පන්සාළිස් වසරක් මුළුල්ලේ ලෝකසත්ත්වයාගේ හිතසුව පිණිස තථාගතයන් වහන්සේ දේශනා කරනා ලද ධර්ම ස්කන්ධය නොයෙක් මලින් විසිතුරු කරනා ලද මල්දමක් මෙන් ද අනේක රතනයන්ගෙන් නිමවවන ලද මාලාවක් මෙන් ද විසිතුරු වේ. එමෙන්ම ඒ ධර්මය වෙනෙය්‍ය ජනයාගේ ක්ලේෂ ප්‍රහාණය සඳහා ඇති බැවින් පදයක් පදයක් පාසා අමෘත සඬ්ඛ්‍යාත නිර්වාණ රසය හිම් කොට ඇත්තේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඒ ධර්මය අනාගතයෙහි වාසය කරන සත්වයන්ගේ හිත සුව පිණිස පන්සියයක් ධර්මසංග්‍රාහක මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයෙහි සංග්‍රහ කළ සේක. සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකාය ගම්භීර වූ දහම් පර්යායන් රාශියකින් සමන්විතය වූ සූත්‍ර 152 කින් සමන්විත වේ. ඒ සූත්‍රයන් අතරින් නිර්වාණාභිලාශී ධර්මකාමී ජනයා නිතර පරිශීලනය කරන, සාකච්ඡාවට බඳුන් කරන සූත්‍රයකි සබ්බාසව සූත්‍රය. අභාග්‍යයකට මෙන් ඒ දේශනා සහ සාකච්ඡා සඳහා අර්ථකතාව භාවිතා නොකිරීම හේතුවෙන් මෙම සූත්‍රයෙහි දේශිත ධර්ම පර්යායන් වැරදි ලෙස නිර්වචනය වන අවස්ථා ද දකිනු ලැබේ. ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා යැයි කියමින් අස්ථානයෙහි උත්සාහ කිරීමෙන් ආශ්‍රවයන් ප්‍රහාණය කළ නොහැක. එම නිසා මෙම සූත්‍රය ලිපි මාලාවකින් විවරණය කිරීම අපගේ බලාපොරොත්තුව වේ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයක මෙම සබ්බාසව සූත්‍රය දේශනා කළ සේක.

“ සබ්බාසවසංවරපරියායං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ , සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. “එවං, භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච”

– මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දෙශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්ස” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

කවර හේතුවක් නිසා මෙම සූත්‍රය දේශනා කළ සේක්ද යත්, ඒ භික්ෂුන් වහන්සේලාගේ උපක්ලේෂ විශෝධනයේ පටන් ආශ්‍රවයන් ක්ෂය කිරීම නම් වූ නිර්වාණය සාක්ෂ්‍යාත් කිරීම පිණිසය. නිවන් සාක්ෂ්‍යාත් කරනුයේ කෙසේද යැයි සිතන විට සිහියට නැගෙනුයේ පළඟක් බැඳ භාවනා කර්මයේ යෙදෙන රූපයකි. නිවන් මාර්ගයට බාධා කරන, ඇතැම්විටකදී යෝගියෙකු යෝග කර්මයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට ඇද දමන උපක්ලේෂයන් විශෝධනය පිළිබඳව වර්තමාන යෝගීන්ගේ අවධානය ස්වල්පය. සකළ සත්වයන්ගේ ආධ්‍යාශය දන්නා දක්නා සර්වඥයන් වහන්සේ මෙම භික්ෂුන්වහන්සේලාගේ උපක්ලේෂ විශෝධනය කොට නිර්වාණය සාක්ෂ්‍යාත් කිරීම සඳහා වූ ප්‍රතිපදාව පැහදිලි කිරීම පිණිස මෙසේ වදාළ සේක.

“සබ්බාසවසංවරපරියායං” යනු සියළු ආශ්‍රවයන්ගේ සංවරහේතුව වන්නාවූ, සීලසංවරාදි සංවරභාව සංවරස්වභාවයට හේතුවන කාරණය, යම් හේතුවක් නිසා ඒ ආශ්‍රවයන් සංවරණය වේද වැසී අනුත්පාද නිරෝධසංඛ්‍යාත ක්ෂයභාවයට යත්ද, ප්‍රහීණ වෙත්ද, නොපවතිත් ද ඒ සඳහා හේතුවයි. “සබ්බාසවසංවරපරියායං” යන මෙම පාලි පදයෙහි ආසව, සංවර, පරියාය යන පදයන්ගේ අර්ථ වෙන් වෙන් වශයෙන් දතයුතුය.

ආසව යනු ආශ්‍රවයෝය. කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ටාශ්‍රව, අවිද්‍යාශ්‍රවය යැයි අභිධර්ම දේශනාවේ පැමිණෙන ආශ්‍රවයන් සතරකි. පරමාර්ථ ධර්ම වශයෙන් ලෝභ, දිට්ඨි, මෝහ යන චෛතසිකත්‍රය ආශ්‍රව වේ. ද්‍රව්‍යයකින් යුක්ත සැළක ලා කළක් පල් කළ ජලයට ආසවය යැයි කියනු ලැබේ. පානය කළවුන් මත්කරවන ස්වභාවය ඒ ජලයෙහි ඇත්තේය. බොහෝ කළක් පල් වූ නිසාත් මත් කරවන නිසාත් ආසවයට සමාන බැවින් ඉහත කී ලෝභාදී ධර්මයන්ට “ආසව” යැයි කියනු ලැබේ. ඒ ලෝභාදී ධර්ම තුන සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සත්ත්ව සන්තානයෙහි පල් වී ඇති බැවින් ද, සත්ත්වයන් මත් කරවන බැවින් ද ආසවයට සමානය. තව ද වැගිරෙන දෙය ය, ගලා යන දෙයය යන අර්ථයෙන් ද ඒ ධර්මයන්ට “ආශ්‍රව” යන නම කියනු ලැබේ. වණයකින් සැරව වැගිරෙන්නාක් මෙන් චක්ෂුරාදි ද්වාරයන්ගෙන් ඒ ලෝභාදී ධර්ම වැගිරේ. ගෝත්‍රභූ චිත්තය තෙක් ඇති ලෞකික ධර්මයන් යට කොට ද, භවාග්‍රය දක්වා ඇති ලෝකය යට කොට ද ඒ ධර්ම ගලා යන්නේය. (උපුටාගැනීම -අභිධර්ම මාර්ගය, රේරුකානේ චන්දවිමල හිමි)

සංවරණය කරනු ලැබෙන බැවින් සංවරනම් වේ. වසා දමයි, නිවාරණය කරයි, පැවතීමට ඉඩ නොදෙයි යන අර්ථය සංවර පදයේ ඇත. සංවරවිනය – සීලසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, විරියසංවරය යැයි ආකාර පසෙකි. යමෙක් සීලයෙන් සංවර වේ නම් එය සීලසංවරයයි. යමෙක් සිහිනුවණින් යුතුව ඇස ආදී ඉන්ද්‍රියයන් රකිමින් විසභාග අරමුණුවලට යොමු නොකර සිහියෙන් යුක්තව වසන්නේ නම් ඒ සතිසංවරයයි. විපස්සනාව සමග යෙදුනා වූ ප්‍රඥාව නිසා තණ්හාව ආදී ශ්‍රෝතයන් (ප්‍රවාහයන්) විෂ්ඛම්භන වශයෙන් ප්‍රහාණය වේ.එම විශ්ඛම්භිත ශ්‍රෝතයන් මාර්ග ක්ෂණයෙහි යෙදෙන ප්‍රඥාවෙන් සියල්ලෙන් සියල්ල ප්‍රහාණය කරයි, වසා දමයි. එය ඤාණ සංවරයයි. සීතල, උණුසුම ආදිය ඉවසීම තුළින් යමෙක් යම් සංවරයකට පත් වේ නම් ඒ ඛන්තිසංවරයයි. යමෙක් තම චිත්තසන්තානය තුළ උපන්නා වූ අකුසල්වලට අයත් කාමවිතර්ක ආදී විතර්ක නො ඉවසා බැහැරකොට නසා දැමීමට වෙරදරන්නේනම් එය විරියසංවරයයි. මෙම පස් ආකාර වූ සංවරය මෙම සූත්‍රයෙහි පැමිණේ.

මෙම සීලාදී සංවරයන් කරණකොට ගෙන මෙම කුසල අකුසල ධර්මයෝ පවතිත් යන අර්ථයෙන් “පරියාය” නම් වේ. මෙම පරියායන් නිසා කුසලධර්මයන් උපදිත්, අකුසල ධර්මයන් නිරුද්ධ වෙත්. මෙසේ සියළු ආශ්‍රවයන්ගේ සංවරය ඇති කරන පරියායන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බැවින් සබ්බාසවසංවරපරියාය වේ.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“ජානතො අහං, භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච, භික්ඛවෙ, ජානතො කිඤ්ච පස්සතො ආසවානං ඛයං වදාමි? යොනිසො ච මනසිකාරං අයොනිසො ච මනසිකාරං. අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඞ්ඪන්ති; යොනිසො ච ඛො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති.”

– “මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.”

“ජානතො පස්සතො” යන පාඨයන්හි ජානතො යනු නුවණින් දන්නහුට ය, පස්සතො යනු නුවණින් දක්නහුට ය. මෙම ජානතො පස්සතො යන පද දෙකෙහි ම අර්ථය එකක් ම වේ, පද දෙකෙහි ශබ්දය පමණක් වෙනස් වේ. මෙසේ අර්ථ සමානව ශබ්දය පමණක් වෙනස් ව ඇත්තේ නමුදු ජානතො යන මෙම පදයෙන් ඤාණ ලක්ෂණය පදනම් කරගනිමින් පුද්ගලයා දක්වයි. ඤාණයට දැනගන්නා ලක්ෂණය ඇත්තේ වේ. පස්සතො යන මෙම පදයෙන් ඤාණයෙහි ශක්තිය පදනම් කරගනිමින් පුද්ගලයා දක්වයි. ඤාණයට දක්නා වූ ශක්තිය ඇත්තේ වෙයි. ඇස් පෙනීම මනාව ඇත්තා වූ පුද්ගලයෙක් ඇසින් රූප දකින්නාක් මෙන් ඤාණය ඇත්තාවූ පුද්ගලයා ඤාණයෙන් විවෘත වු ධර්මයන් දක්නේය.

“ආසවානං ඛයං” යනු ආශ්‍රවයන්ගේ ප්‍රහාණයයි. ආශ්‍රවයන්ගේ අත්‍යන්තක්ෂයසමුත්පාදයයි. ක්ෂීණාකාරයයි. නොමැති බවයි. ආස්‍රවයන්ගේ ක්ෂය කිරීමයි.

“නො අජානතො නො අපස්සතො – නො දන්නහුට නො දක්නහුට නො කියමි” යන මෙහි අදහස නම් යම් පුද්ගලයෙක් නොදනී ද නොදකී ද එම පුද්ගලයා හට නොවදාරමි යන අර්ථයයි. මෙම අජානතො අපස්සතො යන පද දෙකින් සංසාරයෙන්ම ශුද්ධිය වේය යැයි යම් පුද්ගලයෝ ප්‍රකාශ කරත් ද එය ප්‍රතික්ෂේප කළහ. නෙහොත් “ජානතො පස්සතො” යන පද දෙකින් ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා ඇති මාර්ගය (ක්‍රමය) වදාළහ. “අජානතො අපස්සතො” යන පද දෙකින් ආශ්‍රවයන් ක්ෂය කිරීම සඳහා වන අමාර්ගය ප්‍රතික්ෂේප කළහ. සංක්ෂේපයෙන් කිවහොත් ඤාණය ආශ්‍රවයන්ගේ සංවර පරියාය වේ ය යැයි දක්වන ලද සේක.

දැන් යම් යෝනිසො මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක් දන්නහුට ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම වේද ඒ යෝනිසෝ මනසිකාරය දැක්වීම පිණිස “කිඤ්ච, භික්ඛවෙ, ජානතො කිඤ්ච පස්සතො ආසවානං ඛයං වදාමි – කුමක් දන්නහුට, කුමක් දක්නහුට, ආස්‍රව ක්ෂය වේ ද? ” යන පැනය ඇරඹූ සේක. දැනගැනීම නෙයෙක් ආකාර වේ. ප්‍රඥාවක් ඇති කිසියම් භික්ෂුව ඡත්‍රයක් සෑදීමට දනී. කිසියම් භික්ෂුවක් සිවුරු ආදී යමක් කිරීමට දනී. මෙබඳු කර්මයන් වත්තශීර්ෂයෙන් කරන්නාවූ ඒ භික්ෂුවට ඒ දැනගැනීම මාර්ගඵල ලබාගැනීමට හේතු නොවේ ය යැයි නොකිය යුතුයි. යම් භික්ෂුවක් බුද්ධ ශාසනයෙහි පැවිදි වී වෙදකම් ආදිය කිරීමට දනීද ඒ දන්නාවූ භික්ෂුවට හට ම යම් හේතුවක් නිසා ආශ්‍රව වැඩෙන්නේ ද එහෙයින් යම් යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාරයක් දන්නාවූ පුද්ගලයාට ද දක්නා වූ පුද්ගලයාට ද ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂයකිරීම වේ ඒ යෝනිසෝ මනස්කාරය දැක්වීම සඳහා “යොනිසො ච මනසිකාරං අයොනිසො ච මනසිකාරං – යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ” යනුවෙන් වදාළහ.

යොනිසෝමනසිකාරය යනු කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස හේතුවන්නා වූ මනසිකාරයයි, අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම ස්වභාව ඇත්තාවූ ධර්මයන්හි “අනිත්‍ය ය දුක්ඛ ය අසුභ ය අනාත්ම ය” ආදී වශයෙන් මනසිකාරයයි. නොහොත් සත්‍යානුලෝමිකෙන වශයෙන් භවාංග චිත්තයාගේ ආවර්තනයයි, නැවත නැවත ආවර්ජනයයි, භවංගාරම්මණයෙන් අන්‍ය වූ අරමුණක් මනසිකාරයයි. මෙය යෝනිසෝමනසිකාරය යැයි කියන ලදී. අයෝනිසෝමනසිකාරය යනු කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස හේතු නොවන්නා වූ මනසිකාරයයි, අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම ස්වභාව ඇත්තා වූ ධර්මයන්හි “නිත්‍ය ය සුඛ ය අසුභ ය අනාත්ම ය” ආදී වශයෙන් වූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස හේතු නොවන මනසිකාරයයි. නොහොත් සත්‍යාවබෝධය පිණිස අනනුලෝමිකෙන වශයෙන් භවාංග චිත්තයාගේ ආවර්තනයයි, නැවත නැවත ආවර්ජනයයි, භවංගාරම්මණයෙන් අන්‍ය වූ අරමුණක් මනසිකාර කිරීමයි. මෙය අයෝනිසෝමනසිකාරය යැයි කියන ලදී. මෙසේ යෝනිසෝමනසිකාරය ඉපදවීමට දන්නාවූ පුද්ගලයා හට අයෝනිසෝමනසිකාරය ද නූපදී ද, මෙසේ දකින්නාවූ පුද්ගලයා හට ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම වෙයි. මෙම යෝනිසෝමනසිකාර අයෝනිසෝමනසිකාර ඇතිවීමේ අර්ථයෙහි යුක්තිය දැක්වීම දක්වමින්

“අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඞ්ඪන්ති; යොනිසො ච ඛො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති”

යැයි වදාළ සේක. මෙම පාලියෙන් කුමක් වදාළ සේක්ද යත්, යම් හේතුවක් නිසා අයෝනිසෝ මනසිකාරය කරන්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයන් උපදිත් ද, යෝනිසෝමනසිකාරය කරන්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයන් ප්‍රහීණ වෙත් ද, ඒ හේතුවෙන් යෝනිසෝ මනසිකාරය ඉපදවීමට දන්නා වූ පුද්ගලයා හට අයෝනිසෝමනසිකාරය යම්සේ නූපදී ද මෙසේ දකින්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම වේ යන මෙය දතයුතුයි. මේ මෙහිලා සංක්ෂේප විස්තරයයි.

එය විස්තර වශයෙන් මෙසේය. මෙහි “යොනිසො අයොනිසො” යන මෙම පද දෙකෙන් ඉහත මුළු සූත්‍රයම සම්බන්ධ කරනා ලද්දේ වෙයි. වට්ට (සංසාරවෘත්තය) විවට්ට (සංසාරවෘත්තයෙන් නිදහස් වීම) වශයෙන් ඉහත මුළු සූත්‍රයම දේශනා කළහ. සංසාරවෘත්තය අයෝනිසෝමනසිකාර මූලක වේ. සංසාරවෘත්තයේ නිදහස් වීම යෝනිසෝමනසිකාර මූලක වේ. ඒ කෙසේද යත්, අයෝනිසෝ මනසිකාරය වඩනුයේ අවිද්‍යාව සහ තණ්හාව යන ධර්මයන් දෙක පූර්ණය කරයි. අවිද්‍යාව ඇති කල්හි “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමය ද රූපය ද නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්‍රත්‍යයයෙන් වෙදනාව වේ. වෙදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ” යනාදී වශයෙන් අයෝනිසෝමනසිකාර බහුල පුද්ගලයා වාත වේගයෙන් සැපී විනාශ වූ නෞකාවක් මෙන්, ගංගාවක වැටුණු ගවයන් සමූහයක් මෙන්, සෙක්කුවේ බඳිනා ලද ගවයකු මෙන් නැවත නැවත භව-යෝනි-ගති-විඤ්ඤාණස්ථිති-සත්තාවාසයන්හි නැවත නැවතත් ගමන් කරයි. මෙය අයෝනිසෝ මනසිකාරමූලක වෘත්තයයි.

යොනිසෝමනසිකාරය වඩනුයේ “යෝනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කෙරේ ද යත්” යන වචනයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කරයි. තවද යම් සම්මාදිට්ඨියක් වේද එය විද්‍යාව නම් වේ. ඒ විද්‍යාවගේ උත්පාදයෙන් අවිද්‍යාව නිරෝධ වේ. “ අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වේ. විඥානනිරොධයෙන් නාමරූපනිරොධය වේ. නාමරූපනිරොධයෙන් ෂඩායතනනිරොධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්ශනිරොධය වේ. ස්පර්ශනිරොධයෙන් වෙදනා නිරොධය වේ. වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදානනිරොධය වේ. උපාදානනිරොධයෙන් භවනිරොධය වේ. භවනිරොධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරොධයෙන් ජරා මරණ සොක පරිදෙව දුකඛ දොමනස්ස උපායාසයෝ නිරුදධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරොධය වේ.” යැයි මෙසේ යෝනිසොමනසිකාර මූලක විවට්ටය දතයුතුයි. මෙසේ මේ පද දෙකින් ඉහත මුළු සූත්‍රය ම සම්බන්ධ කරනා ලද්දේ වෙයි.

ඉහත දක්වන ලද ආකාරයේ අයෝනිසෝමනසිකාරයක් ඇති පුද්ගලයා හට නූපන්නා වූ ආශ්‍රවයෝ උපදිත්, උපන්නා වූ ද ආශ්‍රවයෝ වැඩෙත්. “අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති – නූපන්නා වූ ආශ්‍රවයෝ උපදිත්” යන මෙම පාලිය අටුවාවේ විවරණය කරනුයේ පැවිද්දෙකුට නූපන් ආශ්‍රවයන් උපදින ආකාරය අනුවයි. පහත උදාහරණය ගිහියන් හට ද සුදුසු පරිදි සළකා ගත යුතුය. පෙර නොලද විරූ සිවුරු ආදී සිවුපසයක් ද උපස්ථායක සද්ධිවිහාරික අන්තේවාසිකයන් අතරින් සිත් අලවනා සුලු වස්තුවක් ලැබ එම වස්තුව සුභය සුඛය වශයෙන් අයෝනිසෝමනසිකාරය කරන්නා වූ භික්ෂුවට හෝ පෙර අත්නොවිරූ කිසියම් අරමුණක් යම් ආකාරයකට අයෝනිසෝමනසිකාරය කරන්නා වූ භික්ෂුවට ආශ්‍රවයන් උපදිත්. ඒ ආකාරයට උපදින්නා වූ ආශ්‍රවයන් ‘නූපන් ආශ්‍රවයන් උපදිත්’ යැයි දතයුතු. එසේ නොසැළකුවහොත් අනවරාග්‍ර සංසාරයේ නූපන් ආශ්‍රවයෝ නම් නැත. පෙර අත්විරූ අරමුණෙහි ද වස්තුවෙහි යම් ප්‍රකෘතියෙන් ශුද්ධ වූ පුද්ගලයා හට හෝ පාලිය ඉගෙන ගැනීම, අටුවාව ඉගෙන ගැනීම, නවකර්මයෙහි යෙදීම යෝනිසෝමනසිකාර ආදි කිසියම් හේතුවක් නිසා ආශ්‍රවයන් නො ඉපිද පසුව යම්කිසි සිත් අලවනා සුලු වස්තුවක් හේතුවෙන් එකවරම ආශ්‍රවයන් පහළ වේ. මේ ආශ්‍රවයන් ද ‘නූපන් ආශ්‍රවයන් උපදිත්’ යැයි දතයුතු. මෙම වස්තු ආරම්මණයන්හි නැවත නැවත උපදින්නාවූ ආශ්‍රවයන් “උප්පන්නා ච ආසවා පවඞ්ඪන්ති – උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති” නම් වේ. මෙසේ නැවත නැවත උපදින්නා වූ ආශ්‍රවයන්ගෙන් අන්‍යාකාරයෙන් ප්‍රථමයෙන් උපදින්නා වූ ආශ්‍රවයන් නම් නැත.

“යොනිසො ච ඛො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති – යෝනිසෝමනසිකාරයක් ඇති පුද්ගලයා හට නූපන්න වූ ද ආශ්‍රවයෝ නූපදිත්.” මෙහි ප්‍රකෘතියෙන් ශුද්ධ වූ ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙන්ද භද්‍රාකාපීලානි මහරහත් තෙරණිය මෙන් ද , පාලිය ඉගෙන ගැනීම අටුවා ඉගෙන ගැනීම ආදී හේතූන් නිසා ආශ්‍රවයෝ නූපදිත්. එම පුද්ගලයා “මාගේ ආශ්‍රවයන් සතරමාර්ගයෙන් ප්‍රහාණය කරනා ලද්දේ නොවෙත්, දැන් ඒ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරන්නෙමි” යැයි දනියි. එසේ දැන ගැනීමෙන් අනතුරුව මාර්ග භාවනාවෙන් සියළු ආශ්‍රවයන් සමුද්ඝාතය කරයි. ඒ පුද්ගලයාට “නූපන්න වූ ද ආශ්‍රවයෝ නූපදිත්” යැයි කියනු ලැබේ.

“උප්පන්නා ච ආසවා පහීයන්ති – උපන් ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්”. යෝග කර්මයෙහි යෙදෙන යම් පුද්ගලයෙකුට සිහිමුලා බවින් එකවරම ආශ්‍රවයන් උපදිත්. ඒ හේතුවෙන් සංවේගයට පැමිණ යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ආශ්‍රවයන් සමුද්ඝාතය කරයි. එම පුද්ගලයාට මණ්ඩලාරාම විහාරයේ තිස්සභූත තෙරුන් වහන්සේටි මෙන් “උපන් ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්” යැයි කියනු ලැබේ. ඒ තෙරුන්වහන්සේ මණ්ඩලාරාම විහාරයේ ධර්මය ඉගෙන ගනියි. ගමෙහි පිණ්ඩපාතයේ හැසිනෙ විට විසභාග වූ ස්ත්‍රී ආරම්මණයෙහි ක්ලේෂයන් පහළ වීය. උන්වහන්සේ විදර්ශනාවෙන් ඒ ක්ලේෂයන් යටපත් කොට විහාරයට වැඩියහ. උන්වහන්සේ සිහිනයෙන් ද ඒ ආරම්මණය දුටුවේය. උන්වහන්සේ මෙසේ කල්පනා කළ සේක. “මේ ක්ලේෂය වැඩීම අපාගත වීමට හේතුවකි” යැයි සංවේගයක් ඇතිකොට ස්වකීය ආචාර්යන් වහන්සේගෙන් අවසර ගෙන විහාරයෙන් නික්මී මහාසංඝරක්ඛිත තෙරුන්වහන්සේ සමීපයේ රාගය දුරු කරන්නාවූ රාගප්‍රතිපක්ෂ අසුභ කර්මස්ථානයක් ඉගෙන වනලැහැබකට පිවිස පංසුකූල චීවරය අතුරා එහි වැඩහිඳ භාවනාකොට අනාගාමී මාර්ගයෙන් පඤ්චකාමගුණික රාගය නැසූ සේක. ආචාර්යන් වහන්සේ වන්දනාකොට නැවත ධර්මය ඉගෙන ගැනීම ආරම්භ කළ සේක. යම් ආශ්‍රවයෝ උත්පාද,ඨිති,භංග යන වර්තමාන උප්පන්න බවට පැමිණියේ නම් ඒ ආශ්‍රවයන් ප්‍රතිපත්තියෙහි යෙදීමෙන් ප්‍රහාණය කිරීමක් නැත.

ඉන් අනතුරුව “අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති – නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති” යන මෙම පදය ම ගෙන යම් ආශ්‍රවයන් ප්‍රහාණය වෙත් ද ඒ ආශ්‍රවයන් නොයෙක් ආකාර ඇති බව දැක්වීමට, විස්තර වශයෙන් දේශනා කිරීම සඳහා දේශනා ප්‍රභේදයන්හි දක්ෂ වූ ධර්මරාජයාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“අත්‌ථි භික්‌ඛවෙ ආසවා දස්‌සනා පහාතබ්‌බා, අත්‌ථි ආසවා සංවරා පහාතබ්‌බා, අත්‌ථි ආසවා පටිසෙවනා පහාතබ්‌බා, අත්‌ථි ආසවා අධිවාසනා පහාතබ්‌බා, අත්‌ථි ආසවා පරිවජ්‌ජනා පහාතබ්‌බා, අත්‌ථි ආසවා විනොදනා පහාතබ්‌බා, අත්‌ථි ආසවා භාවනා පහාතබ්‌බා”- මහණෙනි සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත, ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත, ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත, ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත, ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත, වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත, උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

දස්සනා පහාතබ්බා ආදී වශයෙන් දැක්වෙනුයේ සියළු ආශ්‍රවයන් නැසීමට යෙදෙන වූ පර්යයාන් (ක්‍රම) සතකි. ඒ පර්යායන් ඉදිරි ලිපි මඟින් පළ කෙරේ.

“සබ්බෙ සත්තා ආසවා මුච්චන්තු- සියළු සත්වයෝ ආශ්‍රවයන්ගෙන් මිදෙත්වා”

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි