භාතරග්‍රාමය ඇසුරුකොට ගෙන නාග නම් භික්‍ෂුණියක් ඇතුළු භික්‍ෂුණින් දොළොස් දෙනෙක් වාසය කළාහු ය. බැමිණිතියා සාය දරුණු වූ කාලයේ මේ භාතරග්‍රාමයේ මිනිස්සු තෙරණියට නොකියා ම රාත්‍රියේ පළා ගියහ. තෙරණිය අළුයම් කාලයේ නැගී සිට ගම දෙසින් කිසිදු හඬක් නොනැඟෙන බැවින් තරුණ භික්‍ෂුණීන්ට කථා කොට,

“ගම පැත්ත හරිම නිහඬයි. ගොසින් බලාගෙන පැමිණෙන්න” යි පිටත් කර හැරියා ය.

තරුණ භික්‍ෂුණීන් ගම දෙසට ගොස් කිසිවෙකුත් නොමැති බව දැන ආපසු විත් ඒ බව තෙරණියට සැල කළා හ. ඒ තෙරණිය ද,

“නුඹලා ඔවුන්ගේ යාම ගැන කණස්සලු නොවී තම තමන්ගේ ධර්මය හැදෑරීමේ කටයුතු, භාවනා කටයුතු කරගන්න” යැයි අවවාද කළා ය.

පිඬු පිණිස හැසිරෙන වේලාව පැමිණි කල සෙසු භික්‍ෂුණීන් ද සමඟ සිවුරු පෙරවා පාත්‍ර ද රැගෙන ගොස් සියලු දෙනා ම ගම් දොරටුවේ තිබූ විශාල නුග වෘක්‍ෂය සමීපයේ සිටිය හ. ඒ නුග වෘක්‍ෂයේ එක්තරා දේවතාවෙක් වාසයකළ අතර ඒ දේවතාවා භික්‍ෂුණීන් දොළොස් දෙනාට ම පිණ්ඩපාත දානය පිරිනමා,

“ආර්යාවෙනි, අන් තැනකට නොයනු මැනවි. මෙතැන ම වැඩ වාසය කරනු මැනවි. නිරන්තරයෙන් පිණ්ඩපාතය පිණිස මෙතැනට ම වඩිනු මැනවි” යැයි ඇරයුම් කළේ ය.

තෙරණියගේ කණිටු සොහොයුරා ද බුදුසසුනේ පැවිදි ව නාග ස්ථවිරයෝ නම් වූහ. උන්වහන්සේ ද ‘මේ මහත් බිය සහිත කාලයේ මෙහි වාසය කිරීම අපහසු ය. එතෙරට වැඩම කළ යුතු’ යැයි සිතා තවත් භික්‍ෂූන් එකොළොස් දෙනෙක් සමඟ තමන් වහන්සේ වැඩ වාසය කළ විහාරයෙන් නික්මුණ හ. ඒ අතර තෙරණිය දැක බලා යන්නෙමි යැයි සිතා භාතරග්‍රාමයට ද පැමිණිය හ.

තෙරණියෝ ද නාග ස්ථවිරයන් පැමිණි බව අසා පැමිණ උන්වහන්සේ මුණ ගැසී කරුණු විචාලා ය. උන්වහන්සේ ද තමන් වහන්සේ පරතෙරට වැඩම කරන බව පැවසූ හ. එවිට ඒ තෙරණිය ද,

“අද එක් දිනක් නැවතී සිට හෙට දින වඩිනු මැනව” යැයි ඇරයුම් කළා ය. ඒ ආරාධනය පිළිගත් ස්ථවිරයෝ සෙසු භික්‍ෂූන් ද සමඟ විහාරයට වැඩම කළ හ.

තෙරණිය පසු දින නුග වෘක්‍ෂමූලයට පිණ්ඩපාතය වැඩම කොට රුක් දෙවියා විසින් පිළිගන්වන ලද දානය ද රැගෙන විත් තෙරුන් වහන්සේලාට පිළිගැන්වූවා ය.

“තෙරණිය, මේ පිණ්ඩපාතය වැළඳීමට සුදුසු ද?” යි අසා තෙරුන් වහන්සේ නොවළඳා නිහඬ වූ හ.

භික්‍ෂුවකට භික්‍ෂුණියක් විසින් පිළියෙල කරන ලද පිණ්ඩපාතය වැළඳීම සුදුසු නොවේ. ‘ජානං භික්‍ඛුනී පරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්‍ය අඤ්ඤත්‍ර පුබ්බෙ ගිහී සමාරම්භා පාචිත්තියං’ යන සිල්පදයට අනුව පාචිත්තියාපත්තියක් වේ. තෙරුන් වහන්සේ සිතන ලද්දේ මෙම පිණ්ඩපාතය තෙරණිය විසින් පිළියෙල කළ දෙයක් කියා විය හැකි ය. ඒ නිසා අකැප පිණ්ඩපාතයක් යැයි සිතා ප්‍රතික්‍ෂේප කළ හ.

තෙරණියෝ ද,
‘ස්වාමීනි, මේ පිණ්ඩපාතය ධාර්මික ය. කුකුස් නොකර වළඳනු මැනවි.’ යැයි ඉල්ලා සිටියා ය.

ඒ පිළිබඳ සැක සහිත වූ තෙරුන් වහන්සේ යළිත් ප්‍රතික්‍ෂේප කළ හ.

එවිට තමන්ගේ දානවස්තුවේ ධාර්මික බව පැවසීමට අන් කිසිදු ක්‍රමයක් නොදුටු ඕ තොමෝ අධිෂ්ඨානය කොට දාන පාත්‍රය ගෙන අහසට විසි කළා හ. එය ඉතා පිරිසිදු දාන වස්තුවක් බව හැම සියලුදෙනාට ප්‍රත්‍යක්‍ෂ කරමින් අහසේ ම රැඳිනි.

එහෙත් ස්ථවිරයෝ තවදුරටත් එය ප්‍රතික්‍ෂේප කළ හ. ඒ තමන්වහන්සේ පිණ්ඩපාතික නිසාවෙන් සහ භික්‍ෂුණියක් කැප සරුප් ලෙස නමුදු දුකසේ සපයා ගත් පිණ්ඩපාතයක් භික්‍ෂුවකට වැලඳීම සුදුසු නොවේ යැයි සිතාගෙන ය.

“තෙරණියනි, තල්ගස් සතක් උස සිටියත් මෙය භික්‍ෂුණී බතක් ම වේ.” යැයි කියා,

“භය නම් සැමකල්හි නොපවතී. භය සංසිඳුණු කල්හි ආර්යවංශය කියමින් ‘පිණ්ඩපාතිකය, භික්‍ෂුණී බතක් වළඳා කල් ගෙවුවේ දැ’යි සිතෙන් චෝදනා කරනවිට එය දැඩි කොට වළක්වාගැනීම නොහැකි වෙයි. ඒ නිසා නුඹලා අප්‍රමාදී වනු මැනවි” යැයි අවවාද දී මගට පිළිපන් හ.

වෘක්‍ෂ දේවතාවා ද, ‘යම්හෙයකින් තෙරුන් වහන්සේ තෙරණියගේ පාණ්ඩපාතය පිළිගත්තේ නම් උන්වහන්සේව නොනවත්නෙමි. පිළිනොගත්තේ නම් නවතා ගන්නෙමි’ යැයි සිතා බලා සිට වැඩම කරන තෙරුන් වහන්සේ දැක ගසින් බැස ඉදිරියට විත් පාත්‍රය ඉල්ලා ගත්තේ ය. වෘක්‍ෂ මූලයට වැඩමවා අසුන් පනවා පිණ්ඩපාතය පිළිගන්වා බත්කිස අවසානයේ එහි ම නැවතීමට ආරාධනා කළේ ය. භික්‍ෂූන් වහන්සේලාගෙන් ද ප්‍රතිඥා ගෙන වසර සතක් ගතවන තුරු භික්‍ෂූන් දොළොස් දෙනෙක්ට ද භික්‍ෂුණීන් දොළොස් දෙනෙක්ට ද උවටැන් කළේ ය.

ඒ තෙරණිය සාරාණීය ධර්මය පුරන ලද්දී ය. එනම් සෑම දිනක ම පිණ්ඩපාතය කරගෙන සෙනසුනේ යම් තාක් දෙනෙක් වැඩ සිටී ද ඒ සියල්ලට ම තමන්ගේ දාන පාත්‍රය පිළිගන්වා අපේක්‍ෂා රහිතව කැමති දෙයක් ගැනීමට සලස්ව යි. මෙසේ එක් දිනක් හෝ ලෝල සිතක් නොම උපදවා අඛණ්ඩව දොළොස් වසරක් තමන්ගේ දානය අන් අයට පිළිගැන්වීමෙන් සාරාණීය වත සම්පූර්ණ වූවේ වෙයි. එසේ සාරාණීය වත සම්පූර්ණ කළ කෙනෙක් වේ නම් උන්වහන්සේට කිසිදු දිනක පිණ්ඩපාත දානය වැළකෙන්නේ නොවෙයි. කොතරම් දුර්භික්‍ෂ සමයක නමුදු දානය ලැබෙයි. දෙවියන් නමුදු පිණ්ඩපාතය පිළියෙල කර දෙයි. යම් සඟ පිරිසකට ලාභයක් ලැබේ නම් එයින් අග්‍ර වූ කොටස ම ලැබෙයි. තමන්ගේ දාන පාත්‍රය කොතෙක් සඟ පිරිසකට බෙදන ලද්දේ ද අවසන් නොවේ. මෙසේ මහත් අනුසස් ඇති වටිනා ගුණ ධර්මයක් වේ.

මෙසේ සාරාණීය වත සම්පූර්ණ කිරීමෙන් දෙවියන් නමුදු පිණ්ඩපාතය පිළියෙල කර දෙන බව පැවසීමේ දී නිදර්ශනයක් ලෙස අටුවා වල මෙම කථා වස්තුව කියවේ.

එබැවින් සැම සියලුදෙනා විසින් කළ යුතු වන්නේ එළඹ ඇති දුෂ්කර සමය තමන්ට ගුණධර්ම වැඩි වැඩියෙන් පුරා ගැනීමට කාලයක් යැයි සිතා අප්‍රමාදී වීම යි. ඒ සඳහා අපට ආදර්ශයක් සපයා දුන් ඒ අතීත යතිවරයන් වහන්සේලාට අපගේ උත්තුංග නමස්කාරය වේවා. අප හැම සියලු දෙනාටත් මේ බුදුසසුනේ තව තවත් ගුණ දියුණු කර ගැනීම පිණිස අවැසි විහරණයන් සැලසේවා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>ගුණසුවඳ විහිදූ නිග්‍රෝධ සාමණේරයෝ – සසුනට දිවි දුන් යතිවරු (7 වන කොටස)