විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව වඩන තැනැත්තා එකිනෙක බුදුගුණය පිළිබඳ අවබෝධය ඇති කරගෙන ඒ එකිනෙක වෙන වෙන ම ගෙන භාවනා කළ යුතු වේ. ඒ අනුව ‘අරහං’ බුදුගුණය විස්තරාත්මකව වැඩීම සිදු කළ තැනැත්තා අනතුරුව ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩීම කළ යුතු වේ.

සම්මාසම්බුද්ධ ගුණය

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක. උන්වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ යැයි හඳුන්වන හේතු කිහිපයක් භාවනා කිරීම උදෙසා හඳුනාගත හැකි වේ.

1. විශේෂයෙන් දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දත් හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
2. දුක්‍ඛ සත්‍යය පිරිසිඳ දත් හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
3. සමුදය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
4. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
5. මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
6. සංස්කාර, විකාර, ලක්‍ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ යන පඤ්චවිධ ඥෙය මණ්ඩලය පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.

මෙයට අමතරව අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ ‘බලෙසු ච වසීභාවං’ යනුවෙන් තථාගතයන් වහන්සේට වශීභාවයට පත් දශබල ඥාණයන් ඇති හෙයන් ද උන්වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ නම් වන බව සඳහන් වේ. ඒ සියල්ල පිළිබඳ මෙහි දී කරුණු දැක්වීමක් අදහස් නොවන අතර පොත්පත් කියවීමෙන් දැනුම වැඩි කරගන්නේ නම් මැනවි.

විශේෂයෙන් දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දත් සේක

සියලු කෙලෙසුන් නසා උතුම් අර්හත්වයට පත් වීම උදෙසා විශේෂයෙන් දත යුතු ධර්ම සමුදායක් ඇත්තේ ය. ඒවා ‘අභිඤ්ඤෙය්‍ය ධර්ම’ නම් වේ. ඒ ඒ ධර්මයේ ලක්‍ෂණ වශයෙන්, රසය හෙවත් කෘත්‍යය වශයෙන්, ප්‍රත්‍යුපස්ථාන හෙවත් වැටහෙන ආකාරය වශයෙන් සහ පදට්ඨානය හෙවත් ආසන්නත ම හේතුව වශයෙන් අවබෝධ කර ගැනීම විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කිරීම නම් වේ. එසේ අවබෝධ කරගත යුතු ධර්ම නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වේ.

නිර්වාණාවබෝධය කරගන්නා සෑම පුද්ගලයෙක් ම මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිති. එහෙත් බුදුවරයන් වහන්සේලා සහ පසේ බුදුවරයන් වහන්සේලා හැර සෙස්සෝ ඒ ධර්මයන් අවබෝධ කරගන්නේ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගැනීමෙන් වේ. ඒනිසා ඔවුහු අවබෝධ කරගත් අය යන අර්ථයෙන් ‘බුද්ධ’ නම් වෙති. එහෙත් බුදුවරයන් වහන්සේලා හා පසේබුදුවරයන් වහන්සේලා වෙන කෙනෙකුගෙන් අසා දැනගැනීමකින් තොරව තමන් වහන්සේ ම මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා බැවින් ‘සම්බුද්ධ’ නම් වේ. ඒ අතරින් ද පසේබුදුවරයන් වහන්සේලා චතුරාර්යසත්‍යය සියල්ලෙන් සියල්ල අවබෝධ කර නොගනිති. එහෙත් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා සියල්ලෙන් සියල්ල අවබෝධ කර ගන්නා බැවින් ‘සම්මාසම්බුද්ධ’ නම් වෙති. එබැවින් මේ ‘සම්මාසම්බුද්ධ’ පදයේ නිරුක්තිය ‘සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධො’ යනුවෙන් සඳහන් වේ. ‘මැනවින් ම, තමන්වහන්සේ ම සියලු දත යුතු ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මාසම්බුද්ධ නම් වේ’ යනු එහි තේරුම යි.

අප භාග්‍යවතුන් වහන්සේ පෙර බුද්ධශාසනයන්හි පැවිදිව ගුණධර්ම පුරුදු පුහුණු කිරීම් වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයගෙන් අසා දැනගෙන ද ඇත. එහෙත් බුදු වූ අවසන් ආත්මභාවයේ දී අති දීර්ඝ කාලයක් පිරූ පාරමිතා බලයෙන් කිසිදු පුද්ගලයෙකුගේ ඉගැන්වීමක්, මඟ පෙන්වීමක් නොමැතිව තමන් වහන්සේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් සේක.

උන්වහන්සේ ඒ සියලු දත යුතු ධර්මයන් බුද්ධත්වයට පත් වන මොහොතට පෙර විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කළ සේක. එසේ ම බුද්ධත්වයට පත් වන මොහොතේ අර්හත් මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කළ සේක. ඉන් මත්තෙහි සර්වඥතාඥානාදීන්ගෙන් ද දැනගත් සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දැනගත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

දුක්‍ඛ සත්‍යය පිරිසිඳ දත් සේක

විශිෂ්ඨ ඥානයෙන් දත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් අතරින් දුක්‍ඛාර්ය සත්‍යය අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු වේ. එනම් කෙටියෙන් ම කියන්නේ නම් පඤ්ච උපාදානස්කන්‍ධයෝ යි. සියලු කෙලෙසුන් නසා නිර්වාණාධිගමය කිරීම පිණිස සියලු පඤ්ච උපාදානස්කන්‍ධයන් ම පිරිසිඳ දත යුතු වේ.

පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූත රූප සහ සෙසු උපාදාය රූප සූවිස්ස රූපස්කන්‍ධය නම් වේ. සුඛ, දුක්‍ඛ, උපේක්‍ෂා යන වේදනාවෝ වේදනාස්කන්‍ධය යි. රූප සංඥා ආදි සංඥාවෝ සංඥාස්කන්‍ධය යි. චේතනාව ප්‍රමුඛ සියලු සෙසු සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධය යි. සිත විඥානස්කන්‍ධය යි. මේ සියලු ධර්මයන් පීළන, සංඛත, සන්තාප, විපරිණාම යන අර්ථයන්ගෙන් දුක්ඛ ස්වභාව ඇත්තෝ වෙති. මේ රූපාදි ධර්මයන් නිරන්තරයෙන් සත්ත්වයන් පෙළීමට පත් කරන බැවින් පීලනාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යය කි. ඒ සියලු ධර්මයන් හේතූන්ගෙන් හටගන්නා බැවින් සහ ඒ හේතු සම්පාදනය නොකළහොත් පවත්වාගත නොහැකි බැවින් සංඛතාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යය කි. නිරන්තරයෙන් මේ රූපාදිය හේතුවෙන් සත්ත්වයන් තැවීමට පත් වේ. එහෙයින් සන්තාපාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් වේ. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස් වීමට භාජනය වන බැවින් විපරිණාම අර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් වේ. මෙසේ දුක්‍ඛාර්ය සත්‍යයක් වන ඒ සියලු ධර්මයන් පිරිසිඳ දත යුතු ධර්මයන් වන අතර භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල නුවණින් පිරිසිඳ දත් සේක. ඒ සියල්ල ඒකාන්තයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් ම බව අවබෝධ කොට වදාළ සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛාර්ය සත්‍යය පිරිසිඳ දත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

සමුදය සත්‍යය ප්‍රහාණය කළ සේක

පඤ්ච උපාදානස්කන්‍ධය ඒකාන්ත දුකක් යැයි අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේ ඒ දුක්‍ඛ සත්‍යය ඇති වන හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධාකාර තෘෂ්ණාව බව අවබෝධ කළ සේක.

නැවත නැවතත් කැමති කැමති රූප දැකීම් කැමති කැමති ශබ්ද ඇසීම් ආදි කම් සැප විඳීමට ඇති කැමැත්ත කාම තණ්හාව නම් වේ. එසේ කම් සැප විඳීම උදෙසා මෙලෝ වශයෙන් සත්ත්වයා නොයෙකුත් කටයුතු කරයි. එසේම පරලෝ වශයෙන් දිව්‍ය, මනුෂ්‍යාදි සුගති ලෝකවල ඉපිද කම්සැප විඳීමට බලාපොරොත්තු වේ. ඒ කාම තෘෂ්ණාව හේතුවෙන් සත්ත්වයා මරණයට පත්ව නැවතත් උපතක් හිමි කර ගනී. මෙසේ තෘෂ්ණාව නිසාවෙන් නොසිඳෙන සංසාර ප්‍රවෘත්තිය පවතී.

භවතණ්හාව නම් ශාස්වත දෘෂ්ටිසහගත රාගය යි. එනම් ලෝකය ශාස්වත යැයි, සදාකල් පවතී යැයි විපරීත දෘෂ්ටියෙන් යුතුව ඇති කරගත් රාගය යි. විභවතණ්හාව නම් මරණින් මතු උපතක් නැත යන උච්ඡේද දෘෂ්ටිසහගත රාගය යි.

තථාගතයන් වහන්සේ මේ සියලු ආකාර තෘෂ්ණාව විසින් පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත දුක්‍ඛස්කන්‍ධය නැවත නැවත රැස් කරවන, උපදවන, මවන බැවින් ආයූහනාර්ථයෙන් දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. වර්තමාන ස්කන්‍ධ පඤ්චකය බිඳී මරණය සිදු වනවාත් සමඟ ම අභිනව ස්කන්‍ධ පඤ්චකයක් ලබා දෙන බැවින් නිදානාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. දුකින් මිදී නිර්වාණයට යා නොහැකි වන පරිද්දෙන් ස්කන්‍ධ පඤ්චකය සංඛ්‍යාත දුක්ඛයෙහි සත්වයා තදින් බැඳ තබන බැවින් සංයෝගාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. නිවන පමුණුවන්නාවූ පිළිවෙත් පිරීමට බාධා කරන ප්‍රතිපත්තිය බිඳ හෙළන බැවින් පළිබෝධාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. තථාගතයන් වහන්සේ බෝමැඩ දී අර්හත් මාර්ගඥානයෙන් මේ සියලු ආකාර තෘෂ්ණාව හෙවත් දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කොට වදාළ සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 34. බුද්ධානුස්සති භාවනාව – 4 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 2)