ආනාපානසති භාවනාවෙන් සිත සමාධිමත් කරගැනීමේ දී උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත පහළ වූ යෝගාවචරයා ප්‍රථමධ්‍යානය ලබන ආකාරය මීට ඉහත පැහැදිලි කරන ලදී. එහෙත් භාවනා කරන බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ තමන්ට ආලෝක මාත්‍රයක් හෝ උපදවාගත නොහැකි වූ බව පවසමිනි. සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ආලෝකයක් උපදවාගත් නමුත් සිත ධ්‍යානයක් දක්වා වර්ධනය කරගැනීමට නොහැකිව පසුවෙති. තවත් සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවාගැනීමේ හැකියාව තිබී එය අනවශ්‍ය දෙයක් යැයි සිතමින් වෙනත් භාවනා උපදෙස් අනුගමනය කරති. මේ සෑම දෙනෙක් තුළම දකින්නට ලැබෙන පොදු දුර්වලතාවය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බෞද්ධ භාවනාව පිළිබඳ දැනුම අඩු වීමයි. වෙනත් ලෙසකට කිවහොත් ත්‍රිපිටක දැනුම අඩු වීමයි.

          බුදුරජාණන් වහන්සේ එක් එක් සූත්‍ර දේශනාවන්හි දී භාවනා ක්‍රමය දෙශනා කරන්නේ නොයෙක් ආකාරයෙන්, ඒ ඒ අවස්ථාවේ ධර්මය අසන්නාට අවබෝධ වන ආකාරයට වේ. එබැවින් නිවන දක්වා භාවනා ක්‍රමය හඳුනාගැනීමට ත්‍රිපිටකය මැනවින් හදාරා ලබාගන්නා අවබෝධය වැදගත් වේ. බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ ධ්‍යාන උපදවා ඉන්පසු කරන විදර්ශනා භාවනාව පිළිබඳ දේශනා කරන බැවින් ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම විදර්ශනා භාවනාවට පහසුවක් වේ. එහෙත් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවා ගැනීම ඉතාම අපහසු දෙයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වේ.

          ධ්‍යානයක් උපදවාගැනීම පහසු දෙයක් ද නොවේ. එහෙත් නිසි පරිදි පිළිපදින පුද්ගලයෙකුට අපහසු දෙයක් ද නොවේ. සිතේ සමාධිය උපදවාගැනීමට උපකාරී වන පිළිවෙත් දහයක් (10) දසවිධ අර්පණා කුශලතාවයන් ලෙස අර්ථකථාවන්හි පැහැදිලි කර තිබේ. මේවා තමන්ගේ සන්තානය තුළ දියුණු කරගැනීමෙන් ඉක්මනින් සිතේ සමාධිය වර්ධනය කරගත හැකි වේ. ඒ දහය නම්,

1. වස්තු විසදකිරියතාවය

2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය

3. නිමිත්ත කුසලතාවය

4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම

5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම

6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම

7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම

8. අසමාහිත සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම

9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම

10. සමාධියෙහි අධිමුක්තිය

1. වස්තු විසදකිරියතාවය : එනම් ඇතුළත-පිටත පිරිසිදුබවයි. තමන්ගේ සිරුර කිළිටි වී ඇත්නම් හොඳින් නා, පිරිසිදු වී, හිසකෙස්, නියපොතු ආදිය මැනවින් පිරිසිදු කිරීමාදිය ඇතුළත පිරිසිදුකමයි. තමන් හැඳ පෙරවගෙන සිටින සිවුරු, ඇඳුම් පැළඳුම් ආදිය ද, වාසය කරන සෙනසුන්, ගෙවල් දොරවල් පිරිසිදු කිරීම බාහිර පිරිසිදුකම වේ.

          සමාධිය උපදවාගැනීම පිණිස මෙම පිරිසිදුබව ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස කිලිටි වූ රෙදි කැබැල්ලකින් සකස් කළ පහන් වැටියක්, අපිරිසිදු පහන් තැටියක තබා, අපිරිසිදු තෙල් දමා දැල්වුව ද මනා ආලෝකයක් නොලැබේ. එහෙත් පිරිසිදු රෙදි කැබැල්ලකින් සකස් කරගත් පහන් වැටියක්, පිරිසිදු පහන් තැටියක තබා, පිරිසිදු තෙල් දමා දැල්වුවහොත් පැහැදිලි ආලෝකයක් ලබාගත හැකි වේ.

          එසේම තමන්ගේ ඇතුළත-පිටත අපිරිසිදුව පවතින විට භාවනා කළ ද එමඟින් හොඳ සමාධියක් උපදවාගත නොහැකි වේ. සිත උපචාර-අර්පණා සමාධි වලට පත් නොවේ. තමන්ගේ සිරුර ද, බාහිර පරිසරය ද පිරිසිදු කරගැනීමෙන් ඇතිවන ප්‍රසන්න බව සිතේ සමාධියට බොහෝ උපකාරී වේ. සමහර පැරණි ස්වාමින් වහන්සේලා පවසන්නේ භාවනාවට හිඳ ගැනීමට පෙර තමන්ගේ යටිපතුල් දෙක පවා මැනවින් පිරිසිදු දැයි බලන ලෙසයි. එය අපිරිසිදු නම් භාවනාවේ දී සිත එකඟ වීම ප්‍රමාද බව පවසති. එබැවින් ධ්‍යානයක් උපදවාගත නොහැකි වූ අය ඒ සඳහා තමන්ගේ භාවනාව දියුණු කරගන්නේ නම් ඇතුළතත්, පිටතත් පිරිසිදු කරගත යුතු වේ.

2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය : ඉන්‍ද්‍රියයන් සම බවට පත්කරගැනීමයි. ඉන්‍ද්‍රියයන් ලෙස හැඳින්වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන මේවායි. මෙම ඉන්‍ද්‍රිය ධර්මයන් සමභාවයට පත්වීම සිත සමාධිමත් වීමට බොහෝ සෙයින් උපකාරී වේ. සන්තානය තුළ වැඩෙන මෙම එකිනෙක ඉන්‍ද්‍රිය ධර්මයන් විසින් කරන කටයුත්තක් ඇත. ඉන්‍ද්‍රිය ධර්මයන් සම භාවයට පත් නොවීමෙන් ඒ එකිනෙක කටයුත්ත සිදු නොවේ.

          ශ්‍රද්ධාව සෙසු ඉන්‍ද්‍රියයන් අභිබවා යයි නම් එවිට විරිය ඉන්‍ද්‍රිය විසින් සිතට දිරිදීම සිදු නොවේ. සති ඉන්‍ද්‍රිය විසින් කළයුතු අරමුණට එළඹ සිටීම සිදු නොවේ. සමාධි ඉන්‍ද්‍රිය විසින් සිත නොවිසිරී පවත්වාගැනීම සිදු නොවේ. ප්‍රඥා ඉන්‍ද්‍රිය විසින් තත් වූ පරිද්දෙන් විෂය ස්වභාවය දැකීම සිදු නොවේ. ඒ සියලු කටයුතු බලවත් වූ ශ්‍රද්ධාව විසින් මැඩ පැවැත්වේ. එබැවින් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කරගත යුතු වේ.

          විශේෂයෙන් ම ශ්‍රද්ධාව සහ ප්‍රඥාවත්, සමාධිය සහ වීර්යයත් සම බවට පත් කරගත යුතු වේ. ප්‍රඥාව ඉක්මවා ගිය ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා පැහැදීමට නුසුදුසු තැන් වල පහදී. ශ්‍රද්ධාවෙත් තොර ප්‍රඥාවක් ඇති තැනැත්තා කෛරාටික බවට පත්වේ. බෙහෙතින් උපන් රෝගයක් මෙන් පිළියම් කළ නොහැකි පුද්ගලයෙක් වෙයි. එබැවින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමව පවත්වාගත යුතු වේ. තමන්ගේ ශ්‍රද්ධාව අඩු බවක් යෝගියාට හැඟේ නම් එය වැඩි කරගැනීම පිණිස කටයුතු කළයුතු වේ. එසේම වීර්යය බලවත් වී සමාධිය දුර්වල වුවහොත් සිත උද්ධච්චයට පත් වේ. වීර්යය දුර්වලව සමාධිය බලවත් වන විට සිත කුසීත බවට පත් වේ. එබැවින් වීර්යය හා සමාධිය ද සම බවට පත් කරගත යුතු වේ.

          කෙසේ නමුත් සමාධි භාවනාවක් කරන පුද්ගලයාට බලවත් ශ්‍රද්ධාවක් අවශ්‍ය වේමය. බලවත් ශ්‍රද්ධාවක් ඇති විට කමටහන පිළිබඳ සැක නොකර ශ්‍රද්ධාවෙන් බැසගෙන කිරීමෙන් ඉක්මනින්ම ධ්‍යාන ලබයි. එසේම සමාධි භාවනා කරන පුද්ගලයාට බලවත් ඒකාග්‍රතාවයක් ද අවශ්‍ය වේ.

          සතිය සැම තැන්හිම වැදගත් වේ. සිත හැකිළී ගිය විට ද සිත විසිරෙන විට ද දියුණු කරගත් සිහිය වැදගත් වේ. සිහියෙන් ම අනෙක් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කිරීම ද සිදු වේ. සෑම ව්‍යඤ්ජනයක්ම රස කිරීම පිණිස ලුණු අවශ්‍ය වන්නා සේ සෑම ඉන්‍ද්‍රිය ධර්මයක් ම මැනවින් පවත්වාගැනීමට සතිය අවශ්‍යම වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 21. ආනාපානසති භාවනාව – 12 වන කොටස