ආනාපානසති භාවනාවෙන් සමාධිය දියුණු කරගැනීම යනු භාවනා කරන යෝගියකු විසින් අත්පත් කරගන්නා වටිනා ලාභයක් වේ. සියලු බුදුවරයන් වහන්සේලා මෙම ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය දක්වා සිත දියුණු කර තමන් වහන්සේලාගේ විදර්ශනා වැඩීම අරඹන බව ඉහත පැහැදිලි කරන ලදී. එසේම බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ආනාපානසති භාවනාවේ ආනිසංස නොයෙක් ආකාරයෙන් දේශනා කර ඇත. ඒ නිසාම බොහෝ යෝගාවචරයන් මෙම ආනාපානසති භාවනාව මුල් කරගෙන භාවනාව ආරම්භ කිරීමට කැමැත්ත දක්වති. එහෙත් ඒ සියලු දෙනාට ආනාපානසති භාවනාව මුල් කරගත් භාවනා මාර්ගය පිළිබඳ නිවැරදි වැටහීම ඇත්දැයි විමසිය යුතු වේ.

භාවනා කරන බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ තමන්ගේ සිත විසිරෙන බව පවසමිනි. තම සිත එක් අරමුණකට ගැනීම අපහසු බව පවසමින් භාවනා කමටහන සමඟ හෝ භාවනා උපදෙස් ලබාදෙන ගුරු උතුමන් සමඟ ගැටීම් ඇති කරගන්නා අය ද නැතුවා නොවේ. එහෙත් භාවනා කිරීමේ දී තම සිත හසුරුවාගත හැකි ආකාරය පිළිබඳ මනා අවබෝධයක් නොමැතිකම නිසා මෙවැනි මැසිවිලි නඟන බව පැහැදිලිය.

ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කිරීමේ දී පුරුදු පුහුණු කරගත යුතු අර්පණා කුසලතාවයන් දහයක් පිළිබඳ ඉහත පැහැදිලි කරන ලදී. එහි දී අවධානය කළ කරුණක් වන්නේ යෝගියා තමාගේ සිත අවශ්‍ය අවස්ථාවේ දිරි දෙමින්, උනන්දු කරමින් භාවනාවේ යෙදිය යුතු බවත්, අවශ්‍ය අවස්ථාවේ සිතට නිග්‍රහ කරමින් කටයුතු කළයුතු බවත්, අවශ්‍ය අවස්ථාවේ සිත සම්පහංසනයට පත් කරමින් භාවනාව පුරුදු කළයුතු බවත් වේ. සිත සමාධිමත් වන්නට පටන් ගත් විට මැදහත්ව කමටහන මෙනෙහි කළයුතු වේ.

සමහර මී මැස්සෙක් මල් පිපි බව දැනගෙන ඉතා දක්‍ෂ බව නිසා වේගයෙන් පියඹා යයි. එහෙත් පිපි මල් ගොමුව අසල දී තමාගේ වේගය පාලනය කර ගත නොහැකිව මල්ගොමුව පසු කරගෙන දුර යයි. අනතුරුව ආපසු හැරී නැවත මල කරා පැමිණෙන විට රොන් සුළඟින් වියළී ගියේ වෙයි. නිසි පරිදි රොන් ලබාගත නොහැකි වේ. තවත් මී මැස්සෙක් කම්මැලිකම නිසාම ඉතා සෙමෙන් මල්ගොමුව කරා පියඹා යයි. ඌ සෙමෙන් සෙමෙන් පැමිණෙන විට ද පිපි මල්වල රොන් සුළඟින් වියළී ගියේ වෙයි. එහෙත් දක්‍ෂ මී මැස්සෙක් වැඩිත් නොවූ, අඩුත් නොවූ සම මට්ටමේ වේගයකින් පියඹා ගොස් පිපි මල් සුළඟින් වියළිමට පෙර නැවුම් රොන් ලබාගෙන නියම රොන් රස අනුභව කරයි. භාවනා කරන තැනැත්තා ද මෙම දක්‍ෂ මී මැස්සා මෙන් වැඩිත් නොවූ, අඩුත් නොවූ වීර්යයකින් යුතුව භාවනාව කළයුතු වේ.

පෙර අතීතයේ සැත්කම් සඳහා පුහුණු වන ශල්‍ය වෛද්‍ය වරුන්ගේ පරීක්‍ෂණයක් පිළිබඳ සඳහන් වේ. වතුරට දැමූ මහනෙල් පෙත්තක් වතුරේ තිබියදී සැත්කම් පිහියකින් එහි සිවිය ඉවත් කිරීමේ සියුම් පරීක්‍ෂණයක් වේ. දක්‍ෂ බව වැඩි පුද්ගලයා හදිසිය නිසා එක්කෝ මහනෙල් පෙත්ත දෙකට කපා දමයි. නැත්නම් වතුරේ ගිල්වයි. දක්‍ෂ නොවූ පුද්ගලයා මහනෙල් පෙත්ත කැපී යා දෝ නැතහොත් වතුරේ ගිලී යාවි දෝ කියා භයින් මහනෙල් පෙත්ත සැත්කම් පිහියෙන් ඇල්ලීමක් හෝ නොකරයි. එහෙත් දක්‍ෂ පුද්ගලයා සම වූ ප්‍රයෝගයෙන් යුතුව, සිහියෙන් යුතුව දියේ ඇති මහනෙල් පෙත්ත සැත්කමට බඳුන් කරයි. එපරිද්දෙන්ම දක්‍ෂ භාවනා කරන තැනැත්තා ද තමාගේ වීර්යය සම බවට පත් කරගත යුතු වේ.

මේ පිළිබඳ අටුවාවන්හි දැක්වෙන තවත් උපමාවක් නම්, භාවනා යෝගියා මකුළුදැල් නූලක් සොයන පුද්ගලයා බඳු වියයුතු බවයි. බඹ සතරක් දිග මකුළුදැල් නූලක් රැගෙන එන පුද්ගලයකුට රජුගෙන් වටිනා තෑග්ගක් ලැබෙන බව අසා සතුටට පත්වන පුද්ගලයෙක් වේගයෙන් මකුළුදැලක් අදින්නට වෙයි. ඔහුට සතරබඹයක් දිග නූලක් සපයා ගැනීම කිසිසේත් කළ නොහැකි වේ. තැනින් තැනින් කැඩුණු නූලක් ලබාගනී. අදක්‍ෂ පුද්ගලයෙක් මකුළුහුය කැඬේවි යැයි බියෙන් අතින් අල්ලන්නට හෝ බිය වෙයි. එහෙත් දක්‍ෂ පුද්ගලයා කෙළවරක පටන් සමාන ප්‍රයෝගයකින් මකුළුහුය දණ්ඩක වෙළාගෙන ගෙණහැර ත්‍යාගය ද ලබාගනී. එපරිද්දෙන් භාවනා කරන දක්‍ෂ පුද්ගලයා ද දැඩි වීර්යයක් හෝ නොකොට, කුසීත බවට ද ඉඩ නොදී මැදහත් ආකාරයකින් සිත පවත්වාගනී.

ඉක්මන් කාර නැවියෙක් රුවල් නැවක් පදවන්නේ සුළං වේගය බලවත් වූ විට රුවල පුරා සුළඟ නංවමින් නැව යා යුතු දිශාවට නොව වෙනත් දිශාවන්ට නැව පමුණුවයි. එසේම අදක්‍ෂ නියමුවෙක් සුළඟ මද අවස්ථාවේ රුවල නංවමින් යා යුතු තැනට නොගොස් එතැනම සිටී. දක්‍ෂ නැවියා මඳ සුළං ඇති අවස්ථාවේ රුවල නංවමින්, සුළඟ බලවත් වූ විට අඩක් පුරවමින් අවශ්‍ය තැනටම නැව පදවයි. එපරිද්දෙන් භාවනා කරන දක්‍ෂ පුද්ගලයා ද දැඩි සේ වීර්ය කිරීමක් හෝ නොකොට, සිත කුසීත බවට හෝ වැටීමට නොදී මැදහත්ව පවත්වාගෙන නිසිපරිදි භාවනාව සමෘද්ධ කරගනී.

භාවනා කරන පුද්ගලයාගේ සිත මැදහත් මට්ටමට වීර්යය පවත්වාගත යුතු ආකාරය පිළිබඳ මේ සියලු උපමා වලින් කියවේ. සමහර පුද්ගලයෙක් භාවනා කරනුයේ වහ වහා ධ්‍යාන සමාධියක් උපදවා ගැනීමට සිතමින් දැඩි සේ වීර්ය කරයි. ඔහුගේ සිත දැඩි වීර්යය නිසා උඩඟු බවට පත්වී විසිරේ. කමටහනේ සිත රඳවාගත නොහැකි වේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ වැඩ සිටි සෝණ කෝළිවීස ස්වාමින් වහන්සේ වැනිය. උන්වහන්සේ ගිහි කළ සුවිශාල ධනයක් තිබූ, සුඛුමාළ වූ, සැප පහසුව නිසාම කුඩා කළ පටන්ම යටි පතුල් වල ලෝම පවා හටගෙන තිබූ අයෙකි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී පැවිදි වන උන්වහන්සේ ඉතා දැඩි වීර්යයකින් භාවනා කළ ද අධිගමයකට පත් වීමට නොහැකි විය. අපහසුවෙන් සක්මන් කිරීමේ දී පා පැළී ලේ වැගිරෙන්නට විය. සක්මන ගව ඝාතක ස්ථානයක් සේ විය. අවසානයේ තමන්ගේ භාවනාව සමෘද්ධ නොවේ යැයි සිතා උකටලී වූයේ ය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර වීර්යය සම කරගැනීමට උපදෙස් දුන්නේ වීණාවේ තත් උපමාවට ගනිමිනි. වීණාවේ තත් ඉතා දැඩි සේ හිර වී ඇති විට ද නිසි පරිදි හඬ නොනැඟේ. ඉතා ලිහිල්ව තිබූ විට ද නිසි පරිදි හඬ නොනැඟේ. මැදහත් මට්ටමෙන් පැවති විට මැනවින් හඬ නැඟේ. එසේ වීර්යය සම බවට පත් කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ අනුව භාවනා කර සව් කෙලෙස් නසා සිව් පිළිසිඹියා ඤාණ සහිතව අරිහත්වය ද සාක්‍ෂාත් කරගත්තේය.

එබැවින් ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කරගැනීමට කැමති පුද්ගලයන් විසින් මේ දස වැදෑරුම් අර්පණා කුසලතාවයන් සම්පාදනය කරගත යුතු වේ. නිසි මඟපෙන්වීමක් යටතේ භාවනාව පුහුණු කරන විට ඉක්මනින් උද්ග්‍රහ-පටිභාග නිමිති පහළ වන අතර සිතේ වීර්යය මැදහත් බවට පත් කරගෙන මැදහත්ව භාවනාව කිරීමෙන් ඉක්මනින්ම ධ්‍යාන උපදවාගැනීමට ද හැකි වේ. අනතුරුව සංස්කාර ධර්මයන් ත්‍රිලක්‍ෂණ විදර්ශනාවට නංවා ඉක්මනින් නිවන් සාක්‍ෂාත් කරගත හැකි වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 23. ආනාපානසති භාවනාව – 14 වන කොටස