ආනාපානසති භාවනාවෙන් හෝ වේවා වෙනත් භාවනාවකින් ධ්‍යානයක් උපදවාගන්නා තැනැත්තෙක් සමථ භාවනාව මුල්කරගෙන තමන්ගේ භාවනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ශක්තිමත් සමාධියක් ඇති කරගැනීම වැදගත් වේ. ශක්තිමත් සමාධියක් ඇති පුද්ගලයාගේ විදර්ශනාව පහසුවෙන් කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා වල මඟ පෙන්වා ඇත්තේ චතුර්ථ ධ්‍යානය දක්වා සමාධිය දියුණු කරගෙන, පූර්වේනිවස ඥානය ආදිය ද උපදවාගෙන විදර්ශනා කිරීම පිළිබඳව වේ. එසේ සමාධිය දියුණු කරගැනීම සෑම අතින්ම විදර්ශනාවට පහසුවක් බව ප්‍රායෝගිකව භාවනා කරන පුද්ගලයෙකුට වඩාත් හොඳින් වැටහෙනවා ඇත.

ප්‍රථම ධ්‍යානය උපදවාගත් පුද්ගලයෙක් දෙවන ධ්‍යානයට සමාධිය දියුණු කිරීමට පෙර ප්‍රථම ධ්‍යානයේ සිත ස්ථාවර බවට පත්කරගත යුතු වේ. ඒ සඳහා නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදීම කළයුතු වේ. ප්‍රථම ධ්‍යානයේ ප්‍රගුණ බව නොමැතිව දෙවැනි ධ්‍යානයට පැමිණීමෙන් පළමු සමාධිය ද දුර්වල වේ. මෙය බුදුරජාණන් වහන්සේ අංගුත්තක නිකායේ නවක නිපාතයේ ගාවී උපමා සූත්‍රයේ ද වදාළ සේක.

එබැවින් ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කරගැනීම පිණිස පළමුව නැවත නැවතත් එම ධ්‍යානයට සමවැදීම බහුල වශයෙන් කළයුතු වේ. එහි දී ප්‍රථම ධ්‍යානය ආකාර පසකට (5) වශී බවට පත්කරගත යුතු වේ. මෙය පංච වශීතාවය ලෙස ද හැඳින්වේ. ඒ මෙසේය. 1. ආවජ්ජන වශීතාවය 2. සමාපජ්ජන වශීතාවය 3. අධිට්ඨාන වශීතාවය 4. වුට්ඨාන වශීතාවය 5. පච්චවෙක්ඛණ වශීතාවය යනුවෙනි.

කිසියම් ධ්‍යාන සමාධියක් මේ ආකාර පසට වශී බවට පත්කරගත් විට ඒ යෝගියාට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක ඉතා ඉක්මනින් ධ්‍යානයට සමවැදීමේ හැකියාව ලබාගත හැකි වේ. යම් කෙනෙක් දිවැස් නුවණ ආදී අභිඥා ඉපදවීමට අදහස් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන වශී බවට පත්කරගත යුතු වේ. එහෙත් බොහෝ බෞද්ධයන්ගේ කැමැත්ත වන්නේ ඉක්මනින් විදර්ශනා කිරීමට බැවින් අභිඥා ආදිය ඉපදවීමේ කැමැත්තක් නොමැති වේ. එහෙත් විදර්ශනාව පහසුවෙන් කරගෙන යාමට නම් ශක්තිමත් සමාධිය බොහෝ උපකාරී වේ.

ඒ පංච වශීතාවය සිදු කරන ආකාරය මෙසේ දැක්විය හැකි වේ.

1. ආවජ්ජන වශීතාවය

මෙයින් අදහස් වන්නේ ඉතා ඉක්මනින් ධ්‍යානාංග ආවර්ජනය කිරීමේ හැකියාව ලබන වශීතාවයයි. ප්‍රථම ධ්‍යානයට සමවැදුණු යෝගියා එයින් නැඟී සිට, එනම් ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන උපචාර සමාධියට පැමිණ තමන් සමවැදුණු ධ්‍යානයේ ඇති විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංග පස ආවර්ජනය කළයුතු වේ. එය කරන්නේ මෙසේය.

ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට පළමුව විතර්කය ආවර්ජනය කරයි. සිත නිමිත්ත කරා යොමු වන ස්වභාවය, අරමුණට නංවන ස්වභාවය ආවර්ජනය කරයි. එය වැටහෙන විට දෙවන අංගය වන විචාරය ආවර්ජනය කරයි. එනම් සිත අරමුණෙහි හැසිරෙන ආකාරය ආවර්ජනය කරයි. එයින් මතු ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය යන පිළිවෙලට අංග ආවර්ජනය කර බැලිය යුතු වේ. නැවත පළමු අංගයේ පටන් ආවර්ජනය කළයුතු වේ. මෙසේ බොහෝ වාර ගණනක් ධ්‍යාන අංග ආවර්ජනය කිරීමේ දී අතරක් නැතිව එක දිගටම ධ්‍යාන අංගයෙන් අංගය ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. ඉක්මනින් අංග ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. එවිට ආවර්ජන වශීතාවය ඇති වූයේ වෙයි.

මෙහි දී එකිනෙක ධ්‍යාන අංගයේ ගුණ දොස් විචාරා බැලීම සුදුසු නොවේ. එසේ බැලීමෙන් ප්‍රථම ධ්‍යානයේ දොස් දැක දෙවන ධ්‍යානයට යාමට සිත පහළ වේ. එයින් දෙවන ධ්‍යානය උපදවන්නට තැත් කරන පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යානය ද පිරිහීමට පත් වේ.

2. සමාපජ්ජන වශීතාවය

ධ්‍යානයට වහා සමවැදීමේ හැකියාව සමාපජ්ජන වශීතාවය ලෙස හැඳින්වේ. මෙය ඇති කරගැනීම සඳහා යෝගියා නිතර නිතර සමවැදීම බහුල කරගත යුතු වේ. වාර සියදහස් ගණනක් සමාධියට සමවැදී ඉන් නැගී සිට නැවත සමවැදී ඉන් නැගී සිට ලබන පුහුණව තුළින් මෙම සමවැදීමේ වශීතාවය උපදවාගත හැකි වේ.

3. අධිට්ඨාන වශීතාවය

කිසියම් අධිෂ්ඨාන කරන කාලයක් සමවැදී සිටීමේ හැකියාව ඇති කරගැනීම මෙයින් අදහස් වේ. මෙය ඇති කරගැනීම සඳහා නොයෙක් කාලයන් අධිෂ්ඨාන කර පුහුණු විය යුතු වේ.

මේ සඳහා පළමුව ධ්‍යානයට සමවැදී මිනිත්තුවක් සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට මිනිත්තුවක් ඉක්ම ගිය පසු නැඟී සිටීම සිදු වේ. බොහෝ වාර ගණනක් මෙසේ කිසියම් එක් කාලයක් අධිෂ්ඨාන කරගෙන සමවැදීම කළයුතු වේ. එවිට වඩාත් නිවැරදි කාලයේම නැඟී සිටීම සිදු වේ. මිනිත්තුවක් අධිෂ්ඨාන වශී බවට පත්කරගත් පසු නැවත මිනිත්තු දෙකක් සමවැදී සිටීමට අධිෂ්ඨාන කළයුතු වේ. එය ද බොහෝ වාර ගණනක් කළයුතු වේ. මෙසේ පැයක්, දෙකක්, තුනක් පමණ සමාධියට සමවැදී සිටීමේ හැකියාව උපදවා ගැනීමෙන් අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත්තේ වෙයි. එවිට තමන් කැමති කාලයක් තීරණය කරගෙන සමාධියට සම වැදී සිට නියම කරගත් කාලය අවසානයේ ඉන් නැඟී සිටීමේ හැකියාව ලැබේ. නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවේ.

4. වුට්ඨාන වශීතාවය

කිසියම් කාලයක් අධිෂ්ඨාන කර සමවැදීමෙන් අනතුරුව ඒ කාලය නොඉක්මවා සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව වුට්ඨාන වශීතාවය නම් වේ. අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත් යෝගියාට වුට්ඨාන වශීතාවය ද ඇති වූයේම වෙයි.

5. පච්චවෙක්ඛණ වශීතාවය

එකිනෙක ධ්‍යාන අංගය එහි ස්වභාවය වශයෙන් හඳුනාගැනීම ප්‍රත්‍යවේක්‍ෂා වශීභාවය නම් වේ. ආවර්ජනය වශීතාවයේ දී ධ්‍යාන අංග ආවර්ජනය කරමින් ඒ ඒ ධ්‍යානාංගය හඳුනාගන්නා බැවින් ප්‍රත්‍යවේක්‍ෂණ වශීභාවය ද සිදු වේ.

මෙම පංච වශීතාවය පිළිබඳ විශුද්ධිමාර්ග සන්නයේ සඳහන් වන්නේ ආවර්ජන වශීභාවය ඇති කරගැනීමෙන් ප්‍රත්‍යවේක්‍ෂණ වශීබව ද ඇති වන බවයි. එසේම අධිෂ්ඨාන වශීභාවය ඇති කරගැනීමෙන් වුට්ඨාන වශීභාවය ද ඇති වන බවයි.

මෙම ආවර්ජන-පච්චවෙක්ඛණ වශීතාවය අභිධර්මයට අනුව මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් ආවර්ජනයේ දී අදහස් කරන ලද්දේ ධ්‍යානාංග විමසා බැලීමේ දී භවංග සිත ඉපිද නිරුද්ධ වී උපදින මනෝද්වාරාවර්ජන සිතට අනතුරුව විතර්ක ආදී ධ්‍යානාංග අරමුණු කරගත් ජවන සිත් පිළිබඳව වේ. ප්‍රත්‍යවේක්‍ෂණ වශීතාවයේ දී අදහස් කරන්නේ එකිනෙක ධ්‍යානාංග විමසා බැලීමේ ප්‍රත්‍යවේක්‍ෂා ජවන සිත් පිළිබඳව වේ.

අධිෂ්ඨාන-වුට්ඨාන වශීතාවයන් ද එකවිට සිදු වන අතර අධිෂ්ඨානයේ දී නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවී තීරණය කරගත් කාලයම සමාධිය පැවැත්වීම අදහස් කෙරේ. වුට්ඨානයේ දී නියම කරගත් කාලය ඉක්ම යා නොදී සමාධියෙන් නැඟී සිටීම අදහස් වේ.

මෙසේ ප්‍රථම ධ්‍යානය ආකාර පසකට වශී කරගත් පසු කැමති තැනක, කැමති වේලාවක සමවැදීමටත්, කැමති කාලයක් සමවැදී සිටීමටත් හැකි වේ. ඉන් පසු දුතිය ධ්‍යානයට සමවැදීම සුදුසු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 25. ආනාපානසති භාවනාව – 16 වන කොටස