ආනාපානසති භාවනාවෙහි නියැලෙන ආධුනිකයා විසින් පළමුව තමන්ගේ හුස්ම රැල්ලට අවධානය යොමු කොට සිහිය වැඩි කරගත යුතු බව මුලින් පැහැදිලි කරන ලදී. ඒ සඳහා හුස්ම ගණන් කිරීමේ අභ්‍යාසය අනුගමනය කළ හැකි අතර, ගණන් කිරීමෙන් තොරව හුස්ම කෙරෙහි අවධානය පිහිටන විට ගණන් කිරීම අතහැර හුස්ම රැල්ල අනුව සිහිය නැවත නැවත පැවැත්විය යුතු වේ. එය ‘අනුබන්‍ධනය’ ලෙස හැඳින්වේ. මෙසේ ආනාපානසති භාවනාවේ දී පළමුව නැහැය අග සිහිය පිහිටුවාගෙන හුස්ම දෙස බලා මෙනෙහු කළයුතු ආකාරය ‘සො සතොව අස්සසති, සතො පස්සසති’ යැයි වදාළ සේක.

             අනතුරුව ඒ සිහිය පිහිටවිය යුතු ආකාරය තවදුරටත් විස්තර කරමින්,

 ‘දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.’ යැයි වදාළ සේක.

          එනම් ‘දීර්ඝ වූ ආශ්වාසය කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. දීර්ඝව ප්‍රශ්වාස කරනුයේ, දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. හ්‍රස්වව (කෙටියෙන්) ආශ්වාස කරන්නේ, කෙටියෙන් ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ, කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි.’

          මෙහි ‘දිග, කෙටි’ යන පදයන්ගෙන් හුස්ම රැල්ල පවත්නා කාලය අදහස් වේ. ඇතැම් පුද්ගලයෙක්ගේ හුස්ම රැල්ල දීර්ඝව පවතී. සර්පයන්ගේ, ඇතුන්ගේ වැනි ඇතැම් සත්වයන් හුස්ම ගන්නා විට දික් වූ හුස්ම ගැනීම-හෙළීම කරති. ඒ ආකාරයෙන් ඇතැම් කෙනෙකුගේ හුස්ම රැල්ල පවත්නා කාලය ද දික් වේ. එසේම සුනඛයන්, සාවන් ආදීන්ගේ හුස්ම රැල්ල කෙටි ය. ඒ ආකාරයෙන් ඇතැම් පුද්ගලයෙක් කෙටි කාලයක් පවත්නා කුඩා කුඩා හුස්ම ගැනීම-හෙළීම ද කරති. මෙසේ ආනාපානසති භාවනාව කරන තැනැත්තා තමන්ගේ හුස්ම රැල්ල නාසිකා අග ගැටෙමින් පවතින කාලය සිතෙන් මැන ගැනීමක් පළමුව කළ යුතු වේ. එසේ මැනගෙන තමන්ගේ හුස්ම රැල්ල දික් වූ කාලයක් පවතී ද, කෙටි කාලයක් පවතී ද යන්න තේරුම් ගත යුතු වේ. ඇතැම් විට කෙනෙක්ගේ හුස්ම මේ දෙයාකාරයටම වෙනස් වෙමින් ද පැවතිය හැකි වේ. ඒ නිසා නාසය අග හුස්ම ගැටෙන තැන සිත තබාගෙන එහි හුස්ම ගැටෙමින් පවත්නා කාලය කෙරෙහි අවධානය තියුණු කරගත යුතු වේ.

          ඒ අනුව පළමුව සාමාන්‍යයෙන් හුස්මරැල්ල නාසය අග ගැටෙමින් පවත්නා කාලය සිතෙන් මැනීමක් කරගත යුතු අතර එය කෙරෙහි සිහිය වැඩි කරගෙන ඊට වඩා දික් වූ හෝ ඊට වඩා කෙටි වූ හෝ හුස්මක් පවතී ද යන්න විමසා බැලිය යුතු වේ. මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිතෙන් ‘දිග’ ‘කෙටි’ යැයි කියවීමක් අවශ්‍ය නොවන බවයි. මෙම සූත්‍ර පාළියේ සඳහන් වන්නේ ‘පජානාති’ යනුවෙන් වේ. එහි අදහස වන්නේ ‘නුවණින් දැනගන්නේය’ යන්නයි. එබැවින් නුවණින් යුතු සිහියෙන් දැනගැනීම පමණක් කළයුතු වේ. එවිට සිහිය හුස්ම කෙරෙහි වඩාත් තියුණු කරගත හැකි වේ. මෙසේ ආශ්වාස-ප්‍රශ්වාසයන් නුවණින් දැනගැනීමෙන් ඒ යෝගාවචරයාට කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධ වේ.

          මෙහි දී පටිසම්භිදා මග්ගපාලියේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ආශ්වාස-ප්‍රශ්වාස දැනගන්නා භාවනා විධිය ආකාර නවයකින් (9) දැක්වේ.

1. දීර්ඝ ආශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරයි.
2. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ප්‍රශ්වාස කරයි.
3. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.
4. එසේ කරන කල්හි කත්තුකම්‍යතා කූශලච්ඡන්දය උපදී.
5. ඡන්ද වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
6. එසේ කරන කල්හි ප්‍රමෝද්‍යය හෙවත් තරුණ ප්‍රීතිය උපදී.
7. ඒ ප්‍රමෝදය වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
8. එසේ කරන කල්හි ආශ්වාස-ප්‍රාශ්වාසයන් තවදුරටත් ඉතා සියුම් වී සිත ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙන් නවතී.
9. තත්‍ර මධ්‍යස්ථතා උපේක්‍ෂාව පිහිටයි.

යනුවෙනි. මේ ආකාරයෙන් කෙටි හුස්ම රැල්ල ද දැනගත යුතු බව දැක්වේ.

          මෙහි දී සරලව පැහැදිලි කරන්නේ නම් ආනාපානසති භාවනාවේ යෙදෙන තැනැත්තා තමන්ගේ නාසිකා අග හුස්ම රැල්ල ගැටෙන තැන සිත තබාගෙන, පළමු කී ආකාරයට හුස්ම රැල්ලේ සාමාන්‍ය දිග මෙනෙහි කරගත යුතු වේ. දිග, කෙටි වශයෙන් වචනයෙන් මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැල්ල දිග, කෙටි වශයෙන් නුවණින් දැනගැනීම පමණක් කළයුතු වේ.

          එසේ හුස්ම රැල්ල නාසිකා අග පවතින කාලය කෙරෙහි අවධානය යොමු කරගෙන සිහිය වැඩි කිරීමේ දී සිත කෙමෙන් සමාධිමත් වීම නිසා බොහෝ වේලාවක් භාවනා කළ හැකි පරිදි භාවනාවට රුචිය වැඩි වේ. එවිට ඒ රුචියෙන් යුතුව බොහෝ වේලා එකම ඉරියව්වෙන් භාවනා කළ යුතු වේ. එවිට තවදුරටත් සිත සමාධිමත් වී භාවනා බලයෙන් කයේ දරදඬු ගති සැහැල්ලු බවට පත් වේ. එවිට හුස්ම රැලල් සියුම් වීම සිදු වේ. මෙය උදාහරණයකින් මෙසේ පැහැදිලි කරගත හැකි වේ.

          කිසියම් බරක් ඔසවාගෙන කන්දක් නැගීම වැනි අපහසු කටයුත්තක නිරත වන පුද්ගලයාගේ කය දරදඬු බවට පත් ව දැඩි වේ. ඒ දැඩි බව නිසාම හුස්ම වඩාත් ඕළාරිකව පවතී. සමහර විට නාසය ප්‍රමාණවත් නොවී මුවින් ද හුස්ම ගනී. එහෙත් ඒ බර බිමින් තබා, සිරුර සිසිල් රෙදි කඩකින් පිස දමාගෙන, රුක් සෙවනක දිගා වී ගිමන් හැරීමෙන් ඒ ඕළාරිකව අපහසුවෙන් ඉහළ පහළ ගිය හුස්ම රැල්ල වඩාත් සියුම් වේ. තමා හුස්ම ගන්නේ ද යන්න පවා නොදන්නා තරමට පත් වේ.

          මෙසේම ආනාපානසති භාවනාව සිදු කිරීමේ දී කයේ දැඩි බව අඩු වීමත් සමඟ සිත ද සැහැල්ලු බවට පත් වී හුස්ම රැල්ල සංසිඳේ. සියුම් වේ. ඒ සියුම් හුස්ම දෙස තවදුරටත් අවධානය යොමු කරන විට තවදුරටත් සිත-කය දෙකම සංසිඳීමට පත්ව සිතේ තරුණ ප්‍රීතිය හෙවත් ප්‍රමෝද්‍යය ඇති වේ. ඒ ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් තවදුරටත් හුස්ම රැල්ල කෙරෙහි අවධානය තියුණු කිරීමේ දී හුස්ම රැල්ල අතිශයින් සියුම් වී, නොවැටහෙන කල්හි සෙවිය යුතු ආකාරයකට පත් වේ. එසේ අතිශයින් සියුම් වීමෙන් හුස්ම රැල්ල කෙරෙන් සිත නතරව තත්‍රමධ්‍යස්ථතා උපේක්‍ෂාවේ සිත පිහිටයි. සිත හැකිලීම ඇති කරවන උකටලී බවෙන් ද විසිරීම ඇති කරවන වීර්යාධික බවෙන් ද තොරව මැදහත් බවට පත් වේ. මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධමත් වන බව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැක්වූ සේක.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 13. සිහිය වැඩි කර ගන්න ආනාපානසති භාවනාව – 4 වන කොටස