පළමුවන ලිපියෙන් සබ්බාසවසංවරපරියායාදී පදයන් අටුවාවෙහි පැමිණෙන ආකාරයට විවරණය කළෙමු. මෙම ලිපියෙන් ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා සබ්බාසව සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ක්‍රම සත අතරින් පළමුවැන්න වන “දස්සනා පහාතබ්බා – සෝවාන් මාර්ග සඬ්ඛ්‍යාත දර්ශනයෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රවයන්” පිළිබඳ විග්‍රහ කෙරේ. පළමු ලිපියේදී දැක්වූ ආකාරයට මෙම පදය දෝෂ සහිතව බොහෝ අවස්ථාවලදී විග්‍රහ කෙරෙන බැවින් අවදි කරනා ලද ප්‍රඥාවකින් මෙම ලිපිය කියවිය යුතු වේ. එමෙන්ම මෙහි දේශනා පාලිය සහ අටුවා විග්‍රහය දීර්ඝ බැවින් මෙම ලිපිය දීර්ඝවීම වැළක්විය නොහැක. කාර්යබහුල වූ ජීවන රටාවක් ගත කරමින් ධර්මය ගවේශණය කරන ධර්මකාමී පින්වතුන් වෙතින් ‘කෙටියෙන් සරළව විනාඩි පහකින් පමණ කියවිය හැකි ලිපියක් වේ නම් මැනවි’ යන වචනය නිතර කියවුණද ගම්භීර වූ ධර්ම පර්යයාක් විනාඩි පහකින් වැනි කෙටි කාලයකින් අවබෝධ කරගත නොහැක බව දතයුතුය. ධර්මය ගැඹුරු නම් එය අවබෝධ කරගැනීමට ඊට සරිලන ආකාරයට තමන්ගේ කාලය යොදමින් නිවැරදි ක්‍රමයට එය ඉගෙන ගැනීම කරනු විනා අන් විකල්පයක් නොමැත. මඳ වූ උත්සාහයකින් ගැඹුරු ධර්මයක් අවබෝධ කරගැනීමට යෑමෙන් ධර්මාවාබෝධයක් ලැබීමට වඩා ධර්ම ප්‍රතිරූපකයක් ග්‍රහණය කරගැනීමට වැඩි ඉඩකඩක් ඇත. එබැවින් කල්ප කෝටි ගණනකින් අත්විඳින්නට ලැබෙන ධර්මයක් ඇසුරු කරන්නෙමි යන ප්‍රඥාවෙන් යුතුව දහම් ලිපිය කියවත්වා. නිවන් මඟ ශක්තිමත් කරගනිත්වා.
“දස්සනා පහාතබ්බා” සහ “භාවනා පහාතබ්බා පදය නිවැරදිව හඳුනා ගනිමු.

මෙම සූත්‍රයේ ‘දස්සනා පහාතබ්බා’ යන පදය ද අභිධර්ම පිටකයේ ‘දස්සනේන පහාතබ්බා ධම්මා’ පදය ද යන පද දෙකෙන් ම අදහස් කරනුයේ එකක් මය. එහි අර්ථය නම් සෝවාන් මාර්ගය මඟින් ප්‍රහාණ කටයුතු සංයෝජන ධර්මයන් ය. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයෝ ය. සෝවාන් මාර්ගය සඳහා “දස්සනෙන-දර්ශනයෙන්” යන අර්ථය ලැබෙනුයේ කවර හේතුවක් නිසා ද යත්, අති දීර්ඝ කාලයක් සසර සැරිසැරූ සත්වයා ප්‍රථම වරට සෝවාන් මාර්ගය මගින් නිර්වාණය දක්නා බැවිනි. ‘දස්සනේන‘ යන පාලි පදයට ‘දර්ශනයෙන්- දැකීමෙන්‘ යයි වචනාර්ථයෙහි පිහිටා ප්‍රකාශ කිරීම් නිවැරදිය. නමුත් මෙයින් අදහස් කෙරෙනුයේ ඇසින් දැකීමක් හෝ සිතෙහි රාගාදී ක්ලේෂයන් උපදින අවස්ථවේදී ඒ ක්ලේෂයන්ගේ ආදීනවය දකිමින් ඒ ක්ලේෂයන් තදංග, විෂ්කම්භන ආකාරයට යටපත් කිරීමක් නොව සෝවාන් මාර්ගයෙන් සමුච්ඡේද වශයෙන් ක්ලේෂයන් ප්‍රහාණය කරන අවස්ථවේදී නිර්වාණය දැකීමයි, අරමුණු කිරීමයි. තවද මේ දස්සනා පහාතබ්බා යන පදය සමඟ සබ්බාසව සූත්‍රයේ අවසානයේදී දක්වන්නා වූ ‘භාවනා පහාතබ්බා’ පදය ද පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. මෙම පදය අභිධර්මයේ දී පැමිණෙන්නේ ‘භාවනාය පහාතබ්බා’ යනුවෙනි. එහි අර්ථය නම් ‘ සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග තුනෙන් ප්‍රහාණය කළයුතු ධර්මයන්ය’. කවර හේතුවක් නිසා ඒ අර්ථය ලැබෙනුයේ ද යත්, එම මාර්ග සිත් තුනෙන් ප්‍රථම මාර්ගය වූ සෝවාන් මාර්ගයෙන් දුටු චතුරාර්ය සත්‍ය ධර්මයම වැඩීම් වශයෙන් හෙවත් දියුණු කිරීම් වශයෙන් උපදනා බැවිනි. එබැවින් ‘ භාවනා‘ යැයි කියනු ලැබේ. භාවනා යන පදය උපදවන සහ වඩන යන අර්ථයන්හි යෙදෙයි. (උප්පාදනවඞ්ඪනට්ඨෙන භාවනා ) එම මාර්ගත්‍රයෙන් නොදුටු නොවිරූ කිසිවක් නො දකී. එම මාර්ගත්‍රයෙන් සෝවාන් මාර්ගයෙන් දුටු නිර්වාණය ම දකී.

මෙතැන් පටන් අනුපිළිවෙලින් සූත්‍රය විස්තර කරනු ලැබේ.

කතමෙ ච, භික්‌ඛවෙ, ආසවා දස්‌සනා පහාතබ්‌බා? ඉධ, භික්‌ඛවෙ , අස්‌සුතවා පුථුජ්‌ජනො – අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකොවිදො අරියධම්‌මෙ අවිනීතො, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො සප්‌පුරිසධම්‌මෙ අවිනීතො – මනසිකරණීයෙ ධම්‌මෙ නප්‌පජානාති, අමනසිකරණීයෙ ධම්‌මෙ නප්‌පජානාති. සො මනසිකරණීයෙ ධම්‌මෙ අප්‌පජානන්‌තො අමනසිකරණීයෙ ධම්‌මෙ අප්‌පජානන්‌තො, යෙ ධම්‌මා න මනසිකරණීයා, තෙ ධම්‌මෙ මනසි කරොති, යෙ ධම්‌මා මනසිකරණීයා තෙ ධම්‌මෙ න මනසි කරොති.

මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආශ්‍රවයෝ කවfrla o? යත්: මහණෙනි, මේ ලොකයෙහි බුද්ධාදී ආර්යයන් නො දක්නා වූ ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි කරයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි නො කෙරෙයි.

“අස්සුතවා පුථුඡ්ජනො – අශ්‍රැතවත් පෘථග්ජනයා” යන්නෙහි අශ්‍රැතවත් භාවය නම් ආගම අධිගම අභාවයෙන් නොදන්නාවූ වූ අශ්‍රැතවත් භාවයයි. යම් පුද්ගලයෙකුට ස්කන්ධ, ධාතු, ආයතන ප්‍රතීත්‍ය සමුත්පාද සතිපට්ඨාත ආදියෙහි පාලිය ඉගෙන ගැනීම අර්ථ ඉගෙන ගැනීම විනිශ්චයන් නැති බව හේතුවෙන් මඤ්ඤ්නා ප්‍රතිශේධ කරන්නා වූ ආගම ශ්‍රැතවත් බවක් නැත්තේ ද ප්‍රතිපත්තියෙන් අධිගමනය කළයුතු (අවබෝධ කළයුතු) මාර්ග ඥානයන් අවබෝද නොකිරීම හේතුවෙන් අධිගම ශ්‍රැතවත් බවක් නැත්තේ ද ඒ පුද්ගලයා ආගම අධිගම අභාවයෙන් අශ්‍රැතවත් වේ.

මෙහි භාග්‍යවතුන් වහන්සේ වදාළා වූ පෘථග්ජනයන් වර්ග දෙකකි. එනම් අන්ධපෘථග්ජනයා සහ කළ්‍යාණපෘථග්ජනයායි. එහිලා යමෙකුට ස්කන්ධ ධාතු ආයතනයන්හි පාලිය ඉගෙන ගැනීම, අර්ථ ඉගෙන ගැනීම, ධාරණය, ශ්‍රවණය, ප්‍රත්‍යවේක්ෂණය නැත්තේ වේ ද හෙතෙම අන්ධපෘථග්ජනයා ය. යමෙකුට එකී ධර්මයන් පවතී ද හෙතෙමේ කළ්‍යාණපෘථග්ජනයාය. මෙම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අදහස් කරනුයේ අන්ධපෘථග්ජනයාය. ඒ අන්ධපෘථග්ජනයා පහත ලක්ෂණයන්ගෙන් යුක්ත වේය.

■ අරියානං අදස්සාවී – මේ ලෝකයෙහි බුද්ධාදී ආර්යයන් නො දක්නාවූ
■ අරියධම්මේ අකොවිදො – සතිපට්ඨානාදී ආර්යය ධර්මයෙහි අදක්ෂ වූ
■ අරියධම්මෙසු අවිනීතො – ආර්යධර්මයන්හි නොහික්මුණා වූ
■ සප්පුරිසානං අදස්සාවී – බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු
■ සප්පුරිසධම්මෙ අකොවිදො – සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ
■ සප්පුරිසධම්මෙසු අවිනීතො – සත්පුරුෂධර්මයන්හි නොහික්මුණු

මෙහි “මනසිකරණීයෙ ධම්මෙ නප්පජානාතී – මෙනෙහි කළයුතු ධර්මයන් නො දනී” යනු ආවර්ජනා කළයුතු, නැවත නැවත ගත යුතු ධර්මයන් නොදනී. “අමනසිකරණීයෙ ධම්මෙ නප්පජානාතී – මෙනෙහි නො කළ යුතු ධර්මයන් නොදනී” යනු එයින් විරුද්ධාර්ථයයි. සෙසු පදයන්හි ද මේ ආකාරයෙන් දත යුතු යි. යම් හේතුවකින් වනාහී මේ ධර්මයන් මනසිකාරය කළයුතුය, මේ ධර්මයන් මනසිකාරය කළ යුතුය යැයි ධර්මතා වශයෙන් නියමයක් නැත. ඒ කුසල ධර්මයක් අරමුණු කොට අකුසල් ද ඇතිවීම ද, අකුසල ධර්මයක් අරමුණු කොට කුසලයන් ද ඇතිවීම ද හේතුවෙනි. නමුත් මනසිකාරය කළයුතු ආකාරයන් ඇත. යම් ආකාරයකින් මනසිකාරය කරනු ලබන කල්හි අකුසලයන්ගේ ඉපදීමට ආසන්න හේතුව වේද ඒ ආකාරයට මනසිකාරය නො කළ යුතුයි. එහෙයින් පහතින් දැක්වෙන්නා වූ “යස්ස භික්ඛවෙ ධම්මෙ මනසිකරොතො අනුපන්නො වා කාමාසවො උප්පජ්ජති” යනාදී වශයෙන් වදාළ සේක.

කතමෙ ච, භික්‌ඛවෙ, ධම්‌මා න මනසිකරණීයා යෙ ධම්‌මෙ මනසි කරොති? යස්‌ස, භික්‌ඛවෙ, ධම්‌මෙ මනසිකරොතො අනුප්‌පන්‌නො වා කාමාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා කාමාසවො පවඩ්‌ඪති; අනුප්‌පන්‌නො වා භවාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා භවාසවො පවඩ්‌ඪති; අනුප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො පවඩ්‌ඪති – ඉමෙ ධම්‌මා න මනසිකරණීයා යෙ ධම්‌මෙ මනසි කරොති.

මහණෙනි, යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරෙක් ද? යත්: මහණෙනි, යම් ධර්මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාශ්‍රවය හෝ උපදී ද, උපන් කාමාශ්‍රවය හෝ වැඩේ ද, නූපන් භවාශ්‍රවය හෝ උපදී ද, උපන් භවාශ්‍රවය හෝ වැඩේ ද, නූපන් අවිද්‍යාශ්‍රවය හෝ උපදී ද, උපන් අවිද්‍යාශ්‍රවය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්මයෝ යි.

මෙහි “යස්ස – මෙනෙහි කරන්නහුට (යම් පුද්ගලයෙකුට)” යනු යම් අශ්‍රැතවත් පෘථග්ජනයෙකුට ය. “මනසිකරොතො – ආවර්ජනය කරන්නහුට ය, නැවත නැවත ගන්නහුට ය”. “කාමාසවො – කාමාශ්‍රවය” යනු රූපාදී පඤ්චකාමගුණික රාගයයි. “භවාසවො – භවාශ්‍රවය” යනු රූප අරූප භවය කෙරෙහි ඇති ඡන්දරාගයද, මහද්ගත ධ්‍යානයන්ට ඇති ධ්‍යාන නිකාන්තික තෘෂ්ණාව සහ ශාස්වත-උච්ඡේද දෘෂ්ටි සමඟ පවතින්නාවූ ලෝභයයි. මෙසේ දිට්ඨාශ්‍රවය ද භවාශ්‍රවයෙහි සමෝධානය (ඇතුලත් වේ) වේ. “අවිඡ්ජාසවො – අවිද්‍යාශ්‍රවය” යනු චතුරාර්ය සත්‍යයෙහි නොදැනීමයි. මෙම ආශ්‍රවයන් අතරින් කාමගුණයන් ආශ්වාදය කිරීමෙන් නූපන් කාමාශ්‍රවය ද උපදිත්, උපන් කාමාශ්‍රවය වැඩෙත්. මහද්ගතධර්මයන් ආශ්වාදය කිරීමෙන් නූපන් භවාශ්‍රවය ද උපදිත්, උපන් භවාශ්‍රවය වැඩෙත්. කාම රූප අරූප යන ත්‍රෛභූමික ධර්මයන්හි සතර විපල්‍යාසයහේතූභාව වශයෙන් මනසිකාරය කිරීමෙන් නූපන් අවිද්‍යාශ්‍රවය ද උපදිත්, උපන් අවිද්‍යාශ්‍රවය ද වැඩෙත්.

කතමෙ ච, භික්‌ඛවෙ, ධම්‌මා මනසිකරණීයා යෙ ධම්‌මෙ න මනසි කරොති? යස්‌ස, භික්‌ඛවෙ, ධම්‌මෙ මනසිකරොතො අනුප්‌පන්‌නො වා කාමාසවො න උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා කාමාසවො පහීයති; අනුප්‌පන්‌නො වා භවාසවො න උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා භවාසවො පහීයති; අනුප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො න උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො පහීයති – ඉමෙ ධම්‌මා මනසිකරණීයා යෙ ධම්‌මෙ න මනසි කරොති.

මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ නූපදී ද, උපන් කාමාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් භවාස්‍රවය හෝ නූපදී ද, උපන් භවාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ නූපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ යි.

කාමයන් නම් වූ මේ ධර්මයන් අනිත්‍යය ය, දුක්ඛය ය, වෙනස් වන ධර්ම ඇත්තේය ආදී වශයෙන් කාමගුණයන්ගේ ආදීනව දැකීම පෙරටු කරගත් නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපත්තියෙන් ඡන්දරාගය විෂ්කම්භනය කරන්නහුට ද ප්‍රහාණය කරන්නහුට ද නූපන් කාමාශ්‍රවය නූපදියි, උපන් කාමාශ්‍රවය ද ප්‍රහාණය වේ. මහද්ගත ධර්මයන්හි මෙන්ම සියළු ත්‍රෛභූමික ධර්මයන්හි ද ආදීනව දැකීම පෙරටු කරගත් අනිත්‍ය මනසිකාර පැවැත්වීම් වශයෙන් නිස්සරණ ප්‍රතිපත්තිය හේතුවෙන් නූපන් භවාශ්‍රවය සහ අවිද්‍යාශ්‍රවය නූපදිත්, උපන්නාවූ භවාශ්‍රවය සහ අවිද්‍යාශ්‍රවය ප්‍රහාණය වෙත් යැයි මෙසේ තණ්හා පක්ෂයෙහි දැක්වූ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ශුක්ල පක්ෂය ද දත යුතු යි.

තස්‌ස අමනසිකරණීයානං ධම්‌මානං මනසිකාරා මනසිකරණීයානං ධම්‌මානං අමනසිකාරා අනුප්‌පන්‌නා චෙව ආසවා උප්‌පජ්‌ජන්‌ති උප්‌පන්‌නා ච ආසවා පවඩ්‌ඪන්‌ති.

මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්‍රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති.

තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා – මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්” යනු මනසිකාරය කිරීම හේතුවෙන් යන්නයි. යම් හේතුවකින් ඒ ධර්මයන් මනසිකාරය කරයිද ඒ හේතුවෙන් යැයි අදහස් වේ. “ මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා – මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන්” යන්නෙහි අර්ථය ද එම ක්‍රමයෙන් ගතයුතුයි. මෙය “අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඞ්ඪන්ති – නූපන් ආශ්‍රවයන් ද උපදිත්, උපන්නා වූ ආශ්‍රවයන් වැඩෙත්” යනු පෙර දැක්වූ ආශ්‍රවයන්ගේ සාමාන්‍ය පැහැදිලි කිරීමයි.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ “සො එවං අයෝනිසෝ මනසිකරොති, අහොසිං නු ඛො අහං” ආදී වශයෙන් විචිකිච්ඡා ශීර්ෂයෙන් දිට්ඨාශ්‍රවය දැක්වූ සේක.

සො එවං අයොනිසො මනසි කරොති – ‘අහොසිං නු ඛො අහං අතීතමද්‌ධානං? න නු ඛො අහොසිං අතීතමද්‌ධානං? කිං නු ඛො අහොසිං අතීතමද්‌ධානං? කථං නු ඛො අහොසිං අතීතමද්‌ධානං? කිං හුත්‌වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්‌ධානං? භවිස්‌සාමි නු ඛො අහං අනාගතමද්‌ධානං? න නු ඛො භවිස්‌සාමි අනාගතමද්‌ධානං? කිං නු ඛො භවිස්‌සාමි අනාගතමද්‌ධානං? කථං නු ඛො භවිස්‌සාමි අනාගතමද්‌ධානං? කිං හුත්‌වා කිං භවිස්‌සාමි නු ඛො අහං අනාගතමද්‌ධාන’න්‌ති? එතරහි වා පච්‌චුප්‌පන්‌නමද්‌ධානං [පච්‌චුප්‌පන්‌නමද්‌ධානං ආරබ්‌භ (ස්‍යා.)] අජ්‌ඣත්‌තං කථංකථී හොති – ‘අහං නු ඛොස්‌මි? නො නු ඛොස්‌මි? කිං නු ඛොස්‌මි? කථං නු ඛොස්‌මි? අයං නු ඛො සත්‌තො කුතො ආගතො? සො කුහිං ගාමී භවිස්‌සතී’ති?

හෙ තෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි. දැන් වර්තමානයෙහි ද තම කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ, මම නො වෙම් දෝ හෝ, කවරෙක් වෙම් දෝ හෝ, කෙසේ වෙම් දෝ හෝ, මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ, හේ කොයි යන්නේ දෝ හෝ යි.

මෙම පාලියෙහි අර්ථය නම් යම් අශ්‍රැතවත් පෘථග්ජනයෙක් හට මෙහි දක්වන ලද ක්‍රමයෙන් ඒ ආශ්‍රවයෝ උපදිත් ද, ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා අයෝනිසෝ ආකාරයට අමාර්ගයෙන් මනසිකාරය කරයි. කෙසේද යත් “අහොසිං නු ඛො අතීත මද්ධානං -පෙ- සො කුහිං ගාමී භවිස්සතීති” වශයෙනි. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාට යම් ආකාරයකින් “අහොසිං නු ඛො අතීතමද්ධානං” ආදී ක්‍රමයට දේශනා කරනා ලද දහසය ආකාර වූ විචිකිච්ඡාව උපදියිද ඒ ආකාරයෙන් මනසිකාරය කරයි.

දහසය ආකාර වූ විචිකිච්ඡාව –
1. අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ ? 2. න නු ඛො අහොසිං අතීතමද්ධානං? අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ ?
මෙහි “අහොසිං නු ඛො අහං අතීතමද්ධානං න නු ඛො අහොසිං අතීතමද්ධානං” යනු ශාස්වත ආකාරය ද සහ අධිච්චසමුප්පන්න ආකරය ද හේතුවෙන් අතීතයෙහිදී තමාගේ විද්‍යමානත්වය ද අවිද්‍යමානත්වය ද පිළිබඳ සැක කරයි. ශාස්වත දෘෂ්ටිය යනු ජාතියෙන් ජාතියට යමින් සුවදුක් විඳින නොමැරෙන ආත්මයක් ඇතැයි යන දෘෂ්ටියයි. ඒ ශාස්වත සැකය නිසා “අතීත කාලයෙහි වූයෙම් ද” යැයි අතීතයේ තමාගේ විද්‍යමානත්වය පිළිබඳ සැක කරයි. (අහොසිං නු ඛො අහං අතීතමද්ධානං). අධිච්චසමුප්පන්න දෘෂ්ටිය නම් “සත්ත්වයා කිසිම හේතුවකින් තොරව ඉබේ ම ඇති වන්නේය. මම පෙර නොවිසුවෙමි. දැනට මම සත්ත්වයෙක් වී සිටිමි” වශයෙන් පවතින දෘෂ්ටියයි. ඒ අධිච්චසමුප්පන්න සැකය නිසා “මම යම් තැනක පටන් වීමි. ඉන් පෙර නොවූයෙම් ද” යැයි තමාගේ අවිද්‍යමානත්වය ද සැක කරයි (න නු ඛො අහොසිං අතීතමද්ධානං).

බාල පෘථග්ජනයා උම්මත්තකයෙකු වැනිය, කිසියම් හේතුවක් නිසා සැකය පවත්වයි ද අයෝනිසෝ මනසිකාරය ඒ විචිකිච්ඡාවෙහි හේතුව වේ. මෙසේ අයෝනිසෝ මනසිකාරයට හේතුව කුමක්ද යැයි පැනයක් වේ නම් ඒ පෘථග්ජනභාවය ද ආර්යයන් වහන්සේලා නොදැකීම ද ඊට හේතුව වේ. පෘථග්ජනයා යෝනිසෝ මනසිකාරය නොකරන්නේ ද යන පැනය මෙහිලා වේ. මනසිකාරය නොකරන්නේ නොවේ. පෘථග්ජන පුද්ගලයාගේ යෝනිසෝ මනසිකාරයට පෘථග්ජනභාවය හේතුව නොවේ. සද්ධර්මශ්‍රවණය, කළ්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම ආදිය ඒ යෝනිසෝ මනසිකාරයට හේතු වේ. උපමාවකින් දැක්වුවහොත් මත්ස්‍යමාංශයන් ස්වකීය ප්‍රකෘති ස්වභාවයෙන් සුගන්ධවත් නොවී, නොයෙක් කුළුබඩු ආදිය යොදා සකස් කිරීම හේතුවෙන් සුගන්ධවත් වන්නාක් මෙනි.

3. කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ ?
“කිං නු ඛො අහොසිං අතීතමද්ධානං” යනු ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ආදී ජාති නිශ්‍රයෙන්ද, ගෘහස්ථ ප්‍රවෘජිත ආදි ලිඬ්ග නිශ්‍රයෙන් ද ක්ෂත්‍රියයෙක් වූයෙම් ද? බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය, ගෘහස්ථ, ප්‍රවෘජිත, දේව, මනුශ්‍යයන් අතරින් යම් කෙනෙක් වූයෙම් ද? යනුවෙන් සැක කිරීමයි.

4. කථං නු ඛො අහොසිං අතීතමද්ධානං? අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ ?
කවර ආකාර සණ්ඨානයක් (සටහනක්) නිසා දීර්ඝ සත්තවයෙක් වූයෙම් ද, හ්‍රස්ව, සුදු, කළු, මධ්‍යම ප්‍රමාණික, අප්‍රමාණික (මධ්‍යම ප්‍රමාණයෙන් වෙනස් වූ) ආදි සත්ත්වයන් අතරින් එක්තර සත්තවයෙක් වූයෙම් ද, යැයි සැක කරයි.

5. කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ ?
“කිං හුත්වා කිං අහොසිං” යනු ජාති ආදිය නිසා ක්ෂත්‍රියයෙකු වී බ්‍රාහ්මණයෙකු වූයෙම් දෝ හෝ -පෙ- දෙවියෙකු වී මනුෂ්‍යයෙකු වූයෙම් දෝ හෝ යැයි ස්වකීය පෙර පසු වශයෙන් සැක කරයි. සියලු තැන්හි පාලියෙහි “අද්ධානං” යනු කාලය සඳහා ඇති නාමයකි.

6. භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං? මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ ? 7. න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ ?
ඉහත “අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ ? න නු ඛො අහොසිං අතීතමද්ධානං? අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ” යනු අතීකාලයේ වූයෙම් ද නූවූයෙම් ද යනුවෙන් ශාස්වතාකාරයට ද උච්ඡේදාකාරයට ද ගෙන අතීතය පිළිබඳව සැක කිරීමයි. මෙහිදී “භවිස්සාමි” යනුවෙන් අනාගත කාලය ගෙන අනාගත කාලයෙහි වෙම් ද නොවෙම් ද යැයි ශාස්වතාකාරය සහ උච්ඡේදාකාරය ගෙන ස්වකීය විද්‍යමානත්වය සහ අවිද්‍යමානත්වය පිළිබඳව සැක කරයි.

8. කිං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ ? 9. කථං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ ? 10. කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානංන්ති? මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි ?
ඉහත “කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? කථං නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? ” යනුවෙන් අතීතය පිළිබඳව දක්වන ලදී. මෙහිදී එම නය ක්‍රමයෙන්ම අනාගතය ගෙන අනාගතය පිළිබඳව සැක කරයි.

11. එතරහි වා පච්චුප්පන්නමද්ධානං (පච්චුප්පන්නමද්ධානං ආරබ්භ (ස්‍යා.)) අජ්ඣත්තං කථංකථී හොති -“අහං නු ඛොස්මි?” – දැන් වර්තමානයෙහි ද තමා කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ ?12. “නො නු ඛොස්මි?” – මම නො වෙම් දෝ හෝ ? 13. “කිං නු ඛොස්මි?” – කවරෙක් වෙම් දෝ හෝ ? 14. “කථං නු ඛොස්මි?” – කෙසේ වෙම් දෝ හෝ ? 15. “අයං නු ඛො සත්තො කුතො ආගතො?” – මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ ? 16. “සො කුහිං ගාමී භවිස්සතීති?” – ඒ සත්ත්වයා කොයි යන්නේ දෝ හෝ යි ?

“එතරහි වා පච්චුප්පන්නමද්ධානං – දැන් වර්තමානයෙහි ද” යනුවෙන් අදහස් කරනුයේ මේ මොහොත හෝ ප්‍රතිසන්ධියේ පටන් චුතිය කෙළවරකොට ඇත්තාවූ සියලු වූ වර්තමානය කාලයයි. ඒ සියළු කාලය ගෙන “අජ්ඣත්තං කථංකථී හොති -තමා කෙරෙහි සැක ඇත්තේ වෙයි” යනු ස්වකීය ස්කන්ධයන්හි සැක කරයි. ඒ සැකය සය ආකාර වේ.

අහං නු ඛොස්මි?” මම වෙම් දෝ හෝ ? – මම වෙම් දෝ හෝ යනුවෙන් තමා ඇත්තේ දැයි (අස්තිභාවය) සැක කරයි. එසේ සැක කිරීම යුතු ද? එසේ යුතු ද අයුතු ද යැයි සීතීමේ කවර ප්‍රයෝජනයක් ද? මෙම සංශය පිළිබඳව මෙම කථාවස්තුව උදාහරණයකි. සුළුමවගේ පුත්‍රයා මුණ්ඩ නම් වේ. එම නමේ අර්ථය නම් “හිස මුඩු කළ තැනැත්තා” යන්න යි. මහමවගේ පුත්‍රයා අමුණ්ඩ නම් වේ. එම නමේ අර්ථය නම් “හිස මුඩු නොකළ තැනැත්තා” යන්නයි. ඥාතීහු කුලධර්මතාවක් වශයෙන් නින්දේ සිටියදී ම ඒ පුත්‍රයාගේ හිස මුඩු කළහ. ඔහු නින්දෙන් අවදිවී “මම සුළුමවගේ පුත්‍රයා වූ මුණ්ඩ වෙම් දෝ හෝ” යැයි සැක කළේය.

“නො නු ඛොස්මි?” – මම නො වෙම් දෝ හෝ ? – මම නොවෙම් දෝ හෝ යනුවෙන් තමා නැත්තේදැයි (නාස්තිකභාවය) සැක කරයි. මේ ඒ සඳහා උදාහරණ කථාවස්තූන් වේ. එක් පුරුෂයෙක් මසුන් අල්වනුයේ ජලයේ බොහෝ වේලා එක්තැනකට වී සිටීමෙන් අතිශයෙන් සීතල වුණු (ගල් ගැසුණු) තමාගේ කලවා මාංශය මත්ස්‍යයෙකු යැයි සිතා පහර දුන්නේය. තවත් පුද්ගලයෙක් සොහොනක් ආසන්නයේ කෙතක් රකිනුයේ බියවී ගුලිගැහී නිදාගත්තේය. ඔහු නින්දෙන් අවදිවී ස්වකීය දණහිස් දෙක යක්ෂයන් දෙදෙනෙක් යැයි සිතා පහර දුන්නේය. මෙසේ මම නෙවෙම් දෝ හෝ යනුවෙන් සැක කරයි.

“කිං නු ඛොස්මි?” – කවරෙක් වෙම් දෝ හෝ ? – තමා කවරෙක් වේ ද යැයි සැක කරයි. ක්ෂත්‍රියයෙකු වී තමා ක්ෂත්‍රියයෙක් දැයි සැක කරයි, බ්‍රාහ්මණයෙකු වී තමා බ්‍රාහ්මණයෙකු දැයි ආදි වශයෙන් සැක කරයි. දෙවියෙකු වී තමාගේ දේවභාවය සැක කරන්නෙකු නැත. දෙවියා “මම රූපාවචර දෙවියෙක් ව වෙම් ද, අරූපාවචර දෙවියෙක් වෙම් ද යන ආකාරයෙන්” සැක කරයි. ක්ෂත්‍රියාදීන් කවර හේතුවක් නිසා තමා කවරෙක් දැයි නොදනිත් ද යන පැනය මෙහිදී මතු වේ. ඒ රජවරු ආදීහු ඒ ඒ කුලයේ ඉපදුනේ ද යන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් ම නොදන්නා බැවිනි. ගෘහස්ථයන් වන්නා වූ පොථලිකාදීන් (පොත්ථලික නම් ජනයා) ද ප්‍රවෘජිත සංඥා ඇත්තෝය. ප්‍රවෘජිතයන් ද “මාගේ කර්මය (පැවිදි වීම සඳ හා කරන ලද උපසම්පදාදී කර්මාදිය) කෝප්‍ය වූයේ ද” යැයි සිතමින් ගෘහස්ථ සංඥා ඇත්තාහු වෙත් මනුෂ්‍යයෝ ද ඇතැම් රජවරුන් මෙන් තමා පිළිබඳව දේව සංඥා ඇත්තාහු වෙති

“කථං නු ඛොස්මි?” – කෙසේ වෙම් දෝ හෝ ? – කවර ආකාර වූ සණ්ඨානයක් (සටහනක්) නිසා දීදිර්ඝ සත්ත්වයෙක් වෙම් ද, හ්‍රස්ව, සුදු, කළු, මධ්‍යම ප්‍රමාණික, අප්‍රමාණික (මධ්‍යම ප්‍රමාණයෙන් වෙනස් වූ) ආදි සත්ත්වයන් අතරින් එක්තර සත්ත්වයෙක් වෙම් ද, යැයි සැක කරයි. මෙහිදී හුදෙක් ශරීර අභ්‍යන්තරයෙහි ජීවය නම් වූ දෙයක් ඇත යැයි ගෙන ඒ ජීවයේ සණ්ඨානය (සටහන) නිසා දීර්ඝ සත්තවයෙක් වෙම් ද, හ්‍රස්ව සත්ත්වයෙක් වෙම් ද ආදි එක්තරා සටහනක් ඇත්තෙක් යැයි සැක කරනුයේ “කථං නු ඛොස්මි?” යැයි දත යුතු යි. ප්‍රත්‍යුත්පන්න කාලයේදී ශරීර සටහන නොදන්නා වූ පුද්ගලයෙක් නම් නැත.

“කථං නු ඛොස්මි?” – කෙසේ වෙම් දෝ හෝ ? – කවර ආකාර වූ සණ්ඨානයක් (සටහනක්) නිසා දිර්ඝ සත්තවයෙක් වෙම් ද, හ්‍රස්ව, සුදු, කළු, මධ්‍යම ප්‍රමාණික, අප්‍රමාණික (මධ්‍යම ප්‍රමාණයෙන් වෙනස් වූ) ආදී සත්ත්වයන් අතරින් එක්තර සත්තවයෙක් වෙම් ද, යැයි සැක කරයි. මෙහිදී හුදෙක් ශරීර අභ්‍යන්තරයෙහි ජීවය නම් වූ දෙයක් ඇත යැයි ගෙන ඒ ජීවයේ සණ්ඨානය (සටහන) නිසා දීර්ඝ සත්තවයෙක් වෙම් ද, හ්‍රස්ව සත්තවයෙක් වෙම් ද ආදී එක්තරා සටහනක් ඇත්තෙක් යැයි සැක කරනුයේ “කථං නු ඛොස්මි?” යැයි දතයුතුයි. ප්‍රත්‍යුත්පන්න කාලයේදී ශරීර සටහන නොදන්නා වූ පුද්ගලයෙක් නම් නැත.

“අයං නු ඛො සත්තො කුතො ආගතො?” මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ ? – ආත්මභාවය කොතැනකින් පැමිණයේද යැයි සැක කරයි.

“සො කුහිං ගාමී භවිස්සතීති?” – ඒ සත්ත්වයා කොයි යන්නේ දෝ හෝ යි ? – ආත්මභාවය කොතැනකට යන්නේද යැයි සැක කරයි.

තස්‌ස එවං අයොනිසො මනසිකරොතො ඡන්‌නං දිට්‌ඨීනං අඤ්‌ඤතරා දිට්‌ඨි උප්‌පජ්‌ජති. ‘අත්‌ථි මෙ අත්‌තා’ති වා අස්‌ස [වාස්‌ස (සී. ස්‍යා. පී.)] සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘නත්‌ථි මෙ අත්‌තා’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘අත්‌තනාව අත්‌තානං සඤ්‌ජානාමී’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘අත්‌තනාව අනත්‌තානං සඤ්‌ජානාමී’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘අනත්‌තනාව අත්‌තානං සඤ්‌ජානාමී’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; අථ වා පනස්‌ස එවං දිට්‌ඨි හොති – ‘යො මෙ අයං අත්‌තා වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම්‌මානං විපාකං පටිසංවෙදෙති සො ඛො පන මෙ අයං අත්‌තා නිච්‌චො ධුවො සස්‌සතො අවිපරිණාමධම්‌මො සස්‌සතිසමං තථෙව ඨස්‌සතී’ති. ඉදං වුච්‌චති, භික්‌ඛවෙ , දිට්‌ඨිගතං දිට්‌ඨිගහනං දිට්‌ඨිකන්‌තාරං දිට්‌ඨිවිසූකං දිට්‌ඨිවිප්‌ඵන්‌දිතං දිට්‌ඨිසංයොජනං. දිට්‌ඨිසංයොජනසංයුත්‌තො, භික්‌ඛවෙ, අස්‌සුතවා පුථුජ්‌ජනො න පරිමුච්‌චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්‌ඛෙහි දොමනස්‌සෙහි උපායාසෙහි; ‘න පරිමුච්‌චති දුක්‌ඛස්‌මා’ති වදාමි.

මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. යලි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශලකර්මවිපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාශ්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේ ය යි කියා යි. මහණෙනි, මෙය දෘෂ්ටිගත යයි ද, දෘෂ්ටිගහන ය යි ද, දෘෂ්ටිකාන්තාර ය යි ද, (සම්දිටු විනිවිදිනා හෙයින්) දෘෂ්ටිවිශුක ය යි ද, දෘෂ්ටිසංයෝජන ය යි ද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.

මෙසේ දහසය වැදෑරුම් වූ විචිකිච්ඡාව දක්වා විචිකිච්ඡා ශීර්ෂයෙන් දිට්ඨාශ්‍රවය දැක්වීම සඳහා මෙසේ වදාළහ. මෙම පාලියෙහි ඒ පුද්ගලයා හට යම් ආකාර බඳු වූ මේ විචිකිච්ඡාව උපදී ද, ඒ ආකාරයෙන් අයෝනිසෝ මනසිකාරය කරන ඒ විචිකිච්ඡාව ඇත්තා වූ ඒ පුද්ගලයාගේ අයෝනිසෝ මනසිකාරය ථාමගත වූ බැවින් (ශක්තිමත්ව ඇති බැවින්) සය වැදෑරුම් වූ දෘෂ්ටීන් අතරින් එකක් උපදී යැයි වදාරන ලදී. (පහතින් විස්තර කෙරේ)

■ “අත්ථි මෙ අත්තාති වා අස්ස ඤවාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති” – මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාස්වත) දෘෂ්ටිය උපදී. – මාගේ ආත්මය ඇතැයි මෙසේ උපදින ශාස්වත දෘෂ්ටිය නම් අතීත අනාගත වර්තමාන යන සියලු කාලයන්හි තමාගේ ඇති බව (තමා ඇතැයි) යන දෘෂ්ටිය ගැනීමයි. ‘සච්චතො’ යනු ඒ දෘෂ්ටිය සත්‍ය වශයෙන් ගැනීමයි. ‘ථෙතතො’ යනු තමාගේ ඒ දෘෂ්ටිය ස්ථීර වශයෙන්, දැඩි වශයෙන් ගැනීමයි. නොහොත් අතීත අනාගත වර්තමාන යන භව තුනෙහි ම ඇති බව ගන්නා වූ දෘෂ්ටියයි.

■ “නත්ථී මෙ අත්තාති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති” – මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. – මෙයින් අදහස් කරන්නාවූ උච්ඡේද දෘෂ්ටිය නම් ඒ ඒ භවයේ ප්‍රකටව සිටින්නා වූ සත්තවයන්ගේ නාස්තික භාවය ගැනීමයි. නොහොත් අතීත අනාගත භවයන්හි ආත්ම භාවයක් නැත යැයි ගැනීමයි. ගින්නට පුදනා ලද දෙය අළුවලින් කෙළවර වන්නාක් මෙන් භවය ද මරණින් මතු නොවන්නේය යැයි මේ දෘෂ්ටිය යි. අතීතයේ පමණක් නොවීමි යැයි ගන්නා වූ අධිච්චසමුප්පන්න දෘෂ්ටික පුද්ගලයාගේ දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටිය මෙන් වේ.

■ අත්තනාව අනත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති”- (සංඥාස්කන්ධ සඬ්ඛ්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධ සඬ්ඛ්‍යාත) අනාත්මය හැඳින ගනිමියි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. – මෙයින් අදහස් කරනුයේ සංඥාස්කන්ධය ආත්මය යැයි ගෙන සෙසු ස්කන්ධයන් සතර ආත්ම නොවේය යැයි ගෙන සංඥාවෙන් සෙසු ස්කන්ධ සතර දැන ගන්නා වූ පුද්ගලයා හට මෙම දෘෂ්ටිය වේ.

■ “අනත්තනාව අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති” – අනාත්ම වූ (සංඥා සඬ්ඛ්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධ සඬ්ඛ්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී – මෙයින් අදහස් කෙරෙනුයේ සංඥාස්කන්ධය ආත්ම නොවේය. සෙසු ස්කන්ධ සතර ආත්මය යැයි ගෙන සංඥාවෙන් ඒ සංඥාව හැර සෙසු ස්කන්ධයන් දක්නා වූ පුද්ගලයා හට මෙම දෘෂ්ටිය ඇති වේ.

■ “අනත්තනාව අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති” – අනාත්ම වූ (සංඥාසඬ්ඛ්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඬ්ඛ්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී – මෙයින් අදහස් කෙරෙනුයේ සංඥාස්කන්ධය ආත්ම නොවේ ය. සෙසු ස්කන්ධ සතර ආත්මය යැයි ගෙන සංඥාවෙන් ඒ සංඥාව හැර සෙසු ස්කන්ධයන් දක්නා වූ පුද්ගලයා හට මෙම දෘෂ්ටිය ඇති වේ.

■ “අථ වා පනස්ස එවං දිට්ඨි හොති – යො මෙ අයං අත්තා වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති සො ඛො පන මෙ අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සති” – . යළි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශල කර්ම විපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාස්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේය යි කියා යි. – මෙහි “වදො වෙදෙය්‍ය – මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ” යනුවෙන් අදහස් කරනුයේ ශාස්වත දෘෂ්ටියෙන් ම අභිනිවේශනය කරන ආකාරය යි. මෙහි ‘වදො වෙදෙය්‍ය’ වන වචනයෙහි “වදො” යනු යම් පුද්ගලයෙක් කතා කරනුයේ ද හෙතෙමේ “වදො” නම් වේ. වචීකර්මය කරන තැනැත්තා යැයි මෙයින් අදහස් වේ. යම් පුද්ගලයෙක් විඳිනු ලබන්නේ ද එහෙයින් වෙදෙය්‍ය නම් වේ. කවරක් විඳින්නේ ද යත්, ඒ ඒ භවයන්හි කුසල අකුසල කර්මයන්ගේ විපාකයන් ය. “තත්‍ර තත්‍ර – ඒ ඒ තැන” යනු ඒ ඒ යෝනි, ගති, ස්ථිති. නිවාස, නිකායයන්හි හෝ ආරම්මණයන්හි ය. “නිච්චො-නිත්‍ය ය” යනු ඉපදීම් බිඳීම් නැති යන අර්ථය යි. “ධුවො” යනු ස්ථීර වූ සාර වූ යන අර්ථය යි. “සස්සතො” යනු සාර්වකාලික ය. “අවිපරිණාමධම්මො- නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය” යනු ස්වකීය ප්‍රකෘති භාවය අත් නොහරින්නා වූ ස්වභාවය යි. කටුස්සෙකු මෙන් නෙයෙක් ආකාරයන්ට (වර්ණයන්ට) නොපෙරළේ. “සස්සතිසමං තථෙව ඨස්සති – ශාස්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේය” යනු ලෞකික ව්‍යවහාරයට අනුව හිරු, සඳු, සමුද්‍ර, මහාමේරූ පර්වතය ශාස්වත දෑ වෙත්. ඒ ශාස්වත වන්නා වූ දෑ සමඟ සම වන්නා වූ දෙය “සස්සතිසමං” නම් වේ. යම්තාක් මේ ශාස්වත වන්නා වූ හිරුසඳු ආදිය පවතින්නේ ද ඒ තාක් කල් ඒ හා සම ව පවතින්නේය යන දෘෂ්ටිය ගන්නා වූ පුද්ගලයා හට මෙම දෘෂ්ටිය වේ.

මෙසේ සය ප්‍රභේද ඇත්තා වූ දිට්ඨාශ්‍රවය දේශනා කොට වදාළ සේක. සීලබ්බත පරාමාසය කාමාශ්‍රව ආදි වචනයෙන් ම දක්වන ලදහ. කාමසුඛය පිණිස ද භවසුඛය හා විභවසුඛය පිණිස ද අවිද්‍යායෙන් මැඩුණා වූ මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොයෙක් ආකාරයේ ශීලවෘතයන්හි යෙදෙත්. එහෙයින් සීලබ්බත පරාමාසය දේශනා නො කොට නොහොත් දිට්ඨී ග්‍රහණයෙන් සීලබ්බත පරාමාසය ලැබෙන බැවින් ඒ සීලබ්බත පරාමාසය සංයෝජනය නො දක්වා දැන් යම් පුද්ගලයෙක් විසින් සෝවාන් මාර්ගය මඟින් ප්‍රහාණ කටයුතු ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය දැක්වීම පිණිස “සුතවා ච ඛො භික්ඛවෙ” යනාදී වශයෙන් වදාළහ.

සුතවා ච ඛො, භික්‌ඛවෙ, අරියසාවකො – අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කොවිදො අරියධම්‌මෙ සුවිනීතො, සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කොවිදො සප්‌පුරිසධම්‌මෙ සුවිනීතො – මනසිකරණීයෙ ධම්‌මෙ පජානාති අමනසිකරණීයෙ ධම්‌මෙ පජානාති. සො මනසිකරණීයෙ ධම්‌මෙ පජානන්‌තො අමනසිකරණීයෙ ධම්‌මෙ පජානන්‌තො යෙ ධම්‌මා න මනසිකරණීයා තෙ ධම්‌මෙ න මනසි කරොති, යෙ ධම්‌මා මනසිකරණීයා තෙ ධම්‌මෙ මනසි කරොති.

මහණෙනි, ආර්යයන් දක්නාසුලු, ආර්යධර්මයෙහි දක්ෂ, ආර්යධර්මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ, සත්පුරුෂධර්මයෙහි මොනවට හික්මුණු ශ්‍රැතවත් (ආගමාධිගමසම්පන්න) ආර්යශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනී. මෙනෙහි නො කළ යුතු ධර්ම දනී. හෙ තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නො කළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම මෙනෙහි නො කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි නො කරයි. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි කරයි.

මෙහි අර්ථය පහත “සො ඉදං දුක්ඛං” යැයි  පහතින්  විස්තර වේ. “අරියානං අදස්සාවී” යනාදි වශයෙන් කියවෙන ආර්යශ්‍රාවකයා පිළිබඳව ඉහතින් විස්තර කරන ලද “අරියානං අදස්සාවී” යනාදි ලෙස දැක්වූ නයක්‍රමයේ ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් දතයුතු වේ. මෙහි ඇති “සුතවා අරියසාවකො-ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා” නම් සංස්කාරුපේක්ෂා ඥානයේ පටන් ගෝත්‍රභූ ඥානය දක්වා විදර්ශනාව වැඩූ විදර්ශනා ඥානයේ මස්තකප්‍රාප්ත යෝගියා ය. මේ අර්ථයෙන් මෙම ආර්යශ්‍රාවකයා කවරෙක් දැයි දතයුතු වේ.

කතමෙ ච, භික්‌ඛවෙ, ධම්‌මා න මනසිකරණීයා යෙ ධම්‌මෙ න මනසි කරොති? යස්‌ස, භික්‌ඛවෙ, ධම්‌මෙ මනසිකරොතො අනුප්‌පන්‌නො වා කාමාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා කාමාසවො පවඩ්‌ඪති; අනුප්‌පන්‌නො වා භවාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා භවාසවො පවඩ්‌ඪති; අනුප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො පවඩ්‌ඪති – ඉමෙ ධම්‌මා න මනසිකරණීයා, යෙ ධම්‌මෙ න මනසි කරොති.

මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් භවාස්‍රවය උපදී ද, උපන්නා වුත් භවාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් අවිද්‍යාස්‍රවය උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය වැඩේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ යි.

කතමෙ ච, භික්‌ඛවෙ, ධම්‌මා මනසිකරණීයා යෙ ධම්‌මෙ මනසි කරොති? යස්‌ස, භික්‌ඛවෙ, ධම්‌මෙ මනසිකරොතො අනුප්‌පන්‌නො වා කාමාසවො න උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා කාමාසවො පහීයති; අනුප්‌පන්‌නො වා භවාසවො න උප්‌පජ්‌ජති , උප්‌පන්‌නො වා භවාසවො පහීයති; අනුප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො න උප්‌පජ්‌ජති, උප්‌පන්‌නො වා අවිජ්‌ජාසවො පහීයති – ඉමෙ ධම්‌මා මනසිකරණීයා යෙ ධම්‌මෙ මනසි කරොති.

මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් භවාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් අවිද්‍යාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය ප්‍රහීණ වේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ යි.

තස්‌ස අමනසිකරණීයානං ධම්‌මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්‌මානං මනසිකාරා අනුප්‌පන්‌නා චෙව ආසවා න උප්‌පජ්‌ජන්‌ති, උප්‌පන්‌නා ච ආසවා පහීයන්‌ති. සො ‘ඉදං දුක්‌ඛ’න්‌ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛසමුදයො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යොනිසො මනසි කරොති. තස්‌ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්‌ති – සක්‌කායදිට්‌ඨි, විචිකිච්‌ඡා, සීලබ්‌බතපරාමාසො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, ආසවා දස්‌සනා පහාතබ්‌බා.

ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

“සො ඉදං දුක්ඛන්ති මනසිකරොති” යන ආදියෙහි විස්තරය දක්වනු ලැබේ. ඒ චතුරාර්ය සත්‍යය කර්මස්ථානික වූ ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයා තෘෂ්ණාව හැර ත්‍රෛභූමික වූ සියලු ධර්මයන් (ලෞකික සිත් 81, තෘෂ්ණාව හැර චෛතසික 51, රූප 28) ‘දුක්ඛය ය (දුක්ඛ සත්‍යයය වේ)’, තෘෂ්ණාව ‘සමුදය ය (සමුදය සත්‍යයය වේ)’, එම දෙකෙහි ම නොපැවැත්ම ‘නිරෝධය ය (නිරෝධ සත්‍යය වේ)’, නිරෝධයට පමුණවන්නා වූව ‘මාර්ගය (මාර්ග සත්‍යය වේ)’ යනුවෙන් මෙසේ පෙර පාලි වශයෙන් ද, අර්ථ වශයෙන් ද ඉගෙන ගත් චතුරාර්ය සත්‍යය කර්මස්ථානික වූ ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයා පසු කළෙක මේ ධර්මයන් පරිග්‍රහණය කොට ප්‍රත්‍යයන් දැක අනිත්‍යාදි ලෙසින් විදර්ශනාවට නංවයි. තෘෂ්ණාව හැර ත්‍රෛභූමික ධර්මයන් “ඉදං දුක්ඛං -මේ දුක්ඛය ය” යැයි මනසිකාරය කරයි. නැවත නැවත විදර්ශනාවර්ජනයට නංවයි. මේ සූත්‍රයෙහි සෝතාපත්ති මාර්ගය යම් තාක් වේ ද ඒ දක්වා මනසිකාර ශීර්ෂයෙන් විදර්ශනාව වදාළ සේක. එනම් මනසිකාරය යනුවෙන් අදහස් කරනුයේ විදර්ශනාවයි. ඒ දුක්ඛය ඇති කරන්නා වූ, ප්‍රභවය වන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද “ඉදං දුක්ඛසමුදයං-මේ දුක්ඛ සමුදය ය” යැයි මනසිකාරය කරයි. යම් හේතුවක් නිසා දුක්ඛය ද, සමුදය ද මෙම ස්ථානයට පැමිණ නිරුද්ධ වෙත් ද, නොපවතිත් ද ඒ නිර්වාණය නම් ස්ථානය “අයං දුක්ඛ නිරොධො- මේ දුක්ඛ නිරෝධය ය” යනුවෙන් මනසිකාරය කරයි. ඒ නිරෝධයට පමුණුවන්නා වූ මාර්ගය “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා – මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපාදාව ය” යනුවෙන් මනසිකාරය කරයි. මේ ක්‍රමයෙන්, මේ මාර්ගයෙන් සිත් ගෙන එයි, විදර්ශනාවට නංවයි.
මේ එය සිදුකරන ආකාරයයි. විදර්ශනාවේ අභිනිවේශය වන්නා වූ විදර්ශනා ප්‍රතිපදාව කාම රූප අරූප ආදි ත්‍රෛභූමික වෘත්තයෙහි ම පවතී. එහෙයින් “අත්ථි ඉමස්මිං කායෙ පඨවිධාතු, ආපොධාතු – මේ කයෙහි පඨවි ධාතුව ඇත, ආපෝ ධාතුව ඇත” යනාදි වශයෙන් ස්වකීය සන්තතියේ සතර මහාභූතයන් ද, ඒ අනුසාරයෙන් උපාදාරූපයන් ද පරිග්‍රහණය කොට ‘මෙය රූපස්කන්ධය වේ ය’යනුවෙන් ව්‍යවස්ථාපනය කරයි. ඒ රූපස්කන්ධය ව්‍යවස්ථාපනය කරන්නා වූ යෝගියා හට ඒ රූපස්කන්ධය අරමුණු කරමින් චිත්ත චෛතසික ධර්මයන් ‘මේ සතර නාමස්කන්ධයන් වේ ය’ යනුවෙන් ව්‍යවස්ථාපනය කරයි. ඉන් අනතුරුව ‘මේ පඤ්චස්කන්ධයන් දුක්ඛය ය (ඉදං දුක්ඛං)’ යනුවෙන් මනසිකාරය කරයි. ඒ පඤ්චස්කන්ධය සංක්ෂේප වශයෙන් නාම රූප යනුවෙන් කොටස් දෙකකි. මේ නාමරූපයන් හේතු සහිතව, ප්‍රත්‍යය සහිතව උපදී. ඒ නාමරූපයන්ගේ ‘මේ අවිද්‍යාදිය හේතුව ය’, ‘මේ අවිද්‍යාදිය ප්‍රත්‍යය ය’ යනුවෙන් අවිද්‍යා, භව, තණ්හා, කර්ම, ආහාර ආදි හේතුප්‍රත්‍යයන් ව්‍යවස්ථාපනය කරයි. ඉන් අනතුරුව ඒ ප්‍රත්‍යන්ගේ ද, ප්‍රත්‍යෝත්පන්නයන්ගේ ද (ප්‍රත්‍යයන් නිසා ඉපදුනු ධර්මයන්ගේ ද) අවීපරීත වූ ලක්ෂණයන් ව්‍යවස්ථාපනය කොට ‘මේ හේතු ප්‍රත්‍යයන් නිසා උපදින්නා වූ ධර්මයන් වර්තමානයේ දී බිඳෙමින් උපදියි’ යනුවෙන් අනිත්‍ය ලක්ෂණයට නංවයි. උදය-ව්‍යය යන දෙකින් පෙළනා ලද බැවින් දුක්ඛය ය යැයි දුක්ඛ ලක්ෂණයට නංවයි. තමා කැමති කැමති පරිදි තමාගේ වශයෙහි පැවැත්වීමට නොහැකි බැවින් අනාත්මය ය යනුවෙන් අනාත්ම ලක්ෂණයට නංවයි. මෙසේ ත්‍රිලක්ෂණයට නංවා පිළිවෙළින් විදර්ශනාව පවත්වමින් සෝවාන් මාර්ගයට පැමිණේ.

ඒ සෝවාන් මාර්ග ක්ෂණයෙහි චතුරාර්ය සත්‍යය එක් ඥානයකින් ම ප්‍රතිවේධ කරයි, එක් ඥානයකින් ම අවබෝධ කරයි. දුක්ඛසත්‍යය පරිඤ්ඤා ප්‍රතිවේධයෙන් (පිරිසිඳ දැනීමෙන්) ප්‍රතිවේධ කරයි, සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරයි, නිරෝධ සත්‍යය සාක්ෂ්‍යාත් කරයි, මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධ වශයෙන් ප්‍රතිවේධ කරයි. දුක්ඛසත්‍යය ද පරිඤ්ඤා ප්‍රතිවේධයෙන් (පිරිසිඳ දැනීමෙන්) අවබෝධ කරයි, සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවේධයෙන් අවබෝධ කරයි, නිරෝධ සත්‍යය අවබෝධ කරයි, මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධ වශයෙන් අවබෝධ කරයි. ඒ ප්‍රතිවේධය ද අන්‍යොන්‍ය ඥානයන්ගෙන් සිදුකරන අවබෝධයක් නොවේ. ඒ යෝගාවචරයා එක් ඥාණයකින් ම නිරෝධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් අවබෝධ කරයි. සෙසු ආර්යය සත්‍යයන් තුන පරිඤ්ඤා ආදි කෘත්‍යය වශයෙන් ප්‍රතිවේධ මෙන් ම අවබෝධ කරයි. ඒ යෝගියා හට මාර්ග ක්ෂණයේදී “මම දුක්ඛ සත්‍යය අවබෝධ කරමි යැයි”, “මම සමුදය සත්‍යය ප්‍රහාණය කරමි”, “නිරෝධය සාක්ෂ්‍යාත් කරමි”, “මාර්ග වඩමි” යැයි සිතක් නොවේ. සත්‍යවශයෙන් ම අරමුණු කොට ප්‍රතිවේධ කිරීම් වශයෙන් නිරෝධ සත්‍යය සාක්ෂ්‍යාත් කරන්නා වූ යෝගාවචරයා හට මෙසේ ඒ මාර්ග ඥානය දුක්ඛ සත්‍යය පිරිසිඳ දැකීමේ කෘත්‍යය ද, සමුදය සත්‍යය ප්‍රහාණය කිරීමේ කෘත්‍යය ද, මාර්ග සත්‍යය වැඩීමේ කෘත්‍යය ද සිදුකරයි. ඒ කියනා ලද ක්‍රමයෙන් මනසිකාරය කරන්නා වූ යෝගාවචරයාගේ සංයෝජනත්‍රය ප්‍රහාණය වේ. විසි ආකාර වූ (වීසතිවත්ථුක) සත්කාය දෘෂ්ටිය ප්‍රහාණය වේ, අෂ්ට වස්තුක විචිකිච්ඡාව ප්‍රහාණය වේ, “යම් බඳු වූ ගෝශීලාදී ශීලයකින් ශුද්ධිය වේ” යන සීලබ්බතපරාමාසය ප්‍රහාණය වේ. එහි සතර ආශ්‍රවයන්හි සත්කාය දෘෂ්ටිය සහ සීලබ්බතපරාමාසය සංග්‍රහ කරන ලද බැවින් ඒවා ආශ්‍රවයන් ද සංයෝජනායන් ද නම් වේ. විචිකිච්ඡාව සංයෝජනයක් පමණක් වේ, ආශ්‍රවයක් නොවේ. “දස්සනා පහාතබ්බා ආසවා” යන පාලියෙහි ඇතුලත් වන බැවින් ආශ්‍රව නම් වේ.

මෙම සත්කාය දෘෂ්ටිය ආදී ආශ්‍රවයෝ “දස්සනා පහාතබ්බා” නම් ආශ්‍රවයෝ වේ යැයි දක්වමින් “ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බා – මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි” යනුවෙන් වදාළහ. නොහොත් “ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති” යැයි ස්වරූප වශයෙන් සත්කාය දෘෂ්ටිය බෙදා දක්වන ලද්දේ ඒ සඳහා “ඉමෙ වුච්චන්ති භික්ඛවෙ” යැයි වදාළහ. ඒ දෘෂ්ටිය සහජාත ඒකස්ථ, ප්‍රහාණ ඒකස්ථ වශයෙන් පවතින්නා වූ සෙසු ආශ්‍රවයන් සමඟ ප්‍රහාණය වේ. දිට්ඨාශ්‍රවය ප්‍රහාණය වන කල්හි ඒ දිට්ඨාශ්‍රවය සමඟ සහජාත වූ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්හි ඇති කාමාශ්‍රවය ද, අවිද්‍යාශ්‍රවය ද ප්‍රහාණය වේ. සහජාත ඒකස්ථයෙන් අන්‍ය වූ ප්‍රහාණ ඒකස්ථය නම් දිට්ඨිගත විප්‍රයුක්ත සිත්හි නාග, සුපර්ණාදී සමෘධිමත් භවයන්හි උපත ප්‍රාර්ථනා කිරීම් වශයෙන් පහළ වන්නා වූ භවාශ්‍රවයයි. ඒ භවාශ්‍රවය සමඟ සම්ප්‍රයුක්ත වූ අවිද්‍යාශ්‍රවය ද, ද්වේෂ සිත් දෙකෙහි උපදින්නා වූ ප්‍රාණඝාතාදිය ඇති කරන්නා වූ අවිද්‍යාශ්‍රවය ද, විචිකිච්ඡාව හා සමඟ සම්ප්‍රයුක්ත අවිද්‍යාශ්‍රවය ද යැයි මෙසේ සහජාත ඒකස්ථ, ප්‍රහාණ ඒකස්ථ වශයෙන් අවශේෂ ආශ්‍රවයන් තුන ද ප්‍රහාණය වේ. එහෙයින් “ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා” යන ආකාරයට බහුවචන නිර්දේශයෙන් දේශනාව කරන ලද්දේ ය යැයි දත යුතු ය. මෙය පුරාණ අටුවාචාරීන් වහන්සේලගේ අදහස වේ යැයි දත යුතු යි.

ඉදිරි ලිපියෙන් සබ්බාසව සූත්‍රයෙහි “සංවරා පහාතබ්බා-සංවරයෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රවයන්” ක්‍රමය විස්තර කෙරේ.

“සබ්බෙ සත්තා ආසවා මුච්චන්තු – සියළු සත්වයෝ ආශ්‍රවයන්ගෙන් මිදෙත්වා”
සම්පාදක
ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි