ආනාපානසති භාවනාව වැඩීමේ දී තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය තියුණු කරගෙන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ පවතින කාලය හෙවත් ‘දිග බව’ හෝ ‘කෙටි බව’ සිහි කරගතයුතු ආකාරය පැහැදිලි කරන ලදී. එසේ හුස්ම රැල්ලේ දිග, කෙටි බව කෙරෙහි අවධානය දියුණු වූ යෝගාවචරයා මීළඟට නුවණින් යුතුව සමස්ථ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය වැඩි කරගත යුතු වේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති.’

සියලු ආශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි.

          මෙහි ‘කාය’ වචනයෙන් ආශ්වාස-ප්‍රාශ්වාස කය හෙවත් හුස්ම රැල්ල ම අදහස් වේ. ඒ අනුව නාසිකාග්‍රයේ ගැටෙමින් ඉහළට ගන්නා හුස්ම රැල්ල ද පහළට හෙළනා හුස්ම රැල්ල ද සමස්ථය නුවණින් ප්‍රකට කරගත යුතු බව මින් අදහස් වේ.

          මෙහි දී ‘කාය’ යන වචනය වරදවා වටහාගෙන ඇතැම් භාවනා ඇදුරුවරු සමස්ථ රූපකය දෙස සිත යොමු කළයුතු බව කියති. එහෙත් එය බෞද්ධ භාවනා ක්‍රමයට විරුද්ධ වේ. එබැවින් මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිත නාසිකාග්‍රයෙන් ඉවතට නොගත යුතු බවයි. නාසිකාග්‍රයේ පමණක් (ඇතැම් කෙනෙකුගේ නාසය උඩට හැරී ඇති නම් උඩු තොලේ ද හුස්ම ගැටේ. එවිට එතැන සිත තබාගත යුතු වේ) සිත තබාගෙන එතැනින් ඇතුළුවන සහ පිටවන හුස්ම කෙරෙහි සිහිය තබාගැනීමෙන් ධ්‍යාන මට්ටම් දක්වා සිත දියුණු කරගත හැකි වේ. එසේ නොකර සිරුර ඇතුළට සිත මෙහෙයවීමෙන් ධ්‍යාන ඉපදවීමක් කළ නොහැකිව සිත විසිරෙන බව සඳහන් වේ.

             මෙසේ සියලු ආශ්වාස-ප්‍රාශ්වාස කය පිළිබඳ නුවණින් බලා සිටින ආකාරය විශුද්ධිමාර්ගයේ මෙසේ සඳහන් වේ.

‘සකලස්ස අස්සාසකායස්ස ආදිමජ්ඣපරියොසානං විදිතං කරොන්තො පාකටං කරොන්තො අස්සසිස්සාමීති සික්ඛති. සකලස්ස … පස්සසිස්සාමීති සික්ඛති. එවං විදිතං කරොන්තො පාකටං කරොන්තො ඤාණසම්පයුත්තෙන චිත්තෙන අස්සසති චෙව පස්සසතිච’

සියලු ආශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. මෙසේ ප්‍රකට කරගනිමින් ඤාණසම්ප්‍රයුක්ත සිතින් ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.

          ඒ අනුව හුස්ම රැල්ලේ මුල, මැද, අග යන තුන් තැන් ම නුවණින් ප්‍රකට වන සේ සිහිය වැඩි කරගත යුතු බව මින් අදහස් වේ. එනම් හුස්ම රැල්ලේ කිසිදු කොටසක් නුවණින් තොරව සිහි නොකළ යුතු බව යි. හුස්ම ඉහළට ගැනීමේ දී නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් එය අවසන් වීම දක්වාම ද, පහළට හෙළීමේ දී ද නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් අවසන් වීම දක්වාම ද නුවණින් යුතුව බලා සිටිය යුතු බවයි.

          මෙහි දී මුල, මැද, අග යන්නෙන් හුස්ම රැල්ල පවත්නා වූ, පිහිටන්නා වූ මුල, මැද, අග යන ස්ථානයන් අදහස් නොවේ. පිටතට හෙළන හුස්ම රැල්ලේ මුල නාභිය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාසිකාග්‍රය ලෙසත්, ඉහළට ගන්නා හුස්ම රැල්ලේ මුල නාසිකාග්‍රය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාභිය ලෙසත් හින්දු භාවනා ක්‍රම වල ඉගැන්වේ. ඇතැම් භාවනා ඇදුරුවරු මෙම හින්දු භාවනා ක්‍රමය සමඟ පටලවාගෙන බෞද්ධයන්ට ද ආනාපානසති භාවනාව කියා දීමේ දී මෙම ක්‍රමය අනුගමනය කළයුතු බව කියති. එහෙත් එයින් සිතේ සමාධිය බිඳේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. සිත දරදඬු වෙයි. කමටහන සැලීමට පත්වේ. එවිට ධ්‍යාන සිතක් උපදවාගැනීම කළ නොහැකි වේ. මේ පිළිබඳ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටිසම්භිදාමග්ගපාලියේ මෙසේ දේශනා කරති.

 ‘අස්සාසාදිමජ්ඣ පරියොසානං සතියා අනුගච්ඡන්තො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතාච ඵන්දිතා ච. පස්සාසාදිමජ්ඣ පරියොසානං … ඉඤ්ජිතාච ඵන්දිතා ච.’

ආශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ ආධ්‍යාත්මයෙහි වික්‍ෂිප්තයට ගිය සිතින් කයත් සිතත් (මහත් කැළඹීමෙන්) දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි. ප්‍රශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ බැහැර අරමුණේ වික්‍ෂිප්තබවට ගිය සිතින් කයත් සිතත් දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි.

          එබැවින් මෙය හුදු අපගේ අදහසක් නොව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වේ. එසේම බුද්ධඝෝෂාචාර්යතුමන් විසින් විශුද්ධිමාර්ගයේ දී අවධාරණය කරන ලද්දක් ද වේ. එය පැහැදිලි ය. යම් කෙනෙක් තමන්ගේ හුස්ම රැල්ල අනුව සිත සිරුර ඇතුළට ගෙන යාමේ දී එක් අරමුණක සිත සමාධිමත් නොවේ. එක් අරමුණක බොහෝ වේලාවක් සිත තබා නොගැනීමෙන් සිත සන්සිඳීමකට පත් නොවේ. සමථ වශයෙන් සිතේ වැඩීමක් සිදු නොවේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. නොයෙක් අරමුණු වලට සිත මාරු වීමේ දී ඇති වන මෙම වික්‍ෂිප්ත බව නිසා කයත් සිතත් දෙකේ කර්මණ්‍ය බව නැති වී දරදඬු වේ. ඇතැම් අය ආනාපානසති භාවනාව කිරීමේ දී සිරුර සැලෙන බව, වැනෙන බව ආදි ඇතැම් චෝදනා කරන්නේ මෙම වරදවාගැනීම් නිසා වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට නිවැරදිව භාවනාව සිදු කරන්නේ නම් ඉතා ඉක්මනින් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කරගත හැකි වේ.

          නාසිකා අග පමණක් සිත තබාගෙන එතැනින් ඉහළට ගන්නා වාතය ද පහළට හෙළනා වාතය ද අරමුණු කරගෙන සමස්ථ හුස්ම රැල්ල ම නුවණින් ප්‍රකට කරගැනීම මෙම පියවරේ දී පැහැදිලි කරන ලදී. එහි දී සිත පවත්වාගත යුතු ආකාරය පිළිබඳ විශුද්ධිමාර්ගයේ ද පටිසම්භිදාමග්ගපාලියේ ද උපමා කිහිපයකින් විස්තර කෙරේ. ඒ සියල්ලෙන්ම අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නාසිකා දොරටුවේ පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල අරමුණු කරන ආකාරයයි. ඒ පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කෙරේ.

          එබැවින් බෞද්ධ භාවනා ක්‍රමයේ දැක්වෙන ආකාරයට නාසිකා අග හුස්ම ගැටෙන තැන පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල ම නුවණින් ප්‍රකට කරගනිමින් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙළීමත් කළයුතු වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 14. ‘දිග … කෙටි’ හුස්ම දැනගන්න ආනාපානසති භාවනාව – 5 වන කොටස