බැමිණිතියාසායේ කටුක බව සකල ලංකාද්වීපය පුරාම පැතිරී ගියේ ය. බොහෝ භික්‍ෂූහු පරතෙරට වැඩම කොට තථාගත ශ්‍රී සද්ධර්මය සුරක්‍ෂා කළ හ. කටපාඩමෙන් දරාගෙන පැමිණි බැවින් නිතර සජ්ඣායනාදිය කරමින් මතකයේ රඳවාගත යුතු වේ. එහෙත් පිණ්ඩපාතාදිය නොමැති වීමෙන් දුෂ්කරතාවයට පත් භික්‍ෂූන් වහන්සේලාට ධර්මය කටපාඩමෙන් දරාගෙන පැමිණීම පහසු කටයුත්තක් නම් නොවී ය.

එ සමයෙහි ඛුද්දකනිකායේ මහානිද්දේසපාලිය කටපාඩමින් ප්‍රගුණව සිටි භික්‍ෂූන් වහන්සේලා සියලුදෙනා අපවත් වී දෝ, ඇතැම් අය පරතෙරට වැඩම කිරීම නිසා දෝ එක් භික්‍ෂුවක් පමණක් ඉතිරි විය. උන්වහන්සේ මහානිද්දේසපාලිය කටපාඩමින් අර්ථ සහිතව දැනගෙන සිටිය ද දුසිල්වත් වූයේ ය. ඒ දුසිල්වත් භික්‍ෂුවගෙන් කිසිවෙකුත් නොම උගත්තේ නම්, එය අතුරුදන් වන්නේ ය. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් ‘දුසිල්වත් අලජ්ජී භික්‍ෂුව සමඟ ධර්ම-ආමිස සම්භෝගය නොකළයුතු’ බවට පැනවීමක් කර ඇති බැවින් සිල්වත් භික්‍ෂූහු ඒ දුසිල්වත් මහණගෙන් මහානිද්දේසය හැදෑරීමට මැළි වූ හ.

අවසානයේ මේ භික්‍ෂුවගෙන් නමුත් උගෙන නොගත්තේ නම් මහානිද්දේසය අතුරුදන් විය හැකි බව දැනගත් චතුනිකායික තිස්ස ස්ථවිරයන්ගේ උපාධ්‍යායන් වහන්සේ වූ මහාත්‍රිපිටක ස්ථවිරයෝ ස්වකීය අතවැසි මහාරක්‍ඛිත තෙරුන් වහන්සේට කථා කොට මහානිද්දේසය ඉගෙන ගැනීමට උපදෙස් දුන්හ.

“ඇවැත්නි, මහාරක්‍ඛිතයෙනි, අසවල් භික්‍ෂව සමීපයේ මහානිද්දේය උගෙනගනු ව” යැයි අවවාද කළ හ.

එවිට මහාරක්‍ඛිත තෙරුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළේ ඒ භික්‍ෂුව දුසිල්වත් බව කියමිනි.

“ස්වාමිනි, ඒ භික්‍ෂුව පාපී ය. එහෙයින් මම උන්වහන්සේගේ සමීපයේ මහානිද්දේසය අසාගැනීම නොකරමි” යි කීහ.

එහි දී මහිත්‍රිපිටක ස්ථවිරයෝ මහාරක්‍ඛිත තෙරුන්ට එය ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දුන්හ. යම් ග්‍රන්‍ථයක් අතුරුදන් වීමට ආසන්න නම් එය අලජ්ජි භික්‍ෂුවකගෙන් නමුත් ඉගෙණ ගෙන සුරක්‍ෂිත කිරීමට භාග්‍යවතුන් වහන්සේ විසින් විනයෙහි ලබා දී ඇති ඉඩකඩ පෙන්වා දුන් හ. මේ දුෂ්කර සමයේ යමෙක් ඒ කැපකිරීම කරමින් ඉගෙණ ගන්නේ නම් අනාගතයට වන යහපත පෙන්වා දුන් හ. අවසානයේ මහාරක්‍ඛිත ස්ථවිරයන්ගේ සැකය දුරු කරලීම පිණිස තමන්වහන්සේ ද ඒ ඉගෙනගන්නා කාලය තුළ සමීපයේ හිඳගෙන සිටින බව පැවසූ හ.

“ඇවැත්නි, නුඹ වහන්සේ ඉගෙන ගන්නා අතර මම ද නුඹගේ සමීපයේ හිඳින්නෙමි”

“හොඳයි ස්වාමිනි, නුඹවහන්සේත් මා සමීපයේ හිඳින්නේ නම්, මම ඉගෙන ගන්නෙමි” යි මහාරක්‍ඛිත තෙරුන් වහන්සේ එයට එකඟ වූ හ.

මෙසේ කතිකා කරගෙන දිවාරාත්‍රී නොකඩවා ඒ දුසිල්වත් භික්‍ෂුව සමීපයේ හිඳගෙන මහානිද්දේසපාලිය උගත් හ. එසේ දිවා රෑ නිරතුරු හදාරා අවසන් දිනයේ ඒ භික්‍ෂුවගේ දුසිල්වත් බව ඔප්පු විය. උන්වහන්සේගේ සයනය යට කාන්තාවක් සිටි බව හෙළි විය. එය දැනගත් මහාරක්‍ඛිත ස්ථවිරයෝ මෙසේ පැවසූ හ.

“මම මින් පෙර මේ භික්‍ෂුව දුසිල්වත් බව අසා තිබුණෙමි. ඉදින් ඒ බව නිසැකවම දන්නේ නම්, මෙබඳු දුසිල්වත් භික්‍ෂුවක් සමීපයේ ඉගෙන නොගන්නෙමි”

කෙසේ නමුදු ඒ වන විට මහානිද්දේසය ප්‍රගුණ කොට අවසන් ය. එහෙයින් ඉන් පසු ඒ මහාරක්‍ඛිත ස්ථවිරයන් සමීපයේ බොහෝ මහාස්ථවිරයන් වහන්සේලා ද මහානිද්දේසය හදාරා, එය අතුරුදන් නොවී රැකගත් හ.

මෙසේ ඒ දුෂ්කර සමයේ සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් විනයෙන් ඉඩ සලසා ඇති අවස්ථාවක නමුදු ඉතා කුඩා සිකපදය පවා ඉක්මවීමට නොසිතූ හ. ස්වකීය නිර්මල ශීලස්කන්‍ධය රැකගෙන ම ශාසනය සුරැකීමට දිවි දුන් හ. උන්වහන්සේලාගේ ඒ පින්වත් ජීවිත වර්තමානයට ආශිර්වාදයක් වේවා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>මී ලෙලි, පියුම් දඬු වළඳා සසුන රැකගත් මහතෙරවරු – සසුනට දිවි දුන් යතිවරු (5 වන කොටස)