සමථ භාවනාව පදනම් කරගෙන විදර්ශනාව වැඩීම කැමති පුද්ගලයන් විසින් පළමුව හොඳ සමාධියක් උපදවාගත යුතු වේ. හොඳ සමාධි ආලෝකයක් සහිතව සංස්කාරයන් විදර්ශනාවට නැංවීම පහසු වේ. ආනාපානසති භාවනාවෙන් ප්‍රථමධ්‍යානය පමණක් හෝ උපදවා ගන්නේ නම් එය විදර්ශනාවට පහසුවක් වේ. භාවනාව වඩාත් විධිමත්ව, පිළිවෙලකට කිරීමට කැමති අය හැකි නම් ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩීම සිදු කොට, ඉතිරි සමථ කර්මස්ථානයන් ද පුහුණ කරගෙන විදර්ශනාව ආරම්භ කළයුතු වේ. විශේෂයෙන්ම විවේකීව භාවනාව වඩන යෝගාවචර භික්‍ෂුවකට මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ.

එසේ ප්‍රයෝජනවත් වන අය වෙනුවෙන් ආනාපානසති භාවනාවෙන් දෙවෙනි, තෙවෙනි ආදි ධ්‍යාන උපදවන ආකාරය ද පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමු. එසේම වර්තමානයේ සමහර කෙනෙක් ධ්‍යාන ඉපදවීම පිළිබඳ මිථ්‍යා මතයන් දරාගෙන සිටින බව ද අසන්නට ලැබෙන බැවින් භාවනා නොකරන කෙනෙකුට වුව ද මෙම ධ්‍යාන ඉපදවීමේ ක්‍රමවේදය දැනගැනීම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ අංගුත්තක නිකායේ නවක නිපාතයේ ගාවී උපමා සූත්‍රයේ දේශනා කළ ආකාරයට ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කර නොගෙන දුතිය ධ්‍යානය ඉපදවීම නොකළයුතු බව පසුගිය ලිපි වලින් පැහැදිලි කරන ලදී. එබැවින් සමහර ආචාර්ය කෙනෙක් පැහැදිලි කරන ආකාරයට ‘දැන් ප්‍රථම ධ්‍යානය ය.. දැන් දුතිය ධ්‍යානය ය’ යනාදි වශයෙන් එකම භාවනා ආසනයක ධ්‍යාන පිළිවෙලට වැඩීමක් බුදුරජාණන් වහන්සේ අදහස් නොකළ බව අවධාරණය කළ යුතු වේ. එය කරන පිළිවෙලක් දේශනා කර ඇත. ඒ පිළිවෙල වන්නේ පළමුව ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කරගෙන ඉන්පසු දුතිය ධ්‍යානය ඉපදවීමයි. එය ශක්තිමත් කරගත් පසු තතිය ධ්‍යානය ඉපදවීමයි. එය ද ශක්තිමත් කරගෙන චතුර්ථ ධ්‍යානය ඉපදවීම කළ යුතු වේ.

මේ නිසා ආනාපානසති භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගාවචරයා එය ආකාර පසකට වශී භාවයට පත් කරගෙන ඕනෑම තැනක, ඕනෑම වේලාවක ඉක්මනින් ධ්‍යානයට සමවැදීමේ හැකියාව ඇති කරගත යුතු වේ. එසේ පුහුණවක් ඇති කරගත් පසු සමාධිය ශක්තිමත් කරගැනීම පිණිස දුතිය, තතිය ආදී ධ්‍යානයන් ද ඉපදවිය හැකි වේ.

දුතිය ධ්‍යානය ඉපදවීම පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

‘විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති.’ යනුවෙනි.

‘විතර්ක, විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයේ මනා පැහැදීම හෙවත් ශද්ධාව ඇති කරන, සිතෙහි එකඟ බව ඇති, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, චිත්ත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුවය ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වාසය කරයි’ යනුවෙන් එහි අර්ථය වේ.

මේ අනුව දුතිය ධ්‍යානයට එළඹීමේ දී ප්‍රථම ධ්‍යානයේ තිබූ විතර්ක, විචාර යන ධ්‍යානාංග දෙක අතහැරිය යුතු වේ. විතර්කය යන්නෙන් අදහස් කරන ලද්දේ සිත අරමුණට නංවන ස්වභාවයයි. මෙම අරමුණට නංවන ස්වභාවය ප්‍රථම ධ්‍යානයේ ඇත. එහි දී ප්‍රථම ධ්‍යානය යනු කුශලයක් බැවින් කුශලාරම්මණයට සිත නැංවීම විතර්කය විසින් කරනු ලැබේ. එහෙත් ඒ මේ විතර්කය ඇතැම් විට සිත අකුසලයට ද නංවයි. බොහෝ වේලාවට අපගේ සිතට එළඹෙන්නේ ලෝභය, ද්වේෂය ආදී අකුසල සිතිවිලි විය හැකිය. ඒ සියල්ල අපට ගෙන දෙන්නේ ද මෙම විතර්ක චෛතසිකයම වේ. එබැවින් විතර්කය ඇති තැන සමාධිය පිරිසිදු නොවේ. එසේම විචාරය ද, අපගේ සිතට නඟන අරමුණ තුළ සිත හසුරුවන බැවින් සමාධියේ ශක්තිමත් බවට බාධා කරයි. එබැවින් විතර්ක, විචාර දෙදෙනා සංසිඳුවීමෙන් (විතක්කවිචාරානං වූපසමා) දුතිය ධ්‍යානයට සමවැදීම කළ යුතුය.

එසේම දුතිය ධ්‍යානයේ දී සිත පැහැදීම ඇති කරන ශ්‍රද්ධාව ඇති වේ (අජ්ඣත්තං සම්පසාදනං). විතර්කය සහ විචාරය යන පළිබෝධයන් නොමැති බැවින් දුතිය ධ්‍යානය පැහැදිලිය. කුඩා මහත් රළ නොමැති පැහැදිලි ජලයක් වැනි ය. එහි දී ශ්‍රද්ධාව බලවත් වී සිතේ පැහැදීම ඇති වේ.

එසේම ප්‍රථමධ්‍යානයේ දී තිබූ විතර්කය හා විචාරය සංසිඳවීමෙන් වඩාත් පිරිසිදු සමාධි ශක්තියක් ඇති වන බැවින් දුතිය ධ්‍යානයේ දී සිතේ එකඟබව වැඩි වේ (චෙතසො එකොදිභාවං). එසේම මෙම දුතිය ධ්‍යානය උපදින්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය පදනම් කරගෙන වේ (සමාධිජං). ඒ නිසා ප්‍රථම ධ්‍යානය ඉපදවීමෙන් තොරව දුතිය ධ්‍යානය ඉපදවීමක් ද සිදු නොවේ. එකවිටම චතුර්ථ ධ්‍යානය ඉපදවීම වැනි දෙයක් කිසි සේත්ම සිදු විය නොහැකි බව පැහැදිලි වනු ඇත.

මෙසේ දුතිය ධ්‍යානය ඉපදවීමට බලාපොරොත්තු වන යෝගාවචරයා පළමුව ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට එහි ධ්‍යානාංග පරික්‍ෂා කර බලා, අනතුරුව එහි ඇති විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනව මෙනෙහි කළයුතු වේ. මේ විතර්ක, විචාර දෙදෙනා කුසලයට පමණක් නොව අකුසලයට ද උපකාර වන බව සැලකිය යුතු වේ. එසේ ආදීනව සලකා, මේ විතර්ක, විචාර දෙකෙන්ම තොර සමාධියක් ලැබගත හැකි නම් එය වඩාත් ශාන්ත ප්‍රණීත විය යුතු බව ද මෙනෙහි කළයුතු වේ.

මේ සඳහා පැරණි ආචාර්යයන් වහන්සේලා කරන ලද ප්‍රායෝගික අභ්‍යාසයක් ඇතැම් ගුරු පරපුරක් විසින් භාවිතා කරනු ලැබේ. එනම් ධ්‍යානාංග එකිනෙකක් පිළිවෙලට මුල සිට අගටත්, අග සිට මුලටත් ආවර්ජනය කිරීමයි. එසේ කිහිප විටක් ආවර්ජනය කරන විට විතර්ක, විචාර දෙදෙනාගේ ඕළාරික බව, සමාධියට බාධාකාරී බව හොඳින් වැටහෙන්නට පටන් ගනී. එය හොඳින් වැටහෙන්නට වූ විට දුතිය ධ්‍යානයට සමවැදීම පහසු වේ.

මෙසේ විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනව සලකා බලන්නේ ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට උපචාර සමාධියේ දී ය. එවිට ප්‍රථම ධ්‍යානයේ දී උපදවන ලද පටිභාග නිමිත්ත තමන් ඉදිරියේ තිබෙන බව වැටහේ. එසේ ඇතිව, විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනවය, ඕළාරික බව වැටහෙන්නට වූ විට, ‘විතර්ක, විචාර දෙදෙනාගෙන් තොර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන් සහිත දුතිය ධ්‍යානයට සමවදින්නෙමි’ යන අදහස ඇතිව කලින් තමන් උපදවාගෙන සිටි පටිභාග නිමිත්තටම සිත යොමු කළ යුතු වේ. එවිට යෝගියා ‘විතක්ක විචාරානං වූපසමා’ යැයි කියූ ආකාරයට විතර්ක, විචාර වලින් තොර ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් යුතු, පෙරට වඩා ශක්තිමත් සමාධියක් වූ, දුතිය ධ්‍යාන සමාධියට සමවදිනු ඇත.

මෙසේ දුතිය ධ්‍යානයට සමවැදුණු යෝගියා අනතුරුව ඒ දුතිය ධ්‍යානය ද මුලින් දැක්වූ ආකාරයෙන් ම පස් ආකාරයකට වශී බවට පත් කරගත යුතු වේ. එසේ වශී භාවයට පත් කරගෙන අනතුරුව තතිය ධ්‍යානයට සමවැදීම කළයුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 26. ආනාපානසති භාවනාව – 17 වන කොටස