මහාකාරුණිකයන් බුදුරජාණන් වහන්සේ එක් කලෙක සැරියුත්, මුගලන්, මහාකච්චායන, මහාකොට්ඨිත, මහාකප්පින ආදී මහරහතන් වහන්සේලා ද සමඟ සැවැත්නුවර පූර්වාරාමයේ වස් විසූ සේක. එම කාලය තුළ මහතෙරුන් වහන්සේලා නිතර තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා කමටහන් ලබා දෙමින්, අවවාද අනුශාසනා කරමින් උපකාර කළ අතර බොහෝ දෙනෙක් පෙර නොලැබූ අධිගම ද ලැබූහ. වස් තුන්මස අවසන්ව, වප්මස පුර පසලොස්වක පොහෝ දින, පවාරණ දිනය එළඹිණි. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ භික්‍ෂූන් පිරිවරා එළිමහනේ වැඩ හුන් අතර, වස් තුන්මස භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ප්‍රතිපදාව පිළිබඳ සතුටු සිත් ඇති බවත්, එදින වස් පවාරණය නොකර තවත් මාසයක් එහිම වැඩ සිටීමට තීරණය කළ බවත් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවවාද කළේ, ‘නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස, අධිගත නොකළ ඵලය අධිගමනය පිණිස, පසක් නොකළ නිවන පසක් කිරීම පිණිස විශේෂයෙන් වීර්ය ආරම්භ කරන ලෙස’යි.

          ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා ඉතිරි මාසය ද එහි ම වාසය කරමින් භාවනා ප්‍රතිපදාවේ යෙදුණු අතර මහ තෙරුන් වහන්සේලා තව තවත් උනන්දුවෙන් තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් ලබා දුන්හ. එයින් බොහෝ දෙනෙක් පෙර නොපැමිණි අධිගමයන්ට පැමිණියහ.

          ඉල් මහ පසලොස්වක දින රාත්‍රියේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස අමතා භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ උදාර ප්‍රශංසාවක් කළ සේක. ඒ පිරිසේ උතුම් අර්හත්වයට පත් වූ, අනාගාමී ඵලයට පත් වූ, සකදාගාමී ඵලයට පත් වූ, සෝතාපන්න වූ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින බව පැවසූහ. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධන් වීර්ය, සතර ඍද්ධිපාද, පඤ්ච ඉන්‍ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යඩ්ග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වඩන භික්‍ෂූන් සිටින බව පැවසූහ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනා වඩන භික්‍ෂූන් වහන්සේලා ද, අසුභ භාවනාව ද, අනිත්‍ය සංඥාව ද වඩන භික්‍ෂූන් වහන්සේලා ද සිටින බව පැවසූ සේක.

          ඒ සියල්ල පැවසූ භාග්‍යවතුන් වහන්සේ නැවත, ඒ පිරිසේ ආනාපානසතිය වඩන භික්‍ෂූන් වහන්සේලා සිටින බව ද පැවසූහ. එසේ පවසා, භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව පැවසූ සේක.

          ‘භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසති භාවනාවෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. සතර සතිපට්ඨානය භාවිත බහුලීකෘත කිරීමෙන් සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය වේ. සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් භාවිත බහුලීකෘත කිරීමෙන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය වේ.’

          ආනාපානසති භාවනාව නම් සියල්ලටම මුදුන්පත් භාවනාවකි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අත් නොහළ භාවනාවකි. නිවන දක්වාම දිවෙන භාවනා කර්මස්ථානයකි. එබැවින් සෑම සියලු දෙනාම උනන්දුවෙන් උගෙනගෙන වැඩිය යුතු වේ.

          මෙසේ ආනාපානසති භාවනාවේ ආනිසංස දැක්වූ බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය වඩන ආකාරය පිළිවෙලට විස්තර කිරීම ඇරඹූ සේක. ඒ අනුව මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ආනාපානසතිය දැක්වෙන වෙනත් සූත්‍ර වල මෙන්ම භාවනාව ආරම්භ කරන ආකාරය මෙසේ වදාළ සේක.

          “ඉධ භික්ඛවෙ, භික්ඛු, අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති. සතෝ පස්සසති.”

          ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව වනසෙනසුනකට ගියේ හෝ වේවා, රුක්මුලකට ගියේ හෝ වේවා, ශූන්‍යාගාරයකට ගියේ හෝ වේවා, පලඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන එළවා හිඳගනී. සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි’

          මෙහි දී ‘අරඤ්ඤගතෝ වා …’ යනාදි ආකාරයෙන් භාවනාවට සුදුසු පරිසරය පිළිබඳ වදාළහ. ඒ පිළිබඳව ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. මෙම භාවනාවේ දී සෙසු භාවනාවල මෙන් නොව විශේෂයෙන් භාවනා ඉරියව්වක් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය’ යනුවෙන් වදාළ සේක. ඒ අනුව පලඟක් බැඳගෙන, උඩු කය ඍජුව තබාගැනීම වැදගත් වේ. මෙහි දී වරදවා ධර්මයට අර්ථකථන දෙන සමහරෙක් අසන්නේ ‘උජුං කායං’ කියා ඇති බැවින් මුලු කයම ඍජුව තබාගත යුතු නොවේ ද යනුයි. එහෙත් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා’ යැයි කියන බැවින් පළමුව හිඳගත යුතුයි. එවිට මුලු කයම ඍජු කරගැනීමේ ක්‍රමයක් නැති බැවින් ඒ හිස් පැනයකි. පලඟක් බැඳගෙන හිඳගැනීම අපහසු අය පහසු ආකාරයකට හිඳගත යුතු වේ. භාවනාවට හිඳගන්නා ආකාරය ද ඉහත ලිපි වලින් දීර්ඝව විස්තර කරන ලදී. කෙසේ හෝ පහසු ආකාරයකට හිඳගෙන උඩු කය ඍජුව තබාගත යුතු වේ. සෑම කෙනෙකුගේම පිටකොන්දේ කොඳු ඇට දහඅටක් (18) ඇති අතර ඒ එකිනෙකක් එකිනෙකක් උඩින් සිටින ආකාරයට කොන්ද කෙලින් තබාගත් විට බොහෝ වේලාවක් භාවනාව කරගෙන යා හැකි වේ. එසේ නොවන විට සම, මස්, නහර තෙරපී වේදනා ඇති වේ. කොන්ද කෙලින් ඇති විට ඒ තෙරපීම් ඇති නොවී වේදනා නොමැති නිසාවෙන් සිත කර්මස්ථානයේ එකඟ වේ.

          මීළඟට වැදගත් වන්නේ ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යන්නයි. එයින් අදහස් වන්නේ සිහිය කර්මස්ථානාභිමුඛව තබාගත යුතු බවයි. ‘පරි’ යන්නෙන් පරිග්‍රහණය ද, ‘මුඛං’ යන්නෙන් නිර්ය්‍යාණය (ප්‍රතිපක්‍ෂ ධර්මයන් කෙරෙන් නික්මීම) ද, ‘සති’ යන්නෙන් එළවීම ද අදහස් වන බව පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන බැවින් ‘පරිග්‍රහණය කරන ලද නික්මීම ඇති සිහිය’ අදහස් වේ. කෙලෙසුන් කෙරෙන් නික්මීම සිදුවන්නේ කර්මස්ථානයක සිත වැඩීමෙනි. ඒ නිසා මින් අදහස් කරන ලද්දේ කර්මස්ථානයේ සිහිය තබාගැනීමයි. මෙය දම් සෙනෙවි සැරියුත් මා හිමියන්ගේ අර්ථ දැක්වීම බැවින් වෙනත් වැරදි අර්ථයන් ගතයුතු නොවේ.

          මේ අනුව කියන ලද ආකාරයෙන් භාවනාවට හිඳගන්නා තැනැත්තා තමන්ගේ භාවනා කමටහනට එළවාගත සිහිය අත නොහැර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම ආශ්වාස කරයි. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙහි දී ආශ්වාස යනු හුස්ම ඉහළට ගැනීමයි. ප්‍රශ්වාස යනු හුස්ම පහළට හෙළීමයි. මේ පිළිබඳ වර්තමානයේ ඇතැමෙක් විකෘති අර්ථ දැක්වීම් ද කරති. ‘අස්සසති, පස්සසති’ යන වචන කෙලෙස් දුරු කිරීම පිළිබඳ වචන බව පවසති. ඒ සියල්ල ධර්මය වරදවා අල්ලාගත් අයගේ අර්ථදැක්වීම් බව සිතට ගතයුතු වේ. ඒ කිසිවක් ත්‍රිපිටකයට අනුකූල නොවේ. භාවනා මාර්ගයට ද අනුකූල නොවේ.

          මේ අනුව සිහියෙන් යුතුව ම තමන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස වෙත සිත එළවා තබාගැනීම ආනාපානසතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පළමු ඉගැන්වීමයි. එහි දී සිහිය එළවා තබාගැනීම පහසු වීමට නාසිකාග්‍ර කෙළවර සිත තබාගෙන එහි ගැටෙන හුස්ම රැල්ල මෙනෙහි කරන්න. පළමුව හුස්ම රැල්ල ගැටීම හොඳින් ප්‍රකට නොවිය හැකිය. එහෙත් නාසිකා අග කෙළවර සිත තබාගෙන හුස්ම ඉහළට ගන්නා විට ‘ගනිමි’ යනුවෙන් ද, පහළට හෙළන විට ‘හෙළමි’ යැයි ද සිහි කළ හැකිය. එවිට සිහිය වැඩි වී හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්නට පටන් ගනී.

          මෙහි දී අවධානය යොමු කළයුතු විශේෂ කරුණු පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කරනු ලැබේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 11. ජීවිතයේ අවසන් හුස්මරැල්ල දැකගන්න … ආනාපානසති භාවනාව – දෙවන කොටස