මෙලොව ලබාගත හැකි යම් තාක් ලෞකික-ලෝකෝත්තර ධර්මයන් තිබේ ද ඒ සියලු ධර්මයන් අතරින් ලබාගත යුතු දුෂ්කර ම ධර්මය වන්නේ නිවන යි. එය ස්වල්ප වූ වීර්යයකින්, ස්වල්ප වූ ශක්තියකින්, ස්වල්ප වූ උත්සාහයකින් සාක්ෂාත් කරගත නොහැක. අලස කුසීත පුද්ගලයන් හට නම් කිසිවිටකත් එහි අසලකට වත් පැමිණිය නොහැක. බුද්ධ ශාසනයේ භාවනාවට පිළිපන් පුද්ගලයා හඳුන්වනු ලබන්නේ යෝගාවචරයා යන නමිනි. යෝගවාචරයාගේ කෘත්‍යය නම් දිවා රාත්‍රි දෙකෙහි ම නිරතුරුව ම යෝග කර්මයෙහි යෙදීම යි. යෝග කර්මයෙහි සාර්ථක බවට පත් වූ ගිහි හෝ පැවිදි පුද්ගලයෝ යෝගකර්මයේදී තමාට පැමිණෙන දුෂ්කරතාවන් මහත් වූ වීර්යයකින් මැඩ නොනවත්වා ම ගුණ පුරත්.

පෙර භික්ෂුන් වහන්සේලා දොළොස් නමක් ආරණ්‍යයක ප්‍රධන් වීර්යය වඩමින් ගුණදම් පුරමින් වාසය කළහ. එක් භික්ෂුන් වහන්සේ නමක් කාලය දැන්වීමට ගෙඩියට ගසා (ගණ්ඨාවක් මෙන් ශබ්ද කිරීම සඳහා ලීයෙන් තැනූ ගෙඩිය) සක්මන් මළුවට පිවිස සක්මන් කරනුයේ සක්මනෙහි ඇති කොළ රොඩු පාදයෙන් පිරිසුදු කිරීමේදී තණකොළවලින් වැසුණු කටුවක් යටිපතුලෙහි ඇනුණි. යටිපතුලෙන් ඇනුණු කටුව පාදයෙහි අනිත් පසින් මතු වීය. රත් වූ සීවලැකින් විදිනා ලද්දේ මෙන් බලවත් වූ වේදනාවක් උන්වහන්සේට ඇති වීය. බලවත් ඥානයකින්, තීක්ෂණ බුද්ධියකින්, ඥානයෙන් මුහුකුරා ගිය යෝගාවචර නමක් වූ බැවින් උන්වහන්සේ තමාගෙන් මෙසේ ප්‍රශ්න කළ සේක. “ම විසින් කුමක් කළ යුතු ද. මෙම කටුව ගලවා ඉවත් කළ යුතු ද. නැතිනම් ප්‍රකෘතියෙන් ම මා විද පවත්නා වූ කෙළෙස් නැමැති කටුව ගලවා ඉවත් කළ යුතු ද” ඉන්පසුව උන්වහන්සේට මෙසේ සිත් වීය. “මෙම කටුව ඇනීම හේතුවෙන් නිරය ආදී භයක් නම් ඇති වන්නේ නැත. නමුත් ප්‍රකෘතියෙන් ම මා විද පවත්නා වූ කෙළෙස් නැමැති කටුව නිසා නම් ඒ නිරය ආදි භය ඇතිවන්නේය”. ඉන්පසු උන්වහන්සේ ඒ වෙදනාව නොසළකමින් මුළු රාත්‍රිය මුළුල්ලේ මහත් වූ වීර්යයකින් යුතුව සක්මන් භාවනාවෙන් ගත කළ සේක. රාත්‍රිය ගෙවී අරුණ උදා වූ පසු අන් භික්ෂුන් වහන්සේ නමකට කතා කළේය. ඒ භික්ෂුව පැමිණි පසු “ස්වාමීනි, මේ කිමෙක් ද” යැයි විචාළහ. “ඇවැත්නි, කටුවකින් අනිනා ලද්දේ වෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. “ස්වාමීනි, කටුව ඇනුණේ කොයි වේලාවේ ද” යැයි ප්‍රශ්න කළ විට “ඊයේ සන්ධ්‍යාවේදී ය” යනුවෙන් පිළිතුරු දුන්හ. “ස්වාමීනි, අපට කතා නොකළේ ඇයි. කතා කළේ නම් කටුව ඉවත් කොට තුවාලයේ තෙල් ගල්වන්නට තිබුණි” යැයි වදාළහ.“ඇවැත්නි, ප්‍රකෘතියෙන් ම මා විද පවත්නා වූ කෙළෙස් නැමැති කටුව ඉවත් කිරීමට උත්සාහ කළෙමි” යැයි වදාළහ. “ස්වාමීනි, ඒ කටුව ඉවත් කිරීමට හැකි වී ද” යනුවෙන් ඇසූ විට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක “ඇවැත්නි, ඒකදේශ මාත්‍රයකින් ම කටුව ඉවත් කළෙමි”. ඒකදේශයකින් යන්නෙන් අදහස් වනුයේ කොටසක් පමණක් ඉවත් කළෙමි යන්නයි. උන්වහන්සේ වීර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් අර්හත්වයට පත් නොවුණ ද සෙසු මාර්ග ඵලයකට පැමිණි සේක.

බුද්ධ ශාසනයෙහි දියුණු කරන වීර්යය මෙ භවයේදී හෝ මතු භවයකදී නිර්වාණය ගෙන දෙන බැවින් දුර්ලභ ව ලැබුණා වූ බුද්ධ ශාසනයෙහි අප්‍රමාදීව පිළිවෙත් පුරමු.

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි