එළඹ ඇත්තේ තරමක් දුෂ්කර කාලපරිච්ඡේදයක් වේ. ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්වය යටතේ සියලුදෙනාම අසරණ වී ඇත. තමන්ට එදාවේල පවා සපයාගැනීමට කුලීවැඩක් කරමින් දිවිගෙවූ බොහෝ මිනිසුන් නිවෙස්වලට වී කල්යල් බලන්නේ කවදා නම් මේ තත්වය පහවේදෝ යන බලාපොරොත්තු සහගත සිතිනි. රෝගබිය නිසාවෙන් නිවෙස් වලට වී ඇඳිරිනීතිය යටතේ ගෙවූ නව වසරක් ඉතිහාසයට එක් විය. වෙනදා අවුරුද්දේ නොනගතයට ගමේ විහාරස්ථානයට ගොඩවැදී හාමුදුරුවන් වහන්සේලා මුණගැසී, දානමානාදිය සපයා දී, ශීලාදි ගුණ පුරා, දහම් ශ්‍රවණය කළ බොදු පින්වතුන්ට ඒ ලාභය නොලැබී ගියේය. ඒ අතර බුදුසසුනෙහි අප්‍රමාදීව ශීලාදි ගුණධර්මයන් පුරන මහාසංඝරත්නය පැවරී ඇත්තේ භාරදූර කාර්යයකි. තමන්ට සිව්පසයෙන් සංග්‍රහ කළ ගිහි දායකකාරකාදීන් දනක් පිනක් කරගත නොහැකි වාතාවරණයකට පත්ව ඇති බැවින් මහාසංඝරත්නය කෙසේ හෝ මේ දුෂ්කර කාලපරිච්ඡේදය ගෙවා ස්වකීය ශීලාදි ගුණ පූරණය කරගනිමින් තථාගත ශ්‍රී සද්ධර්මයේ චිරස්තිථිය වෙනුවෙන් කැප විය යුතු වේ. ඒ සඳහා අතීතයේ මෙවැනි, මීටත් වඩා අසීරු කාලවකවානුවල දී පැරණි යතිවරයන් වහන්සේලා ස්වකීය ජීවිත පරිත්‍යාගයෙන් කළ මෙහෙවර අපට වටිනා අවවාදයකි. ආදර්ශයකි. අනුරාධපුර රාජ්‍ය සමයේ ඇති වූ ‘බ්‍රාහ්මණතිස්ස භය’ හෙවත් ‘බැමිණිතියා සාය’ කාලයේ දොළොස් වසරක් අනේකවිධ දුක්ගැහැට මැද බුදුසසුන රැකගත් මහතෙරුන් වහන්සේලාගේ ආදර්ශය වර්තමාන බොදු පාඨකයන් ඉදිරියේ මෙසේ දිගහැරෙන්නේ ඒ අතීතආදර්ශය අනාගතයක් බවට පත්කර ගැනුමට අවැසි මඟපෙන්වීමක් ලෙසිනි.

වළගම්බා රජ පැමිණීම සහ ‘බැමිණිතියා සාය’

ඒ ක්‍රිස්තු පූර්ව 103 පමණ කාලයයි. අනුරාධපුර රාජවංශය දුටුගැමුණු, සද්ධාතිස්ස රජවරුන්ගෙන් පසුව ථුල්ලත්‍ථන (ක්‍රි. පූ. 119), ලජ්ජිතිස්ස (119-109), ඛල්ලාටනාග (109-103) යන රජවරුන් වෙත පැමිණ අනතුරුව වළගම්බා රජු අතට පත් වූවා පමණි. වළගම්බා රජු ඛල්ලාටනාග රජුගේ සොහොයුරා ය. වසර 6 ක් රජකම් කළ ඛල්ලාටනාගරජුගේ කුමාරවරුන් තිදෙනෙක්, සිය පියාගේ රාජ්‍යය පැහැරගැනීමට කුමන්ත්‍රණයක් කළ අතර එය හෙළිවිය. මේ අතර රජුට විරුද්ධව නොයෙක් කැරළි ගැසීම් සිදු වූ අතර මහාරත්තක(1) නම් සෙනෙවියෙක් අගනුවරදීම ඛල්ලාටනාගරජු මැරවීය. එහෙත් රජුගේ සොහොයුරු වට්ටගාමණීඅභය හෙවත් වළගම්බා කුමරු ඒ සෙනෙවියා මරා සිහසුනට පත් වූවේය.

මේ කාලයේ රජකුලයට බොහෝ සතුරන් සිටි අතර වළගම්බාරජු රජවී මාසපහක් ගතවන විට දෙපැත්තකින් අනතුරු පැමිණෙන්නට විය. රුහුණේ නකුල නම් නගරයක විසූ තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් රජුට විරුද්ධව කැරලි ගැසීය. එක්තරා නැකැත් කියන බමුණෙක් ‘මෙ නම් නැකැත් යෝගයෙන් පෙරළි කරන්නහුට මුළු ලක්දිව අත්පත් කළහැකි වන්නේය’ යැයි අනාගතවාක්‍යයක් කියූ අතර එය අසා මුළා වූ බොහෝ දෙනෙක් මොහුට එක් වී සිටියහ. ඒ අතර විශාල බලසෙනඟක් සමඟ දෙමළ අධිපතීන් සත්දෙනෙක් දකුණු ඉන්දියාවෙන් පැමිණ මා තොටට ගොඩබටහ. දෙපිරිසක් සමඟ සටන් කිරීමට තමන් සතු යුධශක්තිය දුර්වල බව වටහාගත් රජ, ඒ දෙපිරිස ඔවුනොවුන් යුද්ධයට යෙදවීමට කටයුතු කළේය. තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයා රාජ්‍යය පිණිස රජු වෙත හසුන්පත් එවූ අතර, රජතුමා,

‘මෙහි රාජ්‍යය දැනට ම ඔබ සතු ය. එය අද ම ගත හැකි ය. මා තොටට පිරිස් සහිත දෙමළුන් සත්දෙනෙක් ගොඩබටහ. තෙපි පළමුව ඔවුන් ගනිවු’
යැයි පෙරළා හසුන්පත් යැවීය. ඒ අනුව තිස්ස බ්‍රාහ්මණයා බළසෙනඟක් රැගෙන ගොස් දෙමළුන් හා සටන් කර සංකේතහාල සමීපයේ යුද බිමෙහි පරාජයට පත් විය.

ජයගත් ද්‍රවිඩයෝ අනුරාධපුරය බලා පැමිණ කෝලම්බහාලක (කොළඹෑල) නම් ස්ථානයේ දී රජු හා සටන් කළෝ ය. එයින් රජු පරාජයට පත් වූ අතර රථයක නැඟී අනුරාධපුරය බලා ගොස් සිය අඹුදරුවන් ද රැගෙන ගිරි නම් නිඝණ්ඨයාගේ ආරාමය අසලින් ගමන් ගත්තේය. මෙම නිඝණ්ඨාරාමය පණ්ඩුකාභය රජුගේ කාලයේ පටන් රජවරු විසිඑක් දෙනෙකුගේ කාලය මුළුල්ලෙහි නොකඩවා තීර්ථක ආරාමයක්ව පැවති අතර ඛල්ලාටනාග රජුට විරුද්ධව කැරළිගැසූ කුමාරවරුන්ට රැකවරණය දුන් තැනයි. එබැවින් ඒ ගිරි නිඝණ්ඨයා රජු හෙළාදකින අදහසින් ‘මහකළු සිංහලයා යුදයෙහි පැරදී පලා යන්නේය’ යැයි මහ හඬින් හඬගෑවේ ය. පසුකලෙක වළගම්බා රජු විසින් අභයගිරිවිහාරය ඉදිකරන ලද්දේ මෙම ස්ථානයේ ය.

පලායන රියේ රජුගේ දෙටු සොහොයුරාගේ බිසව වූ ගැබ්බර අනුලාදේවියත් ඇගේ පුතුන් දෙදෙනාත්, රජබිසව සෝමාදේවියත් සිටි අතර රියේ බර අඩුකිරීම පිණිස සෝමාදේවිය සිය කැමැත්තෙන් රථයෙන් බැස්සාය. පරාජය පිළිබඳ සැකයකින් සිටි රජුට හදිසියේ පැමිණි බැවින් තථාගතයන් වහන්සේ පරිභෝග කරන ලද, සුමනසාමණේරයන් වහන්සේ විසින් මෙහි ගෙනෙන ලද පාත්‍රාධාතුව රැගෙන ඒමට නොහැකි විය. දෙමළ අධිපතීන් සත්දෙනා අතරින් එක් අයෙක් සෝමාදේවිය රැගෙන සියරටට ගිය අතර තවත් අයෙක් පාත්‍රාධාතුව ගෙන ආපසු ගියේය. ඉතිරි ද්‍රවිඩයින් පස්දෙනා වසර දහහතරකුත් මාස හතක් එකිනෙකා මරාගනිමින් රජකම් කළහ. අවසානයේ වළගම්බා රජ මායාරටින් බලසෙනඟ රැගෙනවිත් දාඨිය නම් දෙමළරජ මරා නැවත සිහසුන අත්පත් කරගත්තේය.

තිස්ස බ්‍රාහ්මණයා විසින් ඇති කරන ලද කැරැල්ල හේතුවෙන් රටේ ඇති වූ ඛේදජනක වාතාවරණය ‘බ්‍රාහ්මණතිස්ස භය’ ලෙස පාලි අර්ථකථාවල සඳහන් වේ. මෙය ‘බැමිණිතියා සාය’ ලෙස ද හැඳින්වේ. ද්‍රවිඩ කැරැල්ල පිළිබඳ වැඩි විස්තරයක් අර්ථකථාවල සඳහන් නොවන අතර මහාවංශයේ පමණක් සඳහන් වේ. තිස්ස බ්‍රාහ්මණයා මරණයට පත් වූ බවක් ද මහාවංශයේ සඳහන් නොවන බැවින් ඇතැම් විට තිස්ස තරුණයා දමිළ නායකයන්ට එක් ව රාජ්‍යපාලනය කරන්නට ඇති බවට සමහර විද්වතෙක් අදහස් කරති. දමිළ නායකයන් පිළිබඳ සඳහන් නොකර එකල සිටි ලාංකීය නායකයාගේ නමින් මෙම කාලපරිච්ඡේදය හැඳින්වීමට පාලි අර්ථකථාචාරීහු උනන්දු වූ බව ඔවුන්ගේ අදහසයි. කෙසේ හෝ වෙතත් මෙකල ලංකා ඉතිහාසයේ කිසි කලෙක නොවූ විරූ දරුණු සාගතයක් ඇති වූ බවත්, එය වසර දොළසක් පැවති බවත් සඳහන් වේ.

මේ කාලවකවානුව සම්බුද්ධ ශාසනයට මහත් ඛේදජනක කාලපරිච්ඡේදයක් විය. පාලි අර්ථකථාවන්හි දැක්වෙන අන්දමට එවකට සිටි මහසඟරුවන තථාගත බුද්ධවචනය රැකගැනීමට දැරූ උත්සාහය අනුවේදනීය ය. අනුරාධපුරයේ මහාවිහාරය ඇතුළු විහාර හිස් වී ගියබව සඳහන් වන්නේ දමිළ කැරළිකාර රජවරුන්ගෙන් සිදු වූ කෙණෙහිලිකම් නිසා විය හැකිය. ථූපාරාමය, මහසෑය යනාදි පූජනීය ස්ථාන පාළු වී වල්බිහි වී තිබිණ. බොහෝ භික්‍ෂූහු දඹදිවට වැඩම කළ අතර තවත් බොහෝ පිරිසක් ලක්දිව කඳුකරයට හා රුහුණට වැඩම කළහ.

තථාගත බුද්ධවචනය සුරක්‍ෂිත කරගත යුතු යැයි ථිර අදිටනින් කටයුතු කළ ස්වාමින් වහන්සේලා හිඳගෙන, කය කෙළින් තබාගෙන සිටියහැකි කාලයේ එසේ හිඳගෙන තමන් කටපාඩමෙන් දරාගෙන පැමිණි ධර්මය නොනැසී පැවතීම පිණිස සජ්ඣායනා කළහ. කය කෙළින් තබාගෙන සිටිය නොහැකි කාලයේ වැලි ගොඩවල් ගසා ඒවාට හේත්තු වී ඒ මත හිස තබාගෙන සජ්ඣායනා කළහ. එසේ වැලිගොඩවල් මත හිස තබාගෙන එකිනෙකා වහන්සේලා හිස් ළං කරගෙන තමතමන් දරාගෙන පැමිණි ධර්මය අනෙක් ස්වාමින් වහන්සේලා සමඟ සම්මර්ශනය කළහ. මෙසේ අර්ථකථා සහිත ත්‍රිපිටකය එක් අකුරකු දු නොනැසී තබාගැනීමට ඒ මහා යතීන්‍ද්‍රයන් වහන්සේලා ගත් උත්සාහය වර්තමානයට මාහැඟි ආදර්ශයක් වේ. අවසානයේ වළගම්බාරජ දෙමළ කැරලිකරුවන් මර්දනය කොට රට එක්සේසත් කළ පසු විදෙස්ගත වී සිටි භික්‍ෂූන් වහන්සේලා ආපසු පැමිණ, මෙරට සිටි භික්‍ෂූන් සමඟ තමතමන් දරාගෙන සිටි ධර්මය සංසන්දනය කර බැලූහ. එක් අකුරකු දු වෙනසක් නම් නොවුණු බව සඳහන් වේ.

මෙතරම් දුෂ්කර කාලපරිච්ඡේදයක දී ඒ මහා යතිවරු අපට ඉතිරි කර දුන් තථාගත බුද්ධවචනය නමැති මිහිරි දායාදය අනාගතය උදෙසා සුපිරිසිදු ව රැකගැනීම සියල්ලෝම සතු භාරදූර කර්තව්‍යයක් ම වේ. ඒ සඳහා ස්වකීය ශීලාදි ගුණ ආරක්‍ෂා කරගනිමින් පෙරමුණ ගැනීම මහාසංඝරත්නය ඉදිරියේ ඇති අභියෝගය වේ. ඒ සඳහා සැදැහැවත් බොදු ජනතාව නිරතුරුවම සදූපකාරයෙන් ශක්තියක් විය යුතුමය.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

 

(1) අදිකාරම් මහතා මෙම සෙනෙවියාගේ නම ‘කම්ම භාරත්තක’ යැයි සඳහන් කරයි. 154 පි.