බැමිණිතියා සාය කාලයේ ඇති වූ උග්‍ර විපත්තිකර තත්වය බොහෝ භික්‍ෂූන්ට ස්වකීය ජීවිතය රැකගැනීමටත්, බුදුසසුනේ චිරස්තිථිය පිණිසත් විදෙස්ගත වීමට අනුබලයක් විය. එහෙත් තවමත් මේ පින්බිමේ ම අවසන් හුස්ම ටික හෙළන අදහස තිබූ බොහෝ පිරිසක් මෙතෙර ම නතර වූ හ. උවහන්සේලා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව බුදුසසුන රැකගැනීම උදෙසා ප්‍රතිපත්තිය ද නොපිරිහෙළාගෙන පරියාප්ති ධර්මය ද රැකගත්හ.

නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ද ස්වකීය උපාධ්‍යයන් වහන්සේ සමඟ මෙහි ම නතර වූයේ පළාකොළ අනුභව කොට දිවිගෙවන මිනිසුන් ඇසුරේ සිටින අදහසිනි. උපාධ්‍යයන් වහන්සේ නිග්‍රෝධ සාමණේරයන් ද කැටුව,

“අපි පළාකොළ කාල ජීවත්වෙන මිනිස්සු ඉන්න පැත්තකට යමු” යි ප්‍රත්‍යන්තය බලා පිටත් වූහ.

සත්දිනක් ගතවිය. ස්ථවිරයෝත් උන්වහන්සේගේ පාසිවුරු ගත් නිග්‍රෝධ සාමණේරයෝත් මිනිසුන් සිටින පෙදෙසක් බලා බොහෝ දුර පියමං කළ ද පිණ්ඩපාතයක් හෝ වෙනත් ආහාරයක් හෝ සොයාගත නොහැකි විය. නිරාහාරව දින හතක් පාගමනින් ගිය ගමන අතිශය වෙහෙසකර විය. එසේ වෙහෙසට පත් වී සිටින අතර එක්තරා ගමක තිබූ තල්ගසක ඉදුණු තල්ගෙඩි ඇති බව සාමණේරයන් වහන්සේ දුටහ. උන්වහන්සේ බොහෝ සේ වෙහෙසට පත් වී සිටියහ. එහෙත් තමන්ට සහ උපාධ්‍යයන් වහන්සේට දින හතකින් පිණ්ඩපාතයක් නොලැබුණු බැවින් තල්ගෙඩි කිහිපයක් සපයාගැනීමට ගසට නැඟීමට සිතුවේ ය.

“ස්වාමීනි, මඳක් වැඩ හිඳිනු මැනවි. ඉදුණු තල්ගෙඩි ඇත. මම කඩන්නම්”

දින හතක් පුරාවට නිරහාර ව සිටි බැවින් සාමණේරයන් දුර්වල ව සිටින බව දන්නා උපාධ්‍යායන් වහන්සේ ගසට නැඟීම වැළැක්වූ හ.

“ඇවැත්නි, එපා. නුඹ වහන්සේ දුර්වලයි. ගසට නඟින්න එපා”

“නැත ස්වාමීනි. නුඹ වහන්සේ වැඩ සිටිනු මැනවි. මට හැකියි” යි පැවසූ නිග්‍රෝධ සාමණේරයෝ දැහැටි දඬු සිඳින කුඩා වෑය ද ගෙන තල්ගසට නැඟුණ හ. තල් ගෙඩියක් වෑයෙන් කපන අතරතුර මිටෙන් ගැළවුණු වෑ තලය බිම පතිත විය.

එය දුටු ස්ථවිරයෝ, ‘මුන්වහන්සේ දුර්වලව සිට යි ගසට නැඟුණේ. දැන් මොනවා කරන්න දැ?’යි කල්පනා කළහ.

තෙරුන්වහන්සේ උපසපන් බැවින් ගසට නැඟීම ද කළ නොහැකි ය. උපසපන් භික්‍ෂූන්ට ගසක බඹයකට වඩා වැඩි උසක් නැඟීම නොකළයුතු යැයි විනයෙහි පනවා ඇත්තේ ය. එහෙයින් ස්ථවිරයෝ ඒ විනය නීතිය තමන්ගේ කුස නිසාවෙන් ඉක්මවීමට නොකැමති වූ හ. සාමණේරයන් වහන්සේ ද දුර්වලව සිටි බැවින් නැවත ගසෙන් බැස නැඟීම ද අපහසු ය.

සාමණේරයන් වහන්සේ ගස උඩ සිටිය දී ම තල්කොළ කුඩාවට ඉරා එකිනෙක ගැටගසා, එහි කෙළවර වෑ මිට අවුණා බිමට පහත් කළේය. බිමට පහත් කොට,

“ස්වාමීනි, වෑ තලය මේ මිටෙහි පිවිසුව හැකිනම් මැනවි” යැයි කීවේ ය. ඒ වැඩිහිටි භික්‍ෂුවකගෙන් උපකාරයක් ඉල්ලූ ආකාරය යි. තමන් දුෂ්කර කටයුත්තක් කරන්නේ නමුදු උපාධ්‍යායන් වහන්සේට ‘මෙය කරන්න’ යැයි අණකිරීමක් නොකළේ ස්වකීය ගුණ ගරුත්වය නිසාවෙන් ම වේ. එය එසේම වේ. බාල භික්‍ෂූන් වහන්සේලා සහ ගිහි උපාසක උපාසිකාවන් වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලාගෙන් හදිසි අවස්ථාවක හෝ වැඩ ඉල්ලාගැනීම නුසුදුසු වේ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අපට ලබාදුන්නේ ඒ ආදර්ශය යි.

ස්ථවිරයෝ ද ‘උපායසම්පන්න සාමණේරයෙකි’ යැයි සිතා වෑ තලය මිටට සවිකොට දුන්හ. සාමණේරයෝ වෑය ගෙන තල්ගෙඩි කිහිපයක් කඩා බිම හෙළීය. අනතුරුව වෑය බිම දැමූ පසු ස්ථවිරයෝ වැටුණු ගෙඩියක් තමාම රැගෙන වෑයෙන් පලා බිමට බට සාමණේරයන්ට පළමුව වැළඳීමට දුන්හ.

“නුඹ වහන්සේ දුර්වලයි. ඒ නිසා මෙය වළඳන්න”

නිග්‍රෝධ සාමණේරයෝ කොතරම් අපහසු අවස්ථාවක නමුදු උපාධ්‍යායන් වහන්සේට පළමුව වැළඳීමට නොකැමති වූ හ.

“නැහැ නැහැ ස්වාමීනි, නුඹ වහන්සේ වළඳනතෙක් මම නොවළඳමි” යැයි කියූ සාමණේරයෝ වෑය ගෙන තල්ගෙඩි පලා, පාත්‍රය ගෙන එහි තල්මද බහා තෙරුන්වහන්සේට පිළිගැන්වූහ. අනතුරුව තමන්වහන්සේ ද වැළඳූහ. උන්වහන්සේලා දෙනම තල්ගසේ ගෙඩි තිබෙනතාක් එතැන ම වාසය කළහ.

තල්ගසේ ගෙඩි අවසන් වූ පසු අනුපිළිවෙළින් වැඩමකොට පළාකොළ අනුභව කරමින් වාසය කරන මිනිසුන් වෙසෙන එක්තරා ගමකට වැඩිය හ. එහි එක්තරා අතහැර දමන ලද විහාරයක් තිබූ අතර එහි පිවිසිය හ.

සාමණේරයන් වහන්සේ තෙරුන්වහන්සේට වාසය කිරීමට තැනක් පිළියෙළ කළ දුන් හ. ස්ථවිරයෝ ද සාමණේරයන් වහන්සේට අවවාද දී විහාරයට පිවිසිය හ.

සාමණේරයෝ ‘මෙසේ කිසිදු දෙයක් කරකියාගත නොහැකිව සසරේ මියගිය ආත්මභාව ගණන මෙපමණක් යැයි කිව නොහැකියි. එහෙයින් හැකියාව තිබෙනතුරු බුද්ධ උපස්ථානයක් කළයුතු යැ’යි සිතා චෛත්‍ය මලුවට ගොස් එහි වැවී තිබූ තණකොළ උදුරන්නට පටන්ගත්තේ ය. දිනහතක් නිරාහාරව සිටි බැවින් කයේ ශක්තිය බොහෝ සෙයින් දුර්වල වී තිබිණි. ඒ නිසා උන්වහන්සේ බිම වැතිරී තණකොළ උදුරන්නට වූ හ.

මිනිස්සු පිරිසක් වනයෙන් මීපැණි ලැබ දර සහ පළාකොළ ද කඩාගෙන ආපසු යන අතර චෛත්‍ය මලුවේ තණකොළ සෙලවෙනු දුට හ. ‘මුවෙක් වත් දැ’යි සිතූ ඒ මිනිස්සු එතැනට ගොස් සාමණේරයන් දැක,

“ස්වාමීනි, කුමක් කරන්නෙහි දැ”යි ඇසූහ.

“උපාසකයෙනි, තණකොළ උදුරමි” තණමළුවේ වැතිර තණකොළ උදුරමින් බුද්ධෝපස්ථානය කරන සාමණේරයෝ අපහසුවෙන් පැවසූහ.

“තවත් කවුරුන් හෝ සිටී ද? ස්වාමීනි” ඒ පළාකොළ අනුභව කොට දිවිගෙවන මිනිස්සු තමන් ලද මීපැණියෙන් මේ ආගන්තුක හිමියන්ට සංග්‍රහ කිරීමට සිතූ හ.

“ඔව් උපාසකයෙනි, මගේ උපාධ්‍යායන් වහන්සේ ඇතුළු කාමරයේ”

“ස්වාමීනි, මහතෙරුන් වහන්සේට ද දී වළඳනු මැනවි” යැයි සාමණේරයන්ට මීපැණි පූජා කළ ඒ මිනිස්සු තමන් වසන ස්ථානය ද පවසා නික්මුණ හ.

“ස්වාමීනි, අපි ගස්වල කොළඅතු කඩමින් යනවා. නුඹ වහන්සේ උපාධ්‍යායන් වහන්සේත් සමඟ වඩිනු මැනවි”

නිග්‍රෝධ සාමණේරයෝ මීපැණි ද ගෙන උපාධ්‍යායන් වහන්සේ වැඩසිටි සමීපයට ගොස්, පිටත සිට, “ස්වාමීනි, වන්දනා කරමි” යැයි කීහ.

ස්ථවිරයෝ ‘සාමණේරයන් වහන්සේ කුසගින්නෙන් පීඩිතව ආවේ යැ’යි සිතා නිහඬ වූහ.

උන්වහන්සේ නැවත ද “ස්වාමීනි, වන්දනා කරමි” යැයි කීහ.

“කිමෙක් ද සාමණේරය, දුර්වල භික්‍ෂූන්ට සුවසේ නිදාගැනීමට නොදෙන්නේ ද?”

“ස්වාමීනි, දොර විවර කිරීමට මැනවි”

ස්ථවිරයෝ නැගීසිට දොර විවරකොට “කිමෙක් දැ” යි ඇසූ හ.

“ස්වාමීනි, මිනිසුන් වෙතින් මීපැණි ලැබුණා. වැළඳීමට සුදුසු යි” දිනගණනක් නිරාහාරව සිටි බැවින් වෙහෙසෙන් ක්ලාන්තව සිටි උන්වහන්සේ මීපැණි වලින් පාණකයක් කොට වළඳන්නේ නම් මැනවැයි සිතා,

“ඇවැත්නි, ඒවමේව වළඳල ක්ලාන්ත වෙලා ඉන්නෙ. පාණකයක් හදාගෙන වළඳමු” යි පැවසූහ. සාමණේරයෝ මීපැණියෙන් පාණකයක් පිළියෙළ කොට පිළිගැන්වූ හ.

අනතුරුව ස්ථවිරයෝ, “ඒ මිනිස්සුන්ගෙන් ඉන්නා තැනක් අහගත්තා දැ?” යි ඇසූහ.

“ඔවුන් ම එය පැවසුවා ස්වාමීනි”

“එහෙනම් උදෙන් යන එක අපහසු යි. දැන්ම ම වඩිමු” යැයි පැවසූ ස්ථවිරයෝ සාමණේරයන් ලවා පා සිවුරු ගන්වවාගෙන නික්මී මිනිසුන් වසන නුදුරේ වැඩහුන් හ.

මෙසේ ඒ සිල්වත් උතුමන් වහන්සේලා ඉතාමත් දුෂ්කර ලෙස ස්වකීය ශීලය ද ආරක්‍ෂා කරගනිමින් නොපිරිහෙළා ප්‍රතිපත්තිය ද පූරණය කළහ. ඒ උතුමන් විසින් සුරක්‍ෂා කළ ශාසනය අනාගතය උදෙසා ද ආරක්‍ෂා කිරීම වර්තමානයේ අප සැම වගකීම වේ. එය ද ශීලය හා ගුණය නොපිරිහෙළමින්, ප්‍රතිපත්තිය ද පුරමින් කළයුතු බවට අපට කාලය හරහා පණිඩුඩ එවූ ඒ අතීත උතුමන්ට අපගේ උත්තුංග නමස්කාරය වේවා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>‘මහා නිද්දේසය රැකගත් සැටි’ – සසුනට දිවි දුන් යතිවරු (6 වන කොටස)