ආනාපානසති භාවනාව කරන පුද්ගලයා විසින් නාසිකා දොරටුවේ (හෝ උඩු තොලේ) හුස්ම රැල්ල ගැටෙන ස්ථානයේ පමණක් සිත තබාගෙන ඉහළ, පහළ යන හුස්ම රැල්ල කෙරෙහි සිහිය දියුණු කරගත යුතු ආකාරය ද, ‘සබ්බකාය පටිසංවේදී’ යනුවෙන් සියලුම හුස්ම රැල්ල අවධානයට ගතයුතු බව ද පැහැදිලි කරන ලදී.

          මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුව වන්නේ සමස්ථ හුස්ම රැල්ල අවධානයට ගන්නේ කෙසේ ද යන්නයි. ඒ පිළිබඳ විශුද්ධිමාර්ගයේ ද පටිසම්භිදාමග්ගපාලියේ ද උපමා කිහිපයකින් විස්තර කෙරෙන බැවින් තවදුරටත් පැහැදිලි කරගතයුතු අය වෙනුවෙන් මෙසේ දක්වන්නෙමු.

දොවාරික උපමාව :

          දොරටුපාලකයෙක් නගර දොරටුවේ සිට ඒ දොරටුවෙන් ඇතුළුවන සහ පිටවන පුද්ගලයන් පිළිබඳව විමසිලි මත් වේ. යම් කෙනෙක් ඒ දොරටුවෙන් ඇතුළු වේ ද එවිට එන්නේ කොහි සිට ද, යන්නේ කොහි ද, රැගෙන යන්නේ මොනවාදැයි විමසයි. එසේ විමසීමේ දී ද ඇතුළුවන හා පිටවන සියලුම දෙනා ගැන විමසිලිමත් වේ. එක් අයෙක් හෝ අත නොහරී. එහෙත් ඒ දොරටුවෙන් ඇතුළේ සිටින හෝ පිටත සිටින අයගේ විස්තර විමසීම ඔහුගේ කාර්යයක් නොවේ.

          එසේම ආනාපානසති භාවනාවේ නිරත වන පුද්ගලයා ද නාසිකා දොරටුවෙන් ඇතුළුවන සහ පිටවන හුස්ම රැල්ල කෙරෙහි අවධානය වැඩි කරගන්නවා මිස ඇතුළු වූ හෝ පිට වූ හුස්ම කෙරෙහි අවධානයක් යොමු නොකරයි. එසේ නාසිකා දොරටුවේ ම සිහිය තබාගෙන සිටින අතර එතැනින් හුස්ම ඇතුළුවන්නට පටන් ගත් වේලේ පටන් අවසන් වනතෙක්ම අවධානයෙන් සිටියි. පිටවීම පටන් ගත් වේලේ පටන් අවසන් වන තෙක් ම අවධානයෙන් සිටියි. එසේ සමස්ථ හුස්ම රැල්ලම කෙරෙහි අවධානය වැඩි කරගත හැකි වේ.

හරස්කියතේ උපමාව :

          පටිසම්භිදාමග්ගපාලියේ මේ පිළිබඳ දැක්වෙන්නේ හරස්කියතක (කකචයක) උපමාවක් වේ. ඒ අනුව කියතකින් දැව කඳක් ඉරන පුද්ගලයෙක් සම බිමක (ලී ඉරන පට්ටලයක) තබන ලද දැව කඳක ඇඳගන්නා ලද දැලි ඉරක් දිගේ කපාගෙන යයි. එහි දී කියතේ ඉහළ පහළ ගිය දැති කෙරෙහි නොව කැපෙන තැන දැති පමණක් බලාගෙන සිටී. ඒ පුද්ගලයාගේ සිහිය කියත් දැති වලින් කැපෙන කැපෙන තැන් වල පමණක් එළඹ සිටී. කියතෙන් කැපෙන තැන දැති කෙරෙහි නොබලා ඉහළට ගිය හෝ පහළට ගිය දැති කෙරෙහි අවධානය යොමු කරගැනීමෙන් ඒ පුද්ගලයාගේ සිත වෙනතක ගොස් ඇඳගත් ඉර දිගේ කපාගත නොහැකිව වරදී.

          එසේ ම ආනාපානසති භාවනාවේ නියැලෙන පුද්ගලයා ද හුස්මරැල්ල ඉහළට හා පහළට ගමන් කරන නාසිකා අග කියතෙන් කැපෙන ස්ථානය සේ සලකා එතැන පමණක් සිත තබාගත යුතු වේ. සිත අන් තැනකට රැගෙන යාමෙන් කියතෙන් කපන පුද්ගලයාට වරදිනවා මෙන්ම ආනාපානසති භාවනාව කරන පුද්ගලයාට ද වරදී. ඒ අනුව සම බිමක තබන ලද දැව කඳක් සේ ආශ්වාස-ප්‍රාශ්වාස සැලකීමට නිමිත්ත වූ නාසිකා දොරටුව අග සලකාගෙන, එහි ඇඳගන්නා ලද ඍජු රේඛාවක් දිගේ කියතකින් කපාගෙන යාමේ දී ඒ ඒ කැපෙන තැන කියත් දැත්ත කෙරෙහි සිහිය යොමු කරගන්නා සේ ඉහළ-පහළ යන හුස්ම රැල්ල කෙරෙහි සිහිය දියුණු කරගත යුතු වේ. එසේ කියතෙන් කැපෙන තැනින් ඉහළ-පහළ ගිය ඒ ඒ කියත් දැති සියල්ලක් දැකගත හැකි වේ. එසේම නාසිකා අගින් ඉහළට හුස්ම ගන්නා විට ආරම්භයේ පටන් අවසන් වන තෙක්ම සිහියෙන් බලාසිටිය හැකි වේ. පහළට හෙළන විට ආරම්භයේ පටන් අවසන් වන තෙක් ම බලා සිටිය හැකි වේ.

          පටිසම්භිදාමග්ගපාලියේ විස්තර කෙරෙන ආකාරයට මෙහි දී ආශ්වාස-ප්‍රශ්වාස හුස්ම රැල්ලට නිමිති වන නාසිකා අග ද, ආශ්වාසය ද, ප්‍රාශ්වාසය ද යන තුනම එක් සිතට අරමුණු නොවේ. එහෙත් මේ තුනම අරමුණු කිරීම් වශයෙන් අවබෝධ කර නොගත් තැනැත්තාට ආනාපානසති භාවනාව සමෘද්ධ කරගැනීමට ද නොහැකි වේ. එබැවින් මෙහි දී නිමිත්ත, ආශ්වාසය, ප්‍රාශ්වාසය යන තුනම අරමුණු කරමින් අවබෝධ කරගැනීමට නම් ප්‍රධන් වීර්යය අවශ්‍ය වේ. එයින් නීවරණ විශ්කම්භනය වීමේ ප්‍රයෝගය සාධනය වී සංයෝජන ප්‍රහීණ වීම නැමති විශේෂය ද පැමිණේ.

          මෙසේ ඇරඹූ වීර්යය ඇති පුද්ගලයා ආනාපානසති භාවනාව කරගෙන යාමේ දී සිත ටිකෙන් ටික සමාධිමත් වීමේ දී සිතත් කයත් දෙකම කර්මණ්‍ය වේ. කය සැහැල්ලු වී බොහෝ වේලාවක් භාවනාවේ සිටිය හැකි ලෙස දැනේ. එසේ සිතත් කයත් කර්මණ්‍ය වන විට මුළු ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය දියුණු කරගැනීමේ වීර්යය ඇති වේ. ඒ වීර්යයෙන් බොහෝ වේලා භාවනා කළ යුතු වේ. අතරමැද නතර කර නොදැමිය යුතු වේ. අතරමැද නතරකර දැමුවහොත් භාවනාව සමෘද්ධමත් නොවේ. එය ප්‍රධන් වීර්යය වේ. මෙම අවස්ථාවේ දී අතක් පයක් සෙලවීමක් වැනි කුඩා දෙයකට හෝ සිත යොමු නොකළයුතු වේ. හුස්ම රැල්ලටම සිත සමාධිමත් කරගත යුතු වේ. භාවනාවේ මුල් අවස්ථාවල දී අතපයේ වේදනා දැනෙන්නේ නම්, මඳක් ඉරියව් වෙනස් කරගැනීමේ වරදක් නැත. එහෙත් මෙම අවස්ථාවේ ඉරියව් වෙනස් කිරීමකි තොරව සිත එකම අරමුණට ගතයුතු වේ. එය වාහනයක ගමන් කිරීමේ දී වටපිට බැලීම හා සමාන වේ. වාහනය සෙමෙන් ගමන් කරන විට වටපිට බැලීමෙන් හානියක් සිදු නොවේ. එසේම භාවනාවේ ආරම්භක අවධියේ සෙමෙන් ගමන් කරන බැවින් ඉරියව් වෙනස් කිරීමාදියක් කළාට වරදක් නැත. එහෙත් සිතත්, කයත් කර්මණ්‍ය වී භාවනාව හොඳින් සිදුවන මෙවන් අවස්ථාවක වාහනය වේගයෙන් ධාවනය වන්නා සේ ය. එවිට වටපිට බැලීමෙන් අනතුරු වියහැකි සේ අතපය සෙලවීමට හෝ සිත අරමුණෙන් මිදීමෙන් භාවනාව දුර්වල වේ. එබැවින් කියතකින් දැව කඳක් කැපීමේ උපමාව සිතේ තබාගෙන නාසිකා දොරටු අග පමණක් සිත තබාගෙන හුස්ම රැල්ල සිහි කළයුතු වේ. සිත සිරුර ඇතුළට හෝ පිටතට ගෙන නොයා යුතු වේ. සිරුර ඇතුළට හෝ පිටතට සිත ගෙන යාමෙන් සිත විසිරේ. භාවනාව සමෘද්ධමත් නොවේ.

          කියතෙන් කැපෙන තැන බලාගෙන සිහිය වැඩි කරගැනීමේ දී ද කියතේ මුල් කොටසෙන් කැපෙයි ද, මැද කොටසෙන් කැපෙයි ද, අග කොටසෙන් කැපෙයි ද යන්න අවධානයෙන් සිටිය හැකි වේ. එසේම නාසිකා අගින් ඉහළට හෝ පහළට යන හුස්ම රැල්ලේ මුල් කොටස, මැද කොටස, අග කොටස වශයෙන් සිහියෙන් බලා සිටිය හැකි වේ. එවිට ආශ්වාස-ප්‍රශ්වාස අරමුණේ සිහිය වැඩි දියුණු වී භාවනාව සමෘද්ධමත් වේ. මෙය බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය බැවින් ද නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයෙන් භාවනාව වැඩීම බොහෝ ප්‍රයෝජනවත් වන බව පටිසම්භිදාමග්ගපාළියේ මෙය විස්තර කරන තැන ගාථාවකින් මෙසේ සඳහන් වේ.

ආනාපානසතී යස්ස – පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා – යථා බුද්ධෙන දෙසිතා
සො ඉමං ලොකං පභාසෙති – අබ්භාමුත්තොව චන්දිමා

             (ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් යමෙක් විසින් පරිපූර්ණ කරන ලද්දේ ද, අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේ ද, මනාකොට වඩන ලද්දේ ද, හෙතෙම වළාගැබින් මිදුණු පුන්සඳ මඬලක් සේ මේ ලෝකය බබළවයි)

          එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නිවැරදිව ආනාපානසති භාවනාව වඩා කෙලෙස් ගිනි නිවා, නිවනෙන් සැනසෙන්නට ලැබේවා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 15. ‘සබ්බකාය පටිසංවේදී’ යනු කුමක් ද? ආනාපානසති භාවනාව – 6 වන කොටස