බුද්ධානුස්සති භාවනාව වැඩීමට බලාපොරොත්තු වන පුද්ගලයා ඉහත පැහැදිලි කරන ලද ආකාරයට පළමුව තමාගේ කය පිරිසිදු කරගෙන, එසේම ශීලය ද පිරිසිදු කරගෙන භාවනාවට සූදානම් විය යුතු වේ. නිවසේ බුද්ධ මන්‍දිරයක් තිබේ නම්, එවැනි තැනක් බුද්ධානුස්සතිය වැඩීමට වඩාත් යෝග්‍ය වේ. එසේ නොමැති නම් සුදුසු විවේකී පරිසරයක් තෝරාගත යුතු වේ.

පළමුව බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ආදිය පූජා කිරීම කළ හැකි නම් එසේ සිදු කොට භාවනාව සඳහා සූදානම් විය යුතුය. එහි දී පළමුවෙන් කළයුත්තේ ඉහත දක්වන ලද ආකාරයට බුදුගුණ නවය කෙටියෙන් මෙනෙහි කිරීම යි. බුදුගුණ නවය කිහිපවරක් කෙටියෙන් මෙනෙහි කරන විට තමන්ගේ සිත සන්සිඳීමට පත් වේ. එසේ සන්සිඳුණු පසු විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව ආරම්භ කළහැකි වේ.

විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව වැඩීමේ දී ලොව්තුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් ද අරහං නම් වන සේක (සො භගවා ඉතිපි අරහං), මේ කාරණයෙන් ද සම්මාසම්බුද්ධ නම් වන සේක (ඉතිපි සම්මාසම්බුද්ධො)’ යනාදි වශයෙන් මෙනෙහි කළයුතු වේ. එසේ මෙනෙහි කිරීමට නම් බුදුරජාණන් වහන්සේ අරහං ආදි ගුණයන්ගෙන් සමන්වාගත යැයි පවසන හේතු පිළිබඳ අවබෝධයක් භාවනා කරන පුද්ගලයාට තිබිය යුතු වේ. ඒ සඳහා කෙටියෙන් නමුත් නව අරහාදි බුදුගුණ පිළිබඳ දැනුම වැඩි කරගත යුතු වේ. ඒ එකිනෙකක් විස්තර වශයෙන් වැඩීම පිණිස මෙසේ කෙටි විස්තරයක් සැපයේ.

අරහං ගුණ භාවනාව

අප සරණගිය ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ‘අරහං’ නම් ගුණයෙන් සමන්වාගත වන සේක. උන්වහන්සේ ‘අරහං’ යැයි පැවසීමට හේතු කරුණු 05 ක් ධර්මයේ විස්තර වේ.

1. මාර්ගඥානයෙන් සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින්ම දුරු වූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (ආරකත්තා අරහං)
2. කෙලෙස් සතුරන් මාර්ගඥානයෙන් නැසූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (අරීනං හතත්තා අරහං)
3. සංසාරචක්‍රයේ අර (හෙවත් ගරාදි) නැසූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (අරානං හතත්තා අරහං)
4. සියලු ප්‍රත්‍යයන් (පූජාවන්) ලැබීමට සුදුසු වූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (පච්චයාදීනං අරහත්තාපි අරහං)
5. රහසින්වත් පව් නොකරන හෙයින් ‘අරහං’ නම් වන සේක. (පාපකරණෙ රහාභාවතොපි අරහං)

වාසනා සහිතව සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනා ගුණයන් ද සමඟ සියලු කෙලෙසුන් කෙරෙන් දුරින්ම දුරු වූ හෙයින් ‘අරහං’ යැයි කියනු ලැබේ. බෝමැඩ දී සම්මාසම්බුද්ධත්වයට පත් වීමත් සමඟ අර්හත් මාර්ගඥානයෙන් රාගාදි සියලු කෙලෙසුන් දුරු කළ සේක.
මෙහි දුරු කිරීම යැයි අදහස් වන්නේ ප්‍රහීණ කළ බවයි. අර්හත් මාර්ගඥානය ලැබීමත් සමඟ සන්තානයේ ක්ලේශ ධර්මයන් කිසිවක් ඉතිරි නො වෙයි. සියල්ල ප්‍රහීණ වෙයි. ලෝකසත්ත්වයන් රාගය, ද්වේශය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, මසුරුබව, උද්ධච්චය ආදි එක්දහස් පන්සියයක් කෙලෙසුන්ගෙන් නිරන්තරයෙන් පීඩා විඳින අතර තථාගතයන් වහන්සේ බෝමැඩ දී ම ඒ සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කොට නික්ලේශී වන සේක. එසේ නික්ලේශී වන බැවින් උන්වහන්සේ ‘අරහං’ නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේගේ කෙලෙස් දුරු කිරීම සෙසු රහතන් වහන්සේලාගේ කෙලෙස් දුරු කිරීමෙන් වෙනස් වේ. සෙසු රහතන් වහන්සේලා කෙලෙස් දුරු කළ ද උන්වහන්සේලාගේ වාසනා ගුණයන් දුරු කිරීමට සමත් නොවෙති. වාසනා ගුණයන් ලෙස හැඳින්වෙන්නේ යම්කිසි කෙලෙස් දුරු කළ අයෙක්ගේ වුව ද කෙලෙස් දුරු නොකළ අයෙකුගේ ක්‍රියාවනට සමාන ක්‍රියා ඇති කිරීමට සමත්කම් විශේෂයකි. එනම් සමහර රහතන් වහන්සේ නමක් වුව ද බාහිර ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් පෙනී සිටී.

පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේ පෙර ආත්මභාව පන්සියයක් බ්‍රාහ්මණ කුලයක ඉපිද ‘වසලි, වසලි’ යැයි අන් අයට වසලිවාදයෙන් කථා කර තිබිණි. ඒ පුරුද්ද අර්හත්වයට පත් වූ ආත්මභාවයේ ද නොනැසී තිබී ගිහියන්ට ද පැවිද්දන්ට ද වසලිවාදයෙන් ම කථා කළහ. සෙසු භික්‍ෂූන් වහන්සේලා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ වදාළේ පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේ කිසිවෙකුට ඵරුසවචන කීමක් වශයෙන් වසලිවාදයෙන් කථා නොකරන බවත්, පෙර ආත්මභාව පන්සියයක් පුරුදු කරන ලද දෙය අත නොහැර පවතින බවත් වේ. මෙසේ අර්හත්වයට පත් වූයේ නමුදු සෙසු කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ක්‍රියාවන්ට සමාන ක්‍රියා ඇතිකරන බව ‘වාසනාගුණ’ ලෙස හැඳින්වේ.

සෙසු රහතන් වහන්සේලා අර්හත් මාර්ගඥානයට පැමිණීමේ දී මෙම වාසනාගුණ නැසීමක් සිදු නොවන නමුදු බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වීමේ දී සියලු වාසනාගුණයන් ද සමඟින් කෙලෙස් ප්‍රහීණ කළ සේක. දුරු වීම යන අරුත් ඇති ‘ආරක’ යන පාලි පදයෙන් ‘අරහං’ යන්න සෑදේ.

එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින් ම දුරු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

සියලු කෙලෙස් සතුරන් නැසූ සේක.

කෙලෙස් ධර්මයෝ නම් සතුරෝ ය. රාගාදි කෙලෙස් විසින් පුද්ගලයාගේ අභිවෘද්ධිය නසන බැවින්, නිර්වාණ ගමනට බාධා පමුණුවන බැවින් ඒවා සතුරෝ ය. ඒ කෙලෙස් නමැති සතුරන් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ගාඥානයෙන් නසන ලදී. අර්ථ වශයෙන් මෙය ද ඉහත දක්වන ලද ආකාරයෙන්ම වේ. එහෙත් පදය සැකසෙන ආකාරය වෙනස් වේ.

‘අරි’ යනු සතුරාට නමකි. ‘හත’ යනු නැසීමයි. සතුරා නැසීම යන අර්ථයෙන් ‘අරිහත’ යන්න ‘අරහං’ යැයි සිද්ධය.
එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

සංසාර චක්‍රයේ අර සිඳලූ සේක.

සංසාරය යනු රථ රෝදයක් වැනි ය.එහි නාභිය වන්නේ අවිද්‍යාව හා භව තෘෂ්ණාව යි. නිම්වලල්ල වන්නේ ජරාමරණ වේ. නාභිය හා නිම්වලල්ල සම්බන්‍ධ කරන අර හෙවත් ගරාදි වන්නේ පුඤ්ඤාදි අභිසංස්කාරයෝ ය. ආශ්‍රව නමැති ඇක්සලයෙන් විද, කාම, රූප, අරූප භවත්‍රය නමැති රථයට මේ සංසාර චක්‍රය සම්බන්‍ධ කර ඇත.

පුද්ගලයා අවිද්‍යාව හා භවතෘෂ්ණාව හේතුවෙන් පුඤ්ඤාභිසංස්කාර හෙවත් කුසල ධර්මයන් ද, අපුඤ්ඤාභිසංස්කාර හෙවත් අකුසල ධර්මයන් ද ආනෙඤ්ජාභිසංස්කාර හෙවත් ධ්‍යාන කුසලයන් ද රැස්කරයි. ඔහු ඒ අභිසංස්කාරයන්ගෙන් ජරාමරණ හි බැඳී අනාදිමත් කාලයක් තිස්සේ කාමභව, රූපභව, අරූපභව වල ඉපදෙමින්, මැරෙමින් පැමිණියේ ය. තථාගතයන් වහන්සේ බෝමැඩ දී වීර්ය නමැති පාදයෙන් ශීල නමැති පොළොවේ පිහිටා ශද්ධා නමැති අතින් කර්මක්‍ෂයකරඥාන නමැති පොරොව ගෙන ඒ සංසාර චක්‍රයේ අර හෙවත් පුඤ්ඤාභිසංස්කාරාදිය සිඳලූ සේක. අර සිඳලූ අර්ථයෙන් ‘අරහත’ යන්න ‘අරහං’ යැයි සිද්ධ ය.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 32. බුද්ධානුස්සති භාවනාව – 2 කොටස