ආනාපානසති භාවනාව ආරම්භ කරනු කැමති පුද්ගලයා විසින් කය ඍජුව තබාගෙන හිඳගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන, සිහි ඇතිව ආශ්වාස ප්‍රශ්වාස කළයුතු බව පළමුව පැහැදිලි කරන ලදී. එහි දී භාවනාවට ආධුනිකයකු විසින් සැලකිය යුතු කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කරනු ලැබේ.

          භාවනා කමටහනක් වැඩීම අරඹන පුද්ගලයෙක් විසින් පළමුව කළයුතු කටයුත්තක් වශයෙන් ඒ භාවනාකමටහන පස් ආකාරයකින් ඉගෙනගත යුතුයැයි විශුද්ධිමාර්ගයේ දැක්වේ. මෙය විශේෂයෙන්ම භාවනාව වඩන භික්‍ෂුවකට වැදගත් වේ. ගිහි පින්වතුන් නමුදු නිවැරදිව භාවනාව ඉගෙනගන්නේ නම් එය වැදගත් වේ. එහෙත් ඒ සඳහා කාලය වැය කළ නොහැකි කාර්යබහුල අය නිවැරදි ගුරු ඇසුරකින් හෝ මෙවැනි නිවැරදිව භාවනාව කියා දෙන ලිපි පෙළකින් හෝ භාවනාව වඩන ආකාරය නිවැරදිව ඉගෙන ගතයුතු වේ. ඒ පස් ආකාරය නම් භාවනාව විස්තර කෙරෙන කිසියම් ග්‍රන්ථයක් හෝ සූත්‍ර දේශනාදියක් නිවැරදිව ඉගෙන ගැනීම, එහි අර්ථය නිවැරදිව විමසා දැන ගැනීම, සැක තැන් විමසා පිරිසිදු කරගැනීම, භාවනාව වැඩීම සිදු වන ආකාරය නිවැරදිව වටහා ගැනීම, ධ්‍යාන උපදවන ආකාරය නිවැරදිව අවබෝධ කරගැනීම සහ භාවනා කමටහනේ ස්වභාව ලක්‍ෂණය දැන ගැනීමයි. ඒ අනුව ආනාපානසති භාවනාව විස්තර කෙරෙන මහාසතිපට්ඨාන සූත්‍රය, ආනාපානසති සූත්‍රය ආදියක් නිවැරදිව ඉගෙන ගතයුතු වන අතර එහි අර්ථය නිවැරදිව බුද්ධදේශනාවට අනුකූලව වටහාගත යුතු වේ. වර්තමානයේ බොහෝ විට වැරදි ක්‍රම වලට භාවනාව විස්තර වන බව දක්නට ලැබෙන්නේ මෙම අර්ථකථනයේ දුර්වලතාවය නිසාවෙනි. මේ නිසා නිවැරදි අර්ථ කීම තේරුම් ගත යුතු වේ.

          සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම සංගායනා තුනකින් පිළිගත් පිරිසිදු ත්‍රිපිටක ධර්මය එහි අර්ථ විවරණයත් සමඟ මිහිදු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට රැගෙන එන ලදී. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය අවබෝධ කරගත් අය ඉතා බොහෝ බව ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානයේ ද ඒ නිවන් මඟ පාලි ත්‍රිපිටකය පෙළ සහ අර්ථකථා තුළ සුරක්‍ෂිතව ඇත. ඒ අනුව හික්මෙන පුද්ගලයාට තමන්ගේ භාවනාව නිවැරදිව දියුණු කරගත හැකි බව නිවැරදිව ඒ මඟ අනුගමනය කළ ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් ඔස්සේ දැනගත හැකි වේ. විශුද්ධිමාර්ගයෙන් සුරක්‍ෂිත වී ඇත්තේ ද මෙම නිවැරදි මාර්ගය වේ. තායිලන්තයේ, බුරුමයේ ආදී ථේරවාදී රටවල මෙම භාවනාමාර්ගය අනුගමනය කරන බොහෝ දෙනෙක් සිටිති. එබැවින් ආනාපානසති භාවනාව පිළිබඳව ද අර්ථ විවරණය කරගත යුත්තේ මෙම පෙළ අර්ථකථා අනුසාරයෙන් මිස හුදු භාවනාව පිළිබඳ අත්තනොමති පවසන පුද්ගලයන්ගේ ප්‍රකාශන ඔස්සේ නොවේ. යම් පුද්ගලයෙක් පෙළ, අර්ථකථාව, විශුද්ධිමාර්ගය වැරදි යැයි පවසන්නේ නම් එහි නිවැරදි මාර්ගය නොමැති බව තේරුම් ගත යුතු වේ. මන්ද ඒ මාර්ගයෙන් නිවැරදිව ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක් සිටින බැවිනි.

          මෙම ලිපි පෙළෙන් අදහස් කරන්නේ ඒ නිවැරදි මාර්ගය විවර කරදීම වේ. ඒ අනුව නිවැරදිව භාවනාව ඉගෙන ගනිමින්, භාවනාවට සුදුසු තැනක් තෝරාගෙන, විවේකීව භාවනාවට වාඩි වී පළමුව පූර්වකෘත්‍ය ආදිය සිදු කර, සතර කමටහන් වැඩීම කෙටියෙන් සිදු කර, ආනාපානසති භාවනාව ආරම්භ කළහැකි වේ. ඒ අනුව තමන්ගේ හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම හුස්ම ඉහළ පහළ හෙළිය යුතු වේ. එසේ හුස්ම රැල්ල මෙනෙහි කරන ආකාරය අර්ථකථාවේ මෙසේ දැක්වේ.

ගණනා අනුබන්‍ධනා ඵුසනා ඨපනා සල්ලක්‍ඛණා
විවටනා පාරිසුද්ධි තෙසඤ්ච පතිපස්සනා

         යනුවෙනි. එනම් හුස්ම රැල්ල ගණන් කිරීමෙන් සිහිය පිහිටුවීම, ඒ හුස්ම අනුගමනය කිරීමෙන් සිහිය පිහිටුවීම, නාසිකා අග හුස්ම ගැටීම අරමුණු කර සිහිය පිහිටුවීම, සිත ඒ හුස්ම අරමුණෙහි මනාකොට පිහිටවීම, අනිත්‍යාදිය සැලකීම, මාර්ගය, ඵලය සහ ප්‍රත්‍යවේක්‍ෂාව වශයෙනි.

         මෙහි දී භාවනාවට ආධුනිකයාට පළමුව පහසුවෙන් හුස්මරැල්ල හඳුනාගැනීම නොහැකි විය හැකිය. එවිට සිහිය වැඩි කරගනු පිණිස පළමුව හුස්ම රැල්ල ගණන් කිරීමාදිය දැක්වේ. ඒ අනුව ආනාපානසතිය වඩන පුද්ගලයා භාවනාවට වාඩි වී තමන්ගේ සිහිය නාසිකාවේ අග කෙළවර හුස්ම ස්පර්ෂ වන තැනට යොමු කළයුතු වේ. එවිට හුස්ම රැල්ල හොඳින් අරමුණු වන්නේ නම් ගණන් කිරීමාදියකින් තොරවම සිහිය පිහිටුවාගත හැකි වේ. එහෙත් සිහිය පිහිටුවා ගැනීම අපහසු පුද්ගලයාට ගණන් කිරීම පහසු වේ. ගණන් කිරීම කළයුතු වන්නේ මෙසේය.

         හුස්ම ඉහළට ගන්නා විට ‘එකයි’ කියා ගණන් කොට පහළ හෙළන විට ද ‘එකයි’ කියා ගණන් කළ හැකිය. දෙවන හුස්ම ඉහළ පහළ හෙළන විට ‘දෙකයි’ කියා ගණන් කළ හැකිය. මෙසේ පහට (5) වැඩි දහයට (10) අඩු ගණනක් ගණන් කළ යුතු වේ. එසේම ‘එකයි, තුනයි, පහයි’ යනාදි ලෙස කඩ කඩ කොට ගණන් නොකළ යුතු වේ. ගණන් කිරීමේ දී ද සෙමෙන් ‘වී මනින්නවුන්’ මෙන් ගණන් කළ යුතු වේ. වී මනින ගොවි මහතා එක් වී නැළියක් පුරවා ‘එකයි’ යැයි කියා දමයි. නැවත වී නැළිය පිරවීමේ දී කසල රොඩු යමක් දුටුවේ නම් ‘එකයි … එකයි’ යැයි නැවත නැවත කියමින් ඒ කසල ඉවත් කර නැළිය පුරවයි. මේ ආකාරයෙන් හුස්ම රැල්ල ගණන් කිරීමේ දී ද ඉහළට ගන්නා හුස්ම මෙනෙහි කිරීමේ දී වැටහෙන වැටහීම පිළිබඳ අවබෝධයෙන් යුතුව ‘එකයි … එකයි … එකයි’ යනාදි වශයෙන් ගණන් කළ හැකි වේ. මෙසේ ගණන් කිරීමේ දී ඉහළට ගන්නා හුස්ම සහ පහළට හෙළන හුස්ම මනාව වැටහෙන්නට පටන් ගත් විට, එසේ වී මනින්නකු මෙන් සෙමෙන් ගණන් කිරීම අතහැර ගොපල්ලකු ගවයන් ගණන් කරන්නා සේ වේගයෙන් ගණන් කළ යුතු වේ.

         ගොපල්ලා උදෑසනින් ගල්කැට කැබලි ද ගෙන ගව ගාලට ගොස් ගවයන් පිටට ගසමින් නැගිටුවා හිඳි කඩුල්ලේ කණුවට නැඟ ඒ කඩුල්ලෙන් පිටවන එකිනෙක ගවයා ‘එකයි … දෙකයි’ යනාදි ලෙස ගණන් කරමින් අතේ තබාගත් ගල්කැට කැබලි එකිනෙක බිම දමයි. මුලු තුන්යම රාත්‍රියේ එකිනෙකා හිර වී ගව ගාලේ සිටි ගවයන් වහ වහා රොත්ත පිටින් නික්මෙන විට ගොපල්ලා ද වහ වහා ‘තුන, හතර, පහ, දහය’ යනා දි ලෙස ගණන් කරයි. ඒ ආකාරයෙන් ම හුස්ම රැල්ල ප්‍රකටව වහ වහා වැටහෙන විට, නැවත නැවත හැසිරෙන බව දැන ගණන් කළ යුතුය. ගොපල්ලා වහ වහා ගවයන් ගණන් කරද්දී ගවගාලේ ඇතුලේ සහ පිටත සිටින ගවයන් ගැන බැලීමක් නොකර දොරටුවම බලයි. එසේ ඇතුළත පිටත බැලුවහොත් ගණන වරදී. එසේම හුස්ම රැල්ල ශරීරය අභ්‍යන්තරයේ හෝ පිටත හෝ පැවැත්ම බැලීමකින් තොරව නාසිකා අග පමණක් බලාගෙන ගණන් කළ යුතු වේ. එහි දී ‘එක, දෙක, තුන, හතර, පහ’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය’ යැයි ද ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය’ යැයි ද නැවත නැවත ගණන් කළ යුතු වේ. එසේ ගණන් කිරීම සමඟ ඒකාබද්ධ වූ කළ, සැඩ පහරේ ගසාගෙන යන ඔරුවක් රිටකින් නවත්වාගන්නා සේ ගණන සමඟ බැඳී සිහිය පිහිටයි.ගණන් කිරීමකින් තොරව හුස්ම රැල්ලේ සිහිය පිහිටනතාක් මෙම ගණන් කිරීම කළ යුතු වේ.

         එසේ සිහිය හුස්ම රැල්ලේ පිහිටි කළ ගණන් කිරීම අතහැර සිහියෙන් හුස්ම මෙනෙහි කිරීම ඇරඹිය යුතු වේ. ඒ අනුව නිරන්තරයෙන් හුස්ම රැල්ල අනුව සිහිය පිහිටුවාගෙන සිටිය යුතු වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 12. ‘ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස