ආනාපානසති භාවනාවෙන් ප්‍රථමධ්‍යනය දක්වා සමාධිය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. මෙහි දී බුදුරජාණන් වහන්සේගේ දේශනා සංඛ්‍යාත ත්‍රිපිටකය ඉගෙනීම නොකළ පුද්ගලයෙක් අනවබෝධය නිසා මුළාවට පත්විය හැකි බව ද මතක තබාගත යුතු වේ. භාවනාවේ දී ධ්‍යානයට පූර්වයේ අත්දකින සුළු සැපයක් හේතුවෙන් තමන් උතුම් සමාධියක් උපදවා ගත්තේ යැයි වරදවා වටහාගත හැකි වේ. ඒ නිසා සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය මැනවින් තේරුම් ගැනීම ද වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ මහාසතිපට්ඨානසූත්‍රය ආදියෙහි ප්‍රථමධ්‍යාන සමාධිය විස්තර කරන්නේ ‘විවිච්චේව කාමේහි විව්ච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙනි. එනම් ‘කාමයන්ගෙන් වෙන් වූ ම, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ ම, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයි’ යන අදහසයි.

මෙම ප්‍රථමධ්‍යානයට එළඹීම කාමයන්ගෙන් වෙන්ව ලබන, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලබන සමාධියක් වේ. කම්සැපය ධ්‍යානයට විරුද්ධ වේ. ඒ කම්සැපයෙන් වෙන්වීමෙන්ම ධ්‍යාන සැපය ලබන බව මෙහි දැක්වේ. ඒ අනුව භාවනා කරන යෝගියා තමන්ගේ ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන භාවනා කිරීමේ දී උපචාර අර්පණා සමාධි ලබන මොහොතේ කාමච්ඡන්දයෙන් වෙන් වේ. එසේම සෙසු නීවරණ ධර්ම හෙවත් අකුසලයන්ගෙන් ද වෙන්වේ. එසේ නැතිනම් කාම වස්තූන් රැස් කිරීමේ කැමැත්ත නම් වූ වස්තුකාමයෙන් ද, සෙසු කෙලෙස් නම් වූ කිලේසකාමයෙන් ද වෙන්වීම ප්‍රථමධ්‍යාන සමාධිය ඉපදවීමට පදනම වේ. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රථමධ්‍යාන ආදී සමාධි ඉපදවීම කම්සැපයෙන් වෙන් වූවක් මිස ඒ කම්සැප විඳින අතරතුර ලබන්නක් නොවන බවයි. සමාධිය ඉපදවීමට පෙර සිව්-පිරිසිදු ශීලයම ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ මේ නිසාය. ඒ අනුව තමන් රකින සිල්පද පමණක් නොව ඉන්ද්‍රිය සංවරය ආදිය ද සමාධියට වැදගත් වේ.

මෙසේ ප්‍රථමධ්‍යානය ඉපදවීම පිණිස දුරු කළයුතු ධර්මයන් දක්වා අනතුරුව සවිතක්කං, සවිචාරං යනුවෙන් ඒ ප්‍රථමධ්‍යාන සමාධියේ යෙදෙන අංගයන් දක්වන ලදී. එනම් විතර්කයෙන් සහ විචාරයෙන් යුතු බවයි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ධ්‍යාන අංගය වශයෙන් විතර්කය සහ විචාරය මූලිකවම ඇති අතර සෙසු කිසිම ධ්‍යානයක මෙම අංග දෙක නොමැත.

විතර්කය යනු කල්පනා කිරීම යැයි සමහර කෙනෙක් සිතති. එය වැරදි අදහසක් වේ. එය ප්‍රථමධ්‍යාන සමාධි සිතේ ඇති චෛතසික ධර්මයක් වන අතර ඉතා සියුම් ව අවබෝධ කරගත යුතු වේ.

මෙසේ විතර්ක සහිත, විචාර සහිත සමාධිය ‘විවේකජං’ යනුවෙන් විවේකයෙන් හටගත් බව දැක්වේ. ඉන් අදහස් වන්නේ නීවරණ ධර්මයන් පහවූ බවයි. ‘විවේක’ යන වචනයේ අර්ථය වෙන්වීම යන්නයි. වැඩ කටයුතු වලින් වෙන් වූ වේලාව විවේක වේලාව ලෙස හඳුන්වන්නේ එබැවිනි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ද වෙන්වීමකින් හටගත් බවක් ඇත. එනම් නීවරණයන්ගෙන් වෙන් වීමයි. සිත නීවරණයන්ගෙන් තාවකාලිකව නමුත් බැහැර වීමෙන් ප්‍රථමධ්‍යාන සමාධිය උපදී.

මෙසේ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන් ව, නීවරණයන්ගේ වෙන්වීම නම් වූ විවේකයෙන් හටගත් ප්‍රථමධ්‍යාන සමාධියේ විතර්කය සහ විචාරයට අමතරව ප්‍රීතිය සහ සැපය යනුවෙන් ද අංග දෙකක් ඇති බව ‘පීතිසුඛං’ යැයි කියවේ. මේ අනුව ප්‍රථමධ්‍යාන සමාධියේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යනුවෙන් අංග පසක් ඇත. ඒ එකිනෙකක් හඳුනාගැනීම භාවනා කරන පුද්ගලයාට කළහැකි විය යුතු වේ. එසේ නැතහොත් තමන් උපචාර සමාධියක්වත් නොලබා ධ්‍යාන ලැබූ බවට මුළාවක් ඇති විය හැකි වේ. මෙහි දී ඒ ධ්‍යාන අංග පරික්‍ෂා කිරීම පිණිස එකිනෙක අංගය විස්තර කරනු ලැබේ.

විතක්ක: විතක්කය යනු සිත අරමුණට නැංවීමේ ස්වභාවයයි. සිත ආනාපානසති නිමිත්තට නංවන ස්වභාවයෙන් වැටහේ නම් එය විතක්කය වේ. ප්‍රථමධ්‍යාන සමාධියෙන් ඉවත්ව උපචාර සමාධියට පැමිණ තමාගේ සිත නැවත නැවත පටිභාග නිමිත්තට නංවන ස්වභාවයක් වැටහේ දැයි බැලිය යුතු වේ. එසේ වැටහේ නම් එය විතක්කය වේ.

විචාර: විචාරය යනු අරමුණ පිරිමැදීමයි. විතක්කයෙන් නංවන ලද අරමුණෙහි සිත හැසිරෙන ස්වභාවයෙන්, සිත අරමුණෙහි නොසිඳී පවතින බවක් වැටහේ නම් එය විචාරය වේ.

ප්‍රීති: සිත පිනායන ස්වභාවය ප්‍රීතිය නම් වේ. මෙම ප්‍රීතිය ආකාර පසක් ඇති අතර එය පස්වණක් ප්‍රීතිය ලෙස හැඳින්වේ. ඒ අතරින් ඵරණ ප්‍රීතිය ලෙස හඳුන්වන මුළුකය පිරී යන්නාක් සේ වැටහෙන ප්‍රීතිය ප්‍රථමධ්‍යානයේ අංගයක් වේ.

සුඛ: සුඛය යනු කායචිත්ත පීඩාව නැසීමයි. සමාධිමත් සිතට දැනෙන සැපවත් බව මින් අදහස් වේ. යම් සිතක ප්‍රීතියක් ඇත්තේ නම් එවිට සැපවත් බවක් ද දැනේ. කයට යම් සීතල සුළඟක් ආදිය හැපීමේ දී සිතටත් යම් සැපවත් බවක් දැනේ. එවැනි සැපවත් බවක් ප්‍රථමධ්‍යාන සමාධියේ දී දැනේ.

ඒකාග්‍රතා: සිතේ එකඟ බව ඒකාග්‍රතාවය නම් වේ. අරමුණෙහි සිත නොවිසිරී පවතින බවයි. තෙත මැටි පිඩක් ඉහළ සිට පහළට අතහැරියහොත් එය බිම වැටී, වැටෙන තැනම ඇලී සිටින්නා සේ සිත අරමුණෙහිම නොවිසිරී පවතින බව ඒකාග්‍රතාවයයි.

මෙම ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සමාධියේ දී අත්දැකිය හැකි වේ. එබැවින් ධ්‍යානයෙන් සිත මුදවාගෙන උපචාර මට්ටමට පැමිණ එකිනෙක ධ්‍යානාංගය පරික්‍ෂා කළ යුතු වේ. මේ ධ්‍යානාංග පසම ඇති බව වැටහේ නම් තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බවට නිගමනය කළ හැකි වේ. යම් අංගයක් වැටහෙන්නේ නැති නම් එවිට තමාගේ සමාධිය ශක්තිමත් වී නොමැති බවත්, නිසි පරිදි ධ්‍යානයට සමවැදී නොමැති බවත් දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ. ධ්‍යානාංග හඳුනාගැනීම ආධුනිකයෙකට අපහසු නම් පළපුරුදු ගුරු ඇසුරකින් අවවාද ලබා ගැනීම වැදගත් වේ.

එසේම සමහර විටක විතක්කය හෝ විචාරය හඳුනාගත නොහැකිව සෙසු අංග එකක් හෝ කිහිපයක් වැටහේ නම් තමන් කෙලින්ම දුතිය ධ්‍යානයට ගොස් ඇත්දැයි සැකයක් සිතිය හැකිය. එහෙත් ප්‍රථමධ්‍යානයට නොගොස් දුතිය ධ්‍යානයට යාමක් සිදු නොවේ. එය තමන්ගේ සමාධියේ දුර්වල බවක් බව දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ.

මෙසේ ප්‍රථමධ්‍යානයට සම වැදීමෙන් පසු පැයක් හෝ පැය එකහමාරක් හෝ පැය දෙකක් හෝ හැකි තරම් වේලාවක් එම සමාධියට සමවැදී සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට ඒ තමන් සිතාගත් කාලය අවසානයේ නිරායාසයෙන්ම ධ්‍යානයෙන් සිත මිදීම සිදු වේ. අනතුරුව නැවත ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ.

මෙසේ තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බව නිසැකවම දැනගත් පසු සමථ භාවනාව තවදුරටත් දියුණු කිරීමට කැමති පුද්ගලයා එම ධ්‍යානය ආකාර පසකට වශී භාවයට පත් කරගත යුතු වේ. එසේ වශී භාවයට පත් කරගෙන තවත් සමථ කමටහනක් පුරුදු කළ හැකි වේ. මෙසේ සමථ කර්මස්ථාන කිහිපයක් පුරුදු කරගන්නා පුද්ගලයාගේ සමාධිය බලවත් වේ. එවිට විදසුන් වැඩීම පහසු වේ.

සිත අර්පණා සමාධියට පත් නොවන පුද්ගලයා විසින් අර්පණා කුසලතාවයන් දහයක් (10) සම්පාදනය කරගත යුතු වේ. ඒ පිළිබඳ මීලඟට විවරණය කෙරේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 20. ආනාපානසති භාවනාව – 11 වන කොටස