සමාධි භාවනා වඩන යෝගාවචරයා නිරන්තරයෙන් සතිමත් විය යුතුය. සතිමත් වීම යනු නිරතුරුවම තමන් කරන-කියන, සිතන-පතන සෑම දෙයක් ම සිහියෙන් යුතුව කිරීමයි. එවිට තමන් කුසලයක නිරත වන්නේ ද, අකුසලයක නිරත වන්නේ ද යන්න මැනවින් තෝරාබේරා ගත හැකි වේ. එවිට සිත කුසීත බවට පත්වීම හෝ නොවිසිරීමට පත් වීමෙන් තොරව රැකගත හැකි වේ.

         අර්පණා සමාධි ඉපදවීම පිණිස සම්පාදනය කරගතයුතු කුසලතාවයන් දෙකක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. තවත් කුසලතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ.

3. නිමිත්ත කුසලතාවය : නිමිත්ත කුසලතාවය ඇතිකරගැනීම නම් සිත එකඟ වීමට හේතුවක් වූ නිමිත්ත ඉපදවීමට ද, උපදවන ලද පුද්ගලයාට එය වැඩීමට ද, වඩන ලද පුද්ගලයාට එය රැකගැනීමට ද අවශ්‍ය වන කුසලතාවය ඇතිකර ගැනීමයි. ආනාපානසති භාවනාවෙන් සිත එකඟ වන ආකාරය, නිමිත්ත ඇතිකරගන්නා ආකාරය, ඒ සඳහා භාවනාව කළයුතු පිළිවෙල නිවැරදිව දැනගත යුතු වේ. එසේම සිත එකඟ වූ විට එම එකඟතාවය රැකගැනීමට ද දැනගතයුතු වේ. එසේ නොවුවහොත් තමන් සමාධියෙන් පිරිහීමට පත් වේ. පිරිහුණු සමාධියක් යළි ඇති කරගැනීම අපහසු විය හැකිය.

4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම

5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම

ඇතැම් විට සිතට දිරි දියයුතු අතර ඇතැම් විට සිතට නිග්‍රහ කළයුතු වේ. භාවනා කරන යෝගියාගේ සිත ඇතැම් විට හැකිළීමට පත් වේ. සිත නිදිමත බවට පෙරළේ. මෙවන් අවස්ථා වල සිතට දිරිදීම කළයුතු වේ. සමහර අවස්ථා වල සිත විසිරීමට පත්වේ. දැඩි වීර්යය ඇති අවස්ථාවල මෙසේ සිත විසිරීමට පත් වේ. එවිට සිතට නිග්‍රහ කරමින් වීර්ය සම බවට පත් කළයුතු වේ.

සිත හැකිළීමට පත් වූ අවස්ථා වල ධම්මවිචය, විරිය, ප්‍රීති සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. සිත අධික වීර්යය හේතුවෙන් විසිරීමට පත්වූ අවස්ථා වල පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. ඒ ඒ බොජ්ඣඩ්ග ධර්මයන් වැඩීම සඳහා කළයුතු, නොකළයුතු දේ ත්‍රිපිටකානුසාරයෙන් දැනගත යුතු වේ.

6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම : ඇතැම් අවස්ථා වල සිතේ ආශ්වාද භාවය නොමැති වීම නිසා යෝගියාට භාවනාව එපාවීමක් සිදු වේ. භාවනාව අතහැර දැමීමට සිතේ. එවිට ද තමන්ගේ භාවනාව නිසි පරිදි සමෘද්ධමත් නොවේ. එවිට සිත සම්පහංසනයට පත් කළයුතු වේ. එසේ භාවනා අභිරුචිය පහව ගිය අවස්ථාවල අෂ්ඨ සංවේගවස්තු සිහි කරමින් සිත සංවේගයට පත්කිරීමෙන් සම්පහංසනයට පත්කළ හැකි වේ. එසේම බුද්ධ, ධම්ම, සඩ්ඝ ගුණ සිහිකරමින් සිතේ ප්‍රසාදය ඇති කරගැනීමෙන් ද සම්පහංසනය ඇතිකරගත හැකි වේ.

සිහි කළයුතු සංවේගවස්තු අට (8) නම්, ජාතිය හෙවත් ඉපදීමේ දුක, ජරාවට පත් වීමේ දුක, ව්‍යාධි හෙවත් ලෙඩ වීමේ දුක, මරණයට පත්වීමේ දුක, අපාය දුක, අතීතයේ ඉකුත් වූ සංසාර දුක, අනාගතයේ පැමිණීමට ඇති සංසාර දුක, වර්තමානයේ ආහාර සෙවීම මුල් කොට ඇති දුක යන මේ කරුණු අට වේ. මේවා සිහි කරන පුද්ගලයාට සිතේ කුසීත බවක් වූයේ නම් එය දුරු වී යයි. සිත උඩඟු වී විසිරීමට පත් වූයේ නම් එය ද දුරු වේ. සිත ආශ්වාදයට පත් වී භාවනාව කෙරෙහි ඇලීම ඇති වේ. එය අතහැරිය යුතු දෙයක් නොව නැවත නැවත වැඩිය යුතු දෙයක් ලෙස අවබෝධ වේ.

7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම : ඇතැම් අවස්ථා වල භාවනාව වර්ධනය වීම පිණිස සිත මධ්‍යස්ථ බවට පත් කළයුතු වේ. ඉහත සඳහන් කළ ආකාරයට සිත සම්පහංසනය කරමින් භාවනාව කරගෙන යාමේ දී සිත හැකිළීමෙන් තොරව, උඩඟු වීමෙන් තොරව, ආශ්වාද රහිත බවින් තොරව ආශ්වාස-ප්‍රාශ්වාස අරමුණේ සමව පවතිමින් සමාධි වීථියට බැසගනී. එසේ සිත සමාධිමත් වීමට පටන්ගත් විට නැවත නැවතත් සිත සම්පහංසනය කිරීමක් අවශ්‍ය නොවේ. සිතේ මධ්‍යස්ථ බව ඇති කළයුතු වේ. ඒ මධ්‍යස්ථ බවම යෝගියාගේ සිත උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා රැගෙන යයි.

වාහනයක් පදවන පුද්ගලයෙක් ගමන ඇරඹීමේ දී පළමුව වේගය වැඩි කරයි. වේගයෙන් යා යුතු තැන් වලදී වේගයෙන් ගමන් කරයි. සමහර අවස්ථා වල වේගය පාලනය කරගත නොහැකි තරම් වැඩි යැයි සිතෙන විට එය අඩු කරගනී. එසේ වේගය අඩුවැඩි කරගෙන ගමන් කරන විට සමහර අවස්ථාවල දී වේගය උස්පහත් නොකොට සම මට්ටමකට පවත්වාගෙන යා හැකි වේ. එසේම භාවනාව කරන පුද්ගලයා ද සිත දිරිමත් කළයුතු අවස්ථාවේ දිරිමත් කරමින් භාවනා කළයුතු වේ. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ නිග්‍රහ කරමින් භාවනා කළයුතු වේ. සතුටු කළයුතු විට සිත සතුටට පත් කළයුතු වේ. සිත සමාධි වීථියට බැසගත් පසු මැදහත් භාවයෙන් තබා ගතයුතු වේ.

8. සමාහිත නොවූ සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම : සමාධි භාවනා කරන පුද්ගලයා විසින් අසමාහිත පුද්ගලයන් දුරු කළයුතු වේ. එනම් ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට නොපැමිණි, නොයෙක් කටයුතු වල නියැලුණු, වික්‍ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරින් දුරු කළයුතු වේ. එබඳු පුද්ගලයන් නිතර කියන්නේ සමථ භාවනා කිරීම නිසරු දෙයක් ලෙසය. ධ්‍යාන ඉපදවීම නොකළයුතු බව කියති. තමන්ගේ භාවනාවේ උග්ගහ නිමිති, පටිභාග නිමිති පිළිබඳ ප්‍රකාශ කළහොත් එයට නිග්‍රහ කරති. සමහර පුද්ගලයෙක් නොදැනුවත්කම හේතුවෙන්ම භාවනාවේ උපදින ආලෝක සංඥා ආදිය මානසික විකෘතිතාවයන් ලෙස කියනවා ඇත. එබැවින් භාවනා නොකරන, භාවනාව පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන් දුරින්ම දුරු කළයුතු වේ.

9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම : එසේම ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට පැමිණි, ධ්‍යාන ලාභී පුද්ගලයන් කරා කලින් කලට එළඹ ඇසුරු කළයුතු වේ. ඔවුන්ගෙන් භාවනාව පිළිබඳ උපදෙස් ලබාගත යුතු වේ. එහෙත් තමන් මූල කර්මස්ථාන ලබාගන්නා ගුරු උතුමන්ගේ අනුදැනුම ඇතිව එබඳු අය ඇසුරු කළයුතු වේ. එසේ නොවුවහොත් එකිනෙකට පටහැනි භාවනා උපදෙස් ලැබිය හැකි වේ.

10. සමාධියෙහි අධිමුක්තිය : සමාධියම ගුරුකොට ගනිමින්, සමාධිය දෙසටම නැමී, නිරන්තරයෙන් සමාධිය උපදවාගැනීම පිණිස සිත යොමු කරගෙන කටයුතු කිරීමයි. සමාධිය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා විසින් තම සිතේ සමාධිය පිළිබඳ ඇති කැමැත්ත, නැඹුරු බව වැඩි කරගත යුතු වේ. සෑම ඉරියව්වකදී ම සමාධිය වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳවම සිතිය යුතු වේ. ඒ සඳහා සත්ප්‍රාය වන දේ ඇසුරු කළයුතු වේ.

මෙසේ සමථ භාවනා කරන පුද්ගලයා විසින් ඉක්මනින් ධ්‍යාන සමාධියක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ කියන ලද දසවැදෑරුම් අර්පණා කුසලතාවයන් තමන් තුළ වර්ධනය කරගත යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 22. ආනාපානසති භාවනාව – 13 වන කොටස