ආනාපානසති භාවනාව වඩන ආකාරය ඉතා දීර්ඝ වශයෙන් මෙම ලිපි පෙළේ විස්තර කරන ලදී. මෙය කියවන ඇතැම් කෙනෙකුට මෙම භාවනාව අතිශය ගැඹුරු යැයි වැටහෙනවා ඇති. එය සැබෑවකි. එහෙත් නිවැරදි උපදෙස් අනුව වඩන්නේ නම් ඉක්මනින් සමාධිය දියුණු කරගත නොහැක්කේ ද නොවේ.

මෙම ලිපි පෙළින් විස්තර කරන ලද්දේ සමථ භාවනාවක් ලෙස ආනාපානසති භාවනාව වඩන ආකාරයයි. එහි දී තම චිත්තසන්තානය තුළ සමාධිය වැඩීමට අවශ්‍ය පසුබිම සකස් කරගත්තේ නම් උපචාර සමාධියක් ඉක්මනින් උපදවාගෙන එය ධ්‍යාන සිතක් දක්වා දියුණු කරගැනීම අපහසු නොවේ. සමාධි භාවනාවකින් සිත සමාධිමත් කරගෙන ඉන්පසු විදර්ශනා වඩන්නේ නම් නාමරූප පිළිබඳ අවබෝධය ලබාගැනීම ද ඉතා පහසු වේ. විදර්ශනාව පහසු වේ. එය සමථ පූර්වාඩ්ගම විදර්ශනාව ලෙස ඉහත අපගේ 2 වන ලිපියෙන් දක්වන ලදී.

සමථ භාවනාව පදනම් කරගෙන විදර්ශනාව වැඩීම පිණිස ආනාපානසති භාවනාව වැනි භාවනාවකින් උපචාර සමාධියක් පමණක් උපදවාගැනීම ද ප්‍රමාණවත් වේ. ඒ නිසාම භාවනාවෙන් වඩාත් හොඳ සමාධියක් උපදවාගැනීමට නොහැකි වූ අය අධෛර්යමත් වියයුතු නොවේ. ඒ අයට හුස්ම රැල්ල අරමුණු කරගෙන යම් තරමකට හෝ සිත සමාධිමත් කරගත හැකි වූයේ නම්, සිතේ කයේ සන්සිඳීමක් ඇති වූයේ නම් එතැන් පටන් විදර්ශනාවට පදනම සකස් කරගත හැකි වේ. එහෙත් යම් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් සතරවෙනි ධ්‍යානය දක්වාම දියුණු කරගත හැකි නම් එසේ කිරීම වඩාත් සුදුසු වේ. ඒ නිසා මෙම ලිපි පෙළේ මෙතැන් සිට ප්‍රථමධ්‍යානයේ පටන් ඉදිරියට ධ්‍යාන උපදවාගන්නා ආකාරය විස්තර කිරීමට බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම නිවැරදිව ධ්‍යාන උපදවන ආකාරය පිළිබඳ වර්තමානයේ බොහෝ දෙනා තුළ අවබෝධයක් නොමැති බව දක්නට ලැබෙන බැවින් සහ ඒ පිළිබඳ විස්තර කෙරෙන පොත්පත් පවා දුර්ලභ බැවින් මෙම ලිපි පෙළින් එය විස්තර කරමු. එය ආධුනික යෝගියෙකුට අවබෝධ කරගැනීම අපහසු නම් පළපුරුදු ගුරු ඇසුරක් ලබාගන්නා ලෙස ද මෙත් සිතින් සිහිපත් කරමු.

ප්‍රථමධ්‍යානයට පැමිණි යෝගාවචරයා එතැන් පටන් දෙවැනි ධ්‍යානයට යාමට හදිස්සි නොවිය යුතු වේ. එසේ හදිස්සි වී දෙවෙනි ධ්‍යානයට පත් වුවහොත් තමාගේ පළමු ධ්‍යානය ශක්තිමත් නොවීම මත ඉක්මනින් සිතේ සමාධිය පිරිහී යා හැකි වේ. මෙය පැරණි ඇදුරුවරු පැහැදිලි කරන්නේ වයසක එළදෙනක් බරක් පිටේ තබාගෙන අමාරුවෙන් කන්දක් නඟින්නාක් මෙන් සිතේ භාවනාව දියුණු කරගත යුතු බවයි.

වයසක එළදෙන තමාගේ පිටේ බරක් පටවාගෙන කන්දක් නඟින විට එක් පයක් තබා අනෙක එසවීම වඩාත් කල්පනාකාරීව කළයුතු වේ. පළමු තැබූ පය නිසි පරිදි තබා නොගෙන දෙවෙනි පය ඔසවන්නේ නම් එවිට පළමු පය පෙරළී යාහැකි වේ. තමන් සිටි තැනින් ද පහළට වැටිය හැකි වේ. මේ ආකාරයෙන් භාවනාව දියුණු කරන යෝගියා ද තමන් ලැබූ සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව මතු සමාධියකට සිත දියුණු කළයුතු වේ. එසේ නොවුවහොත් තමන් ලැබූ සමාධියෙන් ද පිරිහීමට පත්වේ. ඒ නිසා පළමු ධ්‍යානය ශක්තිමක් කර නොගෙන දෙවන ධ්‍යානයට යාම නොකළ යුතු වේ.

තමන්ගේ සිත ධ්‍යානයකින් සමාධිමත් කරගත් යෝගියා පළමුවෙන්ම ඒ ධ්‍යාන සමාධිය උපදවාගැනීමට උපකාර වූ සෙනසුන්, ආහාර, පුද්ගලයන් ආදිය පිළිබඳව සලකා බැලිය යුතු වේ. තමන්ගේ සිත හොඳින්ම සමාධිමත් වූයේ කවර සේනාසනයක, කවර තැනක භාවනා කිරීමේ දී ද යන්න සිතා බැලිය යුතු වේ. එසේ සිත සමාධියට පත් වූ දිනයේ ඇසුරු කළ පුද්ගලයන් කෙබඳු දැයි සිතා බැලිය යුතු වේ. එදින අනුභව කළ ආහාර මොනවා දැයි සිතා බැලිය යුතු වේ.

සෑම තැනක්ම සෑම පුද්ගලයෙකුගේම සිත සමාධිමත් වීමට එකලෙසින්ම උපකාර නොවේ. එසේම සෑම පුද්ගලයෙක්ම, සෑම ආහාරයක්ම එක ලෙසින් භාවනාවට උපකාරී නොවේ. තමන්ගේ සිත සමාධියට පත් වීමට උපකාර වූ සෙනසුන් ආදිය සලකා බැලීම පසු අවස්ථාවල සිත ඉක්මනින් සමාධිමත් කරගැනීමට උපකාර වේ.

රජුගේ අරක්කැමියා ආහාර පිළියෙල කිරීමේ දී නිතරම රජු ඉතා කැමැත්තෙන් අනුභව කරන ආහාර මොනවාද යන්න අවධානයෙන් සිටී. එසේ අවධානයෙන් සිට, රජු වඩාත් කැමති ආහාර සලකාගෙන ඒවා වැඩි වැඩියෙන් පිළියෙල කර දී සිත් දිනාගෙන ලාභ ලබාගනී.

මෙසේ භාවනා කරන පුද්ගලයා ද තමන්ට ධ්‍යානයක් උපදවාගැනීමට උපකාර වූ සෙනසුන්, ආහාර ආදිය ගැන සැලකිලිමත් විය යුතු වේ. හොඳින්ම සිත සමාධිමත් වූ දිනයේ අනුභව කළ ආහාර ආදිය මෙනෙහි කර එබඳු ආහාර පාන අනුභව කිරීම මඟින් නැවත නැවත ධ්‍යානය සමවැදීම වැඩි කරගත හැකි වේ. සිත හොඳින් සමාධිමත් වූ දිනයේ ඇසුරු කළ, කථාබස් කළ පුද්ගලයන් ගැන මෙනෙහි කර බලා එබඳු අය වැඩියෙන් ඇසුරු කිරීමෙන් නැවත නැවත සමාධියට සමවැදීමට හැකි වේ. මෙසේ දක්‍ෂ අරක්කැමියෙක් රජු කැමති ආහාර නිතර සම්පාදනය කර රජුගේ සිත් දිනාගන්නා සේ භාවනා කරන පුද්ගලයා ද සමාධියට උපකාරී වූ සෙනසුන්, ආහාර ආදිය නිතර සේවනය කර සමාධිය දියුණු කරගත යුතු වේ.

මෙසේ සමාධියට හිතකර දේ නිතර ඇසුරු කරගෙන ප්‍රථම ධ්‍යානයට නිතර නිතර සමවැදීම කළයුතු වේ. දෙවෙනි ධ්‍යානයට සමවැදීමට පෙර පළමු ධ්‍යානය හොඳින් ශක්තිමත් කරගත යුතු වේ. මේ ශක්තිමත් කරගැනීම සඳහා ප්‍රථම ධ්‍යානය වශී භාවයට පත් කරගත යුතු බව අර්ථකථාවල සඳහන් වේ. එවිට ඕනෑම තැනක, ඕනෑම ඉරියව්වක සිට ඉතා ඉක්මනින් ප්‍රථමධ්‍යානයට සමවැදීමේ හැකියාව ලැබේ. එසේ හැකියාව ලැබුණු පසු දෙවෙනි ධ්‍යානයට සමවැදීම කළයුතු වේ.

මෙම ධ්‍යාන වශී බවට පත් කිරීම ආකාර පසකට කළයුතු වේ. එය පංච වශීතාවය ලෙස හැඳින්වේ. එම පංච වශීතාවය පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 24. ආනාපානසති භාවනාව – 15 වන කොටස