ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරගෙන පවත්වන්නා වූ සිහිය ආනාපාන සතිය ලෙස ඉතාම කෙටියෙන් හැඳින්විය හැකි වේ. ආන + ආපාන + සති = ආනාපානසති යැයි පද විග්‍රහ කළ හැකි අතර ආන යන්නෙන් අදහස් වන්නේ ආශ්වාසයයි. ආපාන යනු ප්‍රාශ්වාසයයි. ඒ ආශ්වාසය හා ප්‍රාශ්වාසය පරිග්‍රහණය කරගන්නා, එය අරමුණු කරගත් සතිය ආනාපානසතියයි.

          ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වන බව බුදුරජාණන් වහන්සේ විසින්ම බොහෝ සූත්‍ර දේශනාදියෙහි දක්වා ඇත. සංයුක්ත නිකායෙහි එන ආනාපානසති සූත්‍රයෙහි සඳහන් වන්නේ, ‘ආනාපානසති භික්ඛවේ භාවිතා, බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා’ යනුවෙනි. එනම් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බවයි. එසේම ‘ආනාපානසති භික්ඛවේ, භාවිතා බහුලීකතා මහතෝ අත්ථාය සංවත්තති’ යනුවෙන් සංයුත්ත නිකායේ තෘතීය ආනාපානසති සූත්‍රයේ දේශනා කරන ලද්දේ භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත් හිතවැඩ පිණිස පවතින බවයි. ‘ඒකධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහප්ඵලෝ හෝති මහානිසංසා, කතමෝ ඒකධම්මෝ ආනාපානසති’ යනුවෙන් ද වදාළේ භාවිත බහුලීකෘත කරන ලද එක් ධර්මයක් මහත්ඵල මහානිසංස වන බවයි. ඒ එක් ධර්මය නම් ආනාපානසතියයි. විස්තර වශයෙන් මජ්ක්‍ධිමනිකායේ ආනාපානසති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ,

‘ආනාපානසති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා. ආනාපානසති භික්ඛවේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති, චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්තබොජ්ක්‍ඩ්ගේ පරිපූරෙන්ති, සත්තබොජ්ඣඩ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරේති’

යනුවෙනි. එනම් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය සතර සතිපට්ඨානය පරිපූරණය කරන බවත්, භාවිත බහුලීකෘත කරන ලද සතර සතිපට්ඨානය සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය කරන බවත්, භාවිත බහුලීකෘත කරන ලද සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය කරන බවත් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාදියෙහි වර්ණනා කරන ලද භාවනාවක් වන්නේ ආනාපානසති භාවනාවයි.

          ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන ආකාරය බුදුගොස් ඇදුරුපාණෝ විශුද්ධිමාර්ගයේ සඳහන් කරන්නේ මෙසේය.

1. බුදුරජාණන් වහන්සේ ‘අයම්පි ඛෝ භික්ඛවේ ආනාපානසති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පණීතෝච’යැයි දේශනා කළ බැවින් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය ශාන්ත වේ. ප්‍රණීත වේ. එය කාමවිතර්කාදී අකුසල විතර්කයන් සිඳලීම පිණිස හේතු වේ.

2. ආනාපානසතිය වැඩීමෙන් සතරසතිපට්ඨානාදි පිළිවෙළින් නිවන් මාර්ගය පරිපූරණය වන නිසා මගඵල නිවන් සාක්ෂාත් කර ගත හැකි වේ.

3. ආනාපානසතිය භාවිත බහුලීකත කරන පුද්ගලයාට මරණාසන්න මොහොතේදී චුති චිත්තක්ෂණයට චිත්තක්ෂණ දහසයකට ප්‍රථම ඇතිවන අවසන් ආශ්වාස ප්‍රශ්වාසයෙහි ද උත්පාද, ඨිති, භංග යනාදිය ප්‍රකට කරගත හැකි වේ. ඒ නිසාවෙන්ම නොමුළාව කළුරිය කළහැකි වේ.

4. ආනාපානසතිය වඩා අරිහත්වයට පත් වන භික්ෂුවට සිය ආයු අන්තරය එනම් ජීවිතය පවත්නා කාලය නිවැරදිව පිරිසිඳිය හැකි වේ.

මේ ආදී හේතු නිසාවෙන් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වේ. එසේම මහාරාහුලෝවාද සූත්‍ර අර්ථකථාවේ ආනාපානසතිය වැඩීමේ ආනිසංස මෙසේ සඳහන් වේ.

1. ආනාපානසතිය වඩන භික්ෂුවට එක් භාවනා ආසනයකදී ම ආනාපානසතිය වැඩීමෙන් සව්කෙලෙස් නසා උතුම් අරිහත්වයට පැමිණිය හැකි වේ.

2. එසේ නොහැකි වන පුද්ගලයාට මරණයට පත් වන අවස්ථාවේ අවසන් හුස්මරැල්ල ද පිරිසිඳ දැකිය හැකි නිසා එහි දී සමසීසී රහතන් වහන්සේ නමක් ලෙස අරිහත්වයට පත්වීමත් පිරිනිවන්පෑමත් එකවර සිදු විය හැකි වේ.

3. එසේ ද නොහැකි විට මරණින් මතු දෙව්ලොව ඉපිද ධර්මකථික දිව්‍ය පුත්‍රයන්ගෙන් ධර්මශ්‍රවණය කොට අරිහත්වයට පත් විය හැකි වේ.

4. එසේ ද නොහැකි වුවහොත් අබුද්ධෝත්පාද කාලයක උතුම් පසේබුද්ධත්වයෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට ද ආනාපානසතිය උපකාරී වේ.

5. එසේ ද නොහැකි වුවහොත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් අභිමුවේ බාහියදාරුචීරිය මහරහතන් වහන්සේට මෙන් ඉතා ඉක්මනින් ධර්මය අව‍බෝධ කරගෙන උතුම් අරිහත්වයට පත් වීමට ආනාපානසති භාවනාව වැඩීම උපකාරී වේ.

          මෙසේ ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වන ආකාරය ධර්මයේ නොයෙක් ආකාරයෙන් විස්තර කර තිබේ. එසේම සෑම බුදුවරයෙක්ම ද මෙම ආනාපානසති භාවනාව මුල් කරගෙන භාවනාව අරඹා උතුම් බුද්ධත්වයට පත් වේ. නිවැරදි ගුරු උපදෙස් ලබාගෙන භාවනාව වඩන්නේ නම් ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් වඩා ධ්‍යාන, මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කරගත හැකි වේ.

          ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව සැරියුත් මාහිමියන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට වදාළ බව මජ්ක්‍ධිමනිකායේ, මහාරාහුලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

          දිනක් රාහුල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ පිටුපසින් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ද ගෙන පිණ්ඩපාතයේ වැඩියේය. එහි දී ඉදිරියෙන් වඩිනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා තමන් වහන්සේගේ සිරුර ද බලා සැසඳීමක් කළේය. තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ම පුත්‍ර රත්නය වේ. ඒ නිසා ඒ බුදුසිරුර ද තමන්වහන්සේගේ සිරුර ද නොයෙක් අතින් සමාන බව සැලකුවේ ය. රාහුල ස්වාමින් වහන්සේ රූපය කෙරෙහි ඡන්දරාගයක් ඇති කරගත් බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතරමඟ නැවතී රාහුල ස්වාමින් වහන්සේට රූපය පිළිබඳ භාවනා කමටහනක් වදාළ සේක. මේ රූපය ‘මගේ ය, මම ය, මගේ ආත්මය ය’ යැයි සැලකිය යුතු නොවේ. මෙය ‘මගේ නොවේ ය, මම නොවේ ය, මගේ ආත්මය නොවේ ය’. මෙය ඇසූ රාහුල ස්වාමින් වහන්සේ සංවේගයට පැමිණියේය. පිණ්ඩපාතය වැඩීම නවතා, බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ගසක් මුල භාවනාවට හිඳගත්තේය. ඒ පිටුපසින් පිණ්ඩපාතයේ වැඩම කළ සැරියුත් මාහිමියෝ ගසක් මුල භාවනාව වඩන රාහුල ස්වාමින් වහන්සේ දැක උපදෙසක් දුන්නේ ය. ‘ආනාපානසතිං රාහුල භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’, එනම් ‘රාහුල ! ආනාපානසතිය වඩන්න. වඩන ලද, බහුලවශයෙන් වඩන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වේ’ යනුයි.

          එබැවින් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස භාවනාවක් වේ. සෑම පුද්ගලයෙකුටම පහසුවෙන් ආරම්භ කළහැකි ද වේ. භාවනාව ආරම්භකරන කෙනෙකුට ඒ සඳහා ආරම්භක කමටහනක් වශයෙන් ද ආනාපානසති භාවනාව සුදුසු වේ. ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන්, පිළිවෙළින් වඩන අයුරු ත්‍රිපිටකය අනුසාරයෙන් ඉදිරි ලිපියෙන් විස්තර වේ. එය ගුරු තනතුරෙහි තබාගෙන, පිළිවෙලින් ආනාපානසතිය වඩා, බුදුසසුනේ බොහෝ දෙනෙක් මෙන් පහසුවෙන් නිවන් අවබෝධ කරගනිත්වා…!

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>10. ඔබ තවමත් පමා නැත. අදම අරඹන්න … ආනාපානසති භාවනාව – පළමු කොටස