බැමිණිතියා සාය දොළොස් වසරක කාලයක් පැවතුණි. බොහෝ භික්‍ෂූහු විදෙස්ගත ව දිවි රැකගත්හ. ඒ අතර තවත් මහ තෙරුන් වහන්සේලා පිරිසක් ලක්දිව ම නතර වී ඉතා දුෂ්කර ලෙස ස්වකීය ශීලාදි ගුණ නොපිරිහෙළා පුරමින් තෙවළා දහම රැකගත්හ.

අපවත්වීමට ගිය මහානිද්දේසය රැකගත්තේ මහාරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ය. සමානාචරියක වූ උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ද ඵුස්සදේව ස්ථවිරයන් වහන්සේ ද විනය පිටකය සිය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට උගන්වමින් පරිහරණය කරමින් රැකගත්හ. තවත් තෙරුන් වහන්සේලා සැට නමක් මලය ප්‍රදේශයේ අල මුල් කොළ වලින් ජීවිකාව කරමින් වසමින් ශරීරය කෙළින් තබාගෙන සිටිය හැකි තාක් එක් තැනක වාඩි වී ධර්මය පිරිවැහූහ. කෙළින් ඉන්නට නොහැකි වූ විට වැලි ගොඩක් ගසා ඒ වැලි ගොඩ උඩ හිස් එක්තැන් කොට තබාගෙන පර්යාප්ති ධර්මය කටපාඩමින් කීහ. මෙසේ දොළොස් වසරක් අටුවා සහිතව ත්‍රිපිටක ධර්මය රැකගත්හ.

වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ එක්තරා පළාකොළ අනුභව කරමින් දිවි ගෙවූ ගමක් ඇසුරුකරගෙන ආරණ්‍යකාංගාදි ධූත ගුණයන් ද පුරමින් හැකි සෑම විට ම වත්පිළිවෙත් නොපිරිහෙළා ඉටුකරමින් දොළොස් වසර ගෙවා දැමූහ. උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ අනාගාමී ආර්යයන් වහන්සේ නමක් වූ අතර බැමිණිතියාසාය කාලයේ මිනීමස් කන මිනිසුන්ට ගොදුරු විය. සාමණේරයන් වහන්සේ බිය සන්සිඳෙන තෙක් ආරක්‍ෂිතව වැඩ හිඳ බිය සංසිඳුනු කල්හි උපසම්පදාව ලැබ බුද්ධවචනය උගෙන ත්‍රිපිටකධරව වත්තබ්බක නිග්‍රෝධ ස්ථවිරයන් යැයි ප්‍රකට වූහ.

වළගම්බා රජු දොළොස් වසරකට පසු ක්‍රි. පූ. 89 දී නැවත රාජ්‍යය අත්පත් කරගත්තේය. බ්‍රාහ්මණතිස්ස භය සංසිඳිනි. පරතෙර වැඩි භික්‍ෂූහු ආපසු වැඩම කළහ. එසේ වැඩම කළ භික්‍ෂූහු ‘වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේ කොහි ද? වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේ කොහි ද?’ යැයි සොයා බලා තෙරුන් වහන්සේ හමුවට වැඩම කොට උන්වහන්සේ පිරිවරාගත්හ. වත්තබ්බක නිග්‍රෝධ ස්ථවිරයන් වහන්සේ මහත් බික්සඟන පිරිවරාගෙන අනුපිළිවෙළින් මහාවිහාරයට සපැමිණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද මහසෑය ද ථූපාරාමය ද වැඳ නුවර දෙසට වැඩම කළහ. දක්‍ෂිණ නගරද්වාරය දක්වා වැඩම කරන විට නව ස්ථානයක දී තුන්සිවුරු ලැබිණි. ඇතුළු නුවරට පිවිසි කල්හි මහත් ලාභසත්කාර උපන්නේය.

බිය සංසිඳුණු පසු විදෙස්ගතව සිට ආපසු වැඩම කළ තවත් භික්‍ෂු පිරිසක් මහාසෝණ ස්ථවිරයන් වහන්සේ කොහි සිටීදැයි විමසා බලා උන්වහන්සේ හමුවට වැඩම කළහ. උන්වහන්සේ බැමිණිතියාසාය කාලයේ ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ ද සමඟ වැඩම කොට එක්තරා පළාකොළ අනුභව කර දිවි ගෙවූ ගමක් ඇසුරුකොට ගෙන විසූහ. බිය සංසිඳුණු කල්හි පරතෙර සිට පැමිණි භික්‍ෂූන් ද සමඟ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන කාලකග්‍රාමයේ (කෑගල්ල විය හැකිය) මණ්ඩලාරාම විහාරයට (වට්ටාරම) වැඩම කළහ.

එකල කාලකග්‍රාමයේ පවුල් සත්සියයක් විසූහ. රාත්‍රියේ දෙවිවරු ගමේ ගෙවලට ගොස් ‘මහා සෝණ ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන මණ්ඩලාරාම විහාරයට වැඩියහ. එක් එක් කෙනා සිවුරු පිණිස නවරියන් රෙදිකඩක් ද සමඟ කහවණුවක් වටිනා පිණ්ඩපාතයක් දේවා’යි මිනිසුන්ට සැල කළහ.

පසුදින ස්ථවිරයෝ කාලකග්‍රාමයට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු වඩා හිඳුවා කැඳ පූජා කළහ. මණ්ඩලාරාම වාසී තිස්සභූති ස්ථවිරයෝ සංඝපරිනායක වූහ. එක්තරා මහා උපාසකයෙක් උන්වහන්සේ වැඳ

“ස්වාමීනි, මහාසෝණ ස්ථවිරයන් වහන්සේ නම් කවරෙක් දැ?”යි විමසා සිටියේ ය. එසමයෙහි මහා සෝණ ස්ථවිරයන් වහන්සේ නවක වූ බැවින් පිරිස් කෙළවර වැඩ හිඳියහ. තිස්සභූති ස්ථවිරයෝ අත දිගු කොට

“උපාසකය මහාසෝණ ස්ථවිරයන් නම් අසවල් ය”යි පැවසූහ. උපාසක තෙමේ මහාසෝණ ස්ථවිරයන්ට වැඳ පාත්‍රය ඉල්ලා සිටියේය. තෙරුන් වහන්සේ තමන් නවක බැවින් පාත්‍රය නොදෙයි. එවිට තිස්සභූති ස්ථවිරයෝ

“ඇවැත්නි සෝණයෙනි, මේ කවුදැ යි නුඹ වහන්සේ නොදන්නා සේ ම අපි ද නොදනිමු. පින්වතුන් වහන්සේලාට දෙවියෝ උපකාර කරති. පාත්‍රය දෙව. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සංග්‍රහ කරව” යැයි කීහ. තෙරුන් වහන්සේ පාත්‍රය දුන්හ.

මහා උපාසක තෙමේ පාත්‍රය ගෙන කහවණුවක් වටිනා පිණ්ඩපාතය ද පුරවා නවරියන් සළුවක් ද සමඟ පිරිනැමීය. සෙසු ගම් වැසියන් ද එසේ ම මහාසෝණ ස්ථවිරයන් වහන්සේට ම දානය සහ සිවුරු පිණිස සළු ද පූජා කළහ. තෙරුන් වහන්සේට පිණ්ඩපාත සත්සියයක් ද සළු සත්සියයක් ද ලැබිණි. සියල්ල භික්‍ෂු සංඝයාට ම බෙදා දුන්හ.

ඒ දානය භික්‍ෂූන් අතර බෙදා දුන් තෙරුන් වහන්සේ පිළිවෙළින් මහාවිහාරයට වැඩමකොට මුව ධෝවනය කොට මහබෝධිය වැඳ මහසෑය ද වැඳ ථූපාරාමයේ සිට සිවුරු පෙරවා භික්‍ෂු සංඝයා පිරිවරාගෙන දකුණු දොරටුවෙන් නුවරට පිවිසි අතර නුවර දොරටුවේ සිට දන්හළ දක්වා අතරමඟ දී කහවණු සැටක් වටිනා පිණ්ඩපාතයක් ලැබීය. එතැන් පටන් ලැබුණු සත්කාර මෙපමණක් යැයි සීමාවක් නොවීය.

පරතෙර වැඩි භික්‍ෂූහු පිරිසක් ආපසු වැඩමකොට කල්ලගාම (කෑගල්ල) මණ්ඩලාරාමයට (වට්ටාරම) රැස්වූහ. ලක්දිව විසූ භික්‍ෂූහු සැටනමක් වහන්සේලා ද එහි වැඩමකොට තමතමන් දරාගෙන පැමිණි ත්‍රිපිටක ධර්මය සසඳා බැලූහ. එක් අකුරකුදු වෙනසක් නොදැක්කාහ.

මෙසේ ඒ අතීත මහ තෙරුන් වහන්සේලා දුෂ්කර සමයේ ස්වකීය ශීලාදි ගුණ නොපිරිහෙළා පුරමින් තෙවළ දහම අටුවා ද සහිතව රැකගත්හ. උන්වහන්සේලා අතීතයේ සිට අපට දුන් ආදර්ශය වූයේ තථාගත බුදුවදන සුරැකීමට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයෙන් ඉවත් නොවී ප්‍රතිපත්තිය ද මැනවින් පූරණය කළ යුතු බවයි.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>>සාරාණීය වත පිරූ නාග තෙරණියෝ – සසුනට දිවි දුන් යතිවරු (8 වන කොටස)