ආශ්වාස-ප්‍රාශ්වාස අරමුණේ දියුණු කරගන්නා සිහිය ඇතිව, ආනාපානසති භාවනාවෙන් උද්ග්‍රහ නිමිති, පටිභාග නමිති පහළ වූ පසු, පිළිවෙළින් ප්‍රථමධ්‍යානය, දුතියධ්‍යානය සහ තතියධ්‍යානය දක්වා සමාධිය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. අනතුරුව චතුර්ථධ්‍යානය උපදවාගත යුතු වේ. ආනාපානසති භාවනාවෙන් ලබාගත හැකි උපරිම සමාධිය වන්නේ මෙම චතුර්ථධ්‍යානයයි. එහෙයින් විදර්ශනා භාවනාව ආරම්භ කිරීමට පෙරාතුව ශක්තිමත් සමාධියක් ඇති කරගැනීම පිණිස චතුර්ථධ්‍යානය දක්වා සමාධිය දියුණු කිරීම වැදගත් වේ.

‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්‍ථඩ්ගමා අදුක්‍ඛමසුඛං උපේක්‍ඛාසතිපාරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ චතුර්ථධ්‍යානය පිළිබඳව දේශනා කළ සේක.

ආනාපානසති භාවනාවෙන් හෝ වෙනත් සමථ භාවනාවකින් උපදවන චතුර්ථධ්‍යානයෙහි දී විතර්ක, විචාර, ප්‍රීති, සුඛ යන ධ්‍යානාංග සියල්ල ප්‍රහීණ වන අතර උපේක්‍ෂා සහ ඒකාග්‍රතා යන ධ්‍යානාංග දෙකකින් පමණක් යුක්ත වේ. එහි විතර්කාදිය නොමැති බැවින් සමාධි ශක්තිය ප්‍රබල වේ. විදර්ශනා භාවනාවේ දී නාම රූප ධර්මයන් සියුම් ව පරික්‍ෂා කළයුතු බැවින් මෙවැනි සමාධි ශක්තියක් ඒ සඳහා වඩාත් උපකාරී වේ.

බෝසතාණන් වහන්සේ ද බෝ මැඩ දී පළමුව ආනාපානසති භාවනාවෙන් චතුර්ථධ්‍යානය දක්වා සමාධිය දියුණු කළ හ. එහෙයින් විශුද්ධිමාර්ගයේ ද භාවනා ක්‍රමය පැහැදිලි කිරීමේ දී ඒ සියලු සමාධි ශක්තීන් ඇති කරගන්නා ආකාරය විවරණය කර ඇත. සෑම කෙනෙකුටම මේ දක්වා සමාධිය දියුණු කිරීමට නොහැකි විය හැකිය. එහෙත් හැකියාව ඇති අයගේ ප්‍රයෝජනය පිණිස ත්‍රිපිටකයේ දැක්වෙන ආකාරයට භාවනා ක්‍රමය විවරණය කිරීම අපගේ අරමුණ වේ.

තතිය ධ්‍යානයෙන් චතුර්ථධ්‍යානයට යාමේ දී යෝගාවචරයා සැප, දුක යන දෙකම අතහරී. තතියධ්‍යානයේ දී අත්දකින සුවය ඉතා ඉහළ සුවයක් බව ඉහත පැහැදිලි කරන ලදී. එහෙත් එය ප්‍රීතියට ආසන්න වේ. සුඛය ඕළාරිකව වැටහේ. එහෙත් සුඛ, දුක්ඛ දෙකෙන්ම තොර උපේක්‍ෂාවෙන් යුත් සමාධිය වඩාත් ප්‍රබල, ප්‍රණීත වේ. මෙසේ චතුර්ථධ්‍යාන සමාධිය කායික සැපයත්, කායික දුකත් යන දෙකෙන් ම තොර සමාධියක් බව ‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා’ යැයි කියන ලදී.

සිතට දැනෙන සැපය සෝමනස්සය ලෙස ද, සිතට දැනෙන දුක දෝමනස්සය ලෙස ද හැඳින්වේ. ‘පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්‍ථඩ්ගමා’ යනුවෙන් දේශනා කරන ලද්දේ මෙම චෙතසික සෝමනස්සය හා දෝමනස්සය යන දෙකම දුරු වීමයි. ඒ දුරු වීම ද චතුර්ථධ්‍යාන සමාධිය ඉපදවීමේ මොහොතට පෙර දුරු වන බව ‘පුබ්බේව’ යන්නෙන් අදහස් වේ. කායික සැපය හා දුක ද, චෙතසික දොම්නස ද ප්‍රථම, දුතිය, තතිය ධ්‍යාන උපචාරයන්හි දී ප්‍රහීණ වේ. චෙතසික සුවය හෙවත් සොම්නස චතුර්ථධ්‍යාන උපචාරයේ දී ප්‍රහීණ වේ.

චූළවේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් තෙරණිය විශාඛ උපාසකතුමාට දේශනා කරනුයේ ‘සුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය රාගානුසයෝ අනුසේති, දුක්‍ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසෙති’ යනුවෙන් සුව දුක් දෙක රාගයට හා ද්වේෂයට ප්‍රත්‍යය වන බවයි.

කායික සුඛය සෝමනස්සයට ප්‍රත්‍යය වේ. සෝමනස්සය රාගයට ප්‍රත්‍යය වේ. එසේම කායික දුක දෝමනස්සයට ප්‍රත්‍යය වේ. දෝමනස්සය ද්වේෂයට ප්‍රත්‍යය වේ. මෙම චතුර්ථධ්‍යානයේ සුව, දුක්, සොම්නස්, දොම්නස් කිසිවක් නොමැති බැවින් ප්‍රත්‍ය සහිත රාග ද්වේෂ ඉතා දුරින් ම දුරු වූයේ වෙයි.

සුඛයත්, දුක්‍ඛයත් දෙකම නොමැති මැදහත් වේදනාව හෙවත් උපෙක්‍ෂා වේදනාව චතුර්ථධ්‍යානයේ දී ඇති බව ‘අදුක්‍ඛමසුඛං’ යන්නෙන් කියවේ. මෙහි දී කියවෙන්නේ වේදනා උපේක්‍ෂාවයි. සෑම සිතකම අනිවාර්යයෙන් ම වේදනාවක් ඇති අතර එය ආකාර තුනකට විය හැකිය. සුඛ වේදනාව, දුක්‍ඛ වේදනාව සහ උපේක්‍ෂා වේදනාව වශයෙනි. මෙම චතුර්ථධ්‍යානයේ ඇති වේදනාව උපේක්‍ෂා වේදනාවයි. එය සැප-දුක් දෙකටම වඩා ශාන්ත වූ ස්වභාවයක් ඇත්තේය. එසේම ඉතා සියුම් බැවින් ග්‍රහණය කරගැනීමට, මේ මේ ආකාර යැයි කීමට පවා අපහසු වේ. අනුමාන වශයෙන් දැනගත යුතු වේ. එනම් සැපක් හෝ දුකක් නැති නම්, එතැන උපේක්‍ෂා වේදනාවක් ඇතැයි අනුමාන කළයුතු වේ.

ගල් මතු පිට ගමන් ගන්නා මුවන්ගේ පියවර සටහන් දැකිය නොහැකි වේ. එහෙත් වනයේ මුවන් ගමන්ගත් පියවර ඔස්සේ සොයාගෙන යන පුද්ගලයෙක්, ඒ මුවන් ගල් තලාවකට පිවිස තැනත්, ඉන් පිටවූ තැනත් සොයාගතහොත්, ගල මතුපිට ද ඔවුන් ගමන් කළ බව අනුමාන කළහැකි වේ. එසේම සුඛ වේදනාව ද දුක්‍ඛ වේදනාව ද අත්විඳ ඇති පුද්ගලයා ඒ දෙකෙන්ම තොර සමාධියක් ලබාගතහොත්, උපේක්‍ෂා වේදනාව ඇති බව අනුමාන වශයෙන් දැනගනී.

ප්‍රථම, දුතිය, තතිය යන සියලු ධ්‍යානයන් හි ඇති තත්‍රමධ්‍යස්ථතාවය නැමති උපේක්‍ෂාවක් ඇත. එය උපේක්‍ෂා වේදනාව නොව ධ්‍යාන සිතේ ඇති සෙසු චෛතසික ධර්ම මැදහත් බවට පත් කරවන, සුවිශුද්ධ කරවන චෛතසිකයක් වේ. එය මෙම චතුර්ථධ්‍යානයේ ද ඇත. එම තත්‍රමධ්‍යස්ථතා උපේක්‍ෂාව, චතුර්ථධ්‍යානයේ දී තමන්ට සභාග උපේක්‍ෂා වේදනාව සමඟ එකතු වීමෙන් ධ්‍යාන සිතේ සතිය හෙවත් සිහිය සුවිශුද්ධ කරවයි. ඒ සතියේ සුවිශුද්ධ බව ඇති කරන ලද්දේ උපේක්‍ෂාව විසින් බැවින් ‘උපෙක්‍ඛාසතිපාරිසුද්ධිං’ යැයි කියන ලදී.

වර්තමානයේ ධ්‍යාන පිළිබඳ නොයෙක් වැරදි මතිමතාන්තර ඇති බැවින් ඒ පිළිබඳ ත්‍රිපිටකාගත අර්ථනිරූපණය මෙසේ දක්වන ලදී. ධර්ම දැනුම අඩු පුද්ගලයෙකුට මෙය එකවරම කියවා තේරුම් ගැනීම අපහසු විය හැකිය. එහෙත් ධ්‍යාන ඉපදවීම පිළිබඳ වර්තමානයේ ඇති ඇතැම් ලාමක අදහස් මිථ්‍යාවන් බව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වන බැවින් මෙසේ දැක්වීමු.

චතුර්ථධ්‍යානයට සමවැදීම

තතියධ්‍යානයට සමවැදුණු යෝගාවචරයා ඉන් චතුර්ථධ්‍යානයට සමවදින්නේ කෙසේ ද යන්න දැන් විමසා බලමු.

තතියධ්‍යානය ඉහත දැක්වූ පස් ආකාරයකට වශී භාවයට පත්කරගත් යෝගාවචරයා චතුර්ථධ්‍යානයට ඉපදවීමට සුදුසුකම් ලබයි. එබැවින් තතියධ්‍යානයට සම වැදී ඉන් නැඟීසිට, උපචාර සමාධියට පැමිණි යෝගාවචරයා පළමුව එහි ධ්‍යානාංග විමසා බැලිය යුතු වේ. තතියධ්‍යානයේ ඇති සුඛ වේදනාව, ඒකාග්‍රතාවය දැන් හොඳින් ප්‍රකට වනවා ඇත. එවිට මෙම තතියධ්‍යානයේ ඇති සුඛ වේදනාවේ ආදීනව සලකා බැලිය යුතු වේ. ඒ සුඛ වේදනාව ප්‍රීතියට ආසන්න වේදනාවකි. එය ඕළාරික බැවින් යෝගාවචරයාගේ සමාධිය දුර්වල කිරීමට සමත් වේදනාවකි.

එසේ ආදීනව සලකා අනතුරුව, සුඛ වේදනාවෙන් ද තොර, උපේක්‍ෂා වේදනාව සහිත සමාධියක් උපදවන්නේ නම් සුදුසු යැයි සිතාගෙන ‘සුඛ වේදනාවෙන් තොර උපේක්‍ෂා-ඒකාග්‍රතා සහිත චතුර්ථධ්‍යානයට සමවදිමි’ යැයි පටිභාග නිමිත්තට සිත යොමු කළ යුතු වේ. එවිට යෝගියා තතියධ්‍යානයෙන් මිදී ‘උපේක්‍ෂා-ඒකාග්‍රතා සහිත චතුර්ථධ්‍යානයට’ සම වදිනු ඇත.

ඒ චතුර්ථධ්‍යානය පෙර සියලු සමාධීන්ට වඩා බොහෝ සෙයින් ශාන්ත, ප්‍රණීත සමාධියක් වේ. එහි සුව වේදනාවක් හෝ නැති බැවින් ඇතැම් විට තමන්ගේ කය පවා නොදැනී යන තරමේ ධ්‍යාන සුවයක් අත්දැකිය හැකි වේ.

මෙසේ චතුර්ථධ්‍යානයට සමවැදී, පළමුව පැයක්, දෙකක් හෝ තුනක් ඒ ධ්‍යාන සමාධියෙහි ම සිටිය යුතු වේ. එවිට එය ශක්තිමත්ව වැටහෙනු ඇත. චතුර්ථධ්‍යානය උපදවන ලද යෝගියාට පැය තුනක් පමණ එක් භාවනා ආසනයක සිටීම එතරම් අපහසු දෙයක් නොවන ඇත. අනතුරුව ඉහත ප්‍රථමධ්‍යානයේ කියූ ආකාරයට ම ආවර්ජනා දි පස් ආකාරයට වශී භාවයට පත් කරගත යුතු වේ.

මෙම භාවනා ලිපි පෙළෙන් ආනාපානසති භාවනාව පිළිබඳ කරන පැහැදිලි කිරීම මෙයින් අවසන් වේ. එය මහාසතිපට්ඨානසූත්‍රයේ දැක්වෙන කායානුපස්සනාව පමණක් වේ. විදර්ශනා භාවනාවට පෙර දියුණු සමාධියක් ප්‍රයෝජනවත් බැවින් සෙසු සමථ භාවනා ක්‍රම ද විස්තර කිරීමට බලාපොරොත්තු වේ. එහෙයින් මජ්ක්‍ධිමනිකාය ආනාපානසති සූත්‍රාදියෙහි එන ආනාපානසති භාවනාව වේදනානුපස්සනා ආදී වශයෙන් වැඩීම මෙහි විස්තර නොවේ.

නිර්වාණාභිලාශී සත්පුරුෂයන් මෙතෙකින් පමණක් නොනැවතී කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා වෙත එළඹ තවදුරටත් භාවනා උපදෙස් ලබාගන්නේ නම් මැනවි. එසේ නිවැරදි උපදෙස් මත, නිවැරදි සමාධියක් උපදවාගෙන, විදසුන් වඩා ඉතාම ඉක්මනින් නිවනින් සැනසෙන්නට සියලු දෙනාටම හැකි වේවා යි ප්‍රාර්ථනා කරමු.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 28. ආනාපානසති භාවනාව – 19 වන කොටස