මුල පටන් පිළිවෙලට ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයාට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත පහළ වූ පසු තවදුරටත් ඒ ප්‍රතිභාගනිමිත්ත සහිතවම ආශ්වාස-ප්‍රාශ්වාසය මෙනෙහි කළයුතු වේ. ඒ නිමිත්ත පිළිබඳ වර්ණය වෙනස් වන ලෙස සිතීම් ආදියක් නොකොට නිමිත්ත පිළිබඳ දැඩි සේ අවධානය යොමු කිරීමක් හෝ නොමැතිව, මැදහත් සිතින් නිමිත්ත කෙරෙහි අවධානය සහිතව ආශ්වාස-ප්‍රාශ්වාසයම මෙනෙහි කළයුතු වේ. නිමිත්තක් උපදවා ගැනීමෙන් දුෂ්කර දෙයක් කරන ලද්දේ යැයි භාවනාව අතහැර නොදමා දිගටම ඕනෑකමින් යුතුව භාවනාව කරගෙන යා යුතු වේ.

          මෙසේ ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි හුස්ම රැල්ල මෙනෙහි කිරීමේ දී යෝගියා ඒ ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගතයුතු වේ. එය ‘ඨපනය’ ලෙස සඳහන් වේ. එය නිමිත්ත කෙරෙහි වඩාත් අවධානයෙන් බලා සිටීමක් නොවේ. සිත නිමිත්තට යොමු කරමින් ආශ්වාස-ප්‍රාශ්වාසම නැවත නැවතත් මෙනෙහි කිරීමයි. මෙය ඉතා සියුම් ව පැහැදිලි කරගතයුතු වේ. ආශ්වාසය අරමුණු කරන සිත එකකි. ප්‍රශ්වාසය අරමුණු කරන සිත අනෙකකි. නිමිත්ත අරමුණු කරන සිත අනෙකකි. එබැවින් යෝගියා විසින් කළයුත්තේ තමන්ට අරමුණු වන නිමිත්ත කෙරෙහි සිත යොමු කරගෙන මේ දක්වා කරගෙන ආ පිළිවෙලින්ම හුස්ම රැල්ල මෙනෙහි කිරීමයි.

          යම් පුද්ගලයෙකුට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත උපන්නේ නම් එයින්ම ඔහුගේ පංච නීවරණ ධර්මයන් විශ්කම්භන වශයෙන් ප්‍රහාණය වූයේ වෙයි. කෙලෙස් සංසිඳුනේ වෙයි. සිත උපචාර සමාධියෙන් සමාධිමත් වූයේ වේ. මෙහි දී තමන්ට අරමුණු වන ආලෝක නිමිත්ත අනිත්‍ය වශයෙන් මෙනෙහි නොකළ යුතු වේ. එසේ කළහොත් ධ්‍යානයට නොපැමිණේ. එබැවින් තමන්ට සප්පාය නොවන සෙනසුන්, පුද්ගලයන් ආදිය ද බැහැර කොට භාවනාවට රුචිය උපදවාගත යුතු වේ. එසේ භාවනාවට රුචිය උපදවාගෙන භාවනා කරන යෝගියාගේ සිත ඉතා ඉක්මනින් ප්‍රථම ධ්‍යානයට පත් වේ.

          එහෙත් මෙම අවස්ථාවේ දී තමන් ඉතා ඉක්මනින් ධ්‍යානයක් ලබා ගන්නෙමි යැයි දැඩි වීර්ය කිරීමක් සුදුසු නොවේ. එසේ දැඩි සේ වීර්ය කිරීමේ දී ඔහුගේ සිත උද්ධච්චයට පත්වේ. එවිට සිත අර්පණාවට පත් නොවේ. එසේම දැඩි වීර්යයේ දොස් දැක භාවනාව අතහැර දමමින් වීර්යය පිරිහෙළන පුද්ගලයාට ද ධ්‍යාන ලැබිය නොහැකි වේ. එවිට සිත කුසීත බවට පත්වන බැවිනි. යම් යෝගියෙක් තමාගේ සිත ලීන භාවයෙන් හෝ උද්ධචච් භාවයෙන් මුදවාගෙන සමව පවත්වාගෙන නිමිත්ත අභිමුඛ කරගෙන සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල මෙනෙහි කරයි නම් ඔහුගේ සිත අර්පණාවට පැමිණේ.

          නිමිත්ත කෙරෙහි සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල පෙර කී ආකාරයෙන් මෙනෙහි කිරීමේ දී තමන්ගේ සිත ඒ නිමිත්ත දෙසට යොමු වන බව යෝගියාට දැනේ. බැහැර අරමුණු වලින්, ශබ්ද ආදියෙන් සිත ඉවත් වී තමන්ට අරමුණු වන නිමිත්ත දෙසටම යොමු වන බවක් දැනේ. තමන්ගේ කයේ යම් සුළු වේදනාවක් නමුත් තිබුණේ නම් ඒ පිළිබඳව පවා අවධානය නොමැතිව නිමිත්ත කෙරෙහිම අවධානය තියුණු වන්නට පටන් ගනී. සමහර කෙනෙකුට පටිභාග නිමිත්ත තුළට තමන් කිමිදී ගියාක් මෙන් දැනේ. පටිභාග නිමිත්තෙන් තමන්ගේ සිත යටපත් වූ ආකාරයක් අත්දකී. ඒත් සමඟ භාවනාවේ තමන් පෙර අත් නොදුටු ආකාරයේ සැහැල්ලුවක්, සමාධිමත් බවක්, සිතේ එකඟ බවක් ඇති වේ. කෙලෙස් සංසිඳීමට පත් වේ. එවිට සිත විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් යුත් ප්‍රථමධ්‍යානයට පත්වූයේ වෙයි.

          සමහර යෝගියෙකුට පහසුවෙන් සිත ධ්‍යානය දක්වා දියුණු කරගත නොහැකි වේ. ඒ සඳහා දසවිධ අර්පණා කෞෂල්‍යය සම්පාදනය කරගත යුතු බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ පිළිබඳ ඉදිරියේ කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර මෙහි දී ධ්‍යානයකට පත් වූ පුද්ගලයා විසින් පිළිපැදිය යුතු ආකාරය විස්තර වේ.

          සමහර කෙනෙක් සිත ප්‍රථමධ්‍යානයට පත් නොවී මුළ වීමක් සිදු විය හැකිය. එබැවින් සිතේ සමාධිමත් බවක් ඇති වූ පමණින් තමන් ධ්‍යානයක් ලැබුවේ යැයි නොසිතිය යුතු වේ. ඒ ධ්‍යානයේ ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ. ධ්‍යානාංග පරික්‍ෂා කිරීම සිත සමාධියට සමවැදී සිටින විට කළ නොහැකි වේ.

          අභිධර්මයේ දැක්වෙන අන්දමට අර්පණා සමාධි සිත යනු රූපාවචර සිතකි. ධ්‍යානාංග පරික්‍ෂා කිරීමේ සිත කාමාවචර කුසල් සිතකි. ඒ නිසා ධ්‍යානයට සමවැදී සිටින විට ධ්‍යානාංග අරමුණු කළ නොහැකි වේ. එබැවින් ධ්‍යානයට සමවැදුණු පුද්ගලයා එයින් මිදී සිත උපචාර සමාධියට පත් කරගත යුතු වේ. එනම් නැවතත් තමන් ඉදිරියේ නිමිත්ත පවතින ආකාරයට නිමිත්ත කෙරෙහි සිත යොමු කරගත යුතු වේ. එය සිදු කරන අන්දම ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයාට වටහාගත හැකි වේ. එසේ නොවැටහේ නම් පළපුරුදු ගුරු ඇසුරකින් උපදෙස් ලබාගත යුතු වේ.

          මෙසේ සිත ධ්‍යානයෙන් මුදවාගෙන, උපචාර සමාධියට පත් කරගෙන ධ්‍යානාංග පස ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ. ඒ සඳහා එකිනෙක ධ්‍යානාංග පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වේ. සමහර පුද්ගලයන් ‘විතක්කය … විතක්කය’ යනාදි වශයෙන් වචනයෙන් මෙනෙහි කළයුතු බව කියති. එය වැරදි අදහසක් වේ. එසේ මෙනෙහි කිරීමෙන් ධ්‍යානාංග වැටහීමක් සිදු නොවේ. වචනය මෙනෙහි කිරීමක් පමණක් සිදු වේ. ඒ නිසා එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ අවබෝධය ඇතිව උපචාර සමාධියේ දී ඒ ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.

          ධ්‍යානාංග පවතින්නේ ධ්‍යාන සිතේ නිසා උපචාර සමාධියේ දී ධ්‍යානාංග පරික්‍ෂා කරන්නේ කෙසේ දැයි කෙනෙකුට සිතිය හැකි වේ. මෙහි දී කරන්නේ තමන් කලින් සමවැදුණු ධ්‍යානයේ ඇති අංග එයින් ඉවතට පැමිණ පරික්‍ෂා කිරීමකි. එය කිසියම් ගෘහයක හැඩහුරුකම පරික්‍ෂා කිරීමක් වැනි යැයි කිව හැකිය. ගෘහය ඇතුළට ගිය විට එහි හැඩහුරුකම පරික්‍ෂා කළ නොහැකි වේ. එයින් පිටතට පැමිණ බැලිය යුතු වේ. එහෙත් පිටතට පැමිණ තමන් ඇතුළු වී සිටි ගෘහය පරික්‍ෂා කළ හැකි වේ. එසේම ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන තමන් සමවැදුණු ධ්‍යානයේ අංග පරික්‍ෂා කර බැලිය හැකි වේ. ඒ සඳහා ප්‍රතිභාග නිමිත්ත තිබිය යුතු වේ. එවිට සිත පවතින්නේ උපචාර සමාධියේ බැවින් සිතේ සාමාන්‍ය තත්වය ඉක්මවා ගිය සමාධියක් පවතී. ඒ සමාධිමත් බව උපකාර කරගෙන ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.

          ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ මීළඟට විස්තර වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 19. ආනාපානසති භාවනාව – 10 වන කොටස