ස්වාක්ඛාත වූ තථාගත ශ්‍රී සද්ධර්මය අසා පිළිපදිමින් සසර දුක් නිවා නිවන් සුව සාක්‍ෂාත් කරගනු කැමති සත්පුරුෂ පින්වතුන් වෙනුවෙන් පිළිවෙළට බෞද්ධ භාවනා මාර්ගය පැහැදිලි කරගෙන පැමිණි ලිපි පෙළෙහි මෙම ලිපිය වෙන් වන්නේ ඔබේ ජීවිතයට භාවනාව ප්‍රායෝගික කරගන්නේ කෙසේ ද යන්න පහදා දීමට වේ.

ආනාපානසති භාවනාව හෝ වෙනත් භාවනාවක් හෝ පාඨමාලාවක් ලෙස හදාරා පුහුණු කිරීමෙන් පමණක් නිවන් දැකීමට සුදුසු සිතක් සකස් කරගත නොහැකි බව ද සිහිපත් කළ යුතු වේ. එසේම භාවනා මාර්ගය පිළිවෙළට වැඩිය යුත්තක් මිස එහෙන් මෙහෙන් නොයෙක් භාවනාවන් කිරීමෙන් පමණක් සම්පූර්ණ කරගත හැක්කේ ද නොවේ. එබැවින් අපගේ පැහැදිලි කිරීම වන්නේ භාවනාවට ආධුනිකයකු එයට යොමු වන තැන් පටන් දියුණු වීම දක්වා පිළිවෙළයි. එසේ පිළිවෙළින් භාවනාව වැඩීමේ දී නිරන්තරයෙන් සිතේ පැන නඟින උපක්ලේශයන් දැන හැඳිනගෙන ඒවා මැඩ පවත්වමින් නිවන් දක්නට සුදුසු සිතක් සකස් කරගැනීම ද වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ භාවනා මඟපෙන්වීම මෙසේ ප්‍රායෝගිකව සිදු කරන භාවනා පුහුණුවක් පිණිසම බව නොයෙක් සූත්‍රාන්ත දේශනාවලින් සුපැහැදිලි වේ.

අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ පඨම මරණසති සූත්‍රය හා දුතිය මරණසති සූත්‍රය භාවනාව ජීවිතය කරගතයුතු බවට වටිනා උපදෙස් සංකලනයක් වෙති. බුදුරජාණන් වහන්සේ නාදික නම් ගමේ, ගඩොලින් කරන ලද ආවාසයක වැඩ වසමින් සිටිය දී භික්‍ෂූන් වහන්සේලාට මරණසතිය වැඩීම මහත්ඵල මහානිසංස වන බව දේශනා කළහ. අනතුරුව භික්‍ෂූන් වහන්සේලාගෙන් තමතමන් මරණසතිය වඩන්නේ ද යන්න අසා සිටි අතර එකිනෙක භික්‍ෂූන් නොයෙක් ආකාරයෙන් මරණසතිය වඩන බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවසා සිටියහ.

එක් භික්‍ෂුවක් තමන්ට එක් දිවා රාත්‍රී දිනක් ජීවත් වීමට ලැබේ යැයි සලකා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ගුණදම් පුරන බව පැවසුවේය. උන්වහන්සේ මරණය දකින්නේ එක් දිවාරාත්‍රී කාලයක් ඉක්ම යන තෙක් තමන්ට දිවි පවතී යැයි සලකා බැලීමෙනි. තවත් භික්‍ෂුවක් පවසා සිටියේ එක් දිනක් පමණක් ජීවත් වීමට ලැබේ යැයි සලකන බවයි. තවත් භික්‍ෂුවක් එක් පිණ්ඩපාතයක් වළඳන තෙක් ජීවත් වීමට ලැබේ නම් මැනවැයි සලකන බව පැවසුවේ ය. අනෙක් භික්‍ෂුවක් අහර පිඬු සතරපහක් වළඳන තෙක් ද, අනෙක් භික්‍ෂුවක් එක් පිඬක් වළඳන තෙක් ද දිවි පවතී නම් මැනවැයි සලකන බව පැවසීය. තවත් භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවසා සිටියේ තමන් වහන්සේ එක් හුස්මක් ඉහළට ගෙන පහළට හෙළන කාලය අතරතුර දී පවා මරණයට පත්විය හැකි යැයි සලකා ගුණදම් පුරන බවයි.

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සියලු භික්‍ෂූන් අතරින් අවසන් දෙදෙනා, එනම් එක් අහර පිඬක් වළඳන තෙක් දිවි පවතී යැයි සලකන භික්‍ෂුව සහ එක් හුස්මක් ඉහළ පහළ ගන්නා අතරතුර පවා දිවි තොර විය හැකි යැයි සිතන භික්‍ෂුව පමණක් අප්‍රමාදීව මරණසතිය වඩන බවයි. අන් සියලු දෙනා මරණසතිය වඩන්නේ නමුදු ප්‍රමාදීව, මන්‍දව වඩති.

ආනාපානසති භාවනාව හෝ වේවා, අන් භාවනාවක් හෝ වඩන කෙනෙකුට මෙයින් ලැබෙන්නේ වටිනා ඔවදනකි. සාමාන්‍ය ජීවිතයේ රැකීරක්‍ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු කරගෙන සිටින කෙනෙකුට විශේෂයෙන් භාවනාවකට කාලයක් නැති විය හැකිය. එහෙත් තමන් නිතර මරණයට පත්විය හැකි පුද්ගලයෙක් බව සිහිපත් කරගෙන කැප සරුප් අන්දමෙන් ජීවිතය පවත්වාගෙන යන්නේ නම් ඔහු විසින් ද මේ බුදුසසුනේ මහා අර්ථයක් සිද්ධ කරගත් තැනැත්තෙක් වේ. ලොව බොහෝ තැන් වලින් මරණය පිළිබඳ පුවත් අසන්නට ලැබෙන මෙවැනි කාලයක බෞද්ධයන්ගේ නුවණ මුසු සිහිය මෙසේ මරණය කෙරෙහි යොමු වන්නේ නම් ඔවුන් තමන්ගේ භාවනාව ජීවිතයට එකතු කරගත් පුද්ගලයන් බවට පත්වෙති.

දුතිය මරණසති සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේගේ අවවාදය වන්නේ දවල් දවස නික්ම රාත්‍රිය එළඹෙන විට ද, රාත්‍රිය පහව දිවා කාලය එළඹෙන විට ද තමන්ගේ මරණය සිදුවිය හැකි බොහෝ ක්‍රම ඇති බව මෙනෙහි කරන ලෙස ය. සර්පයෙකු දශ්ඨ කිරීමෙන් හෝ, පය පැකිළී වැටීම හෝ එවැනි වෙනත් අනතුරකින් හෝ, අනුභව කළ ආහාරයක් නොදිරීමෙන් හෝ නැතිනම් පිත් සෙම් කෝපාදියකින් හෝ තමන්ගේ මරණය සිදු විය හැකි බව උදේ සවස සිහිපත් කරගත යුතු වේ. එසේ මරණයට පත් වූයේ නම් තමන්ගේ ජීවිතය නැති වනවා පමණක් නොව තමන් පුරමින් සිටි පැවිදි ගුණධර්මය ද සපුරාගත නොහැකි වේ. පෘථග්ජනව කලුරිය කිරීමෙන් ඇතැම් විට අපායගාමී වීමට ද ඉඩ තිබේ.

මෙසේ තමන්ගේ මරණය සිදුවිය හැකි නොයෙක් ආකාරයේ ක්‍රම ඇති බැවින් රාත්‍රියේ හෝ දිවා කාලයේ නොසිතන වේලාවක අපට මරණයේ අඳුරු අත්දැකීම ලැබිය හැකි වේ. වඩාත් වැදගත් වන්නේ එසේ කලුරිය කරන තමන්ගේ චිත්තසන්තානයේ ලාමක අකුශල ධර්මයන් ඉතිරිව ඇත් ද යන්නයි. ඒ නිසා නිරන්තරයෙන් නුවණින් විමසා බැලිය යුතු වන්නේ එළඹෙන රාත්‍රියේ හෝ දිවා කාලයේ තමන්ගේ මරණය සිදු වන්නේ නම් පහ නොවූ, ක්‍ෂය නොවූ කෙලෙස් ඉතිරිව මිය යන්නට සිදු වන්නේ ද යන්නයි. එසේ කෙලෙස් ඉතිරිව මිය යාමට සිදුවන බව දැනගන්නා භික්‍ෂුව හිස ගිනි ඇවිළගත් අයෙක්, නැතිනම් ඇඳගෙන සිටින වස්ත්‍රය ගිනි ඇවිලුණ අයෙක් ඒ ගිනි නිවාගැනීමට මහත් වෙහෙසක් ගන්නා සේ තමන්ගේ ඉතිරිව ඇති අකුශල ධර්මයන් ප්‍රහීණ කරගැනීමට වෙහෙසිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ අවවාදය විය. ඉතිරිව ඇති කෙලෙස් දුරු කරගැනීමට දැඩි කුශලච්ඡන්දයකින් කටයුතු කළයුතු වේ. කෙලෙස් ගිනි නිවාගැනීම සඳහාම වූ දැඩි භාවනානුයෝගී වීර්යයකින්, දැඩි උත්සාහයකින් කටයුතු කළයුතු වේ. ඉතිරිව ඇති කෙලෙස් දුරු කරගැනීම උදෙසා කුශලධර්මයන් සම්පාදනය කිරීම පිණිස අතරතුර නොනවතින දැඩි වීර්යයකින් කටයුතු කළයුතු බව බුදුරජාණන් වහන්සේගේ අවවාදය විය.

මරණසතිය තමන්ගේ ජීවිතයට එක් කරගත් නුවණැතියන් පිළිබඳ කථාවක් බුදුරජාණන් වහන්සේ උරග ජාතකයේ දී වදාළ සේක. අතීතියේ කසී රට, බරණැස් නුවර ධම්මපාල නම් බමුණු කුලයක් විය. එහි බමුණා, බැමිණී, පුතා, දියණිය, ලේලිය සහ දාසිය යන මේ සියලුදෙනා ම මරණානුස්සති භාවනාවේ නිරත වූවාහු වෙති. යමෙක් නිවසෙන් පිටත් වන්නේ නම් සෙස්සන්ට සුදුසු අවවාද දී, ආපසු පැමිණීම පිළිබඳ අපේක්‍ෂා රහිතවම පිටව යයි. දිනක් බමුණා සිය පුත්‍රයා සමඟ කුඹුරට ගිය අතර කුඹුරේ දී පුතා සර්පයකු දෂ්ඨ කිරීමෙන් කලුරිය කර දෙදෙව් ලොවට අධිපති ශක්‍රයා ව උපන්නේය. බමුණා ශෝක කිරීමකින් තොරව, සමීපයෙන් යන පුද්ගලයෙකු අත ‘නහා, පිරිසිදු වස්ත්‍ර හැඳ, එක් අයකුට පමණක් බත් මුලක් ද බැඳගෙන, මල් ගඳ විලවුන් ද රැගෙන වහාම පැමිණෙන’ ලෙස බැමිණියට පණිවිඩයක් යැවීය. ඒ පුරුෂයාගේ පණිවිඩය අනුව බැමිණිය සහ සෙසු පිරිස ද පැමිණි අතර බමුණා ද නා පිරිසිදු වී, දහවල් ආහාරය අනුභව කොට සියලු දෙනා එක් වී චිතකයක් සාදා මියගිය පුතාගේ දේහය එහි නංවා ගිනි දල්වන ලදී.

මේ අවස්ථාවේ සක් දෙවිඳුව උපන් මිය ගිය පුතා එතැනට බමුණු වේශයකින් පැමිණ දවන්නේ කුමක් දැයි අසා කරුණු දැනගෙන ශෝක නොකිරීමට හේතු අසා සිටියේය. එකිනෙකා ගාථා දෙක බැගින් කියමින් මේ ලොව කවුරුන් හටත් මරණය උරුම දෙයක් බවත්, එහි දී ශෝක කිරීමාදිය අනුවණ ක්‍රියා බවත් පහදා දුන්හ.

තමන්ගේ භාවනාව ජීවිතයට එකතු කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ මෙහි දී පැහැදිලි කර දෙන්නේ නිරන්තරයෙන් සිහියත්, නුවණත් දෙකින් ම යුතුව මරණය සිහිපත් කරමින්, එයට සූදානම්ව සිටිය යුතු බව පවසමිනි. එසේ සිහි නුවණින් යුතුව තමන් පුරුදු පුහුණු කරන භාවනා කමටහන වැඩීමට උත්සහවත් විය යුතු ය. එවිට බුදුසසුනේ නියම ඵලය ළඟා කරගැනීමට සුදුසු සිතක් ඇති පුද්ගලයෙක් බවට පත් වීමට හැකි වේ. ඔහු නිරන්තරයෙන්ම තමාගේ චිත්ත සන්තානයේ ඉතිරිව ඇති කෙලෙස් පිළිබඳ සිහියෙන් යුතුව ඒවා දුරු කරගෙන නිවන් අවබෝධය දෙසටම යොමු වූ සතර සතිපට්ඨානයෙන් යුතු අයෙක් බවට පත් වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 29. ආනාපානසති භාවනාව – 20 වන කොටස