අල්පේච්ඡතාවය බුදුසසුනේ පැවිදිව නිවන් දකින කුල පුත්‍රයෙකු පුහුණ කළ යුතු වටිනා ගුණ ධර්මයකි. අල්පේච්ඡතාවය යනුවෙන් අදහස් වන්නේ නැවත් නැවතත් සිතේ අලෝභය පුරුදු කිරීම නිසා තණ්හාව නූපදීම යි. අල්පේච්ඡතාවය ඇති භික්ෂුව තණ්හාවේ වසඟයට නො ගොස් බොහෝ කොට සිවුපසය සෙවීමට යෑමෙන් සිදුවිය හැකි බාධා ඇතිවීමට ඉඩක්වත් නොතබා පැවිදි ගුණ ධර්මයන් සුව සේ පුරමින් නිවන් මාර්ගයේ ගමන් කරයි. මේ ආනිශංසය සියලු ආකාරයෙන් දකින්නා වූ බුදු රජාණන් වහන්සේ මෙම ගුණයෙහි ආනිශංස වදාළ සේක. අල්පේච්ඡ ගුණය පුරුදු කරන භික්ෂුවක් විසින් දායකයෙක් විසින් යමක් පූජා කිරීමේදී පිළිපැදිය යුතු ආකාරය සහ එසේ පිළිපැදීම නිසා ලැබෙන ආනිශංස දැක්වෙන කතා ප්‍රවෘත්ති කිහිපයක් අංගුත්තර නිකාය අටුවාවේ දැක්වේ.

දායකයෙක් විසින් භික්ෂුවකට යමක් පූජා කරන විට ඒ භික්ෂුව විසින් පමණ දැනගෙන පිළිගත යුතු ය. එනම් 1. භික්ෂුව විසින් දායකයාගේ ශක්තිය, දායකයාගේ අදහස දැන ගතයුතු ය. 2. දායකයා කොතරම් පූජා කරන වස්තුව බොහෝ වේ ද, ස්වල්පයක් වේ ද යන්න දැනගත යුතු ය. 3. තමාට යැපෙන ප්‍රමාණය, එනම් තමා හට කොතරම් අවශ්‍යය වේ ද යන්න දත යුතු ය. මෙහිදී පූජා කරන වස්තුව බොහෝ කොට තිබුණත් දායකයා ස්වල්ප වශයෙන් පූජා කරන අදහසින් සිටියි නම් දායකයා ගැන සළකා බලා ස්වල්පයක් පමණක් පිළිගත යුතු ය. පූජා කරන වස්තුව ස්වල්පයක් තිබී දායකයා බොහෝ වශයෙන් පූජා කරන අදහසින් සිටිය ද පූජා කරන වස්තුව ගැන සළකා බලා ස්වල්පයක් පමණක් පිළිගත යුතු ය. පූජා කරන වස්තුව බොහෝ කොට තිබී දායකයා බොහෝ වශයෙන් පූජා කරන අදහසින් සිටියි ද තමාට යැපීමට අවශ්‍ය ප්‍රමාණය පමණක් පිළිගත යුතු ය. මෙසේ තමාගේ මාත්‍රාව දැන පිළිගන්නා භික්ෂුව අල්පේච්ඡ ප්‍රතිපදාව පුරයි. තව ද නූපන් ලාභ ඉපදීම, උපන් ලාභයන් ස්ථාවර ව ලැබීම, නොපැහැදුණු මනුෂ්‍යයන් පැහැදීම, පැහැදුණු මනුෂ්‍යයන් වඩවඩාත් පැහැදීම, මහාජනයාගේ ඇසට ප්‍රියමනාප වීම, ශාසනයේ චිරස්ථිතියට උපකාර වීම යන ආනිශංස රාශියක් මෙයින් ලැබේ.

මේ සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්ති කිහිපයකි.

නූපන් ලාභ ඉපදීම – දුර්භික්ෂ කාලයේදී රුහුණු ජනපදයේ කුටුම්බිය නම් විහාරයක වාසය කරන්නා වූ තරුණ භික්ෂුන් වහන්සේ නමක් එක් ඒ ගමෙහි එක් නිවසකට පිණ්ඩපාතය සඳහා වැඩම කරයි. ගෙහිමියන් ඒ නිවසේ සිටිමින් වැළඳීමට බත් හැන්දක් ද, ආපසු වැඩම කොට වැළඳීමට තවත් බත් හැන්දක් ද භික්ෂුවට පූජා කරත්. එක් දිනක් මෙම භික්ෂුව නිවසට වැඩි අවස්ථාවේදී නිවසට අමුත්තෙකු පැමිණ සිටි බැවින් එක් බත් හැන්දක් පමණක් පිළිගත් සේක. ඉන්පසු එක් බත් හැන්දක් පමණක් පිළිගත්තේ ඇයිදැයි විමසූ විට ඊට හේතුව ප්‍රකාශ කළ සේක. ගෙහිමියන් ඉන් වැඩිමනක් පැහැදීමට පත් වී “අපගේ ස්වාමීන්වහන්සේට මෙබඳු ගුණ ඇත්තේ ය” යැයි රජවාසල ඇමතිවරුන්ට සැළ කළහ. ඒ ඇමතිවරු සියලු දෙනා උන්වහන්සේගේ ගුණයට පැහැදී එ දවස ම නිති බත් සැටක් පූජා කිරීමට කටුයුතු සංවිධානය කළහ. මෙසේ අල්පේච්ඡ භික්ෂුව නූපන් ලාභ උපදවයි.
උපන් ලාභයන් ස්ථාවර ව ලැබීම – සද්ධාතිස්ස මහරජතුමාට වරක් වටුමස් කෑමේ බලවත් ආශාවක් ඇති විය. දැහැමි පුද්ගලයෙක් වූ රජතුමා පරපණ නැසීමට නොකැමති වූ අතර තමන් වෙනුවෙන් අන් කෙනෙක් පරපණ නැසීමට ද නොකැමති විය. චූලුපට්ඨාක නම් තමන්ට විශ්වාසදායී ඇමති කෙනෙක්ගේ ශීලය පරික්ෂා කර ඔහු ලවා මළ වටුවෙක් සොයා උයවා ගෙන වටු මසක් සකස් කරගත්තේය. අනුභව කිරීමට පෙර “මෙම ආහාරයේ අග්‍ර භාගය පූජා කොට අනුභව කරන්නෙමි” යැයි අට්ඨසාළක පිරිවෙණෙහි මහතෙරුන් වහන්සේගේ භණ්ඩග්ගාහක සාමණේර ස්වාමින්වහන්සේ නමකට වටුමස් පූජා කළේය. උන්වහන්සේ ස්වල්පයක් පමණක් පිළිගත් සේක. එයින් උන්වහන්සේගේ අල්පේච්ඡ ගුණයෙහි පැහැද “ස්වාමීනි, මම ඔබවහන්සේ කෙරෙහි පැහැදුණෙමි. ඔබවහන්සේට නිතිබත් අටක් පූජා කරමි” යැයි කීවේය. “මහරජතුමනි, මම ඒවා උපධ්‍යායන් වහන්සේට පූජා කරමි”. “ස්වාමීනි, තවත් නිතිබත් අටක් පූජා කරමි.” මහරජතුමනි, මම ඒවා අපගේ ආචාර්යයන් වහන්සේට පූජා කරමි”. “ස්වාමීනි, තවත් නිතිබත් අටක් පූජා කරමි.” මහරජතුමනි, මම ඒවා සමාන උපධ්‍යායන් වහන්සේලාට පූජා කරමි”. “ස්වාමීනි, තවත් නිතිබත් අටක් පූජා කරමි.” මහරජතුමනි, මම ඒවා භික්ෂු සංඝයාට පූජා කරමි”. “ස්වාමීනි, තවත් නිතිබත් අටක් පූජා කරමි.” අවසානයේදී උන්වහන්සේ ඒ නිතිබත් අට පිළිගත් සේක. මෙසේ අල්පේච්ඡ භික්ෂුව උපන් ලාභ ස්ථාවර කරයි.

නොපැහැදුණු මනුෂ්‍යයන් පැහැදීම – දීඝබ්‍රාහ්මණයා බමුණන්ට දන් දීමට පුරුදු වී සිටියේ ය. එක් බමුණෙකුට බත් බඳුන් පසක් බැගින් දන් දුන්නේ නමුදු තෘප්තියට පත්කරවීමට නොහැකි වීය. එක් දවසක් ඔහු “භික්ෂුන් වහන්සේලා අල්පේච්ඡ ය” යන කතාව අසා එය වීමසීමට බත් බඳුනක් ගෙන භික්ෂුන් වහන්සේලා දන් වළඳන අවස්ථාවක විහාරයට ගියේය. භික්ෂුන් වහන්සේලා තිස් නමක් පමණ දන් වළඳමින් සිටි අතර බත් බඳුනක් ගෙන සංඝ තෙරුන් වහන්සේ වෙත පැමිණියේ ය. තෙරුන් වහන්සේ ඇඟිලිවලින් සංඥා කොට බත් ස්වල්පයක් පමණක් පිළිගත් සේක. මේ ආකාරයට එක් බත් බඳුනක් සියලුම භික්ෂූන්ට ලැබුණේය. “භික්ෂුන් වහන්සේලා අල්පේච්ඡ ය යැයි කියූ කතාව සත්‍යය ය” යැයි අල්පෙච්ඡ ගූණයට පැහැදී දහසක් වියදම් කොට ඒ විහාරයේ ම චෛත්‍යයක් කරවූයේය. මෙසේ අල්පේච්ඡ භික්ෂුව නොපැහැදුණු මනුෂ්‍යයන් පහදවයි.

පැහැදුණු මනුෂ්‍යයන් වඩවඩාත් පැහැදීම – අල්පේච්ඡ බව දකින්නා වූ පැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම වැඩෙන්නේ ම ය.

බොහෝදෙනා අල්පේච්ඡ වීමට පෙළඹීම – ගුණයට ලැදි ගිහි පැවිදි සත්පුරුෂයන් එම ගුණයන් තමාගේ ජීවිතයට එක් කරගැනීමට උත්සාහ කරයි. එයින් ඒ සියලු දෙනාගේ නිවන් මාර්ගය ශක්තිමත් වේ. මජ්ඣන්තික තිස්ස තෙරුන් වහන්සේ වැනි අල්පෙච්ඡ භික්ෂුන් වහන්සේලා දැක බොහෝ දෙනා අල්පේච්ඡ වීමට පෙළඹේ.

ශාසනයේ චිරස්ථිතියට උපකාර වීම – “මහණෙනි, අල්පේච්ඡතාව සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස, නොනැසීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතී” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

මෙම කතා ප්‍රවෘත්තීන්ගෙන් දැක්වෙනුයේ භික්ෂුවකට හා ශාසනයට අල්පේච්ඡ බව හේතුවෙන් ලැබෙන ආනිශංසයන් ය. නමුත් මෙය ගිහි ජීවිතයට සුදුසු පරිදි ආදේශ කරගතහොත් දැඩි තණ්හාව නිසා වර්තමාන සමාජයේ ඇති වී තිබෙන ගැටලු රාශියකින් මිදී සුවසේ කටයුතු කිරීමට හැකි වනු ඇත.

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි