වළගම්බා රජ පළමුවරට රාජ්‍යත්වයට පැමිණ මාස පහක් ගතවූ තැන ක්‍රි. පූ. 103 දී පමණ බ්‍රාහ්මණතිස්සභය (බැමිණිතියාසාය) ඇති විය. සකල ලංකාද්වීපය පුරාවට දේශපාලනික අරාජිකත්‍වය සමඟ ඇති වූ සොර බිය පමණක් නොව දැඩි දුර්භික්‍ෂතත්ත්‍වය ද හේතුවෙන් මිනිසුන් අපමණ පීඩාවකට පත් වූහ. කාලවිපත්තිය හේතුවෙන් සිල්ගුණ පුරණ මහාසංඝරත්නයට ද පීඩාවට පත් වන්නට විය.

ඒ බැමිණිතියාසාය කාලයේ රුහුණේ සිතුල්පව් විහාරස්ථානයේ දොළොස්දහසක් භික්‍ෂූන් වහන්සේලා නිබඳ වැඩ වාසය කළහ. තිස්සමහාවිහාරයේ ද එසේම දොළොස්දහසක් භික්‍ෂූහු වැඩ විසූහ. ඒ විහාරස්ථාන දෙකෙහි ම වසර තුනක් දන්වැට පැවැත්වීමට සරිලන වී (ධාන්‍ය) තිබිණි. එහෙත් ඒ විහාරස්ථාන දෙකෙහිම තිබූ වී සියල්ල කෑම නැතිව ඇවිදින මහත් වූ මීයන් රැලක් විසින් එක් රාත්‍රියකින් කා දමන ලදී. වීපොතු පමණක් ඉතිරි ව තිබිණි.

බැමිණිතියාසාය කාලයේ පිණ්ඩපාත දානයක් සපයා ගැනීම ද අතිශය දුෂ්කර වූ බැවින් මේ විහාරස්ථාන දෙකෙහිම භික්‍ෂූන් වහන්සේලා මුහුණපෑවේ දැඩි දුෂ්කරතාවයකට වේ. එවිට සිතුල්පව්වෙහෙර වැඩ විසූ භික්‍ෂූන් වහන්සේලා ‘තිස්සමහාවිහාරයේ දන්වැට පවතින්නේ ය. එහි ගොස් වාසය කරන්නෙමු’ යැයි සිතා තිස්සමහාවිහාරය බලා වැඩම කිරීමට විහාරයෙන් පිටත් වූහ. තිස්සමහාවිහාරයේ වැඩ සිටි සංඝයා ද එසේම ‘සිතුල්පව්වෙහෙරේ දන්වැට පවතින්නේය. එහි ගොස් වසන්නෙමු’ යැයි සිතා සිතුල්පව්ව බලා වැඩම කිරීමට විහාරයෙන් පිටවූහ.

උභයවිහාරයෙන් ම පිටත් වූ භික්‍ෂූහු ගම්භීරකන්‍දරා (ගැඹුරුගිරිකඳුර) නම් නදී තීරයේ දී එකිනෙකා මුණගැසුණහ. යන එන පුවත් විචාරා තමතමන්ගේ දන්වැට අවසන් වූ බව දැනගත්හ. ඒ ඒ විහාරයට ගොස් පලක් නොමැති බැවින් එකිනෙකා කතිකා කරගෙන, සූවිසිදහසක් භික්‍ෂූහු ඒ ගැඹුරුගිරිකඳුරෙන් වනයට පිවිස වැඩහුන් ඉරියව්වෙන් ම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ වදාළෝය. පසුව සොරබිය සන්සිඳුනු කල්හි සෙසු භික්‍ෂූහු සක්දෙව් රජුගේ උපකාරයෙන් ධාතූන් වහන්සේලා රැස්කොට සෑයක් කළහ(1).

උන්වහන්සේලා එපමණ සිල්වත් වූහ. යැපීමට ප්‍රමාණවත් දනක් නොලැබුණු හෙයින් වනයට වැදී වැඩසිටි ඉරියව්වෙන් පිරිනිවීමට පෙර තමන් වහන්සේලාගේ චිත්තසන්තාන නිවා සනහාගෙන සිටියහ. මේ ලක්දිව නමැති පුණ්‍යභූමිය එබඳු උතුමන් වහන්සේලාගේ පුණ්‍යවන්ත පා පහසින් තවතවත් පුණ්‍යවන්ත බවට පත් වී ඇත. ඕනෑම දුෂ්කර සමයෙක නොපිරිහෙලා ශීලාදි ගුණ පූරණයට උන්වහන්සේලාගෙන් අපට ලැබෙන්නේ මහඟු ආදර්ශයකි. එය බුදුවරයන් වහන්සේලා දේශනා කළ නිවන් මඟයි.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

(1) සම්මෝහවිනෝදනී, විභඩ්ගට්ඨකථා, හෙ.මු. 314-316 පිටු.

පෙර ලිපි කියවීමට >>>>දුෂ්කර කාලයකදී ශාසනය ආරක්ෂා කිරීම – සසුනට දිවි දුන් යතිවරු (පළමු කොටස)