සසර දුක් නිවා නිවනින් සැනසීම පිණිස, නිවන් දැකීමට සුදුසු සිතක් සකස් කරගැනීම සඳහා ජීවිතයට භාවනාවක් එකතු කරගැනීමේ වැදගත්කම ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. ඒ අනුව අලුතින් භාවනාව පටන්ගන්නා පුද්ගලයා විසින් ඒ සඳහා ශීල සංවරයෙන් යුතුව සූදානම් විය යුතු ආකාරය ද පැහැදිලි කරන ලදී. එසේ සූදානම් වන තැනැත්තා භාවනා පූර්ව කෘත්‍යයකින් සිත භාවනා කටයුත්තට සූදානම් කරගෙන සතරකමටහන් වැඩීම වඩාත් සුදුසු වේ. ඒ අනුව සතරකමටහන් භාවනා වශයෙන් කෙටියෙන් බුදුගුණ වඩන අයුරු අපගේ ලිපි පෙළේ විස්තර කරන ලදී.

සතරකමටහන් වැඩීමෙන් ආරක්‍ෂාවක් සලසාගත් යෝගියා ඉන්පසු තමන්ට සුදුසු කමටහනක් තෝරාගෙන, එය වැඩි වශයෙන් පුරුදු කළයුතු වේ. තමන්ට සුදුසු කමටහනක් තෝරාගැනීම සියලු දෙනාට පහසුවෙන් කළ හැකි නොවේ. ඒ සඳහා භාවනාව පිළිබඳ පළපුරුද්ද ඇති ගුරු ඇසුරක් තිබීම වැදගත් වේ. එසේ පළපුරුදු ගුරු ඇසුරක් ලබාගත නොහැකි වන විට කළහැක්කේ භාවනා ක්‍රම කිහිපයක් පුහුණු කර බැලීමයි. ඒ සඳහා නොයෙක් භාවනා ක්‍රම පිළිබඳ දැනුම අවබෝධය ලබාගත යුතු වේ. එකිනෙක භාවනාව වඩන ආකාරය, එහි දී භාවනාව දියුණු වන ආකාරය ආදිය නිවැරදිව දැනගත යුතු වේ. එවිට භාවනා ක්‍රම කිහිපයක් පුහුණු කර බලා සුදුසු භාවනාව තෝරාගත හැකි වේ. ඒ සඳහා උපකාරයක් වශයෙන් සමථ භාවනා ක්‍රම කිහිපයක් විස්තර කිරීම මෙම ලිපි පෙළෙන් අදහස් කෙරේ.

එසේ විස්තර කෙරෙන භාවනා ක්‍රම අතර පළමුව ‘ආනාපානසති’ භාවනාව විස්තර කරන ලදී. එහෙත් ආනාපානසති භාවනාව සියලු දෙනාට පහසු නොවිය හැකිය. එබැවින් සෙසු භාවනා කමටහන් පිළිබඳව ද දැනගත යුතු වේ. මේ ලිපියේ පටන් විස්තර කිරීම ඇරඹෙන්නේ ‘බුද්ධානුස්සති භාවනාව’ විස්තර වශයෙන් වඩන ආකාරයයි. ඇතැම් කෙනෙකුට මෙම භාවනාව පහසුවෙන් කළහැකි වේ. එසේම දවසේ සෑම වේලාවකම මනසිකාරයක් වශයෙන් පුරදු පුහුණු කරගෙන මහත්ඵල මහානිසංස කරගැනීමට ද හැකි වේ.

බුදුගුණ සිහිපත් කිරීමේ ආනිසංස දැනගැනීම පිණිස ධම්මපදට්ඨකථාවේ එන පහත කථාවස්තුව වැදගත් වේ.

රජගහනුවර එක්තරා මිසදිටු තැනැත්තකුගේ දරුවෙක්, තවත් තෙරුවන් සරණගිය අයෙක්ගේ දරුවෙක් සමඟ නිතර පන්දු සෙල්ලම් කිරීමට පුරුදුවී සිටියේය. ඒ දෙදෙනා අතරින් තෙරුවන් සරණගිය දරුවා නිතරම බුදුගුණ ආවර්ජනය කොට ‘නමෝ බුද්ධස්ස’ යැයි කියමින් පන්දුව දමයි. අනෙක් මිසදිටු දරුවා තීර්ථකයන් සිහිපත් කරමින් ‘නමෝ අරහන්තානං’ යැයි කියමින් පන්දුව දමයි. නිරන්තරයෙන් සම්මාදිට්ඨික දරුවාම දිනන අතර මිසදිටු දරුවා පැරදෙයි. ඒ මිසදිටු දරුවා අනෙක් දරුවාගේ ක්‍රියාව දෙස බලා ‘මොහු මෙසේ ‘නමෝ බුද්ධස්ස’ යැයි කියා පන්දුව දමමින් නිතරම මාව පරදවයි. මම ද එසේ කළයුතු’ යැයි සිතා බුදුගුණ සිහි කිරීමට පුරුදු වූයේය. එවිට දෙදෙනාටම ජය පරාජය අත්විය.

මේ මිසදිටු දරුවා බුදුරජාණන් වහන්සේගේ ගුණයක් හරිහැටි නොදැන වුව ද සෙල්ලම් කිරීම පිණිස ‘නමෝ බුද්ධස්ස’ යැයි කීමට පුරුදු වූයේ ය. දිනක් ඔහුගේ පියා කරත්තයක් බැඳගෙන දර කැඩීම පිණිස වනයට පිවිසි අතර මේ දරුවා ද කැඳවාගෙන ගියේය. කැලයේ දී දර කඩා කරත්ත පුරවාගෙන ආපසු එන අතර නුවරින් බැහැර සොහොනක් අසබඩ තැනක කරත්තය නවතා, ගොනුන් ලිහා, ආහාර අනුභව කොට මඳක් විවේක ගත්තේය. ගොනුන් සවස් යාමයේ නුවරට පිවිසෙන අනෙක් ගොනුන් සමඟ නුවර ඇතුළටම පිවිසුණහ. විවේක ගෙන අහවර කළ පියා ගොනුන් සොයාගෙන නගරයටම ගියේය. ගොනුන් රැගෙන පැමිණෙන විට නගර දොරටු වසා තිබූ බැවින් ආපසු පැමිණිය නොහැකි විය. දරුවා සොහොන අසබඩ කරත්තය අසල රෑ එළඹෙන තෙක්ම සිට අවසානයේ පියා ආපසු නොපැමිණි බැවින් තනිවම කරත්තය යටට වී නිදාගත්තේය.

රජගහනුවර ප්‍රකෘතියෙන්ම අමනුෂ්‍යයන් බහුල වන අතර මේ දරුවා සිටියේ ද සොහොනක් අසල ය. රාත්‍රියේ එතැනින් යන යක්‍ෂයන් දෙදෙනෙක් මේ දරුවා දුටු අතර එක් අයෙක් මිසදිටු වේ. අනෙකා සමිදිටු වේ. ඒ මිථ්‍යාදෘෂ්ඨික යක්‍ෂයා ‘අද අපට සුදුසු ආහාරයක් ලැබී ඇත. මේ දරුවාව කා දමමු’ යැයි කී අතර අනෙක් සම්මාදිට්ඨික යක්‍ෂයා එය වැළැක්වීය. එසේ වළක්වද්දී ම ඒ මිසදිටු යක්‍ෂයා නිදා සිටින දරුවාගේ පාදයෙන් අල්ලා ඇද්දේය. ඒ දරුවා කාලයක් තිස්සේ ‘නමෝ බුද්ධස්ස’ යැයි කීමට පුරුදු කර තිබූ බැවින් නින්දෙන් අවදි වූයේ ‘නමෝ බුද්ධස්ස’ කියමිනි. ඒ හඬින් යක්‍ෂයන් දෙදෙනා බිය වී පැත්තකට වූහ.

ඒ අතර සම්මාදිට්ඨික යක්‍ෂයා ‘අප විසින් නොකළයුත්තක් කරන ලදී. දැන් දඬුවමක් ලෙස මේ දරුවාට ආරක්‍ෂාව සැලසිය යුතු’ යැයි කියා එහි රැකවරණය දුන්නේය. අනෙක් මිසදිටු යක්‍ෂයා නුවරට පිවිස රජුගේ භෝජනාගාරයෙන්, රජු ආහාර අනුභව කරන රන් තැටියකට ආහාර රැගෙන ආවේය. අනතුරුව යක්‍ෂයන් දෙදෙනා දරුවාගේ මව් පියන් සේ පෙනී සිට දරුවාට රාත්‍රී ආහාරය දී නිදි කරවා, රන් තැටියේ ‘මේ අකුරු රජු පමණක් දකීවා. වෙනකෙනෙක් නොදකීවා’ යැයි අදිටන් කර තමන් කළ කටයුත්ත යක්‍ෂානුභාවයෙන් ලියා, කරත්තයට දමා, මුළු රෑ රැකවල් යොදා සිට ආපසු ගියහ.

පසුදින රජගෙදර ආහාර අනුභව කරන රන් තැටිය සොරකම් කර ඇති බවට කෝලහාල කරමින් නගර දොරටු වසා සොයන විට කරත්තයේ තිබී එය හමු විය. රාජ පුරුෂයෝ මේ දරුවා සොරා යැයි අල්ලාගෙන රජුට ඉදිරිපත් කළ අතර රජු යක්‍ෂයන්ගේ අකුරු දුටුවේය. දැක දරුවාගෙන් ඒ පිළිබඳ විමසුවේය. ඒ දරුවා තමන් කිසිවක් නොදන්නා බවත්, රාත්‍රියේ මව්පිය දෙදෙනා විත් ආහාර අනුභව කරවා රැකවල් යෙදූ බවත් කීවේය. එවිට මව්පියන් ද එතැනට පැමිණි බැවින් රජු ඒ සියලුදෙනාම සමඟ භාග්‍යවතුන් වහන්සේ හමුවිය. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල සිදු වූ ආකාරය පහදා දී දහම් දෙසූ සේක.

මේ දරුවා බුදුරජාණන් වහන්සේගේ ගුණමහන්තත්වය නොදැනගෙන වුවද පුරුද්දට බුදුගුණ සිහිපත් කිරීමෙන් මෙපමණ ආරක්‍ෂාවක් සැලසිණි. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්‍ධය යම් පමණකින් හෝ ඉගෙනගෙන එය නිතර සිහි කරන්නේ නම්, ඒකාන්තයෙන් සැප පිණිසම පවතින්නේය. එබැවින් තමන්ගේ නිති කමටහනක් ලෙස බුදුගුණ සිහිකිරීම ඉතාමත් වටිනා මනසිකාරයක් වේ.

අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. බුදුගුණ භාවනාව ලෙස ද මෙය හැඳින්වේ. භාවනා කරන යෝගියාට විශේෂ ආරක්‍ෂාවක් සලසාදෙන භාවනාවක් ලෙස පමණක් නොව නිවනින් අවබෝධය පිණිස විදසුන් වැඩීමට අවශ්‍ය සිතේ සමාධිය දියුණු කරගැනීමට ද සුදුසු කමටහනක් වේ. ඒ සඳහා පළමුව බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගත යුතු වේ.

බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්‍ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ. ඒ එකිනෙක ගුණය පිළිබඳ අවබෝධය ඇති කරගෙන එය භාවනාවක් වශයෙන් භාවිත කරන ආකාරය මීළඟට පිළිවෙළින් විස්තර කෙරේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 30. භාවනාව ජීවිතය කරගන්න, නිතර මරණය සිහි කරන්න