බුද්ධානුස්සති භාවනාව විස්තර වශයෙන් වැඩීමේ දී එකිනෙක බුදුගුණය පිළිබඳ විස්තර සහිතව අවබෝධයක් ලබා සිටීම වැදගත් බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. ඒ අනුව පළමු බුදුගුණය වන ‘අරහං’ බුදුගුණයේ අර්ථ 05 ක් ඇති බව දක්වා, ඉන් පළමු අර්ථ තුන පැහැදිලි කරන ලදී. ඉතිරි අර්ථද්වය මෙයින් විස්තර වේ.

සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ සේක

‘අරහං’ යන වචනයේ ‘සුදුසු’ යන තේරුමක් ඇත. එබැවින් තථාගතයන් වහන්සේට ‘අරහං’ යැයි කියන්නේ උන්වහන්සේ තුළ ඇති සුදුසු කමක් හේතුවෙනි. ඒ අනෙක් සුදුසු කමක් නොව ‘දක්‍ෂිණාව පිළිගැනීමටත්, පිළිගැන්වීමටත් සුදුසු බව’යි.

අනාගතයේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පූජා කරන චීවරාදි ප්‍රත්‍යය දක්‍ෂිණා නම් වේ. එසේ පූජා කරන දේ ලැබීමට සුදුසු පුද්ගලයා ‘දක්‍ෂිණාර්හ’ හෙවත් දක්‍ෂිණාවට සුදුසු තැනැත්තා යැයි කියනු ලැබේ. ‘දක්ඛිණෙය්‍ය’ යනු ද ඒ තේරුම ම ඇති පදයකි. මහාසංඝරත්නය ද දක්‍ඛිණෙය්‍ය ය. එහෙත් තථාගතයන් වහන්සේ ඒ සියලු දක්‍ඛිණ්‍යෙයයන් අභිබවා සාතිශය දක්‍ෂිණාර්හ භාවයකින් යුක්ත වේ. එහෙයින් ‘අරහං’ යැයි කියනු ලැබේ.

ඒ නිසාවෙන් ම බුදුකෙනෙකුන් පහළ වූ කල්හි මහේශාක්‍ය දෙව් මිනිසුන් අන් තැන්වල පූජා නොකොට බුදුරජාණන් වහන්සේ ම පුදති. අප ශාස්තෘ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සහම්පතී මහාබ්‍රහ්මයා මහාමේරුව තරම් විශාල වූ රුවන්දමකින් බුදුරජාණන් වහන්සේට පූජාවක් කළේය. බිම්බිසාර රජු, කොසොල් රජු, අනේපිඬු සිටු, විශාඛා මහෝපාසිකා ආදීහු ද කහවණු කෝටි ගණන් වියදම් කරමින් තථාගතයන් වහන්සේට පුද පූජා පැවැත්වූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි දඹදිව ධර්මාශෝක රජු කහවණු අනූ කෝටියක් ධනය වියදම් කොට මුළු දඹදිව සුවාසූ දහසක් විහාර පිහිටවීය. එබඳු පුද පූජාවනට ද සුදුසු වන බැවින් බුදුරජාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

පූජාවනට සුදුසු පුද්ගලයන් අතරේ මව්පියන් ආදි තවත් අය සිටිය හැකිය. එහෙත් තථාගතයන් වහන්සේ ඒ සියලු දෙනා අතරින් අග්‍ර දක්‍ඛිණෙය්‍ය වන හෙයින් උන්වහන්සේට පූජා කළ නොහැකි දෙයක් නැත්තේය. සමහර පුද්ගලයන් අනෙක් කෙනෙකුට නොයෙක් දේ පූජා කළ ද තමාගේ ජීවිතයෙන් පූජාවක් කිරීම සිදු නොකරනවා විය හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිත පූජාවක් නමුත් කිරීමට නුවණැත්තෝ පසුබට නොවන්නේ උන්වහන්සේගේ ‘අරහං’ ගුණ මහිමය නිසා ය.

සුමනමාලාකාරයා බිම්බිසාර රජුට දිනපතා සමන්මල් නැළි අටක් සපයා දී කහවණු අටක් උපයා ගන්නා දුප්පත් පුද්ගලයෙකි. දිනක් බිම්බිසාර රජුට සමන්මල් රැගෙන යමින් නුවරට පිවිසි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ද මහා භික්‍ෂුසංඝයා පිරිවරාගෙන ෂඞ්වර්ණ රශ්මිමාලා විසුරුවමින් මහත් බුද්ධානුභාවයෙන්, මහත් බුද්ධ ලීලාවෙන් රජගහනුවර පිඬු පිණිස පිවිසි සේක. දෙතිසක් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන්, අසූවක් අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන්ගෙන් හොබනා බුදුරජාණන් වහන්සේගේ ශරීර සෞභාග්‍යය දුටු සුමනමාලාකාරයා ‘භාග්‍යවතුන් වහන්සේට කිසියම් පූජාවක් කළයුතු’ යැයි පැහැදුණු සිතින් යුතු ව අන් කිසිදු පූජා ද්‍රව්‍යයක් නොමැති බැවින් තමන් අත ඇති මල්නැළි අට පූජා කිරීමට සිතුවේ ය. නැවත මෙසේ ද සිත් විය. ‘මේ මල් මම නිරතුරුව රජුට සපයන මල් වේ. මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් රජුට මල් නොලැබීම නිසා මාව සිරගත කරන්නට හෝ, ඝාතනය කරන්නට හෝ රටින් නෙරපන්නට පුළුවනි’ යනුවෙනි. එහෙත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් කිසියම් පූජාවක් කිරීමේ සිතක් උපන් බැවින් නැවත ‘රජතුමා මාව සිරගත කරන්නේ නම් සිරගත කරාවා. ඝාතනය කරවන්නේ නම් එසේ වේවා. රටින් නෙරපන්නේ නම් එසේ වේවා. මේ මල් රජුට ගෙන ගිය ද මට ලැබෙන්නේ මේ ආත්මභාවයේ ජීවත් වීමට තරම් ධනයක් පමණි. බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් මේ ආත්මයේ ජීවිතය නැති වුව ද නොයෙක් කල්ප කෝටි ගණනක් හිත සුව පිණිස පවතින්නේ ය’ යැයි මෙසේ සිතීය. එසේ සිතා තථාගතයන් වහන්සේට තමන්ගේ ජීවිතයෙන් පූජාවක් කරමින් මල් නැළි අට ම බුදුරජාණන් වහන්සේට පූජා කළේය. ඒ හේතුවෙන් එදිනම සුමනමාලාකාරයා, ඇතුන් අටදෙනෙක්, අශ්වයන් අටදෙනෙක්, දැසි දැස්සන් අටදෙනා බැගින්, කහවණු අටදහස බැගින් යනාදි වශයෙන් සියලු දේ අට අට බැගින් වන සබ්බට්ඨක නම් දානය රජු වෙතින් ලැබීය. මේ විපාකයෙන් ම අනාගතේ කල්ප ලක්‍ෂයක් ඇවෑමෙන් සුමන නම් පසේබුදු කෙනෙකුන් ව නිවන් අවබෝධ කරගන්නේ ද වන්නේයැ යි බුදුරජාණන් වහන්සේ වදාළහ.

මෙසේ සුමනමාලාකාරයා තථාගතයන් වහන්සේට ස්වකීය ජීවිතයෙන් පූජාවක් කළේ උන්වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු ‘අරහං’ ගුණයෙන් සමන්වාගත වන බැවිනි.

එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සියලු පූජාවන්ට සුදුසු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

රහසින්වත් පව් නොකරන සේක

ලෝකයේ නුවණැති යැයි සිතන සමහර අඳබාල කෙනෙක් අකීර්තියට බියෙන් අන් අයට රහසින් පව්කම් කරති. තථාගතයන් වහන්සේ එසේ රහසින් හෝ පව්කම් නොකරන බැවින් ‘පාපකරණෙ රහාභාවතොපි අරහං’ යන ක්‍රමයෙන් ද ‘අරහං’ යැයි කියනු ලැබේ.

තථාගතයන් වහන්සේ බෝමැඩ දී උතුම් සම්බුද්ධත්වයට පැමිණීමේ දී ම සියලුම පව් කිරීමේ හේතුව ප්‍රහීණ කළ සේක. ඒ නිසාවෙන් ලෝකයේ රහසින් පව් කරන පුද්ගලයන් සිටිය ද බුදුරජාණන් වහන්සේ එවන් කිසිදු පවක් නොකරන සේක. තථාගතයන් වහන්සේ ඉෂ්ට-අනිෂ්ට දෙයෙහි කම්පා නොවන ස්වභාවය ඇත්තේය. එසේ අකම්පිත වන තථාගතයන් වහන්සේ රහසින් වත් කිසිදු පවක් නොකරන සේක.

මෙම ‘රහසින්වත් පව් නොකරන බව’ යන අර්ථය පිළිබඳ වර්තමානයේ සමහර කෙනෙක් රුචි නොවෙති. බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ලෙස එසේ පැවසීම යුතු නොවේ යැයි ඔවුන්ගේ අදහසයි. එහෙත් ඒ මෙම ගුණය පිළිබඳ නියමාකාර අවබෝධයක් නොමැති බැවිනි.

බුදුරජාණන් වහන්සේ බෝමැඩ දී සම්බුද්ධත්වයට පත් වීමත් සමඟ සියලු පව් කිරීමේ හේතූන් නැසූ බැවින් එය නැවතත් පැවසීම අයුක්ති සහගත නොවේ. මෙම ගුණයෙන් ප්‍රකට කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් මාර්ගඥානයම වේ. ඒ අර්හත් මාර්ගඥානයට පත් වූ තැන් පටන් කිසිදු ආකාරයේ පවක් සිදු නොවේ. එය සැබෑ තත්වයකි. මේ ලෝකයේ අපි රහත් යැයි කියාගන්නා ඇතමෙක් රහසින් පව්කම් කරති. ඔවුන්ගේ සැබෑ රහත් බවක් නැති බැවිනි. භාග්‍යවතුන් වහන්සේ සියලු පව් කිරීමේ හේතු අර්හත් මාර්ගයෙන් සිඳ දැමූ බැවින් රහසින්වත් කිසිදු පවක් නොකරන සේක.

මෙහි ‘රහෝ’ යනු රහසිගත බව අදහස් කරන වචනයකි. රහසිගතව නොමැති බව දැක්වෙන ‘න ූ රහ’ යන්නෙන් ‘අරහ’ යන පදය නිපදවේ.

එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

මෙසේ ‘අරහං’ ගුණය පිළිබඳ එකිනෙක කරුණ පිළිබඳ දී ඇති විස්තරය කියවා එකක් එකක් බැගින් භාවනාවට යොදාගත යුතු වේ. පළමුව පළමු කරුණ කියවා, අර්ථය වශයෙන් තේරුම් ගෙන ඉන්පසු ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින් ම දුරු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි සිතෙන් මෙනෙහි කරමින් භාවනා කළයුතු යි. එසේ බොහෝ වේලා භාවනා කිරීමෙන් මේ අර්ථය හොඳින් සිතට වැටහෙන්නට පටන්ගනී. එවිට දෙවන කරුණ ගෙන මෙනෙහි කළයුතු වේ. දෙවන කරුණ ද හොඳින් වැටහෙන විට පළමු, දෙවන කරුණු දෙකම ගෙන මෙනෙහි කළයුතු වේ.

මෙසේ කරුණු පස ම මෙනෙහි කිරීම කළයුතු වේ. බොහෝ වාරයක් භාවනාව කිරීමෙන් අරහං ගුණය පිළිබඳ කරුණු පස ම හොඳින් වැටහෙනවා ඇත. එවිට ‘අරහං’ යන්න පමණක් සිහි කරන විට කරුණු සියල්ල සමෝධානය වී වැටහේ. එයින් අරහං ගුණය හොඳින් භාවනා කළා වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 33. බුද්ධානුස්සති භාවනාව – 3 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 1)