දර්ශනයෙන් ප්‍රහාණය කළයුතු ධර්මයන්ට අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාළේ “සංවරා පහාතබ්බා -සංවරයෙන් ප්‍රහාණය කළයුතු” ආශ්‍රවයන් ය. ඉහත පළමුවන ලිපියේ දැක්වූ සීලසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, විරියසංවරය යන පඤ්ඤචවිධ සංවරයන් අතරින් මෙහිදී අදහස් කරනුයේ සති සංවරයයි. සබ්බාසව සූත්‍රයේ දස්සනා පහාතබ්බා සහ භාවනා පහාතබ්බා යන පර්යාය දෙක මඟින් සියළු ආශ්‍රවයන් ප්‍රහාණය වේ. එසේ වී නම් කවර හේතුවක් නිසා සංවරාපහාතබ්බා, පටිසෙවනා පහාතබ්බා යනාදී වශයෙන් වෙනම ප්‍රහාණය කළයුතු ධර්මයන් දක්වන්නේද යත් සංවරා පහාතබ්බා ආදී ක්‍රම මඟින් පූර්වභාගයෙහිදී විෂ්කම්භනය කරන ලද ආශ්‍රවයන් සතර මාර්ගයන් මඟින් සමුද්ඝාතයට යයි. එබැවින් ඒ සතර මාර්ගයන්ගේ පූර්වභාගයෙහි මෙම පස් ආකාරයෙන් (සංවරා පහාතබ්බා ආදී පස) විෂ්කම්භන ප්‍රහාණය දක්වමින් මෙසේ වදාළ සේක. එබැවින් දස්සනා පහාතබ්බා යනුවෙන් මුලින් වදාළා වූ සෝවාන් මාර්ගයක් වේ ද, ඉදිරියේදී භාවනා පහාතබ්බා නමින් දේශනා කරන්නා වූ මතු මාර්ගත්‍රයක් (සකෘදාගාමී, අනාගාමී, අර්හත්) වේ ද ඒ සියල්ලගේ ම පූර්වභාග ප්‍රතිපදාව මෙම (සංවරා පහාතබ්බා) යැයි දතයුතු වේ.

කතමෙ ච, භික්‌ඛවෙ, ආසවා සංවරා පහාතබ්‌බා? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පටිසඞ්‌ඛා යොනිසො චක්‌ඛුන්‌ද්‍රියසංවරසංවුතො විහරති. යඤ්‌හිස්‌ස, භික්‌ඛවෙ, චක්‌ඛුන්‌ද්‍රියසංවරං අසංවුතස්‌ස විහරතො උප්‌පජ්‌ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, චක්‌ඛුන්‌ද්‍රියසංවරං සංවුතස්‌ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්‌ති. පටිසඞ්‌ඛා යොනිසො සොතින්‌ද්‍රියසංවරසංවුතො විහරති…පෙ.… ඝානින්‌ද්‍රියසංවරසංවුතො විහරති…පෙ.… ජිව්‌හින්‌ද්‍රියසංවරසංවුතො විහරති…පෙ.… කායින්‌ද්‍රියසංවරසංවුතො විහරති…පෙ.… මනින්‌ද්‍රියසංවරසංවුතො විහරති. යඤ්‌හිස්‌ස, භික්‌ඛවෙ , මනින්‌ද්‍රියසංවරං අසංවුතස්‌ස විහරතො උප්‌පජ්‌ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, මනින්‌ද්‍රියසංවරං සංවුතස්‌ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්‌ති. යඤ්‌හිස්‌ස, භික්‌ඛවෙ, සංවරං අසංවුතස්‌ස විහරතො උප්‌පජ්‌ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා , සංවරං සංවුතස්‌ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්‌ති. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, ආසවා සංවරා පහාතබ්‌බා.

මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

මෙම ශාසනයේ භික්ෂුවක් නුවණින් යුතුව, නුවණින් සළකමින් චක්ෂුර් ආදී ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව වාසය කිරීම මෙයින් අදහස් කෙරේ. මෙහිදී “පටිසඬ්ඛා යොනිසො-නුවණින් සළකමින්” යනු කුමක්දැයි දතයුතු වේ. ඒ ඒ අසංවරයේ ආදීනවයන් සුදුසු වූ හේතු කාරණා සහිත ව දැන ප්‍රත්‍යවේක්ෂා කරමින් යනු මෙහි අදහසයි. “ — වරං, භික්‌ඛවෙ, තත්‌තාය අයොසලාකාය ආදිත්‌තාය සම්‌පජ්‌ජලිතාය සජොතිභූතාය චක්‌ඛුන්‌ද්‍රියං සම්‌පලිමට්‌ඨං, න ත්‌වෙව චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු අනුබ්‍යඤ්‌ජනසො නිමිත්‌තග්‌ගාහො. නිමිත්‌තස්‌සාදගථිතං වා, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, අනුබ්‍යඤ්‌ජනස්‌සාදගථිතං වා තස්‌මිඤ්‌චෙ සමයෙ කාලං කරෙය්‍ය, ඨානමෙතං විජ්‌ජති, යං ද්‌වින්‌නං ගතීනං අඤ්‌ඤතරං ගතිං ගච්‌ඡෙය්‍ය – නිරයං වා, තිරච්‌ඡානයොනිං වා. ඉමං ඛ්‌වාහං, භික්‌ඛවෙ, ආදීනවං දිස්‌වා එවං වදාමි- මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙකින් චක්ඛුන්ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. චකෂුර්විඥානයෙන් දතයුතු රූහි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දොෂය දැක මම මෙසේ කියමි.’’ යන මේ ආකාරයට ආදිත්තපරියාය සූත්‍රයේ දේශනා කරන ලද ආකාරයට චක්ෂුර් ආදී ඉන්ද්‍රියයන්ගේ අසංවරයෙහි ආදීනවය නුවණින් දකිමින් සතිය පවත්වයි. “අනුබ්‍යඤ්ජනසො – අනුව්‍යඤ්ජන වශයෙන්” යනු යම් ස්ත්‍රී-පුරුෂාදී රූපයක් දැක ‘මේ රූපයේ අත් ශෝභන ය, පය ශෝභන ය’ යනාදී වශයෙන් අඟපසඟ (ස්ත්‍රී පුරුෂ රූපයන්ගෙන් අන්‍ය රූපයක් වේ නම්) පිළිබඳ කොටස් වශයෙන් ක්ලේෂයන් ඉපදීමට හේතුවන නිමිති ග්‍රහණයයි (නිමිත්තාගාහො). ‘නිමිත්තාගාහො’ නම් අත්පා ආදිය සංසන්දනය කරමින් ගැනීමයි. ‘අනුබ්‍යඤ්ජනග්ගාහො’ යනු වෙන් වෙන් වශයෙන් ගැනීමයි. නිමිත්ත ග්‍රහණය කුම්භීල ග්‍රහණයක් මෙන් (කිඹුල් ග්‍රහණයක් මෙන්) සියල්ල ම ග්‍රහණය කරයි. අනුව්‍යඤ්ජන ග්‍රහණය කූඩලු ග්‍රහණයක් මෙන් බෙදාගෙන අත්පා ආදී කොටස් අතරින් ඒ ඒ කොටස ග්‍රහණය කරයි. මෙම අනුව්‍යඤ්ජන ග්‍රහණය සහ නිමිත්තග්‍රහණය එක් ජවනය චිත්තයකදී ද ලැබේ. ඒ නිසා නානා ජවනය චිත්තයන්හි ලැබීම පිළිබඳව කිවයුත්තක් නැත. නිමිති අනුව්‍යඤ්ජන වශයෙන් රූප අරමුණක් ග්‍රහණය කොට ලෝභයෙන් ආශ්වාද කරමින්, ද්වේෂයෙන් ගැටෙමින්, මෝහයෙන් මුලාවට පත්වෙමින් සිටිනා අවස්ථාවකදී මරණයට පත්වුවහොත් ඒ සත්තවයා වර්ෂ ලක්ෂ කෝටි ගණනින් ආයුෂ ඇත්තා වූ අනේක දුක්ඛයන්ගෙන් ගහණ වූ නිරයේ හෝ තිරිසන් භවයේ උපත ලබයි. මේ ආදීනවය දකිමින් චක්ෂුර් ද්වාරයට පැමිණෙන අරමුණු සම්බන්ධයෙන් සංවරයට පැමිණේ. චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති යන්නෙහි ‘සංවරො’ යන්නෙන් අදහස් වනුයේ සතියයි.

නමුත් “චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති -චක්ෂුන්ද්‍රිය සංවර සංවෘතයෙන් වාසය කරයි” යන ප්‍රකාශය පිළිබඳව අභිධර්මයේ චිත්තවීථි පිළිබඳව අවබෝධය ඇති පුද්ගලයෙකුට මෙම පැනය මතු වේ. “චක්ඛුන්ද්‍රිය නම් පරමාර්ථ වශයෙන් චක්ඛු ප්‍රසාද රූපයයි. හුදු රූපයක් නිසා චක්ඛුන්ද්‍රියේ සංවරයක් හෝ අසංවරයක් නැත. චක්ඛු ප්‍රසාද රූපය නිසා සිහිය පිහිටුවීම හෝ සිහිමුලා බව ඇති වන්නේ නැත. එනිසා ‘චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ කුමක්ද?” යනුවෙනි. රූප අරමුණක් යම් අවස්ථාවකදී චක්ෂුව හා ගැටුණහොත් ඒ අවස්ථවේදී භවාංගය දෙවරක් චලනය වෙමන් ඉපිද නිරුද්ධ වූ කල්හි පඤ්චද්වාරාවර්ජන සිත ආවර්ජන කෘත්‍යය සිදුකරමින් ඉපිද නිරුද්ධ වේ. ඉන් අනතුරුව චක්ෂුර් විඤ්ඤාණය දර්ශන කෘත්‍යය සිදුකරමින් ද, ඉන් අනතුරුව සම්පටිච්ඡන සිත සම්පටිච්ඡන කෘත්‍යය සිදුකරමින් ද, ඉන් අනතුරුව සන්තීරණ සිත සන්තීරණ කෘත්‍යය සිදුකරමින් ද, ඉන් අනතුරුව ව්‍යවස්ථාපන සිත ව්‍යවස්ථාපන කෘත්‍යය සිදුකරමින් ද ඉපිද නිරුද්ධ වේ. ඉන් අනතුරුව ජවන සිත් උපදී. එහිලා භවාංග සිත හෝ ආවර්ජන සිත් ආදීන් අතරෙන් එක් සිතක් හෝ උපදින අවස්ථාවේ සිහිය පිහිටුවීම හෝ සිහිමුලා බව ඇති වන්නේ නැත. ජවන් සිත් උපදින අවස්ථවේදී දුස්සීල බවක් හෝ සිහිමුලා බවක් හෝ අඥාන බවක් හෝ නොඉවසීමක් හෝ කුසීත බවක් හෝ උපදී ද මෙය අසංවරය වේ. මෙසේ ජවන සිත් උපදින අවස්ථාවේදී ඇති ඒ අසංවරය චක්ෂුර් ඉන්ද්‍රියෙහි අසංවරය නම් වේ. කවරක් නිසා ද යත්, ඒ අසංවරය පවතින අවස්ථවේදී චක්ෂුර් ද්වාරය ද නොවසනා ලද්දේ වෙයි. උපමාවකින් දැක්වුවහොත් යම් සේ නගරයෙහි ද්වාරයන් සතර නොරක්නා ලද කල්හි නගරය ඇතුලත ඇති මනාව ආරක්ෂා කර ඇති නිවෙස්, ගබඩා ආදිය ද නොරක්නා ලද්දේ වෙයි. සොරුන්ට නගර දොරටුවෙන් පිවිස තමන් කැමති කැමති පරිදි වස්තුව රැගෙන යා හැක. ඒ ආකාරයට ජවන සිත්වල දුස්සීල බව ආදිය ඇති වූ කල්හි ඒ අසංවරය ඇති කල්හි චක්ෂුර් ආදි ද්වාරයන් ද නොරක්නා ලද්දේ වෙයි. භවාංග, ආවර්ජන ආදි වීථි සිත් ද නොරක්නා ලද්දේ වෙයි.

ඒ ජවන සිත්වල සීලාදී ධර්මයන් ඉපදුණු කල්හි චක්ෂුර් ආදි ද්වාරයන් ද භවාංග, ආවර්ජන ආදි වීථි සිත් රක්නා ලද්දේ වෙයි. උපමාවකින් දැක්වුවහොත් යම් සේ නගරයෙහි ද්වාරයන් මනාව රක්නා ලද කල්හි නගරය ඇතුලත ඇති මනාව ආරක්ෂා නොකර ඇති නිවෙස්, ගබඩා ආදිය ද රක්නා ලද්දේ වෙයි. නගර ද්වාරයන් වැසූ කල්හි සොරුන් හට නගරයට පිවිසීමට අවකාශයක් නැත. ඒ ආකාරයට ජවන සීලාදී ධර්මයන් ඇති වූ කල්හි ඒ අසංවරය ඇති කල්හි චක්ෂුර් ආදි ද්වාරයන් ද රක්නා ලද්දේ වෙයි. භවාංග, ආවර්ජන ආදි වීථි සිත් ද රක්නා ලද්දේ වෙයි. එබැවින් චක්ෂුර් ජවන සිත් උපදින අවස්ථාවේදී චක්ෂුර් ඉන්ද්‍රියෙහි සංවරය කියනා ලදී.

“විහරති – වාසය කරයි” යනු චක්ෂුර් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව යම් කිසි ඉරියව්වකින් වාසය කරයි. මෙසේ වාසය කිරීමේදී ඒ භික්ෂුව හට ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කිරීම නිසා ඇති විය හැකි යම් කිසි වෙහෙස ඇත්තා වූ, දැවිලි ඇත්තා වූ ආශ්‍රවයන් උපදී ද ඒ වෙහෙස ඇත්තා වූ, දැවිලි ඇත්තා වූ ආශ්‍රවයන් නූපදිත්. “ආසවා විඝාතපරිළාහා – පීඩාකාර වූ ආශ්‍රවයන්” යනු සතර ආශ්‍රවයන් සහ එයින් අන්‍ය වූ පීඩාකාර වූ ක්ලේශයන් සහ පීඩාකාර විපාකයන් ය. චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ටාරම්මණයක් ගැටුණු කල්හි ලෝභයෙන් ආශ්වාද කරන්නා වූ පුද්ගලයාට එය අභිනන්දනය කරන්නා වූ පුද්ගලයාට කාමාශ්‍රවය උපදී. මෙබඳු වූ සැප සම්පත්තීන් අන් සුගති භවයකදීම ලබමි යැයි භව ප්‍රාර්ථනායෙන් යුතුව ආශ්වාද කරන්නා වූ පුද්ගලයාට භවාශ්‍රවය උපදී. සත්ත්වයෙක් ය, සත්තවයාගේ ය යැයි ගන්නා වූ පුද්ගලයාට දිට්ඨාශ්‍රවය උපදී. මෙම සියළු අවස්ථාවලදී සිතෙහි උපදින (සහජාත වූ) අනවබෝධය අවිද්‍යාව වේ. මේ ආකාරයෙන් සතර ආශ්‍රවයන් පහළ වේ. ඒ ආශ්‍රවයන් සමඟ සම්ප්‍රයුක්ත වූ සෙසු ක්ලේෂයන් ද උපදිත්. නොහොත් ඒ ක්ලේෂයන්ගේ මතු විපාකයන් ද ඇති වේ. මේ පීඩාකාර වූ ක්ලේෂයන් ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කරන පුද්ගලයාට ඇති වේ.

සෝත ආදී සෙසු ද්වාරයන් සම්බන්ධයෙන් ද මේ ක්‍රමයෙන් දත යුතු වේ. මේ ආකාරයට චක්ෂුර් ආදී ද්වාරයන් සයෙහි ආශ්‍රවයන් සතර බැගින් සැළකීමෙන් ලැබෙන ආශ්‍රවයන් විසි හතර සංවරයෙන් ප්‍රහාණය කළ යුතු වේ. මේ සියළු තැන්හි කියවෙනුයේ සති සංවරයයි. මේ අනුව ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව වාසය කිරීම ආශවයන් ප්‍රහාණය කිරීමට අවශ්‍ය වන අතර එදිනෙදා ජීවිතයේ ආශ්‍රවයන් ඇති වීම නිසා උපදින පීඩාවන්ගෙන් වෙන් ව ජීවත් වීමට ද උපකාර වේ.

“සබ්බෙ සත්තා ආසවා මුච්චන්තු – සියළු සත්වයෝ ආශ්‍රවයන්ගෙන් මිදෙත්වා”
සම්පාදක
ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි