බැමිණිතියාසාය නිසාවෙන් හරිහැටි පිණ්ඩපාතයක්වත් නොලැබ භික්‍ෂූන් වහන්සේලා අපමණ පීඩාවට පත් වූහ. වැඩසිටි වෙහෙර-විහාර අත්හැර දමා වෙනත් ප්‍රදේශ වලට වැඩමකළ බැවින් විහාරස්ථාන වල්බිහි විය. මුඛ පරම්පරාවෙන් රැගෙන පැමිණි ත්‍රිපිටක බුද්ධවචනය අනාගතය උදෙසා රැකගැනීම මහත් අභියෝගයක් විය.

මෙසේ බුදුසසුනට වන අනතුර දුටු මහතෙරුන් වහන්සේලා මෙම උවදුරු සංසිඳුවා දෙන ලෙස ඉල්ලමින් ශක්‍රදේවේන්‍ද්‍රයා වෙත තෙරවරුන් අටදෙනෙකු යැවූහ. ශක්‍රදේවේන්‍ද්‍රයා කියා සිටියේ ‘ස්වාමිනි, මේ උවදුර දුරුකිරීම කළ නොහැකි ය. සඩ්ඝයා වහන්සේලා පරතෙරට වඩින සේක්වා. මම මහසමුදුරේ දී ආරක්‍ෂාව සලසන්නම්’ යනුවෙනි(1) .

ඒ අනුව සක්දෙව්රජ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ලවා තෙමහළ් මහාපහුරක් බැන්දවීය. අනතුරුව ලක්දිව වැසි භික්‍ෂූන් වහන්සේලාට මෙසේ දැන්වීය.

“මහත් භයක් වන්නේය, මැනවින් වැසි නොවසින්නේය, භික්‍ෂූන් වහන්සේලා සිව්පසයෙන් ක්ලාන්ත වී පර්යාප්ති ධර්මය දරාගැනීමට නොහැකි වන්නේය, ආර්යයන් වහන්සේලා විසින් එතෙරට ගොස් නමුත් ජීවිතය රැකගැනීම සුදුසු වේ. ස්වාමිනි, මේ මහා පහුරට නගිනුමැනවි. යම් කෙනෙකුන් වහන්සේට මෙහි හිඳගැනීමට ඉඩ මද වුවහොත්, උන්වහන්සේලා ලී කැබැල්ලක් හෝ පපුවට තබාගෙන එතෙරට වඩීවා.සියල්ලන්ටම බියක් නොවන්නේය” යනුවෙනි(2).

ලක්දිව පුරා විසිරී සිටි බොහෝ භික්‍ෂූහු නාගදීපයට ගොස් දඹකොළපටුනට එක් රැස් වූහ. බඳනා ලද මහපහුරේ පහළින්ම වූ මහළ දියෙහි ගිලී පැවතිණි. එක් මහළක භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි අතර අනෙක් මහළේ පාසිවුරු තබන ලදී. මෙහි දී එක්රැස් වූ භික්‍ෂූහු මෙම පහුරේ දී ‘මහාපච්චරිය’ නම් අටුවාව ලියන ලද බව ද සඳහන් වේ(3). ‘පච්චරි’ යනු පහුරට නමකි.

එකල්හි දඹකොළපටුනට රැස්වූ භික්‍ෂූන් සැටනමක් කතිකාවතක් කොට ‘අපි පරතෙරට යාම අවශ්‍ය නොවේ. මෙහි ම රැඳී සිටගෙන ත්‍රිපිටක ධර්මය රකින්නෙමු’ යැයි ඉන් නැවතී දකුණු, මලය ජනපදයට ගොස් අල, මුල්, කොළ වලින් ජීවිකාව කරමින් විසූහ. කය කෙළින් තබාගෙන සිටියහැකි තාක් හිඳගෙන ත්‍රිපිටකධර්මය පිරිවැහූ හ. කෙළින් ඉන්නට නොහැකි වූ විට වැලි ගොඩක් ගසා එය වටේට හිඳ, වැලිගොඩ මත්තෙහි හිස් එක්තැන්කොට තබාගෙන ත්‍රිපිටක පර්යාප්ති ධර්මය එකිනෙකා මෙනෙහි කළහ. මේ ක්‍රමයෙන් දොළොස් වසරක් පුරාවට අර්ථකථා සහිත ත්‍රිපිටකය පිරිපුන් කොට දරාගත්හ.

දඹකොළපටුනට රැස්වූ භික්‍ෂු පිරිසට නායක වූවෝ සංයුත්තභාණක චූළසීව ස්ථවිරයෝ ද, ඉසිදත්ත, මහාසොණ යන ස්ථවිරයන් වහන්සේලා දෙනම ද වූහ. ඒ අතරින් මහාසෝණ ස්ථවිරයන් වහන්සේ අනෙක් දෙදෙනා වහන්සේට නවක වූහ. චූළසීව සහ ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේලා, මහාසෝණ ස්ථවිරයන් වහන්සේට මෙසේ පැවසූහ.

“ඇවැත්නි, මහාසෝණයනි, පහුරට නැගෙව”

“ස්වාමීනි, නුඹ වහන්සේලා?”

“ඇවැත්නි, දියෙහි මරණය ද, ගොඩබිම මරණය ද එකමය. අපි නොයන්නෙමු. නුඹවහන්සේ නිසාවෙන් අනාගතයේ ශාසනප්‍රවේණිය පවතින්නේය. ඇවැත්නි, නුඹවහන්සේ වඩිනු මැනවි” ශක්‍රදේවේන්‍ද්‍රයා විසින් ආරක්‍ෂා සංවිධාන කරන බව පැවසුව ද ජීවිතයේ වහා පෙරළෙන ස්වභාව ඇති බැවින් ජීවිත හේතුවෙන් විදෙස්ගත වීම නොකරන අදහසින් ස්ථවිරයෝ එසේ පැවසූහ.

මහාසෝණ ස්ථවිරයෝ තමන් තනිවම පරතෙරට වැඩම කිරීමට නොකැමති වූවෝ, අනෙක් තෙරවරුන් සමඟ මෙරට නැවතීමට තීරණය කරමින්,

“ස්වාමීනි, නුඹවහන්සේලා නොයන්නේ නම් මම් ද නොයමි” යැයි ස්ථිරව ම පැවසූහ.

තෙවරක් ම කීව ද මහාසෝණ තෙරුන් පහුරට නංවාගත නොහැකි වූ අතර තිදෙනා වහන්සේලා ම මෙතෙර නතර වූහ. සෙසු බොහෝ භික්‍ෂූහු ඒ පහුරේ නැඟී දඹදිව බලා වැඩම කොට බැමිණිතියාසාය අවසානයේ පෙරළා වැඩම කළහ.

මෙසේ ඒ අතිදුෂ්කර සමයේ සම්බුද්ධශාසනය වෙනුවෙන් දිවිදුන් මහායතීන්‍ද්‍රයන් වහන්සේලාගේ ශීලාදි ගුණය හේතුවෙන් සක්දෙව්රජ පවා උපකාර කළේය. උන්වහන්සේලා ද තමතමන් විසූ වෙහෙර-විහාර හැරදමා පරතෙර ගොස් දිවිරැකගෙන පෙරළා විත් ත්‍රිපිටක පර්යාප්තිය බැබළවූහ. ඒ අතර ස්වකීය ශීලය කිළිටි නොකරගත් මහා යතිවරු මෙරට සිටියදීම ඉතා දුකසේ තථාගත බුදුවදන පිරිවහමින් රැකගත්හ. ඒ මහා යතිවරුන් ගත් මඟ වර්තමානයේ සිල්වත් ගුණවත් මහාසංඝරත්නයට අතීතයේ සිට එන ආශිර්වාද පණිවුඩයක් වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

(1) සම්මෝහවිනෝදනී, විභඩ්ගට්ඨකථා, හෙ.මු. 314-316 පිටු
(2) මනෝරථපූරණී, අංගුත්තරනිකායට්ඨකථා, 52 පි
(3) විනයවිනිච්ඡය ටීකාව, විභඩ්ගප්‍රකරණ මූලටීකාව

පෙර ලිපි කියවීමට >>>>සූවිසිදහසක් රහත්හු පිරිනිවෙති – සසුනට දිවි දුන් යතිවරු (දෙවන කොටස)