ආනාපානසති භාවනාවේ නියැලෙන පුද්ගලයා තමන්ගේ සිහිය ආශ්වාස-ප්‍රශ්වාස හුස්මරැල්ල කෙරෙහි යොමු කරගෙන සියලු හුස්මරැල්ල සිහියෙන් යුතුව ග්‍රහණය කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී.

          පළමුව ‘ගනිමි … හෙළමි’ යනාදි වශයෙන් හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවීමේ දී මෙන් නොව දිග කෙටි වශයෙන් ද, සියලු හුස්ම රැල්ල ද ග්‍රහණය කිරීමේ දී නුවණින් යුතුව බලා සිටී. එහි දී සිහියට අමතරව නුවණ යෙදේ. එසේ නුවණින් යුතු සිහියෙන් ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිත එකඟ කිරීමේ දී සිතත්, කයත් දෙකේම නොසන්සුන් බව පහව ගොස් සන්සිඳීම ඇති වේ. එසේ සන්සිඳීමත් සමඟම ආශ්වාස-ප්‍රාශ්වාස රැල්ල නොදැනී යන මට්ටමට අඩු වේ. මෙහි දී තව දුරටත් සිහිය දියුණු කරගත යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ආනාපානසති භාවනාවේ සතරවන පියවර ලෙස මෙසේ දේශනා කළහ.

පස්සම්භයං කායසඩ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඩ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

          මෙහි කායසඩ්ඛාර යන වචනයෙන් අදහස් කරන්නේ ද ආශ්වාස-ප්‍රාශ්වාස හුස්මරැල්ල ම වේ. ආශ්වාස ප්‍රාශ්වාසය කය ඇසුරුකරගෙන හටගන්නා බැවින් ‘කායෙන සඩ්ඛරීයතීති කායසඩ්ඛාරො’ යන නිරුක්තියෙන් හුස්ම රැල්ලට කායසඩ්ඛාර යන නම ව්‍යවහාර වේ. ත්‍රිපිටකයේ තවත් තැන් වල මෙසේ හුස්ම රැල්ලට කායසඩ්ඛාර යන නම යෙදීම දක්නට ලැබේ. මෙහි කය යන වචනය තිබීමෙන් තමාගේ සිරුරේ සන්සිඳීම දෙස අවධානය යොමු කළයුතු යැයි වරදවා ගතයුතු නොවේ.

          භාවනාව ආරම්භ නොකළ කාලයේ සිතත්, කයත් දෙකම පරිග්‍රහණයක් නැති බැවින් නොසන්සුන් වේ. ඉරියව්ව නොසන්සුන් බැවින් කිලිටි වූ සිතින් උපන් රූප කලාප ද නොසන්සුන් වේ. එවිට ශරීරය ද නොසන්සුන් වේ. එසේම කෙලෙස් ඉපදීමෙන් සිත ද කිලිටි වී නොසන්සුන් වේ. ආනාපානසති භාවනාව ආරම්භ කරමින් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්‍වා උජුංකායං පණිධාය’ යනුවෙන් කය පරිග්‍රහණය කරගන්නා ආකාරය කියන ලදී. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යැයි සිත පරිග්‍රහණය කරන ආකාරය කියන ලදී. මෙසේ සිතත් කයත් පරිග්‍රහණය කරගෙන භාවනාව ආරම්භ කිරීමෙන් ඒ සිතත් කයත් දෙකම සන්සිඳීමට පත් වේ.

          සිතත් කයත් නොසන්සුන් කල්හි ඒ ඇසුරු කොටගත් ආශ්වාස-ප්‍රාශ්වාසය ද නොසන්සුන් වේ. බලවත්ව පවතී. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් දිවගොස් හෝ බර දෙයක් ඔසවාගෙන ගොස් හෝ කන්දක් නැඟ හෝ එවැනි දෙයක් කළ පසු සිතත් කයත් දෙකම නොසන්සුන් බැවින් ඉතාම ඉක්මනින් හති වැටේ. නාසිකා දෙක ඉඩ මදිව මුඛයෙන් ද හුස්ම ගැනීමට සිදු වේ. එහෙත් ඒ වෙහෙස නිවාගෙන, සිහිල් පැනින් නාගෙන, පැන් බී, සිහිල් සලුවක් ද පෙරවාගෙන ගස් හෙවණක් යට සැතපී සිටියහොත් ටික වේලාවකින් සන්සුන් බවට පත් වේ. එවිට ආශ්වාස-ප්‍රාශ්වාසය ද සියුම් බවට පත් වේ. හුස්ම ගන්නේදැයි සොයා බැලිය යුතු තත්වයට පත් වේ. මෙසේ ම ආනාපානසති භාවනාවට වාඩි වී සිහිය හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සිතත් කයත් දෙකම සන්සිඳී හුස්ම නොදැනෙන මට්ටමට සියුම් වේ. ඒ සියුම් ව සන්සිඳීමට පත් වූ හුස්ම රැල්ල ද සිහියෙන් හා නුවණින් යුතුව අරමුණු කිරීම මෙම අදියරේ දී පැහැදිලි කෙරේ.

          මුලදී ඔළාරිකව තිබූ ආශවාස-ප්‍රාශ්වාසය භාවනාව අරඹා ටික වේලාවක් යන විට ටිකෙන් ටික සියුම් බවට, සන්සිඳීමට පත්වේ. භාවනාවේ ඉදිරි පියවර වලට යාමේ දී වඩාත් සන්සිඳේ. එය ප්‍රථමධ්‍යානයට පත් වන විට තවදුරටත් සන්සිඳේ. ද්විතීය ධ්‍යානයේ දී ඊටත් වඩා සන්සිඳේ. මෙසේ පිළිවෙලින් ගොස් චතුර්ථ ධ්‍යාන අවස්ථාව වනවිට සම්පූර්ණයෙන් ම සන්සිඳීමට පත් වේ.

          ධ්‍යාන ලැබීමට පෙර මෙම අවස්ථාවේ දී ඕළාරික ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳීමට පත් වුව ද ආශ්වාස-ප්‍රාශ්වාසය නැත්තේ නොවේ. සියුම් ව පවතී. එබැවින් ඒ සියුම් වූ ද ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කළයුතු වේ. මෙහි දී තමාගේ භාවනාව සමෘද්ධ නොවේ යැයි සිතා අතහැර දැමිය යුතු නොවේ. භාවනාව නවතා දමා කමටහන් දෙන ගුරුවරුන් සොයා යා යුතු නොවේ. එය ආනාපානසති භාවනාවේ ස්වභාවාය බව දැනගත යුතු වේ.

          සෙසු සියලු කර්මස්ථාන භාවනාවන් කරගෙන යාමේ දී ටිකෙන් ටික කර්මස්ථානය ප්‍රකට වන බව වැඩි වේ. එහෙත් ආනාපානසතියේ දී ටිකෙන් ටික කමටහන සියුම් වේ. එයට හේතුව නම් භාවනා කිරීමේ දී සිතත් කයත් සැහැල්ලු වීමයි. නොසන්සුන් සිතත් කයත් ඇති ව පුටුවේ හෝ ඇඳේ හිඳගෙන හෝ නිදාගෙන සිටින විට ඒ ඇඳ-පුටුව බර වේ. මැදින් නැමෙයි. ශබ්ද කෙරෙයි. පැද්දෙයි. එහෙත් කෙලෙස් සන්සිඳී සන්සුන් මනසක් ඇති වූ විට එසේ නොවේ. රාත්‍රියේ නින්දට ගිය ආකාරයෙන් ම පහසුවෙන් නිදාගෙන පසුදින අවදි විය හැකි වේ. ඇතැම් විට ඇඳේ අතුරා ඇති ඇතිරිලි පොඩි වීමකින් හෝ තොර වේ. ඒ සිතත් කයත් දෙකම සන්සුන් වීම හේතුවෙනි. එසේම හුස්ම ගණන් කිරීමේ පටන් පිළිවෙළින් කමටහන වැඩීමේ දී ටිකෙන් ටික කයේ දැඩි බව සන්සිඳීම නිසා ආශ්වාස-ප්‍රාශ්වාස ද සියුම් වේ. ශරීරය අහසේ පාවෙන්නාක් සේ ඇතමෙක්ට වැටහේ.

          ඔළාරික ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුනු කළ සියුම්ව ආශ්වාස-ප්‍රාශ්වාසය පවතී. එය ද සන්සිඳීමෙන් තව තවත් සියුම් ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන සිහිය පැවැත්විය යුතු බව වේ. මෙය උදාහරණයකින් මෙසේ දැක්විය හැකි වේ.
යම් පුරුෂයෙක් මහත් ලෝහ තලියකට තවත් ලෝහයකින් පහරක් දුනහොත් එක් ප්‍රහාරයෙන් ම මහත් ශබ්දයක් පැන නඟී. එවිට ඒ ඕළාරික ශබ්දය අරමුණු කොට සිත පවතී. එහෙත් ටිකෙන් ටික ඕළාරික ශබ්දය පහවීගෙන යන විට එය නිරුද්ධ වූ පසු සියුම් ශබ්දය අරමුණු කරගෙන සිත පවතී. එය ද නිරුද්ධ වීමේ දී තව තවත් සියුම් ශබ්දය අරමුණු කරගෙන සිත පවතී. මේ ආකාරයෙන් ආනාපානසති භාවනාවේ නියැළෙන පුද්ගලයා ද වඩ වඩාත් සියුම් වූ ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන සිහිය පැවැත්විය යුතු වේ.

          ඇතැම් විට තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය සොයාගත නොහැකි තරමට සියුම් වේ. එවිට තමාගේ හුස්ම නොවැටේ දැයි සිතේ. එහෙත් එයින් නොනැවතී භාවනාව ඉදිරියට පැවැත්විය යුතු වේ. ගුරුවරයෙක් මුණගැසී විමසන්නෙමි යැයි නොනැගිටිය යුතු වේ. ඉරියව්ව වෙනස් නොකළයුතු වේ. අත්පා සෙලවීමක් හෝ නොකොට සිහිය වඩාත් දියුණු කරගත යුතු වේ. ඉරියව් වෙනස් කිරීමේ දී කමටහන නැවත නැවතත් අලුත් වේ. එබැවින් හිඳගෙන සිටි ආකාරයෙන්ම සිහිය දියුණු කරගෙන පෙර හුස්ම රැල්ල දැනුණු ස්ථානයම අරමුණු කරගෙන සිටිය යුතු වේ.

          මෙසේ සිහිය දියුණු කරගන්නා ආකාරය උදාහරණ ඇසුරෙන් මීළඟට විස්තර කෙරේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 16. මුල-මැද-අග සිහිය පිහිටුවීම: හරස්කියතේ උපමාවෙන් ආනාපානසති භාවනාව – 7 වන කොටස