ශාන්ත වූ ප්‍රණීත වූ භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සුප්‍රශස්ත ආනාපානසති භාවනාවේ ඒ ශාන්ත බව, ප්‍රණීත බව අත්දකින්නට නම් නිවැරදිව ආනාපානසති භාවනාව වැඩිය යුතු වේ. මුල පටන් පිළිවෙලින් ආනාපානසති භාවනාව කරන අන්දම මෙහි ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. තමන්ගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි පිහිටුවාගත් සිහියෙන් යුතුව මේ පිළිවෙලින් භාවනාව සිදු කරන්නේ නම් නොබෝ කළකින් භාවනාවේ යහපත් ප්‍රතිඵල අත්දැකිය හැකි වේ. ඒ අනුව උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති ලැබීමට භාවනාවේ යෙදෙන පුද්ගලයාට හැකි වේ.

         මෙම උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති පිළිබඳ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක පෙළ දේශනයේ පැහැදිලි කර නොමැති බැවින් මේවා වැරදි අදහස් යැයි සමහර දෙනෙක් සිතති. කියති. භාවනාව පිළිබඳ පළපුරුද්ද අඩු පුද්ගලයාට මේවා වැරදි යැයි සිතිය හැකිය. පොතපතින් පමණක් භාවනාව ගැන කියවා අසා දැනගෙන භාවනාව පුහුණු කරවීමේ දී මෙසේ වැරදි අදහස් ඇති වේ. එහෙත් නිවැරදිව භාවනාව පුහුණු කරන පුද්ගලයාට මෙම නිමිති අනිවාර්යයෙන් අත්දැකිය හැකි වේ.

         එසේම ‘ධ්‍යාන’ යන මාතෘකාව අද වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් බවට ද පත්ව තිබේ. එහෙත් ඒ බොහෝ දෙනෙක් ධ්‍යාන පිළිබඳ වැරදි මුළාවක සිටින බව ද ඔවුන්ගේ කතාබහෙන් අවබෝධ වේ. එබැවින් නිවැරදිව ධ්‍යාන ලබන ආකාරය දැනගත යුතු වේ.

         සිංහල බසින් ‘ධ්‍යාන’ යනුවෙන් ද ‘දැහැන්’ යනුවෙන් ද හඳුන්වන පාලි භාෂාවේ ‘ඣාන’ යනුවෙන් හඳුන්වන ඉහළ සමාධි මට්ටමක් ආනාපානසති භාවනාවෙන් ද ළඟා කරගත හැකි වේ. මෙය ‘අර්පණා සමාධිය’ ලෙස ද හැඳින්වේ.
ධ්‍යාන සමාධි ප්‍රධාන ආකාර දෙකකි. එනම්, (1) රූපාවචර ධ්‍යාන සහ (2) අරූපාවචර ධ්‍යාන වශයෙනි. ආනාපානසති භාවනාවෙන් ළඟා කරගත හැක්කේ රූපාවචර ධ්‍යාන සමාධි පමණක් වේ. මේවා ප්‍රධාන ආකාර හතරකි.

 1. ප්‍රථමධ්‍යානය

2. දුතියධ්‍යානය

3. තතියධ්‍යානය

4. චතුර්ථධ්‍යානය වශයෙනි.

         මෙහි දී දැනගත යුතු වැදගත් කරුණක් වන්නේ මෙම ධාන මට්ටම් වලට ළඟා වීම පිළිවෙලින් සිදු වන බවයි. එහි දී එකිනෙක ධ්‍යාන සමාධියේ ඇති ධ්‍යානාංග අවබෝධ කරගත හැකි වීමයි. ඒ අනුව ප්‍රථමධ්‍යානයේ ‘විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා’ යනුවෙන් ධ්‍යානාංග පසකි. දුතියධ්‍යානයේ මෙයින් විතර්කය හා විචාරය අඩු වේ. තතියධ්‍යානයේ දී ප්‍රීතිය ද අඩුවන අතර චතුර්ථධ්‍යානයේ දී සුඛය නැති වී උපේක්‍ෂාව ඇති වේ. ඒ අනුව මෙම එකිනෙක ධ්‍යාන මට්ටම් ළඟා කරගන්නා ආකාරය වටහාගත යුතු වේ.

         ආනාපානසති භාවනාවේ නියැළෙන පුද්ගලයා පිළිවෙලින් ඉහත සඳහන් කළ ආකාරයට භාවනාව වර්ධනය කරගෙන යාමේ දී හුස්ම රැල්ල බොහෝ සියුම් භාවයට පත් වී ගිය පසු තව දුරටත් සිහිය වර්ධනය කරගෙන ඒ සියුම් වූ හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන මෙනෙහි කළයුතු වේ. එවිට උද්ග්‍රහ නිමිති පහළ වී අනතුරුව පටිභාග නිමිති පහළ වේ. සමහර කෙනෙකුට කෙලින්ම පටිභාග නිමිති පහළ වීමට ද හැකිය.

උද්ග්‍රහ නිමිත්ත

         උද්ග්‍රහ නිමිති පහළ වන්නේ මෙසේය. හුස්ම රැල්ල ගැටෙන නාසිකා අග සිහිය තබාගෙන සිටි විට සමහර කෙනෙකුට නාසිකා අග සිහින් පුළුන් රොදක් සේ අරමුණු වේ. තවත් සමහර කෙනෙකුට වළාකුළු පෙඳක් සේ ද, නැතිනම් මීදුම් පටලයක් ලෙස ද අරමුණු වියහැකි වේ. එය එකිනෙක පුද්ගලයාගේ සංඥාවේ නානත්වය අනුව වේ. එහි නිශ්චිත බවක් නොමැති අතර එකිනෙක පුද්ගලයාගේ නිමිත්ත වැටහීමට පූර්වයේ ගත් සංඥාවන්ගේ නානත්වය අනුව වෙනස් වේ. වර්තමානයේ සමාජයේ පුද්ගලයන් අත්දකින සංඥාවන්ගේ ඇති නානත්වය අනුව ඔවුන්ට වැටහෙන නිමිත්ත ද වෙනස් විය හැකිය. එසේම සමහර පුද්ගලයෙකුට මෙසේ ඕළාරිකව නිමිත්ත නොවැටහෙන අතර ඉතා සියුම් ආලෝක ඡායාවක් ලෙස ද වැටහේ. මේ සමඟ සිතේ හා කයේ වඩාත් සැහැල්ලු බවක් ඇති වේ. බොහෝ වේලාවක් වඩාත් පහසුවෙන් භාවනා ආසනයේ සිටීමට හැකි බවක් වැටහෙනු ඇත.

         මෙසේ උද්ග්‍රහ නිමිති පහළ වූ විට ඒ යෝගාවචරයා තමන්ගේ භාවනාව නොකඩවා කළ යුතු වේ. අතරමඟ භාවනාව නවතා දැමීම සුදුසු නොවේ. නොකඩවා මේ ආකාරයෙන් ම භාවනාව සිදු කිරීමේ දී ඒ උද්ග්‍රහ නිමිත්ත අතුරුදහන්ව පටිභාග නිමිත්ත පහළ වේ.

පටිභාග නිමිත්ත

         පටිභාග නිමිත්ත පහළ වන ආකාරය ද එකිනෙක පුද්ගලයාට අනුව වෙනස් වේ. ඇතමෙකුට තරුවක ප්‍රභාවක් ලෙස ද, තවත් සමහරෙකුට මිණිකැටයක් ලෙස ද, නැතිනම් වඩාත් සුපැහැදිලි හිරු මඬලක්, සඳ මඬලක් ලෙස ද පටිභාග නිමිත්ත වැටහේ. මෙය ද එකිනෙක පුද්ගලයා පූර්වයේ ගත් සංඥාවන්ගේ නානත්වය අනුව වෙනස් වේ. සමහර කෙනෙකුට තමන් නිතර දකින විදුලි බල්බයක් වැනි නිමිත්තක් වුවද ඇති විය හැකි වේ. සමහර පුද්ගලයෙකුගේ පටිභාග නිමිත්ත වඩාත් ප්‍රභාෂ්වර ආලෝකයක් වන අතර සමහර පුද්ගලයකුට එතරම්ම ප්‍රභාෂ්වර ආලෝකයක් නොවේ. මෙහි දී උද්ග්‍රහ නිමිත්තේ තිබූ පැහැදිලි බව ඉක්මවා ගිය පැහැදිලි බවක් අත්දැකිය හැකි වේ. සමහර කෙනෙකුට උද්ග්‍රහ නිමිත්ත එතරම් ප්‍රකට නොවන අතර මෙම පටිභාග නිමිත්තම වඩාත් ප්‍රකටව වැටහේ.

         මෙහි ලා ‘නිමිත්ත’ යන වචනයේ අර්ථය වන්නේ ‘හේතුවක්’ යනුයි. ඒ අනුව පටිභාග නිමිත්ත යන්නෙන් අදහස් වන්නේ අර්පණා සමාධියක් ඉපදවීමට සමත් හේතුවක් සම්පාදනය වූ බවයි. එය පැහැදිලි ආලෝකයක් ලෙස බොහෝ දෙනෙකුට වැටහෙන අතර එසේ වීම අනිවාර්ය නොවේ. තමන්ට අර්පණා සමාධියක් ඉපදවීමේ ශක්තියක් ඇති වූයේ ද යන්න වටහාගත යුතු වේ. එය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි නම් සුදුසු පළපුරුදු ගුරු ඇසුරක් ලබාගත යුතු වේ.

         භාවනාවෙන් යන්තම් ආලෝක මාත්‍රයක් හෝ සැහැල්ලු බවක් ඇති වූ පමණින් සමහරෙක් තමන් උතුම් සමාධියක් ලබා ඇතැයි රැවටේ. සමහරු පවසන්නේ තමන් එක පිළිවෙලින් සතරවෙනි ධ්‍යානමට්ටම දක්වාම ගිය බවයි. එහෙත් ඒ තැන් වලදී තමන් හදිසි නොවී පළපුරුදු ගුරු ඇසුරක් ලබාගත යුතු වේ. නැති නම් තමන්ගේ නිවන් මග තමන්ම අහුරා ගන්නවා ඇති.

         එසේම සමහර කෙනෙක් කිසියම් ආලෝකයක් පහළ වූයේ නම් එය අනිත්‍යාදි ලෙස විදර්ශනාවට නංවන්නට උපදෙස් දෙති. ආනාපානසති භාවනාවෙන් පහළ වන ආලෝක මාත්‍රයෙන් එසේ විදර්ශනා කිරීමෙන් කිසිදා ධ්‍යාන මට්ටමට සමාධිය උසස් කරගත නොහැකි වේ. එබැවින් මෙසේ පටිභාග නිමිත්තක් පහළ වූ පසු එය ඉතා සුරක්‍ෂිතව පරිහරණය කළ යුතු වේ. ඒ සමඟ ක්‍රීඩා කිරීම නුසුදුසු වේ. අර්ථකථාවල පැහැදිලි කරන්නේ කිසියම් සක්විති රාජ දේවියක් තමන්ගේ කුසට පැමිණි සක්විති දරුගැබක් රකින්නේ යම් සේ ද එසේ පටිභාග නිමිත්ත රැකගත යුතු බවයි. සක්විති රාජ දේවිය තමන්ගේ කුසට සක්විති දරුගැබක් පැමිණි විට එතැන් පටන් සිය ස්වාමි රජු සමඟ හෝ එක්වීමක් සිදු නොවේ. ඉතාමත් සුරක්‍ෂිතව ඒ දරු ගැබ රැකගනී. එසේම ආනාපානසති පටිභාග නිමිත්ත ඇති වූ යෝගියා ඕළාරිකව ඉඳුරන් පිනවීම ආදියට නැඹුරු නොවී ආනාපානසති පටිභාග නිමිත්ත ආදරයෙන් රැකබලාගත යුතු වේ. එය ඉහළට පහළට යන සේ අදිටන් කිරීම, වර්ණය වෙනස් වීමට අදිටන් කිරීම ආදිය සුදුසු නොවේ.

         මේ අවස්ථාවේ යෝගාවචරයා කළයුතු වන්නේ ඒ නිමිත්ත සහිතවම තවදුරටත් ආශ්වාස-ප්‍රාශ්වාසය මෙනෙහි කිරීමයි. මෙහි දී සිත ප්‍රථමධ්‍යානයෙන් අර්පණාගත වීමට ආසන්න වන නමුදු තවමත් අර්පණාගත වූයේ නැත. එහෙයින් භාවනාව තවමත් සමෘද්ධ වූයේ යැයි සෑහීමකට පත් නොවිය යුතුය. නොනවත්වා මනසිකාරය පවත්වන විට ඉතා ඉක්මනින් අර්පණාගත විය හැකි වේ.

මෙහි දී ප්‍රථමධ්‍යානයෙන් සිත සමාධිමත් වන ආකාරය මීළඟට පැහැදිලි කරමු.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 18. ආනාපානසති භාවනාව – 9 වන කොටස