භාවනාවට යොදා ගත හැකි සම්මාසම්බුද්ධ ගුණය පිළිබඳ අර්ථ සයක් (6) ඇති බව දක්වා ඉන් අර්ථ තුනක් ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. ඉතිරි අර්ථ තුන භාවනාවට යොදාගන්නා ආකාරය මෙයින් දැක්වේ.

දුක්ඛ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ සේක

පඤ්ච උපාදානස්කන්‍ධය ඒකාන්ත දුකක් යැයි ද ඒ දුක්‍ඛ සත්‍යය ඇති වන හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධාකාර තෘෂ්ණාව බව ද අවබෝධ කළ තථාගතයන් වහන්සේ ඒ පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදුණු නිර්වාණය ඒකාන්ත සැපයක් බව කිසිවකුගේ උපදේශයකින් තොරව ස්ව ශක්තියෙන් ම අවබෝධ කොට වදාළ සේක. ප්‍රත්‍යක්‍ෂ කළ සේක. සාක්‍ෂාත් කළ සේක. ඒ දුක්ඛස්කන්‍ධයේ නිවීම දුක්ඛනිරෝධාර්ය සත්‍යය වේ. පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්‍ධයාගේ නැවත නැවත ඇති වීමට හේතුව වන තෘෂ්ණාව නැති වුවහොත් දුක්ඛස්කන්‍ධයාගේ නිරෝධය හෙවත් නො පැවැත්ම එයින් සිදු වේ.

බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන්නට යෙදුණු මෙම දුකින් අතමිදීම හෙවත් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නමැති නිර්වාණය පිළිබඳ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාට වැටහෙන්නේ නොවේ. සමහර කෙනෙක් නිවන යනු හිස් දෙයක් යැයි සිතති. නිවනට බිය වෙති. ඒ නිර්වාණයෙහි ඇති සැපය පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙනි. නිවනේ දී සිදු වන්නේ දුක්ඛස්කන්‍ධයාගේ නිරෝධය යි. යම් දුකක් ඇති පුද්ගලයෙකුට ඉන් මිදීම සැපය කි. හිසේ කැක්කුමක් ඇති අයෙකුට එය නැති වීම සැපයකි. එසේම පඤ්චෝපාදානස්කන්‍ධ සංඛ්‍යාත දුක ඇති අයෙකුට එය නැති වීම සැපයකි. එහෙත් පඤ්චෝපාදස්කන්‍ධය දුකක් ලෙස නො හඳුනාගත් පුද්ගලයාට එයින් මිදීම සැපයක් යැයි වැටහෙන්නේ ද නැත.

නිවනට පැමිණි පුද්ගලයාට කිසිදු දුකක් නැතුවා මෙන් ම ක්ලේශයන්ගෙන් ද සර්වාකාරයෙන් මිදුණේ වෙයි. ඒ නිසා නිර්වාණය ක්ලේශයන් කෙරෙන් හා දුක්ඛයන් කෙරෙන් මිදුණු බැවින් නිස්සරණාර්ථයෙන් දුක්ඛනිරෝධය යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ සේක. එසේම ඒ නිර්වාණය ක්ලේශයන්ගෙන් හා දුක්ඛයන්ගෙන් සිස් බැවින් විවේකාර්ථයෙන් දුක්ඛනිරෝධය යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ සේක. ඒ නිර්වාණය පැවතීමට අනුබල දියයුතු බවක් හෝ ආරක්‍ෂා කරගතයුතු බවක් හෝ නැවත නැවත උපදවාගතයුතු බවක් හෝ නැත. එහෙයින් ඒ නිර්වාණය අසඩ්ඛතාර්ථයෙන් දුක්ඛනිරෝධය යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ සේක. බිඳී අතුරුදන් වීමක් නොමැතිව සැම කල්හිම පවත්නා බැවින් ඒ නිර්වාණය අමතාර්ථයෙන් දුක්ඛනිරෝධය යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ සේක

මෙසේ දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ, සමුදයාර්යසත්‍යය ප්‍රහාණය කළ, නිරෝධාර්යසත්‍යය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කළ තථාගතයන් වහන්සේ දුකින් මිදීමේ මාර්ගය හෙවත් දුක්ඛ නිරෝධූපාය භාවනා වශයෙන් වැඩූ සේක. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකින් අත මිදීමේ මාර්ගය වශයෙන් කිසිවකුගේ උපදේශයකින් තොරවම තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක. භාවනා වශයෙන් වැඩූ සේක.

යම් පුද්ගලයකුගේ සන්තානයෙහි මෙම ලෝකෝත්තර මාර්ගය ඇති වූයේ නම් ඒ තැනැත්තා සසරින් එතෙරට පමුණුවන බැවින්, පඤ්චෝපාදානස්කන්‍ධ දුක්ඛයෙන් එතෙර කරවන බැවින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිය්‍යානාර්ථයෙන් දුක්ඛනිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. එසේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණාධිගමනයට ඇති පළිබෝධ සිඳලීමෙන් නිවන් ලැබීමට හේතුවන බැවින් හේතු අර්ථයෙන් දුක්ඛනිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. ලෝකෝත්තර මාර්ගයේ දී නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම නුවණින් දකින බැවින් දර්ශනාර්ථයෙන් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. ඒ මේ ලෝකෝත්තර මාර්ගය සත්ව සන්තානයට අධිපතිකම කරන බැවින් ආධිපතෙය්‍ය අර්ථයෙන් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා වශයෙන් වැඩූ සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

පඤ්චවිධ ඥෙය මණ්ඩලය පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ සේක

යම් කිසි නුවණින් දත යුතු දෙයක් වේ නම් එය ඥෙය්‍ය ධර්ම නම් වේ. එසේ නුවණින් දත යුතු ඥෙය්‍ය ධර්ම සංස්කාර, විකාර, ලක්‍ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ යනුවෙන් පස් වැදෑරුම් වේ. සංස්කාර යනු සියලු පරමාර්ථ ධර්ම අතරින් විකාර රූප සහ ලක්ෂණ රූප හැර සෙසු සියල්ල වේ. විකාර යනු ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුන වේ. ලක්‍ෂණ යනු උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන ලක්‍ෂණ රූප සතර වේ. ප්‍රඥප්ති යනු සියලු ප්‍රඥප්ති ධර්මයන් එනම් සත්වයාය, පුද්ගලයාය යනාදි සම්මුති ධර්මයන් වේ. නිර්වාණ යනු නිවන යි. ඒ අනුව සංස්කාර, විකාර, ලක්‍ෂණ, නිර්වාණ යන සතරෙන් සියලු පරමාර්ථ ධර්ම පිළිබඳව කියවේ.

මෙසේ ලොව ඇති නුවණින් අවබෝධ කළයුතු සියලු සම්මුති, පරමාර්ථ ධර්මයන් තථාගතයන් වහන්සේ විසින් පරෝපදේශ රහිතව ම අවබෝධ කළ සේක. ඒ ඒ නුවණින් අවබෝධ කළ යුතු ධර්මයන් සියල්ල අතැඹුලක් සේ (අතෙහි තැබූ නෙල්ලි ගෙඩියක් සේ) ආවර්ජනා කිරීම් මාත්‍රයෙන් දැකියහැකි සේ ස්වකීය ස්වයම්භූ ඥානයෙන් අවිපරීතව, ඉතිරියක් නැතිවම භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සංස්කාර, විකාර, ලක්‍ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ යන පඤ්චවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව සර්වාකාරයෙන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේගේ සම්මාසම්බුද්ධ ගුණය පිළිබඳ මේ සයාකාර අර්ථයන් කියවා බලා අර්ථ වශයෙන් තේරුම් ගෙන එක එකක් වෙන වෙනම භාවනා කළ යුතු වේ. එහි දී අරහං ගුණයේ සඳහන් කළ ආකාරයට ම ‘දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දැනගත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යනාදි ලෙස සිතෙන් මෙනෙහි කරමින් භාවනා කරන්න. එසේ බොහෝ වේලාවක් භාවනා කිරීමෙන් මේ අර්ථය හොඳින් සිතට වැටහෙන්නට ගනී. එවිට දෙවන කරුණ මෙනෙහි කරන්න. දෙවන කරුණ ද හොඳින් වැටහෙන විට පළමු, දෙවන කරුණු දෙකම ගෙන මෙනෙහි කළයුතු වේ.

මෙසේ කරුණු සය ම මෙනෙහි කිරීම කළයුතු වේ. බොහෝ වාරයක් භාවනාව කිරීමෙන් සම්මාසම්බුද්ධ ගුණය පිළිබඳ කරුණු සය ම හොඳින් වැටහෙනවා ඇත. එවිට ‘සම්මාසම්බුද්ධ’ යන්න පමණක් සිහි කරන විට කරුණු සියල්ල සමෝධානය වී වැටහේ. එයින් සම්මාසම්බුද්ධ ගුණය හොඳින් භාවනා කළා වේ.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 35. බුද්ධානුස්සති භාවනාව – 5 කොටස