බොහෝ භික්‍ෂූන් පිරිසක් සක්දෙවිඳුන් විසින් විස්කම් දෙව්පුත් ලවා මවා දුන් පහුරට නැඟී පරතෙරට වැඩම කළහ. භික්‍ෂූන් සැටනමක් පමණ මෙතෙර ම නතර වී දකුණු,මලය ජනපදයට ගොස් අල, මුල්, කොළ වළඳමින් ත්‍රිපිටක ධර්මය සුරක්‍ෂා කළහ. ඒ අතර සංයුත්තභාණක චූළසීව ස්ථවිරයෝ ද, ඉසිදත්ත, මහාසොණ යන ස්ථවිරයන් වහන්සේලා දෙනම ද මෙතෙර නැවතුණහ.

සංඝස්ථවිර වූ චූළසීව ස්ථවිරයෝ ඉසිදත්ත තෙරුන් අමතා මෙසේ අවවාද කළහ.

“ඇවැත්නි, ඉසිදත්තයෙනි, අනාගතයේ මහාසෝණ ස්ථවිරයන් නිසාවෙන් ශාසනප්‍රවේණිය පවත්නේය. උන්වහන්සේ අතින් අතුරුදන් වීමට නොදී රැකගනු”

“ස්වාමීනි, නුඹ වහන්සේ කොහි වඩිනසේක් ද?”

“මම මහසෑය වඳින්නට යමි”යි ස්ථවිරයන් දෙනම වහන්සේලාට අවවාද දී චූළසීව ස්ථවිරයෝ අනුරාධපුරය බලා වැඩම කළහ.

ඒ සංයුත්තභාණක චූළසීව ස්ථවිරයෝ මෛත්‍රී විහරණයෙන් විසූ තෙරුන්වහන්සේ නමක් බව සඳහන් වේ(1). උන්වහන්සේ ගිහිව සිටිය දී සිය සොහොයුරා ද සමඟ ධනය රැස්කළ අතර සොහොයුරා කිසියම් රෝගයකින් අකාලයේ මියගියේය. එයින් සංවේගයට පත් උන්වහන්සේ ගිහිගෙය හැරදමා ගොස් පැවිදිව මෛත්‍රී විහරණයෙන් වැඩවාසය කළේය. සොහොයුරාගේ බිරිඳ අන්පුරුෂයකු පතන්නී බූදලයට හිමිකම් ඇති තෙරුන්වහන්සේ ජීවත්ව සිටින බැවින් තෙරුන් වහන්සේ මරන්නට උපායක් යෙදෙව්වා ය. විෂ යෙදූ පිණ්ඩපාත දානයක් පිළියෙළකොට දුන් අතර මෛත්‍රී විහරණයෙන් විසූ බැවින් ඒ විෂ සහිත ආහාරයෙන් කිසිදු අනතුරක් නොවූ බව සඳහන් වේ.

උන්වහන්සේ අනුපිළිවෙළින් චාරිකාවේ හැසිර මහාවිහාරයට සපැමිණියහ. එ සමයෙහි මහාවිහාරය භික්‍ෂූන්ගෙන් ශූන්‍ය විය. මහසෑ මළුවේ එරඬුගස් වැවී තිබිණ. සෑය ගස් වලින් වැසී, දිය සෙවළින් වෙළී තිබිණ. ස්ථවිරයෝ ජීවමාන බුදුරදුන්ට නිත්‍යප්‍රකාර දක්වන්නාක් මෙන් මහසෑය වැඳ බටහිර දිශාවේ තිබූ ශාලාවට පිවිස සෑය දෙස බලමින් ‘මෙබඳු ලාභයෙන් අගතැන්පත්, යසසින් අගතැන්පත් ශාරීරිකධාතු චෛත්‍යස්ථානය ද අනාථ වීයැ’යි එහි අනිත්‍යත්වය මෙනෙහි කරමින් වැඩහුන්හ.

ඒ නුදුරෙහි වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවෙක් වෙයි. හේ මඟ යන මිනිසෙකුගේ වෙසක් මවාගෙන සහල් නැළියක් ද, සකුරු පිඬක් ද රැගෙන ස්ථවිරයන් වහන්සේ ළඟට පැමිණ,

“ස්වාමිනි, කොහි වඩින්නේ දැ”යි ඇසුවේය.

“උපාසකය, මම දකුණුදිග බලා යන්නෙමි”

“ස්වාමිනි, මම ද දකුණුදිග බලා ම යනු කැමැත්තෙමි. මා සමඟ එක්ව වඩිමු”

“උපාසකය, මම දුර්වලයි. නුඹේ ගමනින් යාමට නොහැකි යි. නුඹ ඉදිරියෙන් යව”යි කීහ.

“මම ද නුඹවහන්සේගේ ගමනින් යන්නෙමි”යි ඒ උපාසකවෙසින් සිටි දේවතාවා තෙරුන්වහන්සේගේ පාසිවුරු ගත්තේය.

තිසාවැව් ඉවුරට වන් කල්හි ඒ දේවතාවා තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලාගෙන, පානකයක් පිළියෙළකොට දුන්නේය. එය පානයකළ කල්හි ම තෙරුන්වහන්සේගේ කායබලය මඳක් පිහිටියේ ය. දේවතාවා පොළොව හකුළුවා වේණුගඟ අසබඩ එක්තරා භික්‍ෂූන් නොමැති විහාරයකට පැමිණ ඒ රැය තෙරුන් වහන්සේට විසීමට තැනක් පිළියෙළකොට දුන්නේය.

දෙවන දිනයේ තෙරුන් වහන්සේ මුව දෝවනය කළ සැනින් ම කැඳක් පිස දුන්නේය. කැඳ වළඳා අහවර කළ උන්වහන්සේට බතක් පිස එළවීය. ස්ථවිරයෝ,

“උපාසකය, නුඹ පිණිස තබාගනුව” යැයි පාත්‍රය අතින් වැසූහ.

“ස්වාමිනි, මම එතරම් ඈතක නොයන්නෙමි”යි කියා ඒ දේවතාවා තෙරුන් වහන්සේගේම පාත්‍රයේ ඒ සියලු බත බහා, තෙරුන් වහන්සේ වළඳා අහවර කළ කල්හි වත් දක්වා පාසිවුරු ගෙන මඟට පිළිපන්නේය. පොළොව හකුළුවා දැදුරුඔය අසබඩට වඩම්මවා,
“ස්වාමිනි, මෙතැන කොළ කා ජීවත්වන මිනිසුන් සිටිනා තැනකි. දුමක් පෙනේ. මම ඉදිරියෙන් යන්නෙමි”යි තෙරුන් වහස්සේ වැඳ පාසිවුරු දී ස්වකීය භවනටම ගියේය.

ඒ චූළසීව ස්ථවිරයෝ බැමිණිතියාසාය කාලය මුළුල්ලේ ම ඒ කොළ කා දිවි ගෙවූ මිනිසුන් ඇසුරුකරගෙන විසූ සේක. උන්වහන්සේට දේවතාවකුගෙන් පවා උපකාර ලැබුණේ උන්වහන්සේගේ නොසැළෙන මෛත්‍රී ශක්තියත්, නිර්මල ශීලාදි ගුණයත් නිසාවෙන්ම වේ. එබඳු මහෝත්තමයන් වහන්සේලා අපට උරුමකර දුන් තථාගතයන් වහන්සේගේ ශාසනය චිරස්ථායී වනු පිණිස මේ දුෂ්කර සමයේ අඛණ්ඩව ශීලාදි ගුණ පූරණය කිරීමටත්, මෛත්‍රිය ආදි ගුණ දියුණුකර ගැනුමටත් පෙළ ගැසෙමු.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

(1) විශුද්ධිමාර්ගය

පෙර ලිපි කියවීමට >>>>සසුන රැකගැනුමට පරතෙරට වැඩියහ – සසුනට දිවි දුන් යතිවරු (3 වන කොටස)