විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව වඩන තැනැත්තා එකිනෙක බුදුගුණය වෙන වෙන ම ගෙන භාවනාව පුරුදු පුහුණු කළ යුතු වේ. ඒ අනුව ‘අරහං, සම්මාසම්බුද්ධ’ යන ගුණ දෙක පිළිබඳ ඉහත ලිපි වලින් විස්තර කරන ලදී. එය කියවා බලා අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මෙකී ගුණ වලින් යුක්ත යැයි සිතෙන් මෙනෙහි කරමින් බුද්ධානුස්මෘතිය වැඩිය යුතු වේ.

‘සම්මාසම්බුද්ධ’ ගුණයට අනතුරුව ‘විජ්ජා චරණ සම්පන්න’ ගුණය වඩන ආකාරය මෙම ලිපියෙන් විස්තර කරනු ලැබේ.

විජ්ජා චරණ සම්පන්න ගුණය

අප සරණගිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘විජ්ජා චරණ සම්පන්න’ නම් වන සේක. උන්වහන්සේ ‘විජ්ජා චරණ සම්පන්න’ ලෙසින් හඳුන්වන්නේ උන්වහන්සේ වෙත විද්‍යමාන ගුණ සමුදායක් නිසාවෙනි. එනම් තථාගතයන් වහන්සේ ‘විද්‍යාවන්ගෙන්’ සහ ‘චරණ ධර්මයන්ගෙන්’ සමන්වාගත වන නිසා ‘විජ්ජා චරණ සම්පන්න’ යැයි හඳුන්වන සේක.

‘විද්‍යාවන්’ ලෙස හඳුන්වන්නේ ‘ත්‍රි විද්‍යා’ සහ ‘අෂ්ට විද්‍යාවෝ’ ය. ඒ ඒ දේ නිවැරදිව දන්නා නුවණ ‘විද්‍යා’ නම් වේ. ලෝකයේ නොයෙක් විද්‍යා ඇති අතර මෙහි දී සලකන්නේ ආර්ය විද්‍යාව යි. එනම් සාමාන්‍ය පුද්ගලයන්ට විෂය නොවන බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා සහ ඇතැම් උතුම් පුද්ගලයන්ට පමණක් විෂය වන විද්‍යාවන් වේ. මෙම විද්‍යාවන් ත්‍රිවිද්‍යාවන් ලෙස මෙන් ම අෂ්ට විද්‍යාවන් ලෙස ද ඇතැම් තැනක දක්නා ලැබේ. ‘චරණ ධර්ම’ යනු පසළොස් ආකාර වූ ‘චරණ ධර්මයෝ’ ය. එනම් ආර්ය විද්‍යාවන් ලැබීමට හා නිවන් දැකීමට උපකාර වන ශීලාදි ගුණධර්ම සමුදායකි. මෙම චරණ ධර්ම සම්පාදනය කරගැනීමෙන් විද්‍යාවන් ඇති කරගත හැකි වේ. තථාගතයන් වහන්සේ මෙම ‘ත්‍රි විද්‍යා’ ධර්මයන්ගේ ද ‘අෂ්ට විද්‍යාවන්ගෙන්’ ද ‘පසළොස් චරණ ධර්මයන්ගෙන්’ ද සමන්වාගත බැවින් ‘විජ්ජා චරණ සම්පන්න’ නම් වන සේක.

ත්‍රිවිද්‍යා ධර්ම

ත්‍රිවිද්‍යාවන් යනු ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය, දිබ්බචක්ඛු ඤාණය සහ ආසවක්ඛය ඤාණය’ යි. මේ පිළිබඳ භයභේරව සූත්‍රය ආදි මජ්ක්‍ධිමනිකායේ බොහෝ සූත්‍රයන්හි සඳහන් වේ.

1. පූර්වේනිවාසානුස්මෘති ඥානය :

සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දක්නා නුවණ පූර්වේනිවාසානුස්මෘති ඥානය නම් වේ. එනම් තමන්ගේ සහ අන් අයගේ පූර්ව ජාතීන්හි උපත ලබා සිටි නම්, ගෝත්‍ර, කළ කී දෑ ආදි සියල්ල දක්නා වූ නුවණ යි.

මෙම පූර්වේනිවාසානුස්මෘති ඥානය බුදුරජාණන් වහන්සේට පමණක් ඇති නුවණක් නොවන අතර සෙසු ශ්‍රාවකයන්ට, ඇතැම් තීර්ථකයන්ට ද ඇති නුවණකි. එහෙත් බුදුරජාණන් වහන්සේට ඇති පූර්වේනිවාසානුස්මෘතිය අන් සියලු දෙනා අභිබවා සිටින නුවණක් වේ. තීර්ථකයන් පුබ්බේනිවාස ඤාණය උපදවන ලද්දේ නමුදු කල්ප සතළිසක් දක්වා පමණක් පූර්ව ජාති සිහි කරති. ඉන් මත්තෙහි සිහි කළ නොහැකි වේ. ඊට හේතුව ඔවුන්ගේ ප්‍රඥාව දුර්වල බැවිනි. බුද්ධ ශ්‍රාවකයන් අතරින් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්‍ෂයක් සිහි කරති. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඒකාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් සිහි කරති. පසේ බුදුරජාණන් වහන්සේලා දෙයාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් සිහි කරති. උන්වහන්සේලාගේ අභිනීහාර කාලය මෙපමණක් ම බැවිනි. බුදුරජාණන් වහන්සේලාට වනාහි පෙර ජාති සිහි කිරීමේ සීමාවක් නැත. යම් තාක් කාලයක් සිහි කරනු කැමති වේ නම් ඒ තාක් සිහි කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේලාට ඇත.

තීර්ථකයන් පෙර ජාති සිහි කළ ද ස්කන්ධ පිළිවෙළට ම සිහි කළ යුතු වේ. එනම් චුතිය සිහි කිරීමෙන් අනතුරුව ප්‍රතිසන්ධිය දක්වා ස්කන්ධ පිළිවෙළ ආපස්සට සිහි කර ප්‍රතිසන්ධිය දැකගත හැකි වේ. ඒ ප්‍රතිසන්ධියෙන් අනතුරුව පූර්ව ජාතියේ චුතිය දැක නැවත ස්කන්ධ පිළිවෙළට පිටුපසට සිහිකර ඒ ජාතියේ ප්‍රතිසන්ධිය සිහි කරති. මෙසේ ස්කන්ධ පිළිවෙළට සිහි කරනවා විනා චුතිය සිහි කර අතරතුර කිසිත් සිහි නොකර එක් වර ම ප්‍රතිසන්ධිය සිහිකිරීම වශයෙන් සිහි කිරීමට හැකියාවක් ඔවුනට නැත. අන්ධයන්ට තම තමන් කැමති කැමති තැනකට යාමට නොහැකි වන්නා සේ කැමති කැමති ආකාරයට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඔවුන්ට නැත. එහෙත් බුද්ධ ශ්‍රාවකයන්ට වනාහි ස්කන්ධ පිළිවෙළට මෙන් ම චුති-ප්‍රතිසන්ධි වශයෙන් ද සිහි කිරීමේ හැකියාව ඇත. පසේ බුදුරජාණන් වහන්සේලාට ද එසේ ම ය.

බුදුරජාණන් වහන්සේට කැමති ඕනෑම ආකාරයකට පෙර ජාති සිහි කළ හැකි වේ. ස්කන්ධ පිළිවෙළට සිහි කරන්නේ නම් එසේ සිහි කළ හැකි වේ. චුති-ප්‍රතිසන්ධි වශයෙන් සිහි කරන්නේ නම් එසේ එක් ජාතියක චුතිය දැක අතරතුරු කිසිවක් සිහි නොකර ඒ ජාතියේ ප්‍රතිසන්ධිය ද දැකගත හැකි වේ. එසේ ම සීහ විලෝකන වශයෙන් ද පෙර ජාති සිහි කිරීමේ නුවණ තිබේ. එනම් සිංහයා එක් තැනක සිට හාත්පස සැම තැනම බලයි. ඉදිරිය බලා සිට නැවත පසුපස ද බලයි. එසේ ම බුදුරජාණන් වහන්සේගේ පූර්වේනිවාස ඥානය ද සුවිසද ය. කිසියම් සත්වයකුගේ කල්ප ගණනකට පෙර ජාතියක් සිහි කර එතැනින් තවත් කල්ප ගණනකට පෙර වෙනත් ජාතියක් සිහි කළ හැකි වේ. යළි කල්ප ගණනක් පසු ජාතියක් ද සිහි කළ හැකි වේ. මෙසේ කල්ප කෝටි ගණන් යටට ද උඩට ද කැමති කැමති ආකාරයකට, කැමති කැමති තැනක් සිහි කළ හැකි සුවිසද පූර්වේනිවාසානුස්මෘති ඥානයක් තථාගත බුදුරජාණන් වහන්සේට ඇත්තේය. එය බුදුරජාණන් වහන්සේ සතු පළමු විද්‍යාව නම් වේ. එහෙයින් බෝ මැඩ දී අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳ රාත්‍රී ප්‍රථම යාමයේ මෙම පෙර විසූ කඳ පිළිවෙළ නුවණ අවබෝධ කරගෙන ප්‍රථම විද්‍යාව ලැබූ බව ‘අයං ඛො බ්‍රාහ්මණ රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා’ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

2. දිව්‍යංචක්‍ෂුරභිඥානය (දිවැස් නුවණ) :

සුගති-දුගති භවවලින් චුත වන, නැවත කර්මානුරූපීව ඒ ඒ සුගති දුගති භවවල උපදින සත්වයන්ගේ ඒ මේ ච්‍යුති-උත්පත්ති දක්නා නුවණ දිව්‍යංචක්‍ෂුරභිඥානය යි. දෙවියන්ට ස්වකීය සුචරිත කර්මානුරූපීව උපදනා වූ පිත් සෙම් ආදියෙන් පළිබෝධ නැත්තා වූ උපක්ලේශ විනිර්මුක්ත වූ දුර තිබුණා වූ ද අරමුණු දැක ගැනීමේ සමර්ථ වූ දිව්‍යමය ඇසක් වේ. මේ දිව්‍යංචක්‍ෂුරභිඥානය ද ඒ දෙවියන්ට ඇති ඇස බඳු වූ ම භාවනා බලයෙන් උපන් ප්‍රකෘති මිනිසුන්ට දැක ගත නොහැකි දේ දැකිය හැකි නුවණක් බැවින් දිවැස් නුවණ නම් වේ. බුදුරජාණන් වහන්සේ මෙම දිවැස් නුවණින් සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති දක්නා හෙයින් මෙය චුතූපපාත ඤාණය ලෙස ද හැඳින්වේ.

යම් කෙනෙක් දිවැස් නුවණින් චුතිය පමණක් දකිත් නම්, උත්පත්තිය නොදකිත් නම් හේ මෙලොව සියලු සත්වයෝ මරණයට පත් වෙති, නැවත නොම උපදිති යැයි උච්ඡේද දෘෂ්ටියට බැස ගත හැකිය. එසේ ම යම් කෙනෙක් චුතිය නොදැක උත්පත්තිය පමණක් දකිත් නම් නවසත්තපාතුභාව දෘෂ්ටියට බැසගත හැකි ය. එනම් ලෝකයේ සත්වයන් අභිනවයෙන් උපදින බවත්, යම් තැනකින් චුතව මෙහි නො උපදින බවත් දෘෂ්ටියක් ඇති කරගැනීම යි. යමෙක් ච්‍යුති-උත්පත්තිද්වය ම දකිත් නම් මෙසේ මිථ්‍යාදෘෂ්ටිවලට නො බැස ඒ දෘෂ්ටීන් ඉක්මවා සිටිති.

භාග්‍යවතුන් වහන්සේ සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති දෙකම දකින හෙයින් උන්වහන්සේගේ දිවැස් නුවණ සුවිසද ය. එහෙයින් උන්වහන්සේ කර්මානුරූපව සත්වයන් සුගති-දුගති වල උපදින ආකාරය දිවැසින් දකින සේක. කාය සුචරිතාදි යහපත් කර්ම කළ සත්වයන් ඒ කර්මානුරූපව සුගති ලෝකවල උපදින බවත්, කාය දුශ්චරිතාදිය කළ අය ඒ අනුව දුගති ලෝකවල උපදින බවත් දකින සේක. මෙසේ කර්මානුරූපීව සත්වයන් උපදින ආකාරය දැකීම යථාකම්මූපග ඤාණය යනුවෙන් හැඳින්වේ. එය ද දිව්‍යංචක්‍ෂුරභිඥානයෙන් සිදු කරන කටයුත්තක් ම වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේ සතු සුවිසද දිව්‍යංචක්‍ෂුරභිඥානය දෙවන විද්‍යාව ලෙස හැඳින්වේ. බෝ මැඩ දී රාත්‍රී මධ්‍යම යාමයේ දී දෙවන විද්‍යාව හෙවත් මෙම දිවැස් නුවණ ලැබූ බව ‘අයං ඛො බ්‍රාහ්මණ රත්තියා මජ්ක්‍ධිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා’ යැයි වදාළ සේක.

මතු සම්බන්‍ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පෙර ලිපි කියවීමට >>>> 36. බුද්ධානුස්සති භාවනාව – 6 කොටස (සම්මාසම්බුද්ධ ගුණය 2)