ආනාපානසති භාවනාවේ දී පළමුව තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි අවධානය ඇති කරගෙන සිහිය දියුණු කරගන්නා පුද්ගලයාට උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත ඇති වූ පසු ප්‍රථමධ්‍යානය උපදවාගත හැකි වේ. ඒ ප්‍රථමධ්‍යානය ආකාර පසකට වශී බවට පත් කරගෙන දුතියධ්‍යානය උපදවාගත හැකි අතර තව දුරටත් සමාධිය ශක්තිමත් කරගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් තතියධ්‍යානය ද උපදවාගත හැකි වේ.
මහාසතිපට්ඨාන සූත්‍රය ආදී සූත්‍රයන්හි බුදුරජාණන් වහන්සේ තතියධ්‍යානයට එළඹීම දේශනා කරන්නේ මෙසේය.

‘පීතියා ච විරාගා උපෙක්‍ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්‍ඛකො සතිමා සුඛ විහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙනි.

‘ප්‍රීතියෙහි විරාගයෙන් ද (විතක්ක-විචාරයන්ගේ සන්සිඳවීමෙන් ද) යුතුව ඒ ධ්‍යාන සුවයෙහි අපක්‍ෂපාතීව උපේක්‍ෂා ඇතිව වෙසෙයි, සිහියෙන් ද මනා නුවණින් ද යුතු වූයේ, සුවය ද අනුභව කරනුයේ, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ‘උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුවයෙන් යුතුව විසීම ඇත්තේ ය’ යැයි බුද්ධාදි ආර්යයන් වහන්සේලා කියත් ද, ඒ තතියධ්‍යානයට එළඹ වාසය කරයි’ යනු මෙහි සරල අර්ථයයි.

දුතියධ්‍යානයේ දී ප්‍රීතිය ඇති බැවින් එය විතර්ක විචාරයන්ට ආසන්න වේ. එසේම ප්‍රීතිය ඕළාරික බැවින් ධ්‍යානාංග වල දුර්වල බව ද වේ. දුතියධ්‍යානයේ මෙම දෝෂය දකිනා යෝගාවචරයා ඒ ප්‍රීයෙන් තොර තතියධ්‍යානයට එළඹීම පිණිස කටයුතු කළයුතු වේ. ඒ සඳහා දුතියධ්‍යානයේ ඇති ප්‍රීතිය පිළිබඳ ඇල්ම දුරු කරගත යුතු වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ‘පීතියා ච විරාගා’ යැයි වදාළ සේක.

එසේම යෝගාවචරයා තමන් අත්විඳින අග්‍රම සුවය වූ ඒ මේ ධ්‍යාන සුවය පිළිබඳ අපක්‍ෂපාතී වේ. ඒ තතියධ්‍යානයේ දී අත්විඳින සුවය යෝගාවචරයා මෙතෙක් අත්විඳි උත්තරීතරම සැපය වේ. මෙයින් මතු ධ්‍යානයක සුඛය යන ධ්‍යානාංගයක් නැති බැවිනි. ඒ තතියධ්‍යානයේ සුඛය අතිශය මිහිරි බැවින් සිහි නුවණ නැති තැනැත්තා එහි ඇලීමට පත්වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ‘සතො ච සම්පජානො’ යනුවෙන් වදාළේ මනා සිහියෙන් ද, මනා නුවණින් ද යුතුව තතියධ්‍යානය ඉපදවිය යුතු බවයි.

ඒ තතියධ්‍යානයේ දී යෝගාවචරයා සිතට දැනෙන චෙතසික සුවය නාමකයින් අනුභව කරමින්, කායික සුඛයට හේතු වූ රූපය ඉපදවීමෙන් කායිකසුඛය ද අනුභව කරයි. (සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති). ඒ තතියධ්‍යානයට සමවදින පුද්ගලයාට තමන් සුවයක් විඳින බවට අමුතුවෙන් සිතාගැනීමක් කළයුතු නොවේ. භාවනාව පිළිබඳ අවබෝධය අඩු ඇතැම් අය පැහැදිලි කරන්නේ මේ එකිනෙක ධ්‍යානයේ දී තිබිය යුතු ධ්‍යානාංග සිතෙන් මෙනෙහි කිරීමක් කළයුතු බවයි. එය වැරදි වැටහීමකි. තතියධ්‍යානයට සමවදින පුද්ගලයා එහි ඇති සුවය විඳින බව අමුතුවෙන් මෙනෙහි කිරීමක් කළයුතු නොවේ.

එහෙත් ඒ තතියධ්‍යානයේ දී යෝගාවචරයා අත්දකින උසස් සැපයක් ඇත. සිතට දැනෙන ඒ මේ චෙතසික සුවය විඳීම නිරායාසයෙන් සිදු වන දෙයකි. එසේම ඒ මේ චෙතසික සුවය හේතුවෙන් ඔහුගේ රූපය ද ප්‍රණීත බවට පත් වේ. ඒ අතිප්‍රණීත වූ රූපයෙන් තමන්ගේ රූපකය ද ස්පර්ශ කරන ලද බැවින් ඒ තතියධ්‍යානයෙන් නැඟී සිටියේ වුව ද කායික සුවයක් පවතී. තතියධ්‍යානය උපදවන ලද යෝගාවචරයා ඒ කායික සුවය ද අනුභව කරනු ලැබේ.

බුද්ධාදි ආර්යයන් වහන්සේලා මෙම තතියධ්‍යානය ප්‍රශංසා කරන ලද්දේ ‘උපෙක්‍ඛකො සතිමා සුඛ විහාරි’ යන ක්‍රමයෙන් වේ. තතියධ්‍යානය උපදවන ලද පුද්ගලයා එහි ඇති ධ්‍යාන සුවය පිළිබඳ සිහි-නුවණින් යුතුව උපේක්‍ෂා වේ. එසේ නොවුවහොත් ඒ තතියධ්‍යාන සුවයෙහි ඇලීම ඇති වේ. එහෙත් එහි ඇති අතිමිහිරි සුවය විඳිමින් ධ්‍යාන සුවයෙන් වාසය කරන බව මෙයින් පැවසේ.

තතියධ්‍යානය උපදවාගන්නා අන්දම

මෙසේ විස්තර කෙරෙන තතියධ්‍යානයට එළඹ වාසය කිරීමට කැමති පුද්ගලයා විසින් තමන් උපදවාගත් දුතියධ්‍යානයට පළමුව සමවැදී ඉන් නැඟී සිට ඒ දුතියධ්‍යානයේ ඇති ආදීනව මෙනෙහි කළ යුතු වේ. දුතියධ්‍යාන සිතෙන් ඉවත් වී පටිභාග නිමිත්ත සහිත උපචාර සමාධියේ සිට මෙම දුතියධ්‍යානය විතක්ක-විචාර දෙදෙනාට සමීප බව මෙනෙහි කළ යුතු වේ. එසේ විතක්ක-විචාර දෙදෙනාට සමීප වීමට හේතුව නම් මෙම දුතියධ්‍යානයේ ඇති ප්‍රීතිය නැමති අංගයයි. එබැවින් වඩාත් ශක්තිමත් සමාධියක් ඇති කරගැනීමට නම් ප්‍රීතියෙන් තොර විය යුතු බව සලකා බැලිය යුතු වේ.

මෙහි දී ද ප්‍රථමධ්‍යානයේ විස්තර කළ ආකාරයටම ධ්‍යානාංග මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කිරීම ද කළ හැකි වේ. එවිට ප්‍රීතියේ ඇති ඕළාරික බව තමන්ට වැටහෙනවා ඇත. එසේ ප්‍රීතියෙහි ඇති ඕළාරික බව වැටහී ගිය පසු ‘ප්‍රීතියෙන් තොර, සුඛය සහ ඒකාග්‍රතාවය ඇති වඩාත් ප්‍රණීත තතියධ්‍යානයට සමවදින්නෙමි’ යැයි සිතාගෙන ඒ පටිභාග නිමිත්තට ම සිත යොමු කළයුතු වේ. එවිට විතර්ක, විචාර, ප්‍රීති යන අංග තුනෙන්ම තොර, සුඛය සහ ඒකාග්‍රතාවය පමණක් සහිත තතියධ්‍යානයට සමවදිනු ඇත.

මෙම තතියධ්‍යානයේ දී ප්‍රීතියෙන් තොර බැවින් උසස් ධ්‍යාන සුඛයක් ඇත. ඒ ධ්‍යාන සුවය පිළිබඳ මැදහත්ව සලකමින් එම තතියධ්‍යානය ද හොඳින් පුරුදු පුහුණු කරගන්නා යෝගාවචරයා ප්‍රථමධ්‍යානයේ විස්තර කළ ආකාරයෙන් ම පංච වශීතාවය ඇති කරගත යුතු වේ.

ධ්‍යානාංග ආවර්ජනය කිරීම, ධ්‍යානයට සමවැදීම, අධිෂ්ඨාන කරගත් කාලයක් එළඹ වාසය කිරීම, කාලය අවසානයේ නැඟී සිටීම සහ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂාව යන වශීභාවයන් පුරුදු පුහුණු කරගැනීමෙන් කැමති තැනක, කැමති වේලාවක තතියධ්‍යානයට සමවැදීමේ හැකියාව ඇති වේ. ඒ පුහුණුව ඇති කරගත් පසු චතුර්ථධ්‍යානය උපදවාගැනීමට කටයුතු කළයුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 27. ආනාපානසති භාවනාව – 18 වන කොටස