ආනාපානසති භාවනාවේ දී ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය දියුණු කරගැනීම පිළිවෙලින් පැහැදිලි කරන ලදී. එසේ සිහිය වැඩි කරගෙන භාවනාවේ යෙදෙන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් ව නොවැටහෙන මට්ටමට පත් වේ. මෙසේ අතිශය සියුම් වූ ආශ්වාස-ප්‍රාශ්වාසය ඇති විට ද තවදුරටත් දියුණු කරගන්නා ලද සිහියෙන් යුතුව මෙනෙහි කළ යුතු ආකාරය පස්සම්භයං කායසඩ්ඛාරං යනාදි ක්‍රමයෙන් දේශනා කරන ලදී.

          ආශ්වාස-ප්‍රාශ්වාස සියුම් වී නොදැනෙන මට්ටමට පත් වූ විට සිහිය හොඳින් දියුණු නොවූ යෝගියාට සිතෙන්නේ තමාගේ හුස්ම නොපවතින බවකි. ඒ අනුව ඇතමෙක් බියට ද පත්වේ. භාවනාව නතර කර ගුරුවරුන් වෙත ගොස් විමසයි. එහෙත් එසේ නොකර තමාගේ කමටහන නොවැටහෙන බව නුවණින් දැනගෙන මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ.

          ‘මෙම ආශ්වාස-ප්‍රාශ්වාසය නම් කොතැනක පවතී ද? කොතැනක නොපවතී ද? කවරෙකුට පවතී ද? කවරෙකුට නොපවතී ද?’ යනුවෙනි.

          ආශ්වාස-ප්‍රාශ්වාසය නොපවතින පුද්ගලයන් සත් දෙනෙක් පමණක් වේ. එනම්,

1. මව්කුස තුළ සිටින පුද්ගලයන්ට
2. දියෙහි ගිලුණ පුද්ගලයන්ට
3. සිහි විසඥ වූවන්ට
4. මියගිය අයට
5. චතුර්ථ ධ්‍යානයට සමවැදුණ අයට
6. රූපාරූප භවයෙහි උපදින බ්‍රහ්මයන්ට
7. නිරෝධ සමාපත්තියට සමවැදුණ අයට

          මව් කුසෙහි හෝ දියෙහි ගිලුණු අයට හුස්ම රැල්ල පැවතීමට ඉඩක් නැත. සිහි විසඥ වූ, මියගිය, අසංඥතලයේ උපන් හෝ නිරෝධසමාපත්තියට සමවැදුණ අයට ඒ ආශ්වාස-ප්‍රාශ්වාසය හටගන්නා සිත් නැත. චතුර්ථධ්‍යානයට සමවැදුණු අයට හෝ බඹලොව උපන් අයට ධර්මතා වශයෙන් ආශ්වාස-ප්‍රාශ්වාසය නැත.

          මේ ආනාපානසති භාවනාවේ යෙදී සිටින පුද්ගලයා තමාගේ හුස්ම රැල්ල සියුම්ව නොවැටහී ගිය පමණින් හුස්ම නොමැති පුද්ගලයෙක් නොවන බව නුවණින් සිහි කරගත යුතු වේ. තමන් මව්කුස තුළ හෝ, දියෙහි ගිලී හෝ මේ කිසිම ආකාරයකින් හුස්ම නොපවතින තැනක නැති බව සිහි කරගත යුතු වේ. එබැවින් හුස්ම රැල්ල නොවැටහෙන පමණින් තමාගේ හුස්ම නැති වී නැති අතර එකම දෙය නම් තමාගේ සිහිය හොඳින් නොමැති වීම මත හුස්ම මැනවින් නොවැටහීමයි. නුවණ මඳ හෙයින් හුස්ම රැල්ල පරිග්‍රහණය කරගත නොහැකි වීමයි.

          මේ නිසා මෙවිට කළයුතු වන්නේ තව තවත් සිහිය වර්ධනය කරගැනීමයි. පෙර හුස්ම රැල්ල ගැටුණු තැනක් ඇත. නාසිකා අග හෝ උඩු තොලේ වශයෙනි. සිහිය වර්ධනය කරගෙන ඒ ප්‍රකෘතියෙන් ආශ්වාස-ප්‍රාශ්වාසය පැවති ස්ථානයේ සිත තබාගෙන මනසිකාරය කළයුතු වේ. ඒ අනුව සාමාන්‍යයෙන් නාසිකා අග කෙළවර හෝ කළාතුරකින් කෙටි නාසයක් ඇති පුද්ගලයාගේ උඩු තොලේ අග හුස්ම ප්‍රකෘතියෙන් ගැටෙන අතර එතැන සිත තබාගෙන සිහියෙන් මෙනෙහි කළයුතු යුතු වේ. මේ අවස්ථාවේ සිහිය තියුණුව නොපැවතුණහොත් භාවනාව සමෘද්ධ නොවන බව බුදුරජාණන් වහන්සේ,

          ‘නාහං භික්‍ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි’

          ‘මහණෙනි, මම සිහි නැත්තහුට, නුවණ නැත්තහුට ආනාපානසති භාවනාවක් නොම වදාරමි’

          යැයි වදාළ සේක. සෙසු සියලු භාවනා කමටහන් වඩත් වඩත්ම ප්‍රකට බවට පත් වේ. වඩාත් හොඳින් වැටහේ. එහෙත් මෙම ආනාපානසති භාවනාව වැඩීමේ දී සිහිය වැඩි වත්ම ක්‍රමයෙන් සියුම් බවට පත් වේ. එහෙයින් භාවනාව සමෘද්ධ වීමට නම් වඩාත් තියුණු සිහියක් හා නුවණක් තිබිය යුතු වේ. එහෙයින් මෙය ගරුක භාවනාවක් වශයෙන් ද, බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ බුද්ධපුත්‍රයන් වහන්සේලාගේම භාවනාවක් බව ද සඳහන් වේ.

          මෙසේ හුස්ම රැල්ල සියුම් වී නොදැනෙන්නට වූ විට සිත එහෙ මෙහෙ ගෙන යමින් හුස්ම රැල්ල සෙවීම නොකළයුතු වේ. ඒ බව තේරුම් ගැනීමට උපමාවක් දැක්වේ.

          ගොනුන් යොදාගෙන සී සෑම ආදිය කරන ගොවියෙක් සී සා අනතුරුව ගොනුන් වියගසෙන් මුදා හරී. ගොනුන් තණ කෑම පිණිස තණ පිටියට දමන ඒ ගොවියා ගසක් මුල විවේක ගනී. ඒ අතර ගොනුන් වහ වහා තණ කමින් කැලෑව තුළටම යති. නැවත සවස් භාගයේ සී සෑමට අවශ්‍ය වූ විට ඒ දක්‍ෂ ගොවියා කරන්නේ ගොනුන් සොයමින් කැලෑව පුරා ඇවිදීම නොවේ. උන් ප්‍රකෘතියෙන් දිය පානය කිරීමට එකතු වන පැන් තොටක් පවතී නම් එතැනට ගොස් ලණුවක් ද, කෙවිටක් ද ගෙන රැකවල් ලාගෙන සිටීමයි. කැලේ ඇතුළට ගොස් සොයාගත නොහැකි වූ ගවයන් ද වෙනදා පුරුද්දට දිය පානය කිරීමට එතැනටම පැමිණේ. එහි දී පැන් බී, නාගන්නා ගවයන් රැහැණෙන් බැඳ කෙවිටෙන් විද අල්ලාගෙන නැවත සී සෑමට යොදාගැනීමට දක්‍ෂ ගොවියා සමත් වේ.

          මෙසේ ම ආනාපානසති භාවනාව කරන යෝගාවචරයා ද තමාට සොයාගත නොහැකි වූ හුස්ම රැල්ල සොයා ඒ මේ තැන් වල සිත ගෙනයා යුතු නොවේ. සිහිය නැමති රැහැන ද, ප්‍රඥාව නැමති කෙවිට ද ගෙන ප්‍රකෘතියෙන් හුස්ම රැල්ල ස්පර්ශ වුණු තැන ම සිත තබාගෙන මෙනෙහි කළ යුතු වේ. හොඳින් මෙනෙහි කළයුතු වේ. එසේ මෙනෙහි කිරීමේ දී නොබෝ කළකින් ම ආශ්වාස-ප්‍රාශ්වාසය වැටහෙන්නට පටන් ගනී. එවිට ඒ හුස්ම රැල්ල සිහිය නැමති රැහැනින් බැඳ, නුවණ නැමති කෙවිටෙන් විද නැවත නැවත කමටහනෙහි යොදාගත යුතු වේ. එසේ භාවනා කිරීමේ දී ඉතා ඉක්මනින් උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති පහළ වේ. ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ලැබීම දක්වා සිත ඉක්මනින් දියුණු කරගත හැකි වේ.

          ඇතැම් කෙනෙක් භාවනාව පිළිබඳව දරන මතය වන්නේ වර්තමානයේ ධ්‍යාන ලැබීම ආදිය කළ නොහැකි බවයි. එහෙත් නිවැරදිව භාවනාව කරගෙන යන්නේ නම් ධ්‍යාන මට්ටම් දක්වා සිත දියුණු කරගැනීම අපහසු නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදිව භාවනාවේ යෙදීමයි. භාවනා උපදෙස් වරදවා ගැනීම, වැරදි භාවනා ක්‍රම පුහුණු කිරීම ආදිය වර්තමානයේ බොහෝ විට දක්නට ලැබෙන දොසක් වේ. එබැවින් මේ නිවැරදි පිළිවෙලින් භාවනාව කරගෙන යාම අත්‍යවශ්‍ය වේ. බුරුමයේ පා-අවුක් භාවනා මධ්‍යස්ථානය ආදී තැන්වල බොහෝ දියුණු භාවනාව ඇති අය සිටින්නේ මෙම උපදෙස් නිවැරදිව භාවිතා කරන බැවිනි. ඔවුන් භාවිතා කරන්නේ අප රටේ තිබූ පාලි අර්ථකථා රැගෙන ගොස් බුරුම අකුරට හැරවීමෙනි. එහෙත් අප සතුව තිබූ ඒ අතීත උරුමය තවමත් නොනැසී පවතින බව සිහි කරගත යුතු වේ. එය තවමත් අපට භාවිතා කළහැකි බැවින් අලුත් ක්‍රම වලට භාවනාව කියා දෙන උපදෙස් සෙවීම අවශ්‍ය නොවේ. ඒ පැරණි ක්‍රමය තවමත් ජීවමාන බැවිනි.

          එබැවින් නිවැරදිව ආනාපානසතිය වඩා ඉතා ඉක්මනින් භාවනාව දියුණු කරගැනීමට සියලු දෙනාට ඇරයුම් කරමු. ආනාපානසතියෙන් ධ්‍යාන දක්වා සිත වඩන අයුරු මීලඟට පැහැදිලි කරමු.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 17. හුස්ම නැතිව ගියා ද …? හොඳින් සතිමත් වන්න. ආනාපානසති භාවනාව – 8 වන කොටස