙන බැවිනි.

ආනාපානසතිය පිළිබඳ මූලාශ්‍ර

එසේ නම් ආනාපානසති භාවනාව නිවැරදිව කියා දෙන ත්‍රිපිටක මූලාශ්‍ර පිළිබඳව දැනුවත් වීම සුදුසු වේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සූත්‍ර දේශනා ගණනාවක දේශනා කර ඇත. ඒ අතර මජ්ක්‍ධිමනිකායේ ආනාපානසති සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය, මහාරාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදිය ද සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තය ද, බොජ්ඣඩ්ග සංයුත්තයේ එන ආනාපානසති සූත්‍ර සය (6) ද විශේෂයෙන් දැක්විය හැකි වේ. එසේම ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශිත පටිසම්භිදාමග්ගපාළිය ආනාපානසති භාවනාව පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වයි. මේ සියලු මූලාශ්‍ර එක් කරමින්, බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ සූත්‍ර දේශනය පිළිබඳ මහාකාශ්‍යප, ආනන්ද ආදී මහරහතන් වහන්සේලා විසින් දරාගෙන පැමිණි අර්ථකථනයන් අනුව යමින් අනුරාධපුර යුගයේ දී බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ‘විශුද්ධිමාර්ගය’ නැමති මහාවිහාරීය භාවනා ග්‍රන්ථය අතිශයින් ප්‍රශස්ථතර වේ. එහි එන භාවනා මාර්ගය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නැති බව එය අනුගමනය කරන ලද ලක්දිව සහ බුරුමය, තායිලන්තය ආදී රටවල ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් වලින් දැනගත හැකි වේ.

ඒ අනුව වර්තමානයේ ආනාපානසති භාවනාව පිළිබඳ නිවැරදිව කියා දෙන ගුරු උතුමන් වහන්සේ නමක් සොයාගත නොහැකි නම්, පාළි භාෂාව හොඳින් වැටහෙන කෙනෙක් නම්, වැරදි උපදෙස් අනුගමනය නොකර පාළි භාෂාවෙන් ඇති විශුද්ධිමාර්ගය අනුගමනය කරන ලෙස අපගේ මෙත් සිත් සහගත යෝජනාව වේ. ඒ සඳහා දඹදෙණි යුගයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද විශුද්ධිමාර්ග සන්නය ද උපකාර කරගත හැකි වේ. ඒ පිළිබඳ බෙන්තර සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ 1949 වසරේ පමණ සංස්කරණය කළ ග්‍රන්ථයක් ඇති අතර සොයාගත හැකි නම් වඩාත් සුදුසු වේ. එසේ හැකියාවක් නොමැති, නිවැරදිව භාවනා මාර්ගයේ ගමන් කිරීමට කැමති සත්පුරුෂ පින්වතුන් උදෙසා අපගේ ශක්ති පමණින් මෙම ලිපි පෙළ සම්පාදනය වේ. එය ගුරු තනතුරේ තබාගෙන නොපමාව භාවනාව වඩා සෑම සියලු දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>9. සතර කමටහන් වැඩීම – මරණසතිය