දඹකොළපටුනෙන් පිටත් වූ පහුරට නැඟි බොහෝ භික්‍ෂූහු පරතෙරට වැඩම කොට දිවි ගලවාගත්හ. මෙතෙර ම නැවතුණා වූ සැටනමක් භික්‍ෂූහු දකුණුමලය ජනපදයට වැඩමකොට දුෂ්කර කාලය ගෙවා දැමූහ. සංඝස්ථවිර වූ චූළසීව ස්ථවිරයෝ අනුරාධපුරය බලා වැඩමකොට මහසෑය වැඳ අනතුරුව දේවතාවෙකුගේ උපකාර ඇතිව දැදුරුඔය අසබඩ පළාකොළ කා දිවි ගෙවූ ගමක් වෙත වැඩමකොට ඒ ඇසුරේ විසූහ.

ඉසිදත්ත සහ මහාසෝණ ස්ථවිරයන් වහන්සේලා දෙනම දඹකොළපටුනෙන් පිටත්ව, අනුපිළිවෙළින් වැඩමකර අළජනපදය නම් ජනපදයට සම්ප්‍රාප්ත වූහ. උන්වහන්සේලාට ප්‍රමාණවත් පිණ්ඩපාත දානයක් පිරිනැමීමට තරම් මිනිසුන්ට ශක්තියක් නොවීය. එහි එක් තැනක මිනිස්සු නො ඉදුණු මී ගෙඩි බිඳ ඇට ගෙන ලෙලි දමා ගොස් තිබිණ. ඉසිදත්ත ස්ථවිරයෝ මහාසෝණ තෙරුන්වහන්සේ අමතා,

“ඇවැත්නි මහාසෝණය, භික්‍ෂාහාරයක් ඇත”යි කියා පාසිවුරු ගෙන්වාගෙන, සිවුර ගැටවටුකොට පෙරවා පාත්‍රය මෑත්කොට වැඩසිටි සේක.

බාලදරුවෝ වැඩසිටියා වූ තෙරුන්වහන්සේ දැක ‘මේ ඉවත දමන ලද මී ලෙල්ලෙන් යම් කිසි ප්‍රයෝජනයක් වන්නේය’ යැයි සිතා, ඒවායේ වැලි පිසදමා, මී ලෙලි පාත්‍රයෙහි බහා දුන්හ. දෙනම වහන්සේලා ම වැළඳූහ. සත්දවසක් මුළුල්ලෙහි උන්වහන්සේලාගේ ආහාරය ඒ වැළඳූ මිලෙලි ටික පමණක් ම විය. වෙනත් කිසිදු පිණ්ඩපාතයක් සම්පාදනය නොවිණි.

තෙරුන්වහන්සේ දෙනම අනුපිළිවෙළින් චෝරිය නම් විල (සේරුවිල) අසලට සපැමිණි අතර එහි එක්තැනක මිනිස්සු පියුම් අල ගෙන, පියුම් දඬු අතහැර දමා ගොස් තිබිණ. එය දුටු ඉසිදත්ත ස්ථවිරයෝ,

“ඇවැත්නි මහාසෝණය, භික්‍ෂාහාරයක් ඇත”යි කියා යළිත් පාසිවුරු ගෙන්වාගෙන, සිවුර ගැටවටුකොට පෙරවා පාත්‍රය මෑත්කොට වැඩසිටි සේක.

ගම්දරුවෝ වැඩසිටියා වූ තෙරුන්වහන්සේ දැක, ‘මේ ඉවත දමන ලද පියුම් දඬුවලින් ප්‍රයෝජන ඇතැ’යි සිතා ඒවා සෝදා පිරිසිදු කොට පාත්‍රයෙහි බහා දුන්හ. උන්වහන්සේලාගේ සත් දිනකට ආහාරය ඒ වැළඳූ පියුම් දඬු පමණක් විය.

මෙසේ ඒ උතුමන් වහන්සේලා අතිශය දුෂ්කර අවධියේ පවා අකැප ක්‍රමයකට පිණ්ඩපාතයක් සම්පාදනය කර නොගත්හ. ඉවතදමන ලද මීලෙලි, පියුම්දඬු පවා නොපිළිගෙන නොවැළඳූහ. එසේ නිර්මල ශීලස්කන්‍ධයකින් හෙබි ඒ තෙරුන් වහන්සේලා අනුපිළිවෙළින් පළාකොළ කා දිවිගෙවන මිනිසුන් සිටින එක් ගම් දොරකට පැමිණියහ. ඒ ගමෙහි එක් ළදැරියකගේ මව්පිය දෙදෙනා වනයට යාමට පිටත්වෙද්දී,

“දියණියනි, කිසියම් ස්වාමින්වහන්සේ නමක් පැමිණියහොත් කිසිතැනකට වඩින්නට නොදී වසන තැනක් කියන්නැ”යි කියා ගියහ.

ඒ ළදැරිය ද තෙරුන්වහන්සේලා දැක පාත්‍රය ගෙන වඩාහිඳුවාගෙන, ගෙහි කිසිදු ධාන්‍ය ජාතියක් නැති බැවින් වෑයක් ගෙන හුනිඳ (ඔළිඳ) පොතු ද, වනකෙසෙල් ද, රුක්පොතු ද හුනිඳවැල් කොළ සමඟ එකට මුසු කොට කොටා පිඩ තුනක් කොට එක් පිඩක් ඉසිදත්ත ස්ථවිරයන්ගේ පාත්‍රයේ ද, අනෙක මහාසෝණ ස්ථවිරයන්ගේ පාත්‍රයේ ද තබා ඉතිරි පිඩ ඉසිදත්ත ස්ථවිරයන්ගේ පාත්‍රයෙහි තබන්නෙමියි අත දිගුකළාය. අත පෙරළී මහාසෝණ ස්ථවිරයන්ගේ පාත්‍රයෙහි ම ඒ තුන්වන පිඩත් පිහිටියේ ය. ඉසිදත්ත ස්ථවිරයෝ, ඒ මහාසෝණ ස්ථවිරයන්ගේ ලාභී බව ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ පුණ්‍ය මහිමයට ස්තුති වශයෙන්,

“බැමිණිතියාසාය කාලයෙහි හුනිඳ,වනකෙසෙල් පිඩකින් විපාකය ගෙනදෙන්නා වූ කර්මය, දේශකාලසම්පත්තියක් ඇති අනෙක් කාලයක කොපමණ විපාක දෙන්නේ දැ”යි කීහ.

උන්වහන්සේලා ඒ හුනිඳපිඩු දානය වළඳා වසනස්ථානයට වැඩමකළහ. මව්පියන් පැමිණි කල්හි ඒ ළදැරිය තෙරුන් වහන්සේ දෙනමක් වැඩි බව කීවාය. ඒ මව්පිය දෙදෙන තෙරුන්වහන්සේලා සමීපයට ගොස් වැඳ,

“ස්වාමිනි, අපි යම් අහරක් ලැබුවහොත්, නුඹවහන්සේලා එයින් පෝෂණය කරන්නෙමු. මෙහි ම වාසය කළමැනවැ”යි ප්‍රතිඥා ගත්හ. තෙරුන්වහන්සේ දෙනම ඒ බැමිණිතියාසාය අවසන් වන තෙක් ම ඒ පළාකොළ කන මිනිසුන් ඇසුරුකොටගෙන වැඩවිසූහ.

මෙසේ ඒ අතිදුෂ්කර බැමිණිතියාසාය කාලයේ සිල්වත් ගුණවත් තෙරුන් වහන්සේලා ස්වකීය ශීලාදි ගුණ ආරක්‍ෂා කරගනිමින් බුදුසසුන අනාගතට සුරක්‍ෂිත කළහ. මී පොතු, පියුම්දඬු, හුනිඳපොතු ආහාරයෙන් නමුදු පරමසන්තුෂ්ඨියෙන් වැඩ විසූහ. ඒ අතීත ආදර්ශය වර්තමාන සිල්වත් ගුණවත් මහාසංඝරත්නයට නිබඳ ආශිර්වාදයක් වේ මය.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>දෙවියන් පවා උපකාර කළ චූළසීව ස්ථවිරයෝ – සසුනට දිවි දුන් යතිවරු (4 වන කොටස)